Untitled-1

Untitled-1

නැති භංග වන ක්‍රීඩාව


kredava

ටිරන් කුමාර බංගගමආරච්චි

අද දවසේ ක්‍රීඩාව නැති භංගස්ථාන වී ඇතැයි අප කියුවේ කරුණු කාරණා ඇතිවය. එය අද පමාවී හෝ වෙනත් මාධ්‍ය හරහාද අසන්නට දකින්නට ලැබේ. දෙයක් නැති තැන උලුප්පාලිය නොහැකි බව ක්‍රීඩා ඇමති වුව දැන් හෝ වටහාගෙන ඇත්නම් කදිමය. මන්ද එවිට ඔහු අවංකව යමක් කරන්නට උත්සාහ ගනු ඇති බැවිනි. ඒ ගැම්මටම කිවයුත්තේ ඔහුගේ අවංක උත්සාහයක් නැති බවය.
ඇමතිවරයා අපට එවූ මාගලේ නොතිබුණු කරුණක් කිව යුතුය. ඒ ජාතික මහා ක්‍රීඩා උළෙලය. එය හිතාමතාම අතහැර දමා ඇත. මන්ද ජාතික මහා ක්‍රීඩා උළෙල යනු තනිකරම සුදු අලියෙකි. පළාත් නවය ආවරණය වන ලෙස පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ආහාර ලබාදෙනුයේ වර්ග දෙකකටය. එනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය බත්පතක් සහ නිලධාරීන්ට (වී.අයි.පී.) වෙනම බත්පතකි. එය සුවිශේෂීය. මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාර සැපයීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් භාරගන්නා විට විශේෂ පුද්ගලයන්ගේ විශේෂ කෑම ඇමති හිතවතකුට භාරදීමය. මේවා අලුත් මැජික් නොවන මුත් තමා මැජික් දන්නේ නැතැයි කී නිසා කිවමනාය.
ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි සමස්ත වියදම කෝටි 4-5ත් අතර වේ. මෙවන් ලොකු වැඩක උත්සව සැරසිලි, දැන්වීම් පළකිරීම් සිද්ධවන්නේ රටේ ප්‍රසිද්ධ ආයතනයක් හරහාය. එහෙත් මේ සියල්ල කරනුයේ එම ආයතනය නොවේ. ඔවුන්ට එය ලබාදෙනුයේ උපායක් ලෙස ගිණුම්වලින් ලිස්සා යෑමටය. එම ආයතනය ව්‍යාජ පෙනීසිටීමට 5%ක මුදලක් අයකර ගන්නා අතර ඇත්තට සියල්ල සිදුවන්නේ ශ්‍රීමාල් ඇඞ් ආට්ෆිල් හරහාය. දැන් ඇමතිවරයා හිතනුයේ අප මේ කිසිවක් නොදත් බවද? තමා විවෘත නම් මේ ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි අවංක වියදම් ඉදිරිපත් කොට ඒවා අවංකවම සැපයූ අයගේ නම් ආයතන කිව හැකිද?
වේදිකාවක් සඳහා කොපමණ මුදලක් වැයවීද? අධික වියදමක් ලබාගන්නා ප්‍රවාහනයට ගිය අවංක වියදම කීයද? කැප්, ටී ෂර්ට් සඳහා ගිය වියදම කීයද? වතුර බෝතල් සඳහා කොපමණ මුදලක් වෙන් කළාද? මේවා මීට වඩා ඕනෑ තරම් අඩුවෙන් කරගත නොහැකිද?

රට සවාරි
ක්‍රීඩා අමාත්‍යාංශය නම් ට්‍රැවල් ඒජන්සිය පසුගිය කාලය පුරා ගියේ බොරු සංචාරය. ඒවා ඵලසහිත නම් එහි ප්‍රතිඵල මේ වනවිට පෙනෙන්නට තිබිය යුතුය. මේ වනවිට ඇමතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කී දෙනෙකු කී වතාවක් රට සවාරි ගොස් ඇත්ද? ක්‍රීඩාව හා එම විෂය ගැන සන්නද්ධ වීමට නම් ඔවුන් රට යනුයේ ඔවුන් ඒ හරහා මේ රටට ගෙනා දැනුම කුමක්ද? ඒ සංචාර හරහා ක්‍රීඩාවට වූ වාසි වර්ග කොට පෙන්වා දිය හැකිද? රාජ්‍ය සේවකයන් ලෙස අමාත්‍යාංශයේ නිලