Wednesday, 23/8/2017 | 8:03 UTC+0
රාවය

ඩිජිටල් යුගයේ පෞද්ගලිකත්වය සුරැකීමේ අභියෝගය

පෞද්ගලිකයි – රහසිගතයි’ යන වචන මුද්‍රණය කර ඇති ලියුම් කවරවල බහා ඇතැම් ලියුම් යැවෙන සැටි අප දැක තිබෙනවා. බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ආදිය මෙසේ ගිණුම්කරුවන්ට ලැබෙනවා.
ඇත්තටම එවන් ලිපි ගනුදෙනු සුරක්ෂිතද?
ලියුම් තැපැල් කරන මොහොතේ පටන් එය අදාළ පුද්ගලයාට ලිපිනයට ලැබෙන තෙක් ඒවා තැපැල් සේවයට සම්බන්ධ රාජ්‍ය සේවකයන්ගේ අතින් අත යනවා. බහුතරයක් අවස්ථාවල කිසිදු ප්‍රශ්නයකින් තොරව ලිපි බෙදාහැරියත් ඉඳහිට අනවසරයෙන් ලිපි විවෘත කිරීම් ගැන වාර්තා වෙනවා. ලිපියක් විවෘත කොට අන්තර්ගතය කියවා යළිත් එය අලවා ලැබෙන්නට භාර දුන්නොත් එයට අනවසරයෙන් පිවිසි බව හෝ සිතා ගන්නට බැහැ.
මෙවන් අවදානමක් ඇති බව ලිපි යවන්නන් මෙන්ම ලිපි ලබන්නන්ද දන්නවා. එහෙත් තැපැල් සේවයේ ප්‍රයෝජන ඇති බැවින් එම සුළු අවදානම නොතකා තැපෑල භාවිත කරනවා.
මේ වනවිට සමහරුන් තම බැංකු ගිණුම් ප්‍රකාශයන් විද්‍යුත් තැපෑල හෙවත් ඊමේල් හරහා ගෙන්වා ගන්නවා. විද්‍යුත් තැපෑලෙන් බැංකු ගිණුම් විස්තර එවන විට මුළු ගිණුම් අංකය නොපෙන්වන්නත්, මුරපදයක් (password) යොදා ගන්නත් බැංකු ක්‍රියා කරනවා.
තැපෑලට සාපේක්ෂව මෙය වඩාත් ආරක්ෂිත සන්නිවේදනයක් වුවත් විද්‍යුත් තැපැල් පණිවුඩ අනවසරයෙන් කියවීමේ හැකියාව ලොව ප්‍රමුඛ රහස් ඔත්තු සේවා ලබාගෙන තිබෙන බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. දක්ෂ හැකරුවෙක්ටත් අපේ ඊමේල් ගිණුම් ඕනෑ නම් හැක් කරන්න පුළුවනි.
භෞතික ලෝකයේ සිදුවූ සන්නිවේදන ටිකෙන් ටික සයිබර් අවකාශයට මාරුවන සංක්‍රාන්ති සමයක අප සිටින්නේ. භෞතික හා සයිබර් අවකාශ දෙකෙහිම පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමේ අවශ්‍යතාව අප වටහා ගත යුතුයි.
ඉන්ටර්නෙට් ප්‍රකාශන නිදහස හා පෞද්ගලිකත්වයට ඇති අයිතිය තහවුරු කිරීම යන තේමාවෙන් විද්වත් සංවාද සභාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය සතියේ කොළඹදී සංවිධානය කළා.
නව මාධ්‍ය පර්යේෂක සංජන හත්තොටුව, බ්ලොග් ලේඛිකා හා සමාජ ක්‍රියාකාරිනී සුභා විජේසිරිවර්ධන, ටෙලිකොම් හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය, තොරතුරු තාක්ෂණ ඒජන්සියේ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු සමඟ මාත් එම සංවාද මණ්ඩපයේ සිටියා.
එහෙත් නීතිඥ සංගමයටද ඩිජිටල් හා සයිබර් අවකාශයේ පෞද්ගලිකත්වය සුරැකීම ගැන නිසි අවබෝධයක් නැති බව සංවාදය අවසානයේ පෙනී ගියා. එනිසා සංවාද මණ්ඩපය මූලික මට්ටමේ ගවේෂණයක් පමණක් වූවා. එය හොඳ ආරම්භයක්. නමුත් මේ කතිකාවත ඉදිරියට ගෙන යා යුතුයි.
