Saturday, 19/8/2017 | 5:30 UTC+0
රාවය

ජිනීවා ආ අද්මිරාල් සරත් වීරසේකරට සැලියුට් එකක්!

අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා පටන්ගනිමි.
වීරසේකර පැමිණියේ අඬබෙර ගසාගෙනය. ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හඳුන්වන ලද්දේ රාජපක්ෂගේ සොල්දාදුවන් වැඩ පෙන්වීමට ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණනෙ බවට හෑලි ලියමිනි. ජිනීවාහිදී අද්මිරාල් වීරසේකගේ බච්චා කොලුවා ලෙස හැසිරුණූ දිවයින පුවත්පතෙහි යුද විශේෂඥ කීර්ති වර්ණකුලසූරිය ලියා තිබුණේ විරසේකර පැමිණෙන්නේ සරවනමුත්තුට පිළිතුරු දීමට බවයි.
ඔහු රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවද එම රාජපක්ෂවාදී ජනමාධ්‍යකරුවන් විසින්ම ප්‍රසිද්ධ කරන ලදි. මේ වාර්තා මගින් තවදුරටත් කියාතිබුණේ වීරසේකර පැමිණෙන්නේ මහකොමසාරිස් සෙයිඞ් හමුවී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක්ද පිළිගැන්වීමට බවයි.
වීරසේකරට ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත පැමිණීමට අපට මෙන්ම අයිතියක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ලියාපදිංචි සංවිධානයක් නියෝජනය කරමින් සමාන්තර රැස්වීම් පැවැත්වීමටත් මානව හිමිකම් මණ්ඩලය ඇමැතීමටත් අයිතියක් තිබේ. එම අයිතිය වෙනුවෙන් අපි පෙනීසිටිමු.
කාරණය එය නොවේ. ජිනීවා පැමිණි වීරසේකර දැන් රාජපක්ෂවාදින්ගේ වීරයකු ලෙස පින්තාරු කර තිබීමයි. ඇත්ත වශයෙන්ම ඔහු වීර ක්‍රියාවක් කළේය. එනම් රාජපක්ෂවාදීන් විසින් මේ තාක් අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් ලෙස හඳුන්වාදෙමින් තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවේ ‘රණවිරුවන්’ සුද්ධකර දෙන ලෙස ඉල්ලීමක් කිරීමයි.
එංගලන්තයේ පිහිටි අන්තර්ජාතික බෞද්ධ සංගමය නම් රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මානව හිමිකම් මණ්ඩලය ඇමැතූ වීරසේකර කියාසිටියේ මෙයයි: ශ්‍රී ලංකාවේ යුද හමුදාව යුද අපරාධ කර නැත. යුද අපරාධ කරන ලද්දේ එල්ටීටීඊය විසිනි. එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ට දොස් සහිත චෝදනා එල්ලකරන මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ 2014 ශ්‍රී ලංකා වාර්තාව ක්‍රියාවට නැංවීම නතරකොට ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කළ යුතුය.
මහකොමසාරිස්වරයාගේ වාර්තාව ක්‍රියාවට නැංවීමට ජිනීවා මානව හිමිකම් මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නැත. ඔහු ඉල්ලා සිටියේ නොකෙරෙන දෙයක් නතර කරන ලෙසය.
තම මත දැක්වීම හැරුණ විට වීරසේකර මානව හිමිකම් මණ්ඩලයෙන් කළේ එකම ඉල්ලීමකි. එනම් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කළ යුතු බවයි. මෙම යෝජනාව අප සැලකිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙසය. මන්ද යත් මේ තාක් වීරසේකරගේ යෝජනාවට තමන් සම්බන්ධ නැතැයි රාජපක්ෂ කියා නැති නිසාය.
එම යෝජනාව සමඟ මමද එකඟවෙමි. මන්ද යත් එවැනි විශේෂ නියෝජිතයකු පත්කළ විට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවට පැමිණ අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවශ්‍ය ගවේෂණ සිදුකර යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගත හැකි නිසාය.
