Untitled-1

Untitled-1

පුනරුදයේ සාකච්ඡා සභා ක්‍රමය හා අපේක්ෂාව


punarudaya

වික්ටර් අයිවන්

පුනරුද ව්‍යාපාරය සිය ශාඛා ගොඩනගන වැඩසටහන අඛණ් ඩව පවත්වාගෙන යන වැඩසටහනක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. මෙවැනි වැඩසටහන් සඳහා ආධාර ලබාගත හැකි ජාත්‍යන්තර ආයතනයකින් ආධාර ලබාගැනීමකින් තොරව මෙවැනි වැඩසටහනක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇතැයි සිතන කිහිපදෙනෙකු අප අතරද සිටියෝය. එහෙත් පුනරුද ව්‍යාපාරයේ වැඩ කරන වැඩි පිරිසක් දරන ලද මතය වූයේ පුනරුද ව්‍යාපාරය විදේශ ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත් නොවිය යුතු බවය. කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා මුදල් ආධාර මත යැපෙන සංවිධානයක් බවටද පත් නොවිය යුතු බවය. අප තෝරා ගත් මාර්ගය දුෂ්කර වුවත් මේ දක්වා අප ලොකු අර්බුදයකට තල්ලුවීමෙන් තොරව රටේ විවිධ ප්‍රදේශවලට යමින් ශාඛා ගොඩ නගන වැඩ සමඟ සැලකිය යුතු වේගයකින් යුතුව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට සමත් වී තිබෙන්නේයැ’යි කිව හැකිය.

සාකච්ඡා සභා ක්‍රමය
පසුගිය 17, 18, 19 යන දින තුනේදී නුවර දිස්ත්‍රික්කයේ සාකච්ඡා සභා 7ක්ද, මාතලේ දිස්ත්‍රික්කයේ එක් සාකච්ඡා සභාවක්ද පවත්වන ලදි. ගෙලිඔය පවත්වන ලද සාකච්ඡා සභාව මුස්ලිම්වරුන්ට සීමාවූ සාකච්ඡා සභාවක් වූ අතර පැමිණ සිටි අයගේ සංඛ්‍යාව 80ක් පමණ විය. එය උද්යෝගීමත් සාකච්ඡා සභාවක් වුවද සාකච්ඡා සභාවේ විශාලත්වය නිසා තෝරාගත් පිරිසකට හැර සියලුදෙනාට අදහස් පළකිරීමට අවස්ථාවක් ලබාදීමට හැකිවූයේ නැත. උඩ පේරාදෙණියේ පැවති සාකච්ඡා සභාවද එම ගම් ප්‍රදේශයේ අයට සීමාවන ලෙස පවත්වන ලද සාකච්ඡා සභාවක් විය. එය පවත්වන ලද්දේ මහාචාර්ය සරත් අබේකෝන්ගේ නිවසේ මිදුලේය. ප්‍රදේශවාසියෙකු වශයෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාද ඊට සහභාගි විය. එම සාකච්ඡාවට එම ගමේ වැඩිහිටි පිරිමි හා කාන්තාවෝද තරුණ තරුණියෝද සහභාගි වූහ. එය උද්යෝගීමත් සාකච්ඡා සභාවක් වුවද සාකච්ඡාවට සහභාගි වූ අයගේ සංඛ්‍යාව විශාල වීම නිසා තෝරාගත් පිරිසකට හැර සාකච්ඡා සභාවට සහභාගි වූ සියලුදෙනාට කතා කිරීමට අවස්ථාවක් ලබාදීමට හැකිවූයේ නැත.
පුනරුද ව්‍යාපාරයේ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන නවරත්න බණ්ඩා මහතාගේ ගමේද (වෑපතන) සාකච්ඡා සභාවක් පවත්වන ලදි. එයද ඒ ගමේ අයට සීමා කළ ගමේ වැඩිහිටි පිරිමි, කාන්තාවන් හා තරුණ තරුණියන් සහභාගි වූ උද්යෝගීමත් සාකච්ඡා සභාවක් විය. ඒ ගම දෙවැනි කැරැල්ලේදී බරපතළ හානි සිදුවූ ගමකි. දෙවැනි කැරැල්ලේදී ඒ ගමේ පුළුස්සා තිබෙන නිවාස ගණන 40කි. නවරත්නගේ නිවසද පුළුස්සන ලද එක් නිවාසයක් විය. මීට අතිරේකව දිගන, පිළිමතලාව හා කුණ්ඩසාලේ කාර්මික ජනපදයේද සාකච්ඡා සභා තුනක් පවත්වන ලදි. දිගන, මාතලේ හා පිළිමතලාවේ පැවති සාකච්ඡා සභාවල ප්‍රමාණය 35කට හෝ 40කට වැඩි නොවීම නිසාම එම සාකච්ඡා සභාවට සහභාගි වූ හැම කෙනෙකුටම සිය අදහස් පළකිරීමට අවස්ථාවක් ලබාදීමට හැකිවිය.
අප විශාල මහජන සහභාගිත්වයක් ඇති සාකච්ඡා සභා නොපවත්වන්නේ ඇයිද කියන ප්‍රශ්නයක්ද සමහර අය තුළ පවතී. එවැනි ප්‍රශ්න කිරීම් සමහර සාකච්ඡා සභාවලදීද අසන්නට ලැබෙන්නේය.
එයද තේරුම් කර දිය යුතුව තිබෙන වැදගත් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. පුනරුද ව්‍යාපාරය වශයෙන් අප ආරම්භක සාකච්ඡා සභාවලින් අපේක්ෂා කරන්නේ පුංචි ශාඛාවක් ගොඩ නගන අතර පුනරුද ව්‍යාපාරයේ අරටුව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මිනිසුන් සොයා ගැනීමය. හොඳ සමාජ ව්‍යාපාරයකට ශක්තිමත් අරටුවක් තිබිය යුතුය. නැතහොත් ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතුය. දැන් අප කරන්නේ සංවිධානයේ අරටුව හැදීම හෙවත් අත්තිවාරම තැනීමය. ගොඩනැගිල්ල තනන්න පටන් ගන්නේ ඉන්පසුවය. දැන් අපට අවශ්‍යව ඇත්තේ අත්පුඩි ගසන අනුගාමිකයන් නොව බර කරගසන මිනිසුන්ය. නැතහොත් අරටුගත මිනිසුන්ය. ඒ නිසා දැන් අප සොයාගෙන යන්නේ අනුගාමිකයන් නොව අරටුගත මිනිසුන්ය. පුනරුද ව්‍යාපාරය දරන අදහස්වලට තිබෙන සමාජ පිළිගැනීමේ තරම බැලීමක්ද විවිධ ප්‍රදේශවල කුඩා ශාඛා ඇති කිරීමේ වැඩසටහන් මගින් සිදු කෙරේ.
මහා පරිමාණයෙන් ජනතාව අතරට යන්නට අපේක්ෂා කරන්නේ අරටුව තනාගැනීමෙන් හා දෘෂ්ටිය උරගා බැලීමකට ලක්කිරීමෙන් පසුවය. එය සංක්‍රමණ කාලය තුළ කුඩා සභා මිස ලොකු සම්මන්ත්‍රණ සභාවලට හෝ මහජන රැස්වීම්වලට යන්නට අපේක්ෂා කරන්නේ නැත. අරටුව තනා ගන්නට පෙර තරමට වඩා පිම්බෙන්නට අපේක්ෂා කරන්නේද නැත. ඒ නිසා අප පෝස්ටර් ගසන්නේ නැත. පුවත්පත් සාකච්ඡා පවත්වන්නේද නැත. අපේ සාකච්ඡා ගැන ජනමාධ්‍යවලින් පූර්ව ප්‍රචාරයක් ලබාදෙන්නට අපේක්ෂා කරන්නේද නැත.

ශාඛා පිහිටුවීම හා බරපැන
පුංචි සභාවලදී හැම කෙනෙකුටම අදහස් පළකිරීමේ අවස්ථාවක් ලබාදීමේ හැකියාව ලැබෙන්නේය. ඒ අදහස් පළකිරීම් උණුසුම් වාද විවාද බවට පත්වන අවස්ථාද පවතී. ඒ හැම දෙයකින්ම සභාවේ සිටින වර්ණවත්ම මිනිසුන් හඳුනාගැනීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. අන් අය සාමාන්‍ය සාමාජිකයන් වශයෙන් එකතු කරගන්නා විට විශේෂ දක්ෂතා ඇති වර්ණවත් අය ව්‍යාපාරයේ අරටුගත පුද්ගලයන් බවට පත්කර ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේය.
විවිධ පළාත්වලට යමින් ශාඛා ගොඩනගන වැඩසටහන තුළ පුනරුද ව්‍යාපාරය දරන අදහස් මහජනයා අතර උරගා බැලීමේ හැකියාව ලැබෙන්නේය. පුනරුද ව්‍යාපාරය දරන අදහස් ලංකාවේ දේශපාලන ව්‍යාපාර දරන අදහස්වලට වඩා වෙනස්ය. බොහෝ මතවාදී ව්‍යාපාර දරන අදහස්වලටද වඩා වෙනස්ය.
විදේශ ආයතනවලින් මූල්‍ය ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ඇති කර තිබෙන සංස්කෘතිය අනුව සභා රැස්වීමක් පැවැත්වීමට මුදලින් ආධාර නොකරන, සාකච්ඡා සභාවට එන අයට හොඳට කන්න බොන්න නොදෙන, ඔවුන්ට ගමන් වියදම් නොදෙන කිසිම ව්‍යාපාරයකට සාර්ථක ලෙස ගම්වලට යෑමේ හැකියාවක් නැතැයි කියන අදහස පිළිගත් මතයක් ලෙස ගොඩනැගී තිබුණි. අනෙක් අතට විදේශ ආධාර දෙන සංවිධානයකින් ලැබෙන ආධාර මත ක්‍රියාකරන සංවිධානයකට හැර තමන්ගේ ශක්තියෙන් පමණක් ක්‍රියාකරන සංවිධානයකට අල්ලාගෙන ඉදිරියට යෑමේ හැකියාවක් නැතැයි කියන අදහස්ද සමාාජයේ ප්‍රචලිතව පැවතුණි.
