වකුගඩු රෝගයට හේතුව තවම සොයාගෙන නැහැ| වකුගඩු රෝග විශේෂඥ තිලක් අබේසේකර


vakugadu

වෛද්‍ය සුගත් අමරජීව

වර්ෂ 2000 දී පමණ උතුරු මැද සෞඛ්‍ය බලධාරීන් රජරට වකුගඩු රෝගය ගැන උනන්දු වන විට ඔහු මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥයා විය. අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයෙන් මුලින්ම ආරම්භ කළ වකුගඩු රෝග වැඩසටහන අනතුරුව රෝගීන් බහුල අනෙකුත් ප්‍රදේශවලට ද රැගෙන ගිය අතර ඒ සඳහා මුල් වී ක්‍රියා කළේය. දශක එක හමාරකට වැඩි කාලයක් රෝගීන් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම හා පර්යේෂණ කිරීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීන්දු තීරණ සඳහා ද තම දායකත්වය ලබා දීමෙන් අනතුරුව පසුගියදා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක් වී වකුගඩු රෝගය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. ගිරාඳුරුකෝට්ටේ, මහියංගණය සහ විල්ගමුව යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ අධ්‍යයනයන් සිදු වේ.

හේතුවක් සොයාගැනීමට නොහැකි වකුගඩු රෝගයේ (සීකේඩීයූ) ව්‍යාප්තිය සහ රෝගයේ බලපෑම සිදු වී ඇත්තේ කෙලෙසද?
මේ වන විට පළාත් 6ක, දිස්ත්‍රික්ක 14ක රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. උතුරු මැද පළාතේත් ඌව පළාතේත් බහුල ලෙස දක්නට පුළුවන්. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේත්, නැගෙනහිර පළාතේ මඩකළපුව සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවලත්, උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේත් දක්නට පුළුවන්. මේ දිස්ත්‍රික්ක සැලකුවත් ඒකාකාරව රෝගය ව්‍යාප්ත වී නැහැ. උදාහරණයකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් බහුලව දක්නට ලැබෙන්නේ මැදවච්චිය, පදවිය, පදවි ශ්‍රී පුර සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශවල වන අතර අනුරාධපුර නගරයේ රෝගීන් බහුලව දක්නට ලැබෙන්නේ නෑ. 2000 වනවිටත් වසර 20ක් විතර තිස්සේ අනුරාධපුර නගරයට තුරුවිල ව්‍යාපෘතිය යටතේ පිරිසිදු ජලය ලබාදෙමින් පැවතුණා. වර්ෂ 2008දී පමණ දකුණු පළාත පුරා රෝගීන් හඳුනා ගැනීමේ වැඩසටහනක් කළත් රෝගීන් බහුල පළාතක් හැටියට හඳුනාගැනීමට නොහැකි වුණා. වර්තමානය වන විට එම පළාතේ වකුගඩු රෝග විශේෂඥයන් රෝගීන් වැඩි වශයෙන් හමුවෙන බවක් කියන්නේ නෑ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම කොට්ඨාසයේ රෝගීන් බහුලව දක්නට පුළුවනි. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන් සම්බන්ධ තොරතුරු එකතු කිරීමේ වගකීම පවරලා තියෙන්නේ වසංගත රෝග ඒකකයටයි. එමගින් දිස්ත්‍රික්ක 14 ආවරණය වන පරිදි මාසිකව දත්ත එකතු කරනවා. ඒ අනුව 1990 සිට 2015 වර්ෂය අවසාන වන විට රෝගීන් 43762ක් වාර්තා වී තිබෙනවා. මේ රෝගීන් සංඛ්‍යාව කියන්නේ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගීන් සහ වෙනත් හේතූන් නිසා වකුගඩු රෝගය සෑදුණු රෝගීන් යන සමස්ත සංඛ්‍යාවයි. පුද්ගලයන්ගේ වකුගඩු අක්‍රීය වන ප්‍රධාන කාරණා වන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනයයි. ඊට අමතරව මුත්‍රා මාර්ගයේ ආසාදන, මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති කරන මුත්‍රා ගල් ද, වෙනත් වකුගඩු ආශ්‍රිත රෝගද, සර්පයින් දෂ්ට කිරීම සහ මී උණ වැනි රෝගද හේතු වෙනවා.
එහෙත් දත්ත විශ්ලේෂණය කරන විට පෙනීයන්නේ මේ ප්‍රදේශවල මුළු රෝගීන්ගෙන් 70%කටම තිබෙන්නේ හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වකුගඩු රෝගය බවයි (සීකේඩීයූ). වකුගඩු අක්‍රීය වීමට බලපාන බහුල හේතූන් යම් රෝගියෙකුගේ නොමැති බව තහවුරු කර ඒ අනුව ඔහු හෝ ඇය සීකේඩීයූ රෝගියෙකු ලෙසට තහවුරු කරනවා. මේක සායනික මට්ටමින් කරන නිශ්චය කිරීමක්. තොරතුරුවලින් පෙනෙනවා මේ රෝගය ග්‍රාමීය, දුගී, ගොවි ජනතාව අතර බහුල ලෙස පැතිරී පවතින බව සහ ඉන් බහුතරයක් පිරිමි උදවිය බව. තවත් විශේෂ කාරණයක් තමයි මේ ප්‍රදේශවලත් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග දිනෙන් දින වැඩිවෙමින් පැවතීම. එම නිසා එම රෝග වළක්වා ගැනීමටත් අවධානය යොමු කරන්න ඕනෑ.

මෙම රෝගය (සීකේඩීයූ) අපේ රටට පමණක් බලපවත්වන ගැටලුවක් ද? අනෙක් රටවල්වල තත්ත්වය කෙසේද?
අපේ කලාපයෙන් මෙම ප්‍රශ්නය වාර්තා වෙලා තියෙන්නේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්වලයි. එහෙත් ඉන්දියාව මේ ගැටලුවට වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ. වාර්තා පරීක්‍ෂා කිරීමේදී දකුණු ඉන්දියාවේ රෝගීන් විශාල ලෙස සිටින බව පෙනෙනවා. ඒත් අධික ජනගහනය, දුගීභාවය වැනි කාරණා නිසා මෙම රෝගය ගැන විශාල ලෙස පර්යේෂණ සිදුවන බවක් පෙනෙන්නේ නෑ. සිදුකළ පර්යේෂණවලින් පවා ඒ අය කියන්නේ ජලයේ ඇති සිලිකා මේ සඳහා හේතු විය හැකි බවයි. ඒ වගේම රෝගය එල් සැල්වදෝර්, කොස්ටරිකා, ඊජිප්තුව වැනි රටවලත් දක්නට ලැබෙනවා. මේවා සමකය ආසන්නයේ පිහිටා තිබෙන රටවල්. ඇත්තටම මධ්‍යම ඇමරිකානු රටවල විශාල ලෙස පර්යේෂණ මේ සම්බන්ධයෙන් සිදුවෙනවා.
මෑතකදී මේ රටවල පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ ඉහළ ගියා. අපි දැනට අනුමාන කරනවා විජලනයත් මෙම රෝගයට හේතුවක් විය හැකි බව. කොහොම වුණත් මේ කිසිදු රටක අපේ රටේ තරම් අවධානයක් මෙම රෝගය සඳහා යොමු වී නෑ. ඇත්ත වශයෙන් ම ඒ රටවල් තොරතුරු සහ උපදෙස් සඳහා අපේ සහය පතනවා.

