රාවය

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2)

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2)

නිදහස් අධ්‍යාපනය යැයි ගැනෙන නොමිලේ අධ්‍යාපනය මොන තරම් ‘නොමිලේ’ ද යන්න සොයා බැලීමේ මං ඉසව් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘නොමිලේ’ සැපයෙන අධ්‍යාපනයට රජයෙන් දරන වියදමයි. එම වියදම දරන්නේ මහජනතාවගේ මුදල්වලිනි. එනිසා, එය නොමිලේ සැපයෙන්නක් නොව, අධ්‍යාපනය ලබන නොලබන කවුරුත් ගෙවන බදු මුදල් එම වියදම තුළ ඇති නිසා, එය ‘ගෙවීමක් සහිත’ අධ්‍යාපනයකි.
ඊළඟට, එසේ රජයෙන් ‘නොමිලේ’ සපයන අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන නිසා හෝ හිඟ නිසා, අද පස් වැනි ශ්‍රේණියේ පටන්ම ටියුෂන් පංති යාමේ අවශ්‍යතාව මතුවී තිබේ. ඒ සඳහා දෙමාපියෝ විශාල වියදමක් දරති. මෙය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ආදි ඉහළ පංතිවලට එද්දී තව තවත් වැඩි වෙයි. සමහර රජයේ පාසලක උසස් පෙළ පංතිවල ගුරුවරුම පෞද්ගලික ටියුෂන් පංති කරති. කලින් කී නොමිලේ අධ්‍යාපනය වෙනුවට, මේ කියන රජයේ ගුරුවරයාම පවත්වන ටියුෂන් පංතිවලට ශිෂ්‍යයන්ට ගෙවීමට සිදුවීමෙන් පෙනී යන්නේ, මේ කියන ඊනියා නිදහස් අධ්‍යාපනයේ මායාව එකී නිදහස් අධ්‍යාපනය විසින්ම ඔප්පු කරමින් ඇති බවයි. ඉතිං ඒ අර්ථයෙන් ගත්තත් අද අපට ලැබෙන අධ්‍යාපනය ‘නොමිලේ’ ලැබෙන අධ්‍යාපනයක් යැයි කිව නොහේ. මෙයින් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ, නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ සැපයෙන අධ්‍යාපනයක් යැයි ගැනීම පවා සාවද්‍ය බවයි. මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් ශිෂ්‍යාව මාධ්‍යයට කළ ප්‍රකාශයකින් කියැවුණේ, ඇය ‘සිංහල භාෂාව පමණක්’ ටියුෂන් ගත් බවකි. ‘සිංහල පමණක් ප්‍රතිපත්තිය’ යටතේ රාජ්‍ය නායකත්වයට පවා කෙනෙකුට පත්විය හැකි ‘සිංහල රටේ’ අපොස විභාගයෙන් ප්‍රථම ස්ථානයට එන ශිෂ්‍යාවටත් සිංහල ටියුෂන් අවශ්‍යව තිබීමෙන් පෙනී යන්නේ, ‘නිදහස්’ අධ්‍යාපනයේ තරමයි.
පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයටත් වඩා හපන් ය. එය සියයට සියයක් පෞද්ගලිකයි. හෙවත්, මොන්ටිසෝරිය පවා ‘නිදහස්’ නැත. අවසානයේ ආපසු හැරී බලන විට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාටත් මේ විදිහට පෞද්ගලික පංතිවලට සහභාගී වීමට සිදුවෙතොත්, මොන්ටිසෝරියේ සිට උපාධිය දක්වාම ශිෂ්‍යයෙකුට ලැබෙන අධ්‍යාපනය තුළ නිදහස් බවක් ඇතැයි කෙනෙකුට කිව නොහැකි වනු ඇත. යම් හෙයකින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට පමණක් පෞද්ගලික පංතියක අවශ්‍යතාව පැන නොනගී නම්, එහි අදහස වන්නේද, විශ්වවිද්‍යාලයෙන් උසස් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලැබෙන බවක් නොව, විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඕනෑම ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් අනිවාර්යයෙන් සමත් කරවන බව ය.
අප සිතන්නට පුරුදු වී ඇති ආකාරය අනුව ගත් විට, වියදම දරන්නේ සමස්ත ජනතාව නම් එය සැලකෙන්නේ ‘නොමිලේ’ ලැබෙන දෙයක් වශයෙනි. අද නිදහස් අධ්‍යාපනය වශයෙන් ගැනෙන ‘නොමිලේ අධ්‍යාපනය’ එම කොටසට අයත් වෙයි. පාසල් පොත් නොමිලේ ලැබෙයි. ගුරුවරුන් නොමිලේ ලැබෙයි. ඩෙස් පුටු නොමිලේ ලැබෙයි. නිල ඇඳුම් නොමිලේ ලැබෙයි. දිවා ආහාරය පවා ලැබෙයි. එබැවින් අපි එයට ‘නිදහස් අධ්‍යාපනය’ යැයි කියමු. මෙය වනාහි අත්පත් කර ගැනීම හෙවත් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘නිදහස’ යන්න අර්ථ ගැන්වෙන ආකාරය පිළිබඳ විකාර ආදර්ශයකි.