මගේ කතාවේ ආරම්භයේදීම මා සභාවෙන් ප්‍රශ්නයක් ඇසුවා. අප ජීවත් වන්නේ පෞද්ගලිකත්වය අගය කරන, එයට ගරු කරන සමාජයකද කියා. බහුතරයක් දෙනා එකහෙළාම කීවේ එසේ නොවන බවයි. මගේ වැටහීමත් එයයි.
ඓතිහාසිකව ලක් සමාජය පුරුදු වී ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික තොරතුරු කිසිදු පැකිළීමකින් තොරව විමසන්නට හා ඒවා කෙසේ හෝ ලබාගෙන අන් අය අතර පතුරුවන්නටයි.
අපේ ඉතිහාසයේ දිගු කලක් පුරා පැවති හා තවමත් ශේෂ වී තිබෙන වැඩවසම් සමාජ තන්ත්‍රයන්හිදී සාමාන්‍යයැ’යි සැලකෙන ජනයාගේ අතිශය පෞද්ගලික කරුණු පවා විමසන්නටත්, ඒවාට බලපෑම් කරන්නටත් ප්‍රභූන් ඉඩ පාදා ගත්තා.
මේ අයහපත් ඓතිහාසික උරුමය නූතනත්වය සමඟ සමගාමීව තවමත් සමාජයේ පවතිනවා. විවාහ නොවී සිටින්නේ ඇයි, විවාහ වූ පසු ඉක්මනින් දරුවන් ලබන්නේ නැත්තේ ඇයි, දුව/පුතා කළ ප්‍රසිද්ධ විභාග ප්‍රතිඵල කොහොමද – මෙකී නොකී බොහෝ දේ පවුලේ අය හා හිතවතුන් පමණක් නොව යන්තමින් හඳුනන අය පවා විමසනවා.
පෞද්ගලිකත්වයට ගරු කිරීම අපේ ඇත්තන්ට මුල පටන් කියා දෙන්නට වී තිබෙනවා!
සැබැවින්ම පෞද්ගලි කත්වයට හැම මානවයකුටම මූලික අයිතියක් ඇති බව අද ලොවම පිළිගන්නවා (පසුගාමී සමාජවල කොටුව සිටින ටික දෙනකු හැර).
වත්මන් ලෝකයේ මේ ගැන පරම ලියවිල්ල ලෙස සැලකෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (1948) දොළොස් වන වගන්තියේ මෙසේ කියනවා: “කිසිවකුගේත් පෞද්ගලි කත්වය, පවුල් ජීවිතය, ගෘහස්ථය හෝ ලියුම් ගනුදෙනු අරබයා අහේතුකව හා අත්තනෝ මතිකව මැදිහත්වීමක් සිදු නොවිය යුතුය. කෙනකුගේ ගෞරවයට හා කීර්තිනාමයට ප්‍රහාර එල්ල නොකළ යුතුය. මෙවන් ප්‍රහාරයක් හෝ මැදිහත්වීම්වලට එරෙහිව නීතියේ රැකවරණය ලැබීමට සැමට අයිතියක් ඇත.”
මේ ප්‍රකාශනය ලක් රජය පිළිගෙන තිබෙන අතර එය ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් රැසකට අපේ රට අන්තර් රාජ්‍ය මට්ටමින් බැඳී සිටිනවා. එහෙත් පෞද්ගලිකත්වය සුරැකීමට අපේ නීති තවමත් ප්‍රමාණවත් නැහැ.
රටේ පොදු නීතිය යටතේ සීමිත හා නිශ්චිත අවස්ථාවල පමණක් පෞද්ගලිකත්වය රැකීම ගැන විධිවිධාන ඇතත් පොදුවේ පෞද්ගලිකත්වය රැකදෙන නීතිමය රාමුවක් නැහැ. 1978 ව්‍යවස්ථාව මේ ගැන කිසිවක් කියන්නේද නැහැ.
එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස හඳුන්වා දෙන විට නම්, තොරතුරු අයිතියට ව්‍යතිරේකයක් (exemption) විය හැකි සාධක අතර පෞද්ගලිකත්වය යන වචනය හමුවනවා.
2016 අංක 12 දරන තොරතුරු පනතේ මෙය තවදුරටත් විස්තර කැරෙනවා. තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කිරීම යටතේ, 5 (1) උප වගන්තියේ මෙසේ කියනවා: “පුද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් වන විට, තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක් හෝ සම්බන්ධතාවක් සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී හෝ යම් තනි පුද්ගලයකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කිරීමක් සිදුවේ නම්, එම තොරතුරු හෙළිදරව් කිරීම විශාල වශයෙන් මහජන සුභසිද්ධිය විසින් සාධාරණීකරණය කරයි නම්, හෝ අදාළ තැනැත්තා විසින් එම හෙළිදරව් කිරීම සඳහා ලිඛිතව කැමැත්ත ලබා දී ඇත්නම් මිස….”
තොරතුරු අයිතිය හා පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy)යන දෙක තුලනය කර ගැනීම නූතන සමාජයන් මුහුණ දෙන අභියෝගයක්. බොහෝ අවස්ථාවන්හිදී මේ අයිතීන් දෙක එකක් අනෙක බලවත් කරමින් රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍ය බව තිර කරන්නට උදව් වනවා. එහෙත් ඇතැම්විට මේ දෙකෙහි ගැටුම්ද සිදුවිය හැකියි.
“මහජන තොරතුරු ලබාගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී කෙනකුගේ පෞද්ගලි කත්වයට ඇති අයිතියට හානියක් වේ නම් එවන් අවස්ථාවල මේ අයිතීන් දෙක තුලනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන් බිහිවිය යුතුයි” මේ ගැන පර්යේෂණ කළArticle 19 නම් මානව හිමිකම් සංවිධානයේ නීතිඥ ඬේවිඞ් බනිසාර් (David
Banisar) 2011දී ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් කීවේ මෙයයි: “සමහර අවස්ථාවල මේ අයිතීන් දෙක ගැටෙන විට එයට සරල විසඳුම් නොමැති විය හැකියි. අදාළ නීතිවල පැහැදිලි නිර්වචන/අර්ථ දැක්වීම්, මගපෙන්වීම් හා අධීක්ෂණ ක්‍රමවේද හමුවේ තුලනය කිරීමට හැකිවනවා. පෞද්ගලිකත්වය හැම තිස්සේම රැකිය යුතුයැයි කියන්නට බැහැ. පොදු උන්නතියට බෙහෙවින් වැදගත් වේ නම් එවන් අවස්ථාවල පෞද්ගලික තොරතුරු පවා හෙළි කිරීමට තොරතුරු නීති යටතේ ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුයි.”
ඇත්තටම අපේ තොරතුරු නීතියේ සියලු ව්‍යතිරේකද පොදු උන්නතිය පිළිබඳ සාධකයට යටත් කොට තිබෙනවා (public
interest over-ride).
මේ නිසා පෞද්ගලිකත්වය යනු නිරපේක්ෂ හා සීමාරහිත වූවක් නොවෙයි. එහෙත් සමාජයේ අනුන්ගේ විමර්ශනවලින් මෙන්ම රජයේ අනවශ්‍ය විමර්ශනවලින්ද තොරව අපේ නිවසේ, පවුලේ පෞද්ගලික ජීවිතයක් ගත කරන්න අප කාටත් අයිතියක් තිබෙනවා. එම නිදහස රැකීමට රජයට මෙන්ම අප සේවා ලබා ගන්නා විවිධ සමාගම්වලටද වගකීමක් තිබෙනවා.
මේ වගකීම තීව්‍රවන්නේ තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟ බොහෝ දත්ත ප්‍රමාණයක් ලෙහෙසියෙන් රැස් කිරීමට, ගබඩා කිරීමට හා විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබීම නිසයි.