සීකේඩීයූ සඳහා අනුමාන කළ හැකි හේතු මොනවාද?
පසුගිය වසර 15ක් වැනි කාලය තුළ ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ගේ ජානමය සාධක, පාරිසරික සාධක සහ ඔවුන්ගේ පුරුදු යන කාරණා පර්යේෂණ සඳහා පාදක කරගත්තා. මුල සිටම අවධානය යොමුවුණා ජලයේ ෆ්ලෝරයිඞ් ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පරිභෝජනය සඳහා සුදුසු වන්නේ 0.6 කියලායි. මේ ප්‍රදේශවල බොහෝ විට ජලයේ ෆ්ලෝරයිඞ් ප්‍රමාණය 1.3, 1.5යි. සමහර තැන්වල 3 වැනි ඉතා ඉහළ අගයන් ගත්තා. පාරිසරික උෂ්ණත්වය වැඩි නිසා ජලය පෙවෙනවාත් වැඩිවීමෙන් බලපෑම ඉතා ඉහළයි.
මහාචාර්ය ඉලේපෙරුම ෆ්ලෝරයිඞ් සහ ඇලුමිනියම් අතර සම්බන්ධයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ රජරට කණ්ඩායම ආසනික්, කැඞ්මියම් සහ කෘෂි රසායනික, විශේෂයෙන් ග්ලයිෆොසේට් මෙම රෝගයට හේතුවන බව දැක්වෙන පර්යේෂණවලට යොමුවුණා. ජපානයේ විශේෂඥ කණ්ඩායමක් සමඟ එක්ව සිදුකළ පර්යේෂවල දී තහවුරුවුණා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජානමය සාධක බලපාන බවට. ජානමය සාධක පාරිසරික සාධක සමඟ එක්වූ විට රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩක් ලැබෙනවා. ඊට අමතරව මේ ප්‍රදේශයේ ජනතාව විජලනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින නිසා ඒ පිළිබඳවත් මත්පැන් පානය සහ දුම්බීම වැනි පුරුදුත් මේ රෝගයට ආධාරකාරී විය හැකි නිසා ඒ පිළිබඳවත් සොයා බැලුවා. ඒ කොහොම වුණත් මේ වන විටත් හරියටම හේතුව මේ යැයි තහවුරු කිරීමට නොහැකි වී තිබෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජනාධිපති කාර්යසාධක බලකාය එක් වී සීකේඩීයූ සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ වැඩමුළුවක් පැවැත්වූවා නේද?
එතැනදී අපි පරිභෝජනය කරන ජලය යම්කිසි ආකාරයකට බලපාන බව තමයි සාකච්ඡා වුණේ. ජලයේ අධික ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණය සහ අධික ලවණතාව (කැල්සියම්, මැග්නීසියම් වැනි) බලපෑමක් තිබෙන බව කීවා. කැඞ්මියම් සම්බන්ධයෙන් දැනට තිබෙන සාධක අනුව බලපෑමක් නොමැති බවත් තවදුරටත් පර්යේෂණ කළ යුතු බවටත් එකඟවුණා. ආසනික් නම් මෙම රෝගයට හේතුවක් නොවන බව තීරණය කළා. අඩු ගානේ තවදුරටත් පර්යේෂණ කළ යුතු සාධකයක් ලෙසටවත් ගැනුණේ නෑ. ග්ලයිෆොසේට්වලින් දැනට තිබෙන තොරතුරුවලට අනුව බලපෑමක් නොමැති බව වැඩමුළුවට සහභාගි වූ විශේෂඥයන් තීරණය කළ අතර තවදුරටත් ඉදිරියට පර්යේෂණ කළ යුතු ක්ෂේත්‍රයක් බවටත් තීරණය වුණා. ලංකාවට අමතරව ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව, කියුබා, එල් සැල්වදෝර්, පින්ලන්තය, ස්වීඩනය, කැනඩා සහ කොස්ටරිකා යන රටවල් එහිදී නියෝජනය වුණා.
මෙම වැඩමුළුවේ දී ජාතික ක්‍රියාකාරී සැලැස්මකට සහභාගි වුණු සියලුදෙනාගේ එකඟතාව උඩ නිර්දේශ ඉදිරිපත් කළා. ඒගොල්ලෝ මූලිකවම කීවේ ජලය සම්බන්ධවයි. මේ අවදානම් ප්‍රදේශවල ජනතාවගේ පාරිභෝජනයට සුදුසු ජලය ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජය පමණක් නොව නොයෙකුත් සංවිධාන මගින් මේ පහසුකම් ජනතාවට ලබා දෙනවා. වැහි ජල ටැංකි ලබාදීමත් මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙනවා. මේවා හොඳ අතරමැදි ව්‍යාපෘති වෙනවා. ක්‍රමයෙන් අපිට ස්ථිර විසඳුම්වලට යා හැකියි. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා වැහි ජලය මේකට හොඳ පිළිතුරක් කියලා.
ඒ වගේම නිශ්චිත රෝග විනිශ්චයක් පිළිබඳවත් ප්‍රතිකාර සම්බන්ධවත් ඔවුන් නිර්දේශ ලබාදුන්නා. උත්සන්න රෝගීන් සඳහා ලබාදෙන ඩයලයිසීස් ප්‍රතිකාරය සහ වකුගඩු බද්ධ කිරීම ගැන ගැඹුරින් සාකච්ඡා කළා. රෝගීන් බහුල ප්‍රදේශවල රෝහල්වල ඩයලයිසීස් ඒකක ඇති කිරීමට අමතරව රෝගියාට ම නිවසේ දී ඩයලයිසීස් කරගැනීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් පවතිනවා. දැනට නුවරත්, ගිරාඳුරුකෝට්ටේත් එලෙස කරන රෝගීන් සිටින අතර ඔවුනට අවශ්‍ය ද්‍රාවණ රජය නොමිලේ ඔවුන්ගේ නිවසටම ලබාදෙනවා.

