මැයි දිනයේ පෙන්වන කෘත්‍රිම ජනබලයේ තේරුම කුමක්ද?

මහාචාර්ය සරත් විජේසූරිය

කම්කරු පන්තියේ දේශපාලන උරුමයක් ලෙස සැලකෙන මැයි දිනය, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක බලහත්කාරයෙන් සින්නක්කර අයිතියට පවරා ගෙන තිබෙන අන්දම අසෝභනය. ඒ තත්වය අතිශයින් ශෝචනීය ද වේ. ලංකාවේ වාමංශික පක්ෂ දුර්වල කිරීමට කලකට පෙර ගත් දේශපාලන ක්‍රියාදාමයේ අංශයක් ලෙස මේ කටයුත්ත සැලකිය හැකිය.
මැයි දිනයේ වර්ණය රතුය. රතු වර්ණය යටපත් කරගෙන කොළ පාට හා නිල් පාට මතුවීම උත්ප්‍රාසනීය කටයුත්තකි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මැයි දිනය දේශපාලන බලය විදහා පෑමේ සංදර්ශනයක් බවට පත් කර තිබෙන්නේ විශාල ධනයක් වැය කරමිනි. මේ කටයුත්තට සෑහෙන ඉතිහාසයක් ඇත. මැයි දිනයට මුවාවී රාජ්‍ය බලය ද ඉවහල් කරගෙන ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට පෙන්වන ලද ජන බලය සත්‍ය වශයෙන්ම කෘත්‍රිමය.
රාජ්‍ය බලය හිමි පක්ෂය, මැයි දිනයේ දී තමන් සතු බලය වඩාත් හොඳින් විදහා දක්වයි. රජයේ ජන මාධ්‍ය ද ඒ සඳහා යොදා ගනියි. වාමාංශික පක්ෂ මැයි දිනය පැවැත්වීම සෑහෙන කාලයක් තිස්සේ සිදු කළේ පක්ෂයට කැපවුණ කම්කරු නායකයන් හා ඒ නායකයන් වටා ඒකරාශී වුණ ජනතාව එකතු කර ගනිමිනි. සාමාජිකයන් මැයි දින සැමරුමට පැමිණියේ කැමැත්තෙනි. එහි කිසියම් නිර්ව්‍යාජ ජන බලයකි තිබුණේ. එය දුර්වල කිරීම සඳහා, ගමන් පහසුකම්වලට අමතරව, බත් පැකට්, මත් පැන් ලබා දීම පටන් ගත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. ඒ අනුව අගනුවරට හෝ මැයි රැළිය පවත්වන කවර පළාතකට හෝ ජනතාව යන්නට පෙළඹෙන්නේ විනෝද චාරිකාවකට සහභාගිවන අන්දමටය. ඒ ඔස්සේ සිදු වුණ අනර්ථය නම් මැයි දිනය තුළ වූ දේශපාලනික අනුප්‍රාණය වියැකී යාමය.

