රාවය

විමල්ට දැන් සනීපයි

විමල්ට දැන් සනීපයි

ටිරන් කුමාර බංගගමආරච්චි

වරක් දැඩි ලෙස රෝගාතුර වූ කපුටකු තම මව අමතා අයැද සිටියේ තමන්ගේ ඉක්මන් සුවය පතා දෙවියන් යදින ලෙසය. ඒ අවස්ථාවේ කපුටු පුතාගෙන් කපුටු මව විමසා ඇත්තේ “අනේ පුතේ උඹ මොන දෙයියන්ගේ අල්තාරයෙන්ද මස් සොරකම් නොකළේ?” කියාය.
මේ ජනප්‍රවාදයේ එන ජනප්‍රිය කතාව අද මනාව ගැළපෙනුයේ විමල් වීරවංශටය. ඒ විමල් වීරවංශගේ උපවාසය නිමිත්තෙනි. සටහන ලියන විට විමල් උපවාස කිරීමේ අතහැර හමාරය. උපවාස කිරීමේ රුසියකු වූ විමල් වීරවංශ මෙවර බන්ධනාගාරයේ සිට උපවාස කරනුයේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීමටය. ඒ අතර වාරයේ විමල් බලකාය සහ ඒකාබද්ධ විපක්ෂය විමල් බේරාදෙන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණය කළ අතර පන්සල් කෝවිල්වල පූජාවන්ද පැවැත්වීය.
මේ සෑම ක්‍රියාවකම අරමුණ විමල් වීරවංශට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමය. විමල්ට ඇප ලබාදීම නොදීම උසාවිය සතු දෙයකි. එහෙත් ඇප ඉල්ලා උද්ඝෝෂණය කළ හැකි නම් ඇප ඉල්ලා උපවාස කළ හැකි නම් එවිට ඇප දිය යුතුද? උපවාස කළ පමණින් ඇප දෙන්න නම් එවිට නීතියේ සාධාරණත්වයක් වේද? දැනට බන්ධනාගාරගත වී සිටින සැමට ඉන්පසු උපවාස කොට ඇප ලබාගත හැකිවනු ඇත. එසේ නම් ඇප ලබා ගැනීමට සරලව කළයුත්තේ උපවාස කිරීමය. එනම් විමල් න්‍යායට බැසීමය.
සිරගෙවල් සියයක දැම්මද තමාගේ හඬ නිහඬ කළ නොහැකියැ’යි කටමැත දෙඩූ විමල් හිරගතව දින කිහිපයක් යන තැන එළියට එන්නට දරන වෙර තුළ අඩුම තරමේ රෝහලේ හෝ සිටීමේ අවස්ථාව ලබාගැනීමේ උප්පර වැට්ටියක් යෙදීය. මහ සටන්කරුවකු ලෙස පෙනී සිටින විමල්ට එකවර ලෙඩ බව හඟවා රෝහල් ගතවිය නොහැකිය. එය බාල ගණයේ උපක්‍රමයක් බව ඔහු හොඳාකාරවම දනී. එලෙස කොට බාලවීමටද විමල් කැමති නැත. ඔහු ඒ සඳහා යෙදූ උපක්‍රමය නම් උපවාස කිරීමය. විමල්ගේ උපවාසයේ අරමුණ ඇප ලබා ගැනීමට වඩා බන්ධනාගාරයෙන් රෝහල් ගතවීමය. රෝහල තුළ ඔහුට විවේකීව සිටිය හැකිය.
බන්ධනාගාර ගතවූ මුල් දිනවල චිත්‍ර අඳිමින්, කවි ලියමින්, පොත් ලියමින් අමුතු චරිතයකට පණ පෙවූ විමල් සතිය දෙක තුන වන විට ලිවීම, ඇඳීම පසෙක ලා උපවාස කරනුයේ ඒ හරහා රෝහලක විවේක සුව විඳීමටය. සිරගෙවල් සියයක යන්නට කටමැත දෙඩුවද සතියක් එහි ලගින විට අප දකිනුයේ එහෙම පිටින්ම විකාර වූ පිස්සු චරිතයකි.
අනෙක් කාරණය විමල් අත්අඩංගුවට ගැනෙනුයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම යටතේය. ඔහු ඇප ඉල්ලනුයේ තමන් ඒ දේ කළ නොකළ බවට වඩා එලෙස කළ තවත් අය ඇති බව කියමිනි. හොරකම හොරකමමය. එය අනුන් කළ නිසා ඔවුනට අවම දඬුවම් පිරිනැමූ නිසා එය තමන්ට අදාළ නැතිද යන්නය. මේ අමුතුම ආදර්ශයකි. මොන යම් හෝ දෙයක් කර අනෙකාට දී ඇති දඬුවම් ප්‍රමාණයට තමාද ලඝු කළ යුතුයැ’යි කරන ඉල්ලීමය. විමල් නෙලනුයේ විමල් වැපිරූ දෑමය. විමල් තම ඥාතීන්ට වාහන පිරිනැමීය. නිවාස පිරිනැමීය. ඔහු තම ඥාති පරපුරට නොකළ දෙයක් නැති තරම්ය. එහෙව් විමල් අද කියනුයේ එළියේ සිටින හොරු ගැනය. එය වෙනම කතා කළ යුත්තකි. එහෙත් හොරකුට තව හොරකු පෙන්වා ගැලවිය හැකිද? ඒ ගැලවිජ්ජාවට උපවාසය යොදා ගැනීම හරහා සියලු යන්ත්‍රණ විමල් ඉදිරියේ පසුබා සිටිය යුතුද?
විමල් වීරවංශලා යනු අංක එකේ රංගන ශිල්පියෝය. ඔවුන් වංචාවක් කළද සමාජය ඉදිරියේ හැසිරෙනුයේ වීරයන් ලෙසය. ඊට උඩ ගෙඩි දෙන විමල්වාදීහු පිරිසක්ද සිටිති. මේ තත්ත්වය හමුවේ නීතිය බාල්දු විය යුතුද? ඊළඟ වාරයේ විමල්ට ඇප ලැබුණහොත් එය උපවාසය නිසාම ලද ජයග්‍රහණයක් බව විමල් ඇතුළු විමල්වාදීන් පමණක් නොව ඇප අහිමිව බන්ධනාගාරගතව සිටින සැවොම සිතන ආදර්ශ පාඨයක් වනු ඇත. මෙය නීතියට ගහන මරු පහරක්ම වනු ඇත.
අනෙක් අතට විමල් රෝහලට ආ සැණින් උපවාසය අහවරය. දැන් ශරීර සෞඛ්‍යය පිරිහී ඇතැයි කියමින් රෝහලේ ලැගිය හැකිය. නැවත ඇප නොදී බන්ධනාගාර ගත කළද රෝහලටම ආ හැකිය. මේ වරප්‍රසාද දේශ පාලකයන්ට පමණද? මීට ඉහත බන්ධනාගාර වහලය මත නැග උපවාස කළ උපවාස කවුරු නම් තඹේකට මායිම කළේද? මේ නාඩගම්වල කෙළවරක් නැද්ද? යහපාලනයෙන් අත්අඩංගුවට ගැනීම, බන්ධනාගාර ගතකිරීම නැවත නිදහස් කිරීම සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හැර මේ හොර වංචාකරුවන්ට සැබෑවටම දඬුවම් ලැබෙන්නේ කවදාද? ඊට එරෙහිව ජනතාව උපවාස කළ යුතුද?■