කෘෂි රසායන සම්බන්ධයෙන් මෙම විශේෂඥයන් ලබා දුන් නිර්දේශ මොනවාද?
කිසිදු කෘෂි රසායනිකයක් තහනම් කිරීමට එම විශේෂඥයන් නිර්දේශ නොකළ අතර අනිසි කෘෂි රසායනික භාවිතයෙන් වැළකීමට ජනතාව දැනුවත් කළ යුතු බවට නිර්දේශ කළා. කොහොමත් අපි දන්නවා අපේ ගොවි ජනතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා කෘෂි රසායනික භාවිත කරන බව. ඔවුන් කෘෂි රසායන භාවිත කරන විට නිසි ක්‍රමවේදයන් යොදා ගැනීම සිදු කරන්නෙත් නෑ.

පර්යේෂණ සිදුකිරීම, රෝගීන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමට අමතරව ඔවුන්ගේ සුභසාධනය සැලසීමත් රජය සතු වගකීමක්. රජය කොහොමද මේකට මුහුණ දෙන්නේ?
සීකේඩීයූ සඳහා ජාතික මට්ටමේ ප්‍රතිචාරයන් ආවා. ඒක සතුටට කාරණාවක්. මධ්‍යම රජය, පළාත් සභා, ඒ වාගේම ජාත්‍යන්තර සංවිධාන, විදේශීය විශ්වවිද්‍යාල, ලෝක සෞඛ්‍ය සංවිධානය යන ආයතන විශාල ලෙස උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ආධාරක කණ්ඩායම් පුණ්‍යායතන ආදිය විශාල ලෙස උදව් කරනවා. අපේ රටේ මේ ගැටලුවට දක්වන උනන්දුව ලෝකෙ අනෙක් රටවල් දක්වන්නේ නෑ. ඇත්තටම ඒගොල්ලෝ හිතන්නේ අපේ රට මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න හොඳ ස්ථානයක් ලෙසයි.

මෙය රෝගයකට එහා ගිය සමාජ ආර්ථික ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මේ සම්බන්ධව අපි අවධාරණය යොමු කරන්නේ කොහොමද?
වකුගඩු රෝගය උත්සන්න වීමට ප්‍රථම තමන්ගේ රැකියාවක නියැලෙමින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකිරීමට හැකියි. රෝගය උත්සන්නවූ විට රැකියාවක නියැලීමට නොහැකි වෙනවා. රජය දැනට සියලුම වකුගඩු රෝගීන් සඳහා රුපියල් 3000ක දීමනාවක් ලබා දෙනවා. වකුගඩු බද්ධ කළ රෝගියෙකුට මාස 3 ක් වැනි කාලයක් සඳහා කිසිම රැකියාවක නියැලීමට නොහැකි නිසා අපි යෝජනා කරන්නේ ඒ කාලය සඳහා මසකට රුපියල් 10000ක් වැනි මුදලක් ලබාදීමටයි. කොහොමත් අපි සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ එකතුවෙලා ඩයලයිසීස් කරන රෝගීන්ටත්, වකුගඩු බද්ධ කළ රෝගීන්ටත් සුළු වශයෙන් කායිකව මහන්සි විය යුතු සුළු වෙළෙඳාම්, මල් වැවීම, හතු වැවීම වැනි කාර්යයන් සඳහා පුහුණුවක් සහ ආරම්භක වියදම් සඳහා ආධාරක මුදලක් ලබා දෙන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. අපි හිතන්නේ මිනිස්සු ආධාර මුදල් මත යැපෙන මට්ටමක නොතියා ඔවුන්ව බලගැන්වීම තමයි කළ යුතු දේ ලෙසටයි. රෝගීන්ට ප්‍රතිකාර ගන්නා ගමන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ඊට අමතරව මේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම සමාජ සේවා දෙපාර්තමේන්තුවත් මේ දේවල් සඳහා එක් වී කටයුතු කරනවා. නිවාස නොමැති රෝගීන් ඉන්න පවුල්වලට නිවාස ලබා දෙන වැඩසටහනක් පවා ක්‍රියාත්මක වෙනවා.