කළ යුත්ත හා නොකළ යුත්ත
ප්‍රධාන පක්ෂ දෙකට අද මැයි දිනය අත් හරින්නට නොහැකි තත්වයක් ද සැබවින්ම ඇත. ඊට හේතුව අන් කිසිවක් නොව, බලය වෙනුවෙන් දැන දැනම නොකළ යුතු දෑ කරන්නට පක්ෂ දෙකටම සිදුව තිබෙන බැවිනි. ප්‍රධාන පක්ෂ දෙකෙන් එක පක්ෂයක් රාජ්‍ය බලය පරිහරණය කළ තත්වයට වඩා වෙනස් තත්වයක් අද දක්නට තිබේ. අද ප්‍රධාන පක්ෂ දෙකටම රාජ්‍ය බලය කවර කටයුත්තක්ට වුව භාවිත කළ හැකිය. මේ නිසා රාජ්‍ය ධනය හා රාජ්‍ය දේපළ නිල වශයෙන් අවභාවිත කිරීමක් සිදු වේ. එය සුළු කොට තැකිය නොහැකි වරදකි. රජයේ මුදල් හෝ දේපළ කිසිම දේකට භාවිත නොකරන බවට ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් මොන අන්දමකින් පවසා සිටිය ද එය ඇත්ත නොවේ. මැයි දිනය වෙනුවෙන් කවුරුන් හෝ වියදම් කළ යුතුය. බස් රථවලට ගෙවිය යුතුය. කෑම බීම සහ මත්පැන් සැපයිය යුතුය. ටී ෂර්ට් සහ කැප් තොප්පි ලබා දිය යුතුය. මේ කිසිවක් ඕපපාතිකව පහළ වන්නේ නැත. ඒවාට ව්‍යාපාරිකයන්ගෙන් හා පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන්ගෙන් මුදල් ලබා ගත යුතු වේ. ඉක්බිතිව සිදු වන්නේ කුමක් ද? ඔවුන් පක්ෂයට වැය කළ මුදල් හම්බ කර ගැනීමට අවස්ථාවන් පාදා දිය යුතු වේ. රාජ්‍ය මටට්මෙන් දූෂණය උපදින්නේ මේ ආකාරයෙනි. අද රට කළඹවා තිබෙන මහ බැංකුවේ සිදුවුණ බැඳුම්කර වංචාව විවෘතව විභාග කර බලන විට ඊට අදාළ සත්‍යය පවතින්නේ ද මෙවැනි සංදර්භයකය.

වැඩ කරන පන්තියේ ඉරණම
වැඩ කරන පන්තිය වෙනුවෙන් ඔවුන්ගේ නායකයන් හැමදාම ඉල්ලා සිටි වැදගත් ඉල්ලීමක් වූයේ පොදු ජනතාවගේ ජීවන වියදම අඩු කරන ප්‍රතිපත්ති සැලසුම් කොට ඒවා ක්‍රියාත්මක කරන්න යන්නය. ශ්‍රමය වැය කරන ජනතාව අතර විශාල ප්‍රමාණයක් නිශ්චිත වැටුපකට අදත් හිමකම් කියන්නේ නැත. ඔවුන්ට ඊපීඑෆ්, ඊටීඑෆ් නැත. ඔවුන් එකම තැනක වැඩ කළත් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟීමට ද අසමත්ය. කම්කරු නීතිවලට පිටු පා වැඩ ගන්නා ආයතන රට තුළ අප්‍රමාණය. මේ පිරිස වෙනුවෙන් නායකයන් හැමදාම ඉල්ලා සිටි දේ වන්නේ ජීවන වියදම අඩු කරන්න යන ඉල්ලීමය.
රටේ ජීවන වියදම අඩු කිරීම අදාළ වන්නේ එක් සමාජ තීරුවකට නොවේ. එය පොදු මහත් රට වැසියන්ටම අදාළය. වැටුප් වැඩි කිරීම අදාළ වන්නේ වැඩ කරන ජනතාවගෙන් සීමිත පිරිසකටය. එබැවින් ප්‍රධාන පක්ෂ දෙක පොදු ජනතාව වෙනුවෙන් කළ යුතු දේ වන්නේ ජීවන වියදම වැඩි කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමය. ඒවා ක්‍රියාත්මක කිරීමට කැපවීමය. ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම වෙනුවෙන් කැප නොවන ආණ්ඩුවක් මැයි දිනය සැමරීම හාස්‍යජනකය. පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හාස්‍ය ජනකය. මැයි දිනයට දුප්පත් මිනිසුන් නොමනා කටයුතු එස්සේ එක් රැස් කොට පෙන්වන කෘත්‍රිම බලය තුළ තිබෙන විකෘතිය ද පාලකයන් වටහා ගත යුතුය.

ප්‍රධාන පක්ෂ දෙක සතු වගකීම
අද දවසේ ප්‍රධාන පක්ෂ දෙක වෙත පැවරී තිබෙන ප්‍රධානතම වගකීම වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ජනතාවට නිසි අධ්‍යාපනයක් ලබා දීමය. ජනවාරි 08 වෙනිදා අලුත් වෙනසකට වරමක් ලබා ගත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන බවට ප්‍රතිඥා ලබා දෙමිනි. ඒ අනුව අදත් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කොට සම්මත කරන බව පැවසේ. ඒ සඳහා වරින් වර ලබා දෙන ප්‍රතිඥාවන් ද ඇත. එහෙත් ඒ වෙනුවෙන් මහ පොළොවේ කෙරෙන කටයුත්තක් නැත.