තනි තනි රටවලට අදාළව විශේෂ නියෝජිතයන් ගණනාවක්ම මෑත වසරවල මානව හිමිකම් මණ්ඩලය විසින් පත්කරන ලදි. අප දන්නා මර්සුකි දරුස්මාන් කාම්බෝජය පිළිබඳ විශේෂ නියෝජිතයා විය. විශේෂ නියෝජිතයන් පත්කරන ලද එවැනි රටවල් කිහිපයක් නම් සෝමාලියාව, මියන්මාරය, සූඩානය, උතුරු කොරියාව, හයිටිය, ඉරිත්‍රියාව යනාදියයි.
මෙම රටවල නාමාවලිය දෙස බැලීමෙන්ම පෙනීයන්නේ මෙවැනි නියෝජිතයන් පත්කරනු ලබන්නේ ඉතා දරුණු මානව හිමිකම් කෙළෙසීම් වාර්තාවූ රටවලට බවය. දැන් ඒකාබද්ධ විපක්ෂ නියෝජිත වීරසේකරද ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇත්තේ එම රටවල් ගොන්නටය.
රාජපක්ෂවාදී පිරිස් අප වැනි අයට රාජද්‍රෝහී ලේබලය ඇලවීමට උත්සාහ කරන ලද්දේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙසටත් යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙලෙසීම් පරීක්ෂා කළයුතු බවටත් මානව හිමිකම් මණ්ඩලය හමුවෙහි ප්‍රකාශ කරන ලද නිසාය. දැන් රාජපක්ෂ නියෝජිත වීරසේකර කර ඇත්තේ ඊට බොහෝ දුරදිග යන යෝජනාවකි. එනම් ශ්‍රී ලංකාවෙහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසයි.
පරීක්ෂා කළ යුතු බවට වීරසේකර සඳහන් කරන මහකොමාසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව දීර්ඝ සහ විස්තරාත්මක එකකි. එහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධ දීර්ඝ විස්තර සඳහන්ය. එක් උදාහරණයක් නම් සුදුකොඩි සිදුවීමයි. ඊට අදාළව එවකට ජනාධිපතිවූ රාජපක්ෂ විසින් දෙන ලද පොරොන්දු සහ එවකට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ රාජපක්ෂ නියෝජිතයාවූ පාලිත කොහොන යනාදින් සම්බන්ධ සාක්ෂිද තිබේ. පැහැදිලිව හඳුනාගත හැකි සොල්දාදුවකු විසින්, ඝාතනය කරන ලද එල්ටීටීඊ සාමාජිකාවගේ මළසිරුරෙහි තවමත් රස්නය ඇති බැවින් ඒ හා රමණය කරන ලෙස කෑගසන වීඩියෝවක් ද තිබේ. තවත් සිදුවීමක් නම්, 2009 මැයි 19වන දින කිලිනොච්චියේදී යුද හමුදාවට බාරකරන ලද එල්ටීටීඊ ප්‍රධානීන් පසුව අතුරුදන්වීමයි. එම එල්ටීටීඊ නායක පිරිස යුද හමුදා අත්අඩංගුවේ සිටින බවට වාර්තාවක් පවා දිවයින පුවත්පතෙහි පළකරන ලදි. එම අවස්ථාවෙහි සිය සැමියා එල්ටීටීඊයට බාරදුන් බවට සාක්ෂි දරන ස්ත්‍රීහු ගණනාවක්ම සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරනු පිණිස එම බස්රථයට නැගි ජෝෂප් නම් කතෝලික පියතුමාද අතුරුදන්කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ඝාතන භූමිය යනුවෙන් චැනල් ෆෝ රූපවාහිනිය විසින් නිපදවන ලද වාර්තා චිත්‍රපටයෙහි එන සාක්ෂිද තිබේ.
