රාවය

බෙරේ පලුවකුත් නැති උපවාසය

බෙරේ පලුවකුත් නැති උපවාසය

තමාගේ ම වුවමනාවට කිසිවකු නොකා නොබී මැරෙන්නට හදනවා නම්, අන් අයට කළ හැකි දෙයක් නැත. ඔහු මැරෙන්නට හදන්නේ තමාගෙන් අන් අයට, සමාජයට තවදුරටත් සිදුවිය හැකි යමක් නැති බවට සාධාරණ කල්පනාවක් තමාට ම ඇතිවීම මත විය හැකි ය.
අයිතිවාසිකම් දෘෂ්ටියෙන් නූතන සමාජයේ පිළිගැනීම නම්, මිනිසුන් මැරෙන්නට හදන්නේ, සමාජයේ බලපෑම නිසා බව ය. එවැන්නන්ට මැරෙන්නට අයිතියක් තිබෙනවා මෙන් ම, මැරෙන්නට හේතු සැපයූ සමාජය එහි වගකීම භාර ගත යුතු බව ය. එහෙත්, මේ පර්යායන් දෙකටම අයත් නොවන නොකා නොබී මිය යෑමක් වූ කලි සම්පූර්ණයෙන් ම විගඩමකි. ඒ කියන්නේ ඒ මරණයට සමාජ බලපෑමක් නැත. ඒ නිසා සමාජය ඒ මරණයේ වගකීම භාර ගත යුතු ද නැත.
දින නවයකට පසු අවසන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය ද ගැනෙන්නේ ඉහත කී විගඩම් ගණයට ය. ඔහුට නොකා නොබී ඉන්නට කිසි ම සාධාරණ හේතුවක් නැත. ඇත්ත වශයෙන් ම ඔහු උපවාස කළේ ඇයි ද යන්න හරියට කිසිවෙක් නොදනිති. විමල් වීරවංශ මහතා කියා තිබුණේ, අධිකරණය දේශපාලන මෙහෙයවීම මත තමාට ඇප නොදෙන නිසා උපවාසයක් කළ බව ය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ඔහුගේ අයිතිවාසිකම් කඩකිරීම නිසා ඔහු උපවාස කළ බව ය. තවත් සමහරුන් කියන්නේ, දේශද්‍රෝහී ආණ්ඩුවෙන් රට ගලවා ගැනීම සඳහා ඔහු උපවාස කළ බව ය.
ඇප නොදී තමා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු උපවාස කළේ නම් ඊට වඩා බොරුවක්, වැරදි ආදර්ශයක් තවත් නැත. ඇප දීම හෝ නොදීම ගැන අධිකරණය තීරණය කරන්නේ සැකකරුවන් කරන උපවාස මත නොවේ. අධිකරණයට ඉදිරිපත් වී ඇති කරුණු මත ය. ඇප ලබා ගැනීමට නම්, ඔහු කළ යුත්තේ, දක්‍ෂ නීතිඥවරයකු මාර්ගයෙන්, නීතිය යටතේ ඇප ලබා ගැනීමට තමාට ඇති හේතු අධිකරණයට පැහැදිලි කර දීම ය. නීතිඥයන් පලවා හැර, විත්ති කූඩුවට නැගී තමා ම පහත් ප්‍රසිද්ධිය අරමුණු කර ගෙන හිස් දේශන පැවැත්වීම ඇප දීමට හේතුවක් නොවේ. පොදු දේපළ පනත යටතේ ඔහුට චෝදනා නගා ඇති නිසා, ඇප ලබා ගත හැක්කේ ද සුවිශේෂ හේතුවක් මත පමණ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට සේවය කරන්නට තිබෙන අවස්ථාව රක්‍ෂිත බන්ධනාගාරයේ තැබීම නිසා නැති වන්නේයැ’යි වීරවංශ මහතා අධිකරණයට දක්වා ඇති හේතුව සුවිශේෂ හේතුවක් නොවේ. අහවලාට අහවල් අවස්ථාවේ දී ඇප දුන්නා නම්, මට දෙන්නට බැරි ද යන ප්‍රශ්නය ද නීතියේ දී කිසි ම බලයක් නැති ප්‍රශ්නයකි. උදාහරණයක් හැටියට වීරවංශ මහතා දක්වන්නේ අලි හොරකමක් ගැන චෝදනා ලත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප දීමේ අවස්ථාව ය. එය ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නීතියත් අධිකරණයත් වැරදි ලෙස නම්මා ගෙන කළ ඇප දීමකි. එය රටේ ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වූ වැරදි ආදර්ශයකි. ඒ වැරදි ආදර්ශය මත තමාටත් ඇප දෙන්නටයැයි කීම නම් ඊටත් වඩා වරදකි.
මගේ වරද ම කළ අහවල් හොරුන් අල්ලන්නේ නැති ව මා විතරක් අල්ලන්නේ ඇයි ද යන ප්‍රශ්නය ද නිෂ්ප්‍රයෝජන ය. තවත් හොරු සිටිත් නම් ඔවුන් අල්ලා නොගැනීම පොලිසියේ වරදකි. පක්‍ෂපාතී වීමකි. එහෙත්, ඒ හොරුන් අල්ලන්නේ නැති නිසා මා ද නිදහස් කළ යුතුයැ’යි කීම විහිළුවකි.
වීරවංශ මහතාගේ උපවාසයට කිසිම සදාචාර අර්ථයක් නැත. ඔහු සැකකරුවකු ව සිටින්නේ රටේ මහජන දේපළ වන රජයේ වාහනවලට, මහජනතාවගේ මුදලින් ඉන්ධන පුරවා, තමාගේ පවුලේ උදවියටත්, රාවණා බලයේ අන්තවාදී භික්‍ෂූන්ටත්, හිතවත් කලාකරුවන්ට හා ජාතික පුවත්පත්වල නියෝජ්‍ය කර්තෘවරුන්ටත් පෞද්ගලික පාවිච්චිය සඳහා දීම නිසා ය. එය ජාතික අපරාධයකි. ජාතික අපරාධයක සැකකරුවකු තමා නිදහස් කරන්නටයැයි උපවාස කිරීම නිසාවෙන් මුදා හළ හොත්, හෙටානිද්දා අනෙක් සියලුම අපරාධකරුවන් ඇප ලබා ගැනීම සඳහා උපවාස ආරම්භ කරනු ඇත.
උපවාසය හා සිය දිවි නසා ගැනීම අද වන විට යල් පැන ගිය ගර්හිත විලාසිතාවකි. එනමුත්, ලෝක ඉතිහාසයේ උපවාස, සිය දිවි නසාගැනීම් කොතෙකුත් සිදු ව තිබේ. ඒවාට අර්ථයක් එන්නේ, තමා ජීවත් වන සමාජයේ වැදගත් හා යහපත් වෙනසක් කිරීමට ඒවා කෙතරම් හේතු වී තිබෙන්නේ ද යන්න මත ය. වීරවංශ මහතාගේ උපවාසය ඒ මිනුම් දණ්ඩෙන් ද අසමත් ය. දවස් නවයකට පසුව ගහපු පදේකුත් නැති බෙරේ පලුවකුත් නැති ආකාරයෙන් එය අවසන් වුණේ එනිසා ය. ■