එහෙත් ඒ මත දෙකම සැබෑවක් නොවන බව සනාථ කිරීමට පුනරුද ව්‍යෘපාරය සමත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. සාකච්ඡා සභා ඔස්සේ ශාඛා ගොඩනගන වැඩසටහනකට අවතීර්ණ වී දැන් මාස තුනකට වැඩිය. ගොඩනගා තිබෙන ශාඛා ප්‍රමාණය 60කට වැඩිය. ඒවා ගොඩනැගී තිබෙන්නේද එකම ප්‍රදේශයක නොව විවිධ ප්‍රදේශවලය. ඉතාමත් දුෂ්කර ප්‍රදේශවල පවා ශාඛා ගොඩනගන්නට හැකිවී තිබේ. ඉතාමත් වැදගත් දේ සිංහල ජනතාවට සීමා නොවී මුස්ලිම් හා දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවලද ශාඛා පිහිටුවීමට හැකිවීමය. ත්‍රිකුණාමලය බොහෝ දුරට ජනවර්ග තුනම සම සමව ජීවත් වන ප්‍රදේශයකි. යාපනේ හා කිළිනොච්චිය බොහෝ දුරට දෙමළ ජනතාවට සීමාවූ ප්‍රදේශයන්ය. සංකේතාත්මක වැදගත්කමක් ඇති එම දිස්ත්‍රික්ක දෙකේම ශාඛා ගොඩනැගීමට හැකිවිය. පොල්පිතිගම, ආනමඩුව, බකමූණ හා අනුරාධපුරයේ ගල්වඩුවගම වැනි ප්‍රදේශ දුෂ්කර ගොවි ප්‍රදේශ ලෙස සැලකිය හැකිය. එම ප්‍රදේශ හතරේද ශාඛා පිහිටුවීමට පුනරුද ව්‍යාපාරය සමත් විය. සමහර ශාඛාවල වාර්ගික සංයුතිය මිශ්‍රය. ත්‍රිකුණාමලෙය් ශාඛාව ජනවර්ග තුනම නියෝජනය කරන ශාඛාවක් ලෙස සැලකිය හැකිය. යාපනේ හා කිළිනොච්චියේ ඇති ශාඛා දෙකම දෙමළ ජනයාට සීමාවූ ශාඛා ලෙස සැලකිය හැකිය. සමහර ශාඛා සිංහලයන්ට පමණක් සීමාවූ ශාඛා ලෙස සැලකිය හැකි අතර තවත් සමහර ශාඛා සිංහල මුස්ලිම් මිශ්‍රණයක් ඇති ශාඛා ලෙස සැලකිය හැකිය. ගෙලිඔය ශාඛාව හා 26 වැනිදා තිහාරියේ ගොඩනගා ගන්නා ලද ශාඛාව මුස්ලිම්වරුන්ට පමණක් සීමාවූ ශාඛා ලෙස සැලකිය හැකිය.
මේ කිසිම ශාඛාවක් ඇතිකර ගැනීම සඳහා එම ශාඛාව ගොඩනැගීම සඳහා මුල්වන පුද්ගලයාට අප කිසිදු ගෙවීමක් කර නැත. ශාඛා රැස්වීම් බොහෝවිට පවත්වා ඇත්තේ ශාලාවල නොව ගෙමිදුල්වලය. සමහර රැස්වීම්වලදී පුටු බදු ගන්නට ඇතත් වියදම් දරන්නට ඇත්තේද සංවිධායකයන් විසිනි. සාකච්ඡා සභාවලදී තේ පැන් සංග්‍රහයක් සිදුවන අවස්ථාවලදී ඒ සඳහා යන සියලු වියදම් දරා ඇත්තේ ඒ ශාඛා සභාවන් කැඳවූ අය විසිනි.