වීරසේකරගේ මෙම ඉල්ලීම මානව හිමිකම් මණ්ඩලය පිළිගන්නේ නම් මෙවැනි බොහෝ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකාවටම පැමිණ පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට අවස්ථාව සැලසෙනු ඇත. මේ වනාහි ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා විවිධ මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් කලක් තිස්සේ කරගෙන එන උද්ඝෝෂණයට රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයද එක්වීමකි.
මෙම යෝජනාව මගින් අද්මිරාල් වීරසේකර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ බලාධිකාරය පිළිගනී. ඔහුගේ ප්‍රකාශයෙහි කිසිදු තැනෙක මානව හිමිකම් මණ්ඩලය අධිරාජ්‍යවාදීන්ගේ අතකොලුවක් යැයි කියා නැත.
ඇත්ත වශයෙන්ම නම් ඔහුට ප්‍රකාශයන් දෙකක්ම කිරීමට අවස්ථාව ලැබුණි. එහෙත් දෙවතාවෙහිදීම ඔහු විසින් කියවන ලද්දේ එකම ප්‍රකාශයයි. ඊට එහා දෙයක් කීමට ඔහුට අවශ්‍යතාවක් නොවූ බව ඉන් පැහැදිලිය.
අද්මිරාල්ගේ බච්චා කොලුවා ලෙස ජිනීවාහි හැසිරුණු කීර්ති වරණකුලසූරිය විසින් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය අමතන අවස්ථාවෙහිදී ජංගම දුරකථනයකින් ගන්නා ලද සියලු ජායාරූප එහි ආරක්ෂක නිලධාරීන් විසින් මකා දමන ලද්දේ දුරකථනය අත්අඩංගුවට ගැනීමෙන් පසුය. අප ගැන ලියන බච්චා කොලුවා ඒ ගැන නිහඬය.
මේ බච්චා කොලුවා සිය පුවත්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන බි්‍රතාන්‍ය ජාතික ඬේව්ඞ් වේලිට චෝදනා කරමින් කියාතිබුණේ ඔහු බි්‍රතාන්‍ය ඔත්තුකරුවකු බවයි. බච්චා කොලුවාගේ පැරණි ලිපිවලද වේලිට දිගටම පහරදී තිබුණි.
එසේ නමුත් අප බොහෝ දෙනෙකුට අවලාද නගමින් පසුගිය 29දා සිය පුවත්පතෙහි පළකරන ලද ලිපියක් මගින් මේ බච්චා ඬේවිඞ් වේලිට කිසිදු පහරක් ගසා තිබුණේ නැත. පුදුමයි නේද?
ඊට හේතුව නම්, සරත් වීරසේකර මෙරටින් ගෙනගිය වාර්තා දෙක මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අංශයට බාරදීමට අවස්ථාව සලසා දුන්නේ අර බි්‍රතාන්‍ය ඔත්තුකරුවකු යැයි පහර දුන් ඬේවිඞ් වේලි විසින්ම වීමයි. එපමණක් නොව සරත් වීරසේකර සමඟ වේලි පැවැත්වූ දීර්ඝ සාකච්ජාවටද බච්චා කොලුවා සහභාගිවී සිටියේය!
මේ ඊනියා ඔත්තුකරුවා නොසිටින්නට සරත් වීරස්කරට සිදුවන්නේ එම වාර්තා දෙක ජිනීවා විලෙහි ගිල්වා ඉන් වතුර උගුරක් බී ආපසු එන්නටය.
අද්මිරාල්තුමනි, ඔබේ යෝජනාවට මගේ සම්පූර්ණ සහාය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ යුද සමයේ ඇත්ත හෙළිකර ගැනීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයතු ගෙන්වා ගන්න. සත්‍යය යටපත් කළ නොහැක. එබැවින් ඔබේ යෝජනාවට ජයවේවා!■