මේ කාසියේම අනිත් පැත්ත වන්නේ, යම් විනාශයක පාඩුව දරන්නේ සමස්ත ජනතාව නම් එම දෙය විනාශ කෙරෙන විට එය ‘පාඩුවක්’ වශයෙන් නොසැලකීමයි. උදාහරණයක් වශයෙන්, පොදු බස් රථයක මගී ආසනයක් ඉරා දැමීම හෝ දුර්වර්ණ කිරීම එසේ කරන පුද්ගලයාට ‘පාඩුවක්’ සේ නොහැඟෙන්නේ, එහි හිමිකරුවා නිර්නාමික සාමූහිකයක් වන බැවිනි. එම බස් රථය එම
පුද්ගලයාගේම විණි නම්, කිසි දවසක ඔහු එම ක්‍රියාව නොකරනු ඇත. මෙය වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ආදේශ කළ විට, අද ඔවුන් රටේ සෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම පංති වර්ජනය කොට, පාරේ පෙළපාලි යාමෙන් රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ඵලදායී පැය ගණනක් කඩා ඉහිරවීම පසුපස ඇති මානසිකත්වය තේරුම ගැනීමට පහසුවක් වනු ඇත. අද මේ රටේ සිදුවන වාහන අනතුරු ගැන සොයා බැලුවොත් ඉතා පැහැදිලි සත්‍යයක් හෙළිදරව් වනු ඇත. එනම්, අතිබහුතරයක් අනතුරුවල වැරදිකරුවන් අනුන්ගේ වාහනයක් පදවන්නන් වන බවයි. හොඳම උදාහරණය, බස් සහ ට්‍රක් රථ අනතුරු ය. මේ අනතුරු පසුපස තව බොහෝ හේතු කාරණා ඇතත්, තමාගේ නොවන දෙයකට වුව මිලක් ඇතැයි විශ්වාස නොකරන මනෝභාවයත්, තමාගේ සෘජු වියදමකින් තොරව තමාට ලැබෙන ඕනෑම දෙයක් ‘නොමිලේ’ ලැබෙන දෙයක් සේ ගැනීමට පුරුදු වීමේ මනෝ භාවයත් ඒ පසුපස ඇති බව බැහැර කළ නොහැක.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුනේත්‍රා වීරකෝන් “රජයේ විශ්වවිද්‍යාල තුළ ආයතනික සහ සංස්කෘතික දූෂණය: ආණ්ඩුව ඉදිරියේ ඇති හදිසි ප්‍රතිපත්තිමය අභියෝගයක්” මැයෙන් පර්යේෂණ පත්‍රිකාවක් මෑතකදී ඉදිරිපත් කළාය. 2016 ඔක්තෝබර් මාසයේදී එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා පීඨාධිපතිවරයා විශ්වවිද්‍යාල සනාතන සභාවට දන්වා සිටි පරිදි, 200කට අධික අවසාන වසරේ ශිෂ්‍ය පිරිසක් කිසිම දේශනයකට සහභාගි වී නැති බව ඇය පෙන්වා දුනි. ඔවුන් එසේ දේශනවලට සහභාගි නොවන්නේ ඇයි? අදාළ කථිකාචාර්යවරුන්ගේ දේශන සටහන් වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන උපාධිය සමත් විය හැකි බව ශිෂ්‍යයන් දන්නා නිසා ය. මෙය වැළැක්වීම සඳහා ඇය ඇතුළු බොහෝ දෙනා යෝජනා කරන්නේ, දේශන සහභාගිත්වයේ අවම ප්‍රතිශතයක් (සියයට 80ක්) නැති ශිෂ්‍යයන්ට විභාගයට පෙනී සිටීමට අවසර නොදිය යුතු බවයි. එහෙත් එය, අදාළ පැනය නිරාකරණය කරන පිළිතුරක් නොවේ. දේශනවලට සහභාගි නොවී සමත් විය හැකි උපාධියක් සඳහා අනවශ්‍ය සේ කාලය වැය කරගෙන දේශනවලට සහභාගි වීමේ අරුත කුමක් ද? එබැවින් කළ යුතුව ඇත්තේ, දඬුවමක් පිළිබඳ බියක් ඇතිකොට, ශිෂ්‍යයන් දේශනවලට බලහත්කාරයෙන් සහභාගි කරවා ගැනීමට බැලීම නොව, සංක්ෂිප්ත සටහන් කඩදාසි ටිකකින් සමත් විය හැකි විභාගයකින් ඔබ්බට උපාධියේ ප්‍රමිතිය උසස් කිරීමයි. එවිට දඬුවම් අවශ්‍ය නැත. උපාධිය සමත් වීම සඳහා ශාස්ත්‍ර ගවේෂණය අනිවාර්ය කොන්දේසියක් බව ශිෂ්‍ය ප්‍රජාවම වටහාගනු ඇත.