අද දවසේ පෞද්ගලිකත්වය සුරැකීම පිළිබඳ සංවාදය වඩාත්ම වැදගත් හා තීරණාත්මක වන්නේ ඩිජිටල් හා සයිබර් ක්ෂේත්‍රයන්ට අදාළවයි. එය හුදෙක් අපට අපේ පාඩුවේ සිටීමට ඇති අයිතිය ඉක්මවා යන්නක්. දත්ත සුරැකීම, විද්‍යුත් ආවේක්ෂණය හා විද්‍යුත් දත්ත අපහරණය වැනි පැතිකඩ ගණනකින් යුත් 21 වන සියවසේ පුරවැසි අයිතීන් පිළිබඳ පුළුල් අභියෝගයක්.
සයිබර් අවකාශයේ නිරපේක්ෂ පෞද්ගලි කත්වයක් නැහැ. වෙබ්ගත වී අප කරන සියල්ල ස්වයංක්‍රීයව ලේඛනගත (track) වනවා. ඕනැම නම් කළ කී සියල්ල සොයා ගත හැකියි. එහෙත් සාපේක්ෂව අපේ පෞද්ගලිකත්වය රැක ගැනීමට යම් ආරක්ෂිත පියවර ගත හැකියි.
එමෙන්ම අප යම් වෙබ් සේවා සඳහා එම සේවාදායක සමාගම්වලට ලබා දෙන අපේ පෞද්ගලික තොරතුරු සුරැකීමටත්, අවභාවිතයට ඉඩ නොතැබීමටත් එම සමාගම්වලට ලොකු ආචාර්ධර්මීය වගකීමක් තිබෙනවා.
එහෙත් ශ්‍රී ලංකාවේ දත්ත සුරැකීම (dat‍ෙprotection) සඳහා නීතිමය රාමුවක් නැති නිසා තත්ත්වය සංකීර්ණයි.
1991 විදුලි සංදේශ පනතේ (1996 සංශෝධිත) හා 2007 පරිගණක අපරාධ පනතේ පෞද්ගලිකත්වය සුරැකීමට සීමිත විධිවිධාන තිබෙනවා. ඒවා අදාළ වන්නේ ඉන්ටර්නෙට් හරහා කරන පෞද්ගලික සන්නිවේදන රාජ්‍ය ආවේක්ෂණයෙන් හා වෙනත් ආකාරවල අනවසර පිවිසීම්වලින් ප්‍රවේසම් කිරීමටයි. (එහෙත් මේ පනත් දෙකෙහිම අදාළ අමාත්‍යවරයාට හා නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට බලයක් ලබාදී තිබෙනවා. අවශ්‍ය නම් පෞද්ගලික ඉන්ටර්නෙට් සන්නිවේදනවලට පිවිසීමට. ඒ ගැන කිසිදු සීමාවන් හෝ මගපෙන්වීම් නීතියේ ලබාදී නැහැ.)
සයිබර් අවකාශයේ අප කරන ඊමේල් හා චැට් සන්නිවේදනවලට අමතරව අප එහි විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකාවල සැරිසරන විට අප යන එන තැන්, ගත කරන කාලය, ක්ලික් කරන රූප හා වීඩියෝ ආදි සියල්ල ගැන තොරතුරු ඉබේම එකතු වෙනවා.
උදාහරණයකට ලෝකයේ වැඩිපුරම භාවිත වන සෙවුම් යන්ත්‍රය වන ඨදදටකැ වෙතට පිවිසී අප යොදන උපකාරක පද, සෙවුම් ප්‍රතිඵල ලද පසු අප ක්ලික් කරන සබඳතා ආදි සියල්ල ගැන තොරතුරු එම සමාගම සතුයි. කල්යාමේදී අප එකිනෙකාගේ වෙබ් චර්යා හරහා අප ගැන තොරතුරු සමුදායක් ඔවුන් සතු වනවා.
මේ තොරතුරු විවිධ දැන්වීම් අපට පෙන්වීමට යොදාගත හැකියි. ඨදදටකැ සමාගම සෙවුම් සේවා අපට නොමිලයේ දුන්නත් ඔවුන් අන්තිමේදී අපව දැන්වීම්කරුවන්ට අලෙවි කරනවා!