පරිත්‍යාගශීලීත්වය
මාර්තු 23 වැනි දින එප්පාවල ගල්වඩුවාගම නමැති ගමේ පැවති රැස්වීම සංවිධානය කර තිබුණේ අධිකරණයට සම්බන්ධ උපලේඛනගත රජයේ නිලධාරීන් දෙදෙනෙකු විසිනි. ගල්වඩුවාගම යන නම ඒ ගමට ලැබී ඇත්තේ අවුකන බුදුපිළිමය නිර්මාණය කළ ශිල්පීන්ගේ ගම වන නිසාය. සාකච්ඡාව පවත්වන ලද්දේ රාවය පාඨකයකු වූ අබේවර්ධනගේ නිවසේය. ඔහුගේ නිවස මුළුමනින්ම කපරාරු කර නොතිබුණි. ඔහු සාකච්ඡාවට පැමිණි සියලුදෙනා සඳහා අගනා තේ පැන් සංග්‍රහයක් පිළියෙළ කර තිබූ අතර ඊට අතිරේක වශයෙන් සාකච්ඡාවට සහභාගි වූ සියලුදෙනාට රාත්‍රී ආහාරයද ලබා දුන්නේය. එම නිවසෙන් රාත්‍රී ආහාරය ගෙන පිටවන අවස්ථාවේදී අබේවර්ධන අපගේ ඉන්ධන වියදම් වශයෙන් රුපියල් 5000ක් මා වෙත ලබාදීමටද උත්සාහ කළේය. එය මා තුළ විස්මයක් සේ ම කම්පනයක්ද ඇති කළ සිදුවීමක් විය. එම සභා රැස්වීමට අනුරපුරය දිස්ත්‍රික්කයේ පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමීන් පස්දෙනාගෙන් තිදෙනෙක්ද, (භානුක, අරුණ හා ප්‍රියන්ත) සහභාගි වූහ.
මාර්තු 24 වැනිදා සවස දඹුල්ලේ පැවති සාකච්ඡාව සංවිධානය කර තිබුණේ විදුහල්පතිවරයෙකු (දිසානායක) හා නීතිඥවරයෙකු (මුණසිංහ) විසිනි. එය ඉතාමත් හොඳ සංයෝජනයකින් යුතු වර්ණවත් සාකච්ඡා සභාවක් විය. විදුහල්පතිවරු, ගුරුවරු හා ගුරුවරියෝ සැලකිය යුතු පිරිසක් සහභාගි වූහ. ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක්ද, කතෝලික පියතුමෙක් හා මුස්ලිම් මව්ලවි කෙනෙක්ද සහභාගි වූහ. එම භික්ෂූන් වහන්සේ සභාව අමතා කරන ලද කතාවේදී කුණුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය ආයතන පමණක් නොව සංඝ සාසනයද කුණුවී තිබෙන බව කීවේය. තරුණ භික්ෂූන් වහන්සේ නමක් ඒ හා සමාන කතාවක් මාවනැල්ලේ පැවති සාකච්ඡා සභාවේදී කරන ලද අතර සංඝ සමාජය පිළිබඳ විවේචනයක් නුවර පැවති සාකච්ඡාවකට සහභාගි වූ භික්ෂූන් වහන්සේ කෙනෙකු විසින් කරන ලදි. මේ හා සමාන විවේචනයක් කතෝලික ප්‍රදේශවලදී කතෝලික ශාසනය වෙතද එල්ල විය.
දඹුල්ල සාකච්ඡා සභාව පවත්වන ලද්දේ සන්නස හෝටලයේ ඇති ලස්සන මිදුලකය. හෝටල් හිමිකරු රාවයේ දීර්ඝකාලීන පාඨකයෙකු වන අතර ඔහු සාකච්ඡා සභාවට පැමිණි අයට තේ පැන් සංග්‍රහයක් පිළියෙළ කර තිබුණා පමණක් නොව සාකච්ඡා සභාව අවසන්වීමෙන් පසු එහි ගිය පුනරුදයේ නියෝජිතයන්ට රාත්‍රී ආහාර ද ලබා දුන්නේය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු පිටවී යන අවස්ථාවේදී එම හෝටලය හිමි කුරුප්පු මහතා අපට කීවේ දඹුල්ල අවට වැඩ කරන අවස්ථාවලදී හා දඹුල්ල හරහා යන ගමන්බිමන්වලදී නැවතුම් පහසුකම් සඳහා තමන්ගේ හෝටලය පාවිච්චි කිරීමට මැලි නොවන ලෙසය.
අනුරාධපුරයේ එප්පාවල පැවති සාකච්ඡා සභාවට මා රැගෙන ආවේ කුරුණෑගල දොස්තර සුගත් විසින් ඔහුගේ මෝටර් රථයෙනි. ඔහු මධ්‍යම රාත්‍රියේදී ආපසු සිය මෝටර් රථයෙන් කුරුණෑගල ගිය අතර පසුදින දඹුල්ලේ පැවැත්වෙන සභාව අවසන් කොට එදින රාත්‍රියේදී මා ආපසු කුරුණෑගල දොස්තර සුගත්ගේ නිවසට ඇරලීමේ වගකීම භාරගත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ අනුර කුමාර විසිනි. ඒ ගමන සඳහා අවශ්‍ය මෝටර් රථය ලබාදී තිබුණේ කලාවැව පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමියෙකු ලෙස සැලකිය හැකි විදුහල්පතිවරයෙකු වූ රත්නායක මහතා විසිනි.