අලුත් ව්‍යවස්ථාවක් සම්මත කළ යුත්තේ ජනමතවිචාරණයකට මුහුණ දීමෙන්ය. ඒ වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙක සිදු කර තිබෙන්නේ මොනවා ද? සිදු කිරීමට අපේක්ෂා කරන්නේ මොනවා ද? ඒ සම්බන්ධව ප්‍රධාන පක්ෂ දෙකට අත් හැරිය නොහැකි විශාල වගකීමක් ඇත.
අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ බලවේග ජාතිවාදය වපුරවමින් නිශ්චිත අරමුණක් ඇතිව සංවිධානාත්මකව වැඩ කරන අන්දම පැහැදිලිය. ආණ්ඩුව කිසිවක්ම නොකර ඒ දෙස බලා සිටින තත්වයකි පෙනී යන්නේ. මෙහි අවසානය කුමක් ද?
අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම හා එය සම්මත කිරීම අතිසරල කටයුත්තක් නොවන්නේය. කොතරම් ප්‍රශස්ත මට්ටමකින් ව්‍යවස්ථාවක් නිර්මාණය කළ ද ජනමතවිචාරණයකට ඉදිරිපත් කොට ඒ සඳහා අවශ්‍ය ජන වරමක් ලබා ගැනීම ද සරල කටයුත්තක් නොවේ. මේ වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙක එක වේදකාවක් තුළ පෙනී සිටිමින් ජනතාවට නිසි දැනුමක් හා අවබෝධයක් ලබා දිය යුතුමය. ඒ වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙක එකතුව නිසි න්‍යාය පත්‍රයක් මේ වනතුරුද සකස් කර නැත.
මැයි දිනය මුල් කරගෙන විශාල සෙනඟක් රැස් කර, කෘත්‍රිම ජනබලයක් පෙන්වා ව්‍යාජ සතුටක් භුක්ති විඳිනවාට වඩා ඒ ඔස්සේ තමන්ගේ දේශපාලන පක්ෂ ගොඩ නැඟීම කියන කාරණයට බර තබනවාට වඩා, රට ගොඩ නැඟීම කියන කාරණයට ප්‍රධාන පක්ෂ දෙක වගකීමෙන් හා අවංකව මුහුණ දීම කළ යුතුමය.

රටේ අනාගතය
2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයා තමන්ට ලැබුණ ජන වරමට ගෞරවනීය අන්දමින් ගතවූ කාලය තුළ රාජ්‍ය පාලනයේ නිමග්නවී සිටින්නේ ද? මේ ප්‍රශ්නයට සාධනීය පිළිතුරක් ලබා ගැනීමට නම් සලකා බැලිය යුතු කාරණාව වන්නේ, ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන්, පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටි බලවේග තවමත් ඔහු සමඟ සිටින්නේ ද යන්න විමසා බැලීමය.
ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් වැදගත් උරුමක්කාරයන් අද බොහෝ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන බලවේගවල හා, සමාජ මාධ්‍ය ජාලාවල මත ගොඩනඟන්නන්ගේ fදා්ෂ දර්ශනයට ලක් වන්නේ සිවිල් සමාජයයි. අද වන විට සිවිල් සමාජය එන්ජීඕකාරයන් ලෙසට හංවඩු ගැසීමක් ද කර ඇත. ඊටත් වඩා නරක චෝදනාව වන්නේ බටහිර රටවල්වලින් ලැබුණ ඩොලර් ලබා ගෙන මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට පියවර ගත්තේය යන්නයි. තවමත් ජනාධිපතිවරයා මේ fදා්ෂාරෝපණ සිවිල් සමාජයට එල්ල කර නැත. එන්ජීඕකාරයන් කියන විදිහට ආණ්ඩු නොකරන බව නම් පවසා ඇත. සිවිල් සමාජය පැරණි පාලනයේ බලවතුන්ගෙන් ද අලුත් පාලනයේ බලවතුන්ගෙන් ද ගුටි කන තත්වයකි විiමාන වන්නේ. අපි එය අමතක කරමු.