මෙබඳුම දෙයක් ඊට අඩු පරිමාණයකට දේශීය වෙබ් සේවාවලදීත් සිදුවනවා. සමහර විද්‍යුත් වාණිජ සේවා හා වෙනත් වෙබ් සේවාවන් සඳහා අප ලියාපදිංචි විය යුතුයි. (නොමිලේ ලැබෙන සේවාවන්වලට වුවත්.) එහිදී අපේ මූලික තොරතුරු අප ලබා දෙනවා.
එම තොරතුරු ඔවුන්ගේ දත්ත බැංකුවල ගබඩා වනවා. විශේෂයෙන් අපේ ජංගම දුරකතන අංක, ඊමේල් ලිපින ආදිය අද කාලේ අලෙවිකරණ වැඩට යොදාගත හැකියි. අප එසේ නොකරන ලෙස කියා සිටියත් එය ගරු නොකරන සමාගම් තිබෙනවා. දැනට මෙරට දත්ත ආරක්ෂණ නීති නැති නිසා එබන්දක් සිදුවූ විට අපට නීතියේ පිහිට පැතීමට නොහැකියි.
මේ ගැන මීට තෙවසරකට පෙර පුවත්පත් ලිපියකින් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙසේ කියා තිබුණා: “ශ්‍රී ලංකාව ගෝලීයකරණය හරහා එන ප්‍රතිලාභ ලබන්නට සූදානම් නම්, ජාත්‍යන්තර වෙළෙඳාමට වඩාත් සක්‍රීයව පිවිසීමට ඕනෑ නම්, දත්ත සුරැකුම් නීතියක් අප හඳුන්වා දිය යුතු වනවා. එහිදී අප යුරෝපීය ආකෘතිය යොදා ගත යුතුය යන්න මගේ මතයයි. දත්ත සුරැකීම මූලික අයිතියක් ලෙස යුරෝපීය රාජ්‍ය පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවද දත්ත සුරැකීම හා දත්තවල පෞද්ගලිකභාවය රැකීම මූලික අයිතියක් ලෙස පිළිගැනීම අවශ්‍යයි. දත්ත සම්බන්ධ බාහිර නැණසේවා (outsourcing) දියුණු රටවලට සැපයීමේ වෙළෙඳපොළ දියුණු කිරීමටත් මෙවන් නීති රාමුවක් අප රටේ තිබීම අවශ්‍යයි.”
මගේ ඉහත විග්‍රහයෙන් පෙනෙන පරිදි නූතන සමාජයේ පෞද්ගලිකත්වය විවිධ මානයන්ගෙන් හා කෝණවලින් ජන ජීවිතයට මෙන්ම ආණ්ඩුකරණයටද බලපානවා. 20 වන සියවසේ නීති රාමුවෙන් හා ගතානුගතික සමාජ දෘෂ්ටියෙන් ඔබ්බට ගමන් කොට අද හමුවන අභියෝගවල නිසි නීතිමය හා නියාමන ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි.
මෙය වෙබ් ගතවන ලක් සමාජයේ 30%ට පමණක් සීමාවන ප්‍රශ්නයක් නොවෙයි. රජය දියත් කොට ඇති විද්‍යුත් හැඳුනුම්පත් ක්‍රමය :ැ-භෂක්‍* යටතේ එකතු කරගන්නා පුරවැසි තොරතුරු හා ජෛවමිතික දත්ත නිසි ලෙස ගබඩා කොට සුරක්ෂිතව තබා ගැනීමේ අභියෝගය ගැන 2016 ජූලි 17 වැනිදා ලිපියෙන් මා කතා කළා. එහිදී කීවේ මෙයයි.
‘ජෛවමිතික දත්ත ලබා ගැනීම, ගබඩා කිරීම හා භාවිතය සීරුවෙන් කළ යුත්තක්. හේතුව මේ දත්ත හරහා අදාළ පුද්ගලයාගේ ජානමය හා සෞඛ්‍යමය පසුබිම අනාවරණය වීමයි. එසේම ඇතැම් පුද්ගලයන්ව හොර රහසේ ආවේක්ෂණයට ලක් කිරීමටද මේ දත්ත යොදා ගත හැකියි.’
දියුණු රටක් වීමට අපට ඕනෑ නම් පෞද්ගලිකත්වය ගරු කරන, නීතියෙන් එය රකින සමාජයක් බවට අප පත් විය යුතුයි.■