25 වැනිදා උදේ පුනරුදය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් හා විකල්ප වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයක නියෝජිත පිරිසක් අතර දීර්ඝ සාකච්ඡාවක් කොළඹදී පවත්වන ලදි. එම සාකච්ඡාවේ අරමුණ වූයේ මෙම ව්‍යාපාර දෙක අතර එක්ව වැඩ කරන තත්ත්වයක් ඇතිකර ගැනීමය.
එදින සවස බම්බලපිටියේදී ලාල් හෑගොඩ විසින් කලාකරුවන් සඳහා සංවිධානය කරන ලද සාකච්ඡා සභාවක් පවත්වන ලදි. එයට ප්‍රකට කලාකරුවන් හා කලාකාරියන් 30 දෙනෙක් පමණ සහභාගි වූහ. එම සාකච්ඡා සභාවේදී සිදුවූ වැදගත් දෙයක් වූයේ ඒ අවස්ථාවේදීම යාපනේ ශාඛාවේ ක්‍රියාකාරී කමිටුවේ සාකච්ඡාවක් යාපනේ පැවති අතර යාපනේ එම සාකච්ඡා සභාව මෙහෙයවමින් සිටි මහාචාර්ය චන්ද්‍රජීව එම සාකච්ඡා සභාවේ සිට ස්කයිප් මගින් කලාකරුවන්ගේ සාකච්ඡාව ඇමතීමය.
ලාල් හෑගොඩ එම වැඩ කටයුතුවල නිරත වී සිටියේ ඔහු සිටි බරපතළ රෝගී තත්ත්වයද නොසලකාය. ඔහු එහිදී කලාකරුවන් අමතා කදිම කතාවක් කරන ලද අතර උතුරේ යුද්ධය පැවති කාලයේදී සිදුවූ මහා සංස්කෘතික මංකොල්ලයක් පිළිබඳවද විග්‍රහයක යෙදුණේය. යුද්ධය පැවති කාලයේදී ගෙවල් දොරවල් අතහැර ගිය දෙමළ ජනයාගේ ගෙවල් දොරවල්වල තිබූ පැරණි දොර ජනෙල් හා වෙනත් පෞරාණික වැදගත්කමක් ඇති ලී භාණ්ඩ කොළඹට එවා විකුණන මහා ජාවාරමක් සිදුවිය. කොළඹ නගරයේ ඉදිකළ ප්‍රභූ ගොඩනැගිලි අලංකාර කිරීම සඳහා එම පෞරාණික භාණ්ඩ යොදාගෙන තිබෙන ආකාරය පහසුවෙන් හඳුනාගත හැකිය.
එදිනම තරමක් රෑ බෝවී නුගේගොඩ පාගොඩ දේවාල පාරේ සමරසිංහ ගුණසේකරගේ නිවසේදීද සාර්ථක සාකච්ඡා සභාවක් පවත්වන ලදි. ගුණසේකර එම සාකච්ඡා සභාවට පැමිණි අයට තේ පැන්වලින් පමණක් නොව රාත්‍රී ආහාරයෙන්ද සංග්‍රහ කළේය. හැම දෙයක්ම මුදලට සිදුකෙරෙන රාජ්‍ය නොවන සංවිධාන ඇති කර තිබෙන සංස්කෘතිය අබිබවා ඉදිරියට යෑමට පුනරුද ව්‍යපාරය සමත් වී තිබෙන්නේයැ’යි කිව හැකිය. රාජ්‍ය නොවන සංවිධාන අතරද තමන්ට ලැබෙන මුදල්වලට සරිලන වැඩ කොටසක් ඉටු කරන සංවිධාන සුළු ගණනක් තිබෙන්නේය. වධහිංසාවන්ට ලක්වන්නන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන ජනසංසදය ඒ අතරින් කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටින්නේයැ’යි කිව හැකිය. විදේශ ආධාර නැතිවත් ජනතාවගේ පරිත්‍යාග මත ලංකාවේ සමාජ ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි බව පුනරුද ව්‍යාපාරය දැනටමත් සනාථ කර තිබෙන්නේයැ’යි කිව හැකිය.
අප සුළු පිරිසක් එකට එකතු වී ලංකාව ගලවා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස නොකරමු. ඒ අරමුණ සාර්ථක කරගත හැකිවනු ඇත්තේ එම වැඩසටහන ලංකාවේ බහුජනයා ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමට හැකිවේ නම් පමණය. ඒ අරමුණ සැබෑ මහජන අරමුණක් වේ නම් මහජනයා සිය ශ්‍රමයෙන් හා බුද්ධියෙන් පමණක් නොව ධනයෙන්ද කැප කිරීම් කළ යුතුය. ලොකු අරමුණක් ජයගැනීමට ඒ සමාන ලොකු උත්සාහයක් තිබිය යුතුය. පුනරුදය ව්‍යාපාරය ගමන් කරමින් සිටිනුයේ එම ඉලක්කය කරාය.