මෙම රෝගය ගැන එහෙම නැත්නම් වැලකීමට පිළිපැදිය යුතු කරුණු ගැන ජනතාව ප්‍රමාණවත් ලෙස දැනුවත් වී සිටීද?
ඉස්සර වගේ නෙමේ, දැන් මිනිස්සු යම් යම් සුළු රෝග ලක්‍ෂණ දැනුණු විටම රජයේ රෝහල්වලට පැමිණෙනවා. මේ ප්‍රදේශවල මිනිස්සු දන්නවා මෙම රෝගය සහ ජලය අතර සම්බන්ධතාවක් තිබෙන බව. පිරිසිදු ජලය පාරිභෝජනය සඳහා ලොකු උනන්දුවක් තියෙනවා. තමන්ට අවශ්‍ය ජලය බෝතල් ලෙස සාප්පුවලින් හරි මිලදී ගන්නවා. ඒ පැත්තෙන් හොඳ දැනුමක් තියෙනවා. විජලනය සම්බන්ධයෙන් වුණත් දැනුමක් තියෙනවා. ඒ වගේම ඉස්සර තිබුණු අදහසක් තමයි වකුගඩු රෝගය සමානයි මරණය කියලා. හැදුණොත් මැරෙනවා. ප්‍රතිකාරවලට රෝහල්වලට ගිහින් වැඩක් නෑ කියන අදහස තිබුණා. ඒත් වර්තමානය වන විට ඒ අදහස් පවා හොඳ පැත්තට වෙනස්වෙමින් පවතිනවා.

රෝගය ආරම්භයේදීම හඳුනාගතහොත් මරණය පස්සට දාන්න පුළුවන්ද?
පැහැදිලිවම පුළුවන්. මොන වකුගඩු රෝගය වුණත් මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රෙෂර් එක, දියවැඩියාව වැනි ඒ සමඟ ඇති විය හැකි වෙනත් රෝග තිබුණොත් ඒවා මැනවින් පාලනය කරලා, පිරිසිදු ජලය භාවිත කරලා, දුම්බීම මත්පැන් පානය වැනි පුරුදුවලින් මිදිලා නිවැරදි ලෙස ප්‍රතිකාර ලබාගතහොත් ඉදිරියට රෝගය උත්සන්න වීම පාලනය කළ හැකියි. අපි එහෙම රෝගීන් දැකලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ කුඹුරට යන විට විජලනය වැළකීමට ප්‍රමාණවත් ලෙස වතුර බොන්න ඕනෑ. ඒ වගේම නිවැරදි ආහාර රටාවකුත් අනුගමනය කරන්න ඕනෑ.
අපි දැනටමත් කරන්නේ අනුමාන කරන්න පුළුවන් සියලුම අවදානම් තත්වයන්ගෙන් මිනිස්සු බැහැර කිරීමයි. උදාහරණයක් හැටියට පිළිකා රාශියකට හේතුව අපි දන්නේ නෑ. අධික රුධිර පීඩනය, දියවැඩියාවට නිවැරදිව හේතුව අපි දන්නේ නෑ. එහෙත් ඒ රෝගීන් පැත්තකට දමලා නෑනේ. වකුගඩු රෝගී ප්‍රදේශවලටත් පිරිසිදු වතුර දෙනවා. අනිසි කෘෂි රසායන භාවිතයෙන් ඉවත් වෙනවා, විජලනයට ලක්වීමෙන් ඉවත්වෙනවා, දුම්බීමෙන් සහ මද්‍යසාරවලින් ඉවත්වෙනවා, එහෙම කරගෙන ඉස්සරහට යනවා. ඒ දේවල් කළා කියලා හානියක් නෑනේ. ඒ අනුව කාලයත් එක්ක මේ ප්‍රශ්නත් විසඳිලා යයි.

රටේ ලොකු අවධානයක් ගත්තා වකුගඩු රෝගයෙන් මරණ විශාල සංඛ්‍යාවක් සිදුවෙනවා කියලා. මේ වන විට මරණ කොපමණ ප්‍රමාණයක් සිදු වී තිබෙනවාද?