සංසන්දනයක් වශයෙන් නැවතත් ප්‍රංශයේ අධ්‍යාපන ක්‍රමය සලකා බැලිය හැකිය. පසුගිය තීරුවේ කීවා සේ අපොස උසස් පෙළ සමත් සෑම ශිෂ්‍යයෙකුම එරටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනේ, එහෙත් පළමු වසර අවසානයේදී සියයට 20-25ක් අතර ප්‍රමාණයක් විභාගයෙන් අසමත් වන තත්වයක් එහිදී දැක ගැනීමට ලැබේ. කෙසේ වෙතත්, අවසානයේ අවුරුදු තුනක හෝ හතරක උපාධි පාඨමාලාව අවසන් කරන්නේ සියයට 70-80ක් අතර ප්‍රමාණයක් පමණි. (විශ්වවිද්‍යාලයෙන් එසේ හැලෙන ශිෂ්‍යයන් පාරට වැටෙන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට වෙනත් ඩිප්ලෝමා පාඨමාලාවලට උකහාගනු ලැබේ).
මෙහි අරුත කුමක්ද? පාසල් ජීවිතය තුළ ළමයාට ‘නිදහස්’ අධ්‍යාපනයක් සැපයීමට වගබලා ගන්නා අතරේම, විශ්වවිද්‍යාලයට එන ‘වැඩිහිටි ශිෂ්‍යයා’ උසස් අධ්‍යාපනයේ සැබැ ප්‍රතිලාභියෙකු වන බවටද එම අධ්‍යාපන ක්‍රමය තුළ වගබලා ගැනෙන බවයි. හෙවත්, සෙල්ලම පාසලට භාර කරන අතර, උසස් අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බවයි. ලංකාවේ අප කරන්නේ එහි අනිත් පැත්තයි. සෙල්ලම් කරන වයසේ පසු වන පහේ ශිෂ්‍යයාගෙන් පටන්ගෙන (සමහර විට ඊටත් කලින්) අපොස උසස් පෙළ දක්වා ඔහුගේ ළමා ජීවිතය උදුරාගෙන, කෘත්‍රිම බලු පොරයක් හරහා තෝරාගන්නා ගිරාපෝතක අතලොස්සක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමෙන් පසුව, කිසි තරගයකින් හෝ ප්‍රමිතිගත දැනුමකින් තොරව ඒ සියල්ලන්වම, ‘ඒහි භික්ඛු භාවයෙන්’ උපාධිධාරීන් බවට පත්කිරීමයි. (මෙය, වෛද්‍ය, ඉංජිනේරු ආදි ‘ප්‍රායෝගික’ අංශවලට තවම අදාළ නොවේ). ලංකාවේ විශ්වවිද්‍යාලයකත් අහවල් වසරේදී මෙච්චරක් අසමත් වන්නේ යැයි කෙනෙකු මෙහිදී කිව හැකිය. (එය අප නොදන්නවා නොවේ). අපගේ ප්‍රශ්නය වන්නේ, උපාධියක් නොගෙන විශ්වවිද්‍යාල ජීවිතයක් අවසන් කර ඇති ශිෂ්‍යයන් කී දෙනෙකු ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ සිටී ද යන්නයි. එය සියයට එකක්වත් නොවන බව මගේ තක්සේරුවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරයා ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට වෙනස් නැත. විශ්වවිද්‍යාලයක් යනු ශිෂ්‍යයා මෙන්ම ගුරුවරයාද උගෙන ගනිමින් සිටිය යුතු ශාස්ත්‍රාලයකි. අලුත් පොතපත කියවන, තමන්ගේ දැනුම යාවත්කාලීන කරගන්නා සහ අධ්‍යාපනික පර්යේෂණ කරන ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සිටින්නේ අතලොස්සක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක ඇදුරන්ගෙන් කී දෙනෙකු මාසයට පැය කීයක් පුස්තකාලය පරිහරණය කරනවාදැ යි නිකමට සොයා බලන්න. එය සියයට 10ක් ඉක්මවතොත් අරුමයකි. අතිබහුතරයක් ආචාර්යවරුන් කරන්නේ, එකම දළ සටහනක් අවුරුදු තිහ හතළිහක් තිස්සේ, ‘දැනුම’ වශයෙන් ශිෂ්‍යයන්ට බෙදා දීමයි. ඔහුගේ ‘සටහන්’ හරහා උපාධියක් ලබා සමාජයට එකතු වන උපාධිධාරියා වහා හෙළිදරව් වෙයි. මන්ද යත්, රැකියා වෙළඳපොළේ දී මේ ශිෂ්‍යයාගේ ‘අසමත් භාවය’ වැසැංගිය නොහැකි නිසා ය. එහෙත් අර කියන විශ්වවිද්‍යාල ගුරුවරයා දැනටමත් රැකියා නියුක්ත නිසා, විශ්‍රාම යන තෙක් අවුරුදු තිහ හතළිහක් වුව ඔහුට මේ සෙල්ලම එක දිගටම කරගෙන යා හැකිය.■ (ඉතිරිය ඉදිරියට)