දෘෂ්ටිය උරගා බැලීම
පුනරුද ව්‍යාපාරයට දෘෂ්ටියක් ඇත්තේය. එහෙත් එය පරිපූර්ණ කරගත යුතු දළ දෘෂ්ටියක් මිස පරිපූර්ණ දෘෂ්ටියක් නොවේ. එයට වැඩවසම් අතීතය ගැනද, යටත්විජිත යුගය ගැනද නිදහසින් පසු වර්තමානය දක්වා වන කාලවකවානුව ගැනද විවේචනාත්මක විශ්ලේෂණයක් ඇත්තේය. එසේම ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැනද විවේචනාත්මක විශ්ලේෂණයක් ඇත්තේය.
දැනට ක්‍රියාත්මක වන සාකච්ඡා සභා ක්‍රමය පුනරුද ව්‍යාපාරයේ දෘෂ්ටිය උරගා බැලීමකට ලක් කෙරෙන වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. අපි සිංහලයන් අතරට ගිය විට සිංහල වර්ගවාදය විවේචනය කරන්නෙමු. ඒ ආකාරයට දමිළ හා මුස්ලිම් ජනතාව අතරට ගිය විට දමිළ හා මුස්ලිම් වර්ගවාදයන්ද විවේචනය කරන්නෙමු. සිංහල රාජ්‍ය භාෂා පනත පිළිබඳ මුස්ලිම් ප්‍රවේශය 25 වැනිදා තිහාරියේදී පැවති සාකච්ඡා සභාවේදී මම විවේචනයට ලක් කළෙමි. ඒ අවස්ථාවේදී සිංහල භාෂා ප්‍රතිපත්තියට පක්ෂපාතී ආස්ථානයක් ගැනීම මගින් මුස්ලිම් වර්ග, සිංහල දෙමළ භේදයෙන් අයකු ඵල ප්‍රයෝජන ලබාගන්නා තත්ත්වයකට යෑම මගින් අන්තවාදයක් කරා යන ගමන පෝෂණය කළ බව මම කීවෙමි. එම විවේචනයට ඔවුන් බැරෑරුම් ලෙස සවන් දුන්නා විනා ඒ නිසා ඔවුන් මා සමඟ ගැටුමක් ඇතිකර ගත්තේ නැත. යාපනයේදී හා කිළිනොච්චියේදීද මම දෙමළ අන්තවාදය විවේචනය කළෙමි. සිංහල වර්ගවාදයට ප්‍රතිචාරයක් වශයෙන් අවසානයේ ගන්නා ලද අන්තවාදී ආස්ථානයද රටේ මහා විනාශයක් ඇති කිරීමට හේතුවූ බව මම කියා සිටියෙමි. මාගේ එම විවේචනයට ඔවුන්ද කෝපවූයේ නැත. සිංහල ප්‍රදේශවලට ගොස් කරන සංවාදවලදී මම සිරිතක් වශයෙන් සිංහල වර්ගවාදය විවේචනයට ලක් කරන මුත් මොනම සභාවකවදීවත් ඔවුන් කෝපය හෝ අප්‍රසාදය පළකර නැත. සිංහල හා දෙමළ ජනතාව අතරට ගිය විට සිංහල හා දෙමළ කුල ක්‍රමය විසින් ඇති කර තිබෙන භේදය ගැන එම උස් පහත් භේදයට තිබෙන වැදගත්ම අහෝසි කිරීමේ අවශ්‍යතාව ගැනද සිරිතක් වශයෙන් අපි කතා කරන්නෙමු. සමහර තැන්වලදී එම විෂය උණුසුම් වාද විවාදවලට හේතු වුවත් ඒ ගැන කතා කිරීම මහජන උනන්දුවට මිස අප්‍රසාදයට හේතුවී නැත. පුනරුද ව්‍යාපාරය සමාජයේ පවත්නා විඥානය වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් නොව පවත්නා සමාජ විඥානය මූලවිපර්යාසයකට ලක් කිරීම අරමුණු කරගත් ව්‍යාපාරයකි. ඒ නිසා සමාජයේ පිළිගැනීමට හේතුවී තිබෙන බොහෝ ජනප්‍රිය විශ්වාස ප්‍රශ්න කිරීමට හා විවේචනයට ලක්කිරීමට අපට සිදුවී තිබේ. එහෙත් එම විවේචනයන් මහජන උනන්දුවට මිස මහජන කෝපයට හේතුවී නැත.