දැන් රටේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙමින් තිබේ. ඒ කුමක් ද? ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වුණ පසුව එතුමා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ ද? නැද්ද? යන්න ඒ ප්‍රශ්නයයි.
ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් උර නොදුන් එහෙත් මේ වන විට ජනාධිපතිවරයාට සමීපව සිටින ශ්‍රීලනිපයේ භවතුන් පවසන්නේ නිසැකවම ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන බවයි. ඉන් ගම්‍ය වන වැදගත් අදහසක් වන්නේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය නොවන්නේය යන්නයි. ඊළඟට සලකා බැලිය යුතු ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් යළිත් ජන වරමක් ලැබේ ද යන්නයි. මේ ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙන න්‍යායවාදියෙකු පවසා තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ එකතු වෙන බවයි. ඒ අනුව ජනාධිපතිවරයාට ජයග්‍රහණය කළ හැකිය. එය එසේ සිදුවේ ද? ඔහු ඊට පිළිතුරු දී තිබෙන්නේ, 2016 ගාල්ලේ මැයි රැළිය පක්ෂයේ බලය ජනාධිපතිවරයා සමඟ බව ඔප්පු කළ බවත්, 2017 මැයි රැළිය ජයග්‍රහණය මැනවින් තහවුරු කරන බවත්ය. මැයි රැළිය ඔස්සේ ජනාධිපතිවරයා යළි ජනාධිපති පදවියට පත් වන බවට අනාවැකි කියන්නේ නම්, සුමනදාසගේ අනාවැකි ඊට වඩා වැදගත් යයි සිතමි. මහින්ද රාජපක්ෂව ගෙදර යැවූ මොළකාරයන් ජනාධිපතිවරයාට අටවා තිබෙන්නේ උගුලකැයි සිතේ.
ජනාධිපතිවරයා අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාවට අධ්‍යාපනයක් ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් කිසිවක්ම නොකරන බවය පෙනී යන්නේ. එහෙත් එතුමන් මැයි රැළියක් පැවැත්වීම වෙනුවෙන් ලොකු උනන්දුවකින් කටයුතු සංවිධානය කරන බව පෙනේ. දැන් අවධානය යොමු කළ යුතු වන්නේ නිසැකවම යළිත් ජනාධිපතිවරණයක් පැවැත්වීමක් සිදු වන්නේ නම් ප්‍රතිඵලය කුමක් විය හැකි ද යන කාරණයටයි.
2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණ එජාපයේ ඡන්ද පදනම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයක දී හිමි වන්නේ නැත. මේ වන විට මහ පොළොවේ සත්‍යය නම්, ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ මෙන්ම එජාපයේ ද අප්‍රසාදයට ලක් වූ නායකයෙකු වී සිටීමය. පක්ෂ දෙකටම අදාළ පුද්ගලයන් පවසන්නේ විශ්වාසය බිඳ දැමීම බරපතළ අන්දමට සිදු කර තිබෙන බවය.
ජනාධිපතිවරයා මේ වන විට සිවිල් සමාජය ද යම් අන්දමකට නන්නත්තාර කොට ඇත. ජනවාරි 08 වෙනිදා ප්‍රතිඥා ඉටු කිරීමට අසමත්වීම මත සිවිල් සමාජයේ සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයක දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබේවිද යන්න තීරණාත්මකය. අලුතෙන් හදන්නට උත්සාහ කරන සිවිල් බලවේගය නිසැකවම දියාරු වන්නේය. ජන විඥානයට බලපෑමක් කිරීමට හැකි රාජ්‍ය නොවන සංවිධාන සම්පූර්ණයෙන්ම ඒ වන විට ජනාධිපතිවරයා සමඟ විරසක වී සිටිනු ඇත.