එතැන නම් විශාල ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට පත්තරවලින් කීවා අනුරාධපුර රෝහලේ බල්ලෝ බළල්ලු ගානට රෝගීන් මියයනවා කියලා. එහෙම නැතිනම් දවසකට අනුරාධපුර රෝහලේ ලෙඞ්ඩු 4 – 5ක් මියයනවා කියලා. ඒවා නම් කිසිසේත්ම නිවැරදි නෑ. යම් ප්‍රමාණයක් මියගියා. ඒත් ඔය කියන ගණන්වලට ගොඩාක් අඩුයි. අනෙක් එක වකුගඩු රෝගීන් බහුල ලෙස මිය යන්නේ හෘදය රෝගවලින්. ඒක වකුගඩු රෝගවලට අදාළ කරුණක් නෙමෙයි. මේ ප්‍රචාරවලින් වකුගඩු රෝගීන් මානසිකව ඇදවැටෙනවා. අපි කටයුතු කරන්නේ ඔවුන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක සමාජගත කිරීමටයි.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙහි මේ වන විට ප්‍රගතිය කොහොමද?
දැනට රෝහල් කිහිපයකට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිද්ධවෙනවා. අනුරාධපුර රෝහල, ජාතික රෝහල, මහනුවර රෝහල, කරාපිටිය රෝහල වගේම පුද්ගලික අංශයේත් මෙම ශල්‍ය කර්මය සිද්ධ කරනවා. අපේ ප්‍රතිඵල මේ සම්බන්ධව සාර්ථකයි. මහනුවර රෝහලේ තත්ත්වය යුරෝපයේ ප්‍රතිඵල සමඟ සන්සන්දනය කළ හැකියි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව නෑදෑයෙකුට පමණයි වකුගඩු ප්‍රදානය කළ හැක්කේ. භික්‍ෂූන් වහන්සේලාට විශේෂ අවසරයක් තියෙනවා ඉන් පිටත වකුගඩු ප්‍රදානය කිරීමට. ඉතින් රෝගීන්ට විශාල ගැටලුවක් වෙලා තියෙනවා බද්ධ කිරීමට වකුගඩුවක් සොයාගැනීම. සමහර විට අවුරුදු පහේ හයේ ඩයලයිසීස් කර කර බලාගෙන ඉන්න වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට මියගිය අයගේ වකුගඩු ලබාගෙන බද්ධ කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මහනුවර රෝහලේ එවැනි ශල්‍යකර්ම මේ වන විට 70 ක් පමණ සාර්ථකව සිද්ධ කරලා තියෙනවා. තවත් ඒක දියුණු වෙන්න ඕනෑ. අනුරාධපුර රෝහලේ ලංකාවේ ප්‍රථම වතාවට වකුගඩුව සහ අග්න්‍යාශය යන දෙකම එකම අවස්ථාවේ සාර්ථකව බද්ධ කරනු ලැබුවා. මම හිතනවා යාපනය රෝහලේත් මෙම ශල්‍යකර්මය ආරම්භ කළහොත් ඒක හොඳ සූදානම් වීමක් කියලා. අනෙක් එක මෙම ශල්‍යකර්මය සඳහා රජයේ රෝහල්වලදී රෝගියාට කිසිම මුදලක් වැය වෙන්නේ නෑ. බද්ධ කළායින් පසුව ලබා ගත යුතු ඖෂධ පවා රජයෙන් නොමිලේ ලබා දෙනවා.

උතුරේ තත්ත්වය කොහොමද? යුද්ධයෙන් අනතුරුව දැන් තමයි සෞඛ්‍ය ගැටලු ගැන ඒගොල්ලන්ගේ අවධානය යොමුව තියෙන්නේ.
දැනට අපි යාපනයේ විශේෂඥ වෛද්‍යවරු සමඟ සාකච්ඡා කළා. ඒ ගොල්ලෝ කියන්නේ දැනට මේ රෝගය යාපනයේ නෑ කියලා. ඒත් වව්නියාවේ මෙම රෝගය බහුල ලෙස දක්නට ලැබෙනවා. මේ සම්බන්ධ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. වව්නියාවේ රෝහලේ වකුගඩු රෝග විශේෂඥයෙකු සිටිනවා. ඩයලයිසීස් කරනවා. කිළිනොච්චි, මඩකළපුව වැනි ප්‍රදේශවල මෙම රෝගය තාමත් දක්නට ලැබෙන්නේ නෑ.