මාතලේ පැවති සාකච්ඡා සභාවේදී මුස්ලිම් වෙළෙඳාම ගැන උණුසුම් සංවාදයක් ඇතිවිය. එම සාකච්ඡා සභාවට පැමිණ සිටි අයගෙන් අතිවිශාල බහුතරයක් සිංහලයෝ වූහ. ඊට අතිරේකව එහි සිටියේ මුස්ලිම්වරුන් දෙදෙනකු හා උඩරට දමිළයෙකු පමණය. අප මාතලේට යන අවස්ථාව වන විට සිංහල කඩසාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම අවධාරණය කෙරෙන පෝස්ටර් නගරයේ තාප්පවල අලවා තිබුණි. සිංහල කඩසාප්පුවල ජාතික කොඩිය ඔසවා තිබෙන ආකාරයක්ද දකින්නට ලැබුණි. එය සිංහල අවුරුදු සමයේ සිදුවන වෙළෙඳාම මුස්ලිම් කඩසාප්පුවලට යන්නට ඉඩ නොදී සිංහල කඩ සාප්පුවලට ගැනීමේ අරමුණින් මාතලේ සිංහල වෙළෙඳ සංගමය විසින් පවත්වාගෙන ගිය වැඩටසහනක් බවද පෙනෙන්නට තිබුණි.
මෙම සාකච්ඡා සභාවට පැමිණි එම මතවාදය වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයෙකු මුස්ලිම් වෙළෙඳාම ගැන විවේචනයක් කළේය. ඒ නිසා මට ඒ ගැන සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරන්නට සිදුවිය. විශේෂයෙන්ම නිමි ඇඳුම් සඳහා කෙරෙන තරගයේදී මුස්ලිම් වෙළෙඳුන් සිටිනුයේ සිංහල වෙළෙඳුන් අබිබවා ඉදිරියෙන් සිටින තත්ත්වයකය. එම තත්ත්වය සිංහල වෙළෙඳුන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම කෝපයටද හේතුවී තිබෙන බව දැකිය හැකිය.
වෙළෙඳාම මුස්ලිම් මිනසුන්ගේ ජානගත ලක්ෂණයක් බවත්, අනුරාධපුර යුගයේ සිටම රටේ බාහිර හා අභ්‍යන්තර වෙළෙඳාම තිබුණේ මුස්ලිම්වරුන් අත බවත් සිංහලයන් ආදි කාලයේ සිට බි්‍රතාන්‍ය යුගයේ ආරම්භය දක්වාම වෙළෙඳාම පහත් දෙයක් ලෙස සලකන ලද බවත් මම කියා සිටියෙමි. තවදුරටත් මම එම ප්‍රශ්නය ඔවුන්ට පැහැදිලි කරදීමට උත්සාහ කළෙමි. කිසියම් සුළු ප්‍රමාණයකට හෝ සිංහලයන් වෙළෙඳාමට එකතුවෙමින් සිටියේ ලන්දේසි කාලයේදීය. බි්‍රතාන්‍ය කාලයේදී එම නැඹුරුව තවදුරටත් වර්ධනය විය. බි්‍රතාන්‍ය යුගයේදී මුස්ලිම් වෙළෙඳුන් අරක්කු වෙළෙඳාමට එකතු නොවීම නිසා අරක්කු වෙළෙඳාම බොහෝ දුරට සිංහලයන්ට සීමාවූ වෙළෙඳාමක් බවට පත්විය. එහෙත් අරක්කු වෙළෙඳාම අධික ලෙස ලාභ උපයාගත හැකි වෙළෙඳාමක් වුවත් වෙළෙඳාම ඉගෙනගත හැකි සූක්ෂ්ම වෙළෙඳාමක් නොවීය. බි්‍රතාන්‍ය යුගයේදී හොඳ ලොකු වෙළෙඳුන් හෝ හොඳ සාප්පුකාරයන් බවට පත්වීමේ වාසනාව හිමිකර ගත්තේ සිංහල වෙළෙඳුන් අතුරින් කිහිපදෙනෙකු පමණය. ඒ අතරින් අනගාරික ධර්මපාලතුමාගේ පියා (දොන් කරෝලිස් හේවාවිතාරණ) ප්‍රධාන විය. දීර්ඝකාලීන පළපුරුද්ද නිසා සාර්ථක වෙළෙඳුන් බවට පත්වීමේ ශික්ෂණය හෝ හැකියාව ලංකාවේ වැඩි වශයෙන් තිබුණේ මුස්ලිම්වරුන්ටය.
මුස්ලිම් කඩසාප්පුවකට යන පාරිභෝගිකයෙකු එහි තිබෙන භාණ්ඩ අතපතගාමින් බොහෝ වේලාවක් එහි රැඳී සිට එකම භාණ්ඩයක්වත් මිලදී නොගෙන කඩයෙන් පිටවී ගියද එම පාරිභෝගිකයා මුස්ලිම් වෙළෙඳුන්ගේ කෝපයට හේතුවන්නේ නැත. එහෙත් ඒ දේ සිංහල කඩ සාප්පුවක් තුළ සිදුවුවහොත් එම පාරිභෝගිකයා සිංහල වෙළෙන්දාගේ අප්‍රසාදයට හෝ කෝපයට හේතුවන්නේය. අනෙක් අතට නිමි ඇඳුම් වෙළෙඳාමේදී ප්‍රධාන මුස්ලිම් සාප්පුවල තෝරා ගැනීමට තිබෙන ආයිත්තම් ප්‍රමාණය විශාලය. ඒවායේ තිබෙන නිමි ඇඳුම් හොඳින් පරීක්ෂා කර බැලීමේ අයිතියද පාරිභෝගිකයාට ලබාදෙන ක්‍රමයක් එම සාප්පුවල ක්‍රියාත්මක වේ. බොහෝවිට සිංහල නිමි ඇඳුම් සාප්පුවලට වඩා මුස්ලිම් සාප්පුවල මිල ගණන් අඩුය.