අගමැතිවරයාගේ තත්වය කෙසේ ද? ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණොත් එජාපයෙන් තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කරනු ඇත. එසේ වුවහොත් එය වත්මන් ජනාධිපතිවරයාට වාසි සහගත වන්නට පුළුවන. ඊට මුල් වන්නේ අගමැතිවරයා ඒ වන විට තවදුරටත් අසාර්ථක නායකයෙකු වී සිටින්නට තිබෙන ඉඩ කඩ වැඩි බැවිනි.
ජනවාරි 08 වෙනසට දායක වුණ බලවේග මේ අවකාශය තුළ යළිත් ප්‍රාර්ථනා කරන්නේ පොදු අපේක්ෂකයෙකු විය හැකිය. එය වැළැක්වීමට නොහැකිය. එසේ වූ විට අන්තිම මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ පොදු අපේක්ෂකයාට සහයෝගය දීම හැර වෙනත් විකල්පයක් නැත. එසේ වුවහොත් තත්වය වඩාත් බරපතළ වන්නේ ජනාධිපතිවරයා සම්බන්ධවය. කටයුතු සිදු වෙන අන්දමට පෙනී යන්නේ ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන තත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ ද දේශපාලන ඉරණම නිසැකවම කනගාටුදායක අන්දමට තීරණය වන බවය.

විසඳුම කුමක් ද?
රටේ අනාගත සුබ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වන්නේ තිරසර දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පමණි. ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් මුළු වෙර යොදා මැයි දින රැළි පවත්වා කෘත්‍රිම ජන බලයක් දැක ස්වයංතෘප්ත වීම මොන අන්දමකටවත් ප්‍රඥාගෝචර කටයුත්තක් නොවේ. හෙට දවස වෙනුවෙන් ජන මතය හැසිරෙන අන්දම සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම මඟින් තීන්දු කළ නොහැකිය. රටේ නායකයන් දෙදෙනාම අවංකව පිළිගත යුත්තේ මෙතෙක් වෙන් වෙන්ව කළ සටන් අසාර්ථක බවයි. රට වෙනුවෙන් දෙදෙනාටම යළි හිතා බැලීමට කාලයක් ඇත. ඒ අවස්ථාව අපතේ හැරියොත් ඉන් සිදු වන්නේ රට අරාජික වීමකි. පසුගියදා මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පවත්වන ලද දේශනය මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. රුසියන් විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් පැවත්වූ ඒ දේශනය එතුමා අවසන් කළේ මෙසේය.
“……ලංකාවේ ඇත්තේ ප්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය ව්‍යුහයකි………මහජන නියෝජිතයන්ට ඒ සඳහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නමැති අවකාශය තුළ එකඟවිය නොහැකි නම්, එයින් කියැවෙන්නේ කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ වගකීම මහ ජනතාව වෙත පැවරිය යුතුය යන්නයි. වෘත්තීය දේශපාලනඥයින් වන මහජන නියෝජිතයන් ඉටු කිරීමට අකමැති සහ ප්‍රතික්ෂේප කරන කාර්යය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලයේ උල්පත වන මහ ජනතාව වෙතට භාර දීමයි. “ජනමතවිචාරණය” අන් කවරදාටත් වඩා අද ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන්නේ එබැවිනි. තමන්ට ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට රටේ මහජනතාවට අවස්ථාව ලබාදීම අත්‍යන්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි……”
ජනවාරි 08 වෙනිදා අපේක්ෂා සහ මුළින්ම බොඳවී නොයාමට මෙන්ම, යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් නීති ගරුක පුරවැසියන්ට සුබ සිහිනයක් දැකීමට හැකි වන්නේ විකෘතව තිබෙන රාජ්‍ය යන්ත්‍රණය ගොඩනැඟීිමට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් ඔස්සේ පමණි. නායකයන් දෙදෙනා තමන්ගේ අනාගතය වෙනුවෙන් කෘත්‍රිම ජන බලයක් දැකීමේ මානසිකත්වයෙන් වියුක්තව දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා නිර්භීත කැපවීමක් කළහොත් ජනතාව රටේ නායකත්වය භාර දෙන්නට වඩාත් සුදුසුකම් තිබෙන චරිතය හඳුනා ගනු නිසැකය.■