පසුගිය වසර 15-20ක කාලයක් පුරා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඔබ සතුව පවතිනවා. මෙම රෝගයට හේතුව ලෙස ඔබේ හිත කියන්නේ කුමක්ද?
ඉතාමත් පැහැදිලියි මේක වතුර හා සම්බන්ධ ප්‍රශ්නයක් බවට. ගිරාඳුරු කෝට්ටේ ගින්නෝරුව ප්‍රදේශය ගතහොත් කිලෝමීටර 3-4ක ප්‍රදේශයක එක් පැත්තකින් මහවැලි ගඟ ගලා බසිනවා. ගොවිබිම් එක් පැත්තක තියෙනවා. රෝගීන් දක්නට ලැබෙන්නේ එක් ප්‍රදේශයක විතරයි. එහි පවුල් 27ක රෝගීන් ඉන්නවා. එහෙත් මහවැලි ගඟ ආසන්නයේ තිබෙන ප්‍රදේශයේ රෝගීන් ඉන්නේ පවුල් 2ක පමණයි. ඒ අයත් මෑත අවුරුදු 10කට මෙහා එහි පදිංචි වූ අයයි. මෙහි එක සමාන පරිසරයක් තියෙන්නේ වතුර හැර. රෝගීන් බහුල ප්‍රදේශයේ වතුරේ ෆ්ලෝරයිඞ් වැඩි අතර අධික ලවණතාවකින් යුක්තයි. ඒත් මහවැලි ගඟ ආසන්නයේ ප්‍රදේශවල තත්ත්වය ඊට වෙනස්. ඒ හැරෙන්නට උෂ්ණත්වය, කෘෂි රසායන භාවිතය, කෑම රටාව සහ මිනිසුන්ගේ පුරුදු ආදි සියලු දේ පොදුයි. මේ ගමේ ලොකු අධ්‍යයනයක් දැනට අපි කරගෙන යනවා.

පසුගිය කාලේ කළ පර්යේෂණ දෙකකදී උපකල්පන දෙකක් මගින් ආසනික් සහ ෆ්ලෝරයිඞ් මෙයට හේතුවන බවට තහවුරු කළා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
මම නම් හිතන්නේ මේ වගේ දේකදී නිගමනවලට පැමිණීම සහ ඒ හා සම්බන්ධ බැරෑරුම් තීරණ ගත යුත්තේ උපකල්පනය සාර්ථකව ඔප්පු කිරීමෙන් අනතුරුවයි. යම් සමාජ කොටසකට අදාළ කරලා කරලා හොඳ ප්‍රතිඵල එනවා නම් විතරයි ක්‍රියාත්මක කළ යුත්තේ. එකපාරටම යම් යම් කෘෂි රසායනික රට තුළ තහනම් කළහොත් එමගින් කෘෂි කර්මාන්තයටත්, තේ කර්මාන්තයටත් විශාල බලපෑමක් ඇතිවිය හැකියි. අපි පැහැදිලිවම එකඟ වෙනවා අනිසි කෘෂි රසායන භාවිතය අවම කළ යුතු බවට, එහෙම නැති නම් ක්‍රමානුකූලව ගිහින් අනාගතයේ දී කෘෂි රසායනවලින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඒත් එක මොහොතකින් කෘෂි රසායනවලින් ඉවත්වීම සුදුසු නොවන බව අපි ජනාධිපතිතුමාටත් දැනුම්දීමට කටයුතු කළා. මෙම රෝගයට හේතුව දැනට නිවැරදි ලෙසට සොයාගෙන නොමැති නිසාත් ඩබ්ලිව්එච්ඕ එකට අයත් විශේෂඥයන් රෝගය ග්ලයිෆොසේට් නිසා සිදුවන බව නිගමනය කළ නොහැකි බව පවසන නිසාත් උපකල්පන නොමැතිව නිවැරදි ලෙස නිගමනය කරන තුරු මෙලෙස රට තුළ කෘෂි රසායන තහනම් කරන එක යෝග්‍ය නොවන බව අපි සැමටම දැනුම් දුන්නා. ඇත්ත වශයෙන්ම පේරාදෙණිය පර්යේෂණ කණ්ඩායමේ අදහස ඒකයි.■