ඒ තත්ත්වය කෙරෙහි මුස්ලිම් ව්‍යාපාරවල බැංකුවලින් පොලියට ලබා ගන්නා ණය ප්‍රාග්ධනය අන්තර්ගත නොවීමේ සාධකයද බලපා තිබේ. සිංහල ව්‍යාපාරවල බැංකුවලින් ලබාගත් ණය ප්‍රාග්ධනයේ අගය ඉහළ මට්ටමක පවතී. ඒ නිසා මුස්ලිම් වෙළෙඳුන්ට සිංහල වෙළෙඳුන්ට වඩා අඩු මිල ගණන්වලට භාණ්ඩ විකිණීමේ හැකියාව ලැබී තිබෙන්නේයැ’යි කිව හැකිය. සිංහල වෙළෙඳුන් එම තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ වෛරය වැපිරීමෙන් නොව ව්‍යාපාර සඳහා බැංකුවලින් පොලියට ණය ලබාගන්නා ක්‍රමයෙන් අත්මිදීමෙනි. වෛරය වැපිරීමෙන් සිදුවිය හැක්කේ කලකෝලාහල ඇතිවීමෙන් වෙළෙඳාම කඩා වැටීමෙනි. එවැනි සිද්ධීන් පොදුවේ ලංකාවේ ආර්ථිකය කෙරෙහි විනාශකාරී ලෙස බලපායි. සිංහල වෙළෙඳුන් තමන්ගේ ව්‍යාපාර කොටස් වෙළෙඳපොළට සම්බන්ධ නවීන වෙළෙඳ සමාගම් බවට පත් කළ යුතුය. එසේ වූ විට ණයකර නිකුත් කිරීමේ අයිතිය එම සමාගම්වට ලැබෙන අතර එවිට ණයකර නිකුත් කොට පොලී රහිතව
වෙළෙඳාමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගැනීමේ පුළුවන්කම ලැබෙන්නේය.
එවිට සිංහල වෙළෙඳුන්ටද ආත්ම විශ්වාසයකින් යුතුව හරි හරියට මුස්ලිම් වෙළෙඳුන් සමඟ තරග කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත්, ඒ හැකියාව ලබනවාට අතිරේකව මුස්ලිම් වෙළෙඳුන් අතර තිබෙන වෙළෙඳ ශික්ෂණය සිංහල වෙළෙඳුන් ප්‍රගුණ කළ යුතු බවත් මම කීවෙමි. මුස්ලිම් වෙළෙඳාම ගැන මගෙන් ප්‍රශ්න කළ පුද්ගලයා සේ ම සභාවද මා ඉදිරිපත් කළ අදහස් සමඟ එකඟ වූ බවත් පෙනෙන්නට තිබුණි.
ග්‍රාමීය ගොවි ප්‍රදේශවල පවත්වන සාකච්ඡා සභාවලදී වස විස නැති ගොවිතැන නාමයෙන් පවත්වාගෙන යන ප්‍රතිපත්තියකට, හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂි රසායන ද්‍රව්‍යවල ප්‍රතිඵලයක්ය කියන වැරදි අදහසද බවභෝග වනසතුන්ට කන්නට ඉඩහැර ගොවීන් වෙනුවට වන සතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියද අපි විවේචනයට ලක් කරන්නෙමු. එම විවේචනයන්ට මහජනයාගෙන් ලැබී තිබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් මිස අයහපත් ප්‍රතිචාර නොවේ. පුනරුද ව්‍යාපාරය රට පුරා විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන සාකච්ඡා ආශ්‍රයෙන් කරමින් සිටින සංවාදය යල්පැන ගිය සාම්ප්‍රදායික මතවාදයන්ට එරෙහිව නව මානයකින් කරන සංවාදයක් ලෙස සැලකිය හැකිවා සේ ම එම සංවාදය පුනරුද ව්‍යාපාරයේ දෘෂ්ටිය මහජනයා නමැති උරගලය මත තබා කෙරෙන උරගා බැලීමක් ලෙසද සැලකිය හැකිය. එය පුනරුද ව්‍යාපාරයේ අරටුව හෝ අත්තිවාරම ගොඩනගා ගැනීමට දරන උත්සාහයකට අතිරේකව කැබලි වී තිබෙන ජාතිය ඒකරාශී කොට ජාතිය ගොඩනගා ගැනීමට දරන බලවත් උත්සාහයක් ලෙසද සැලකිය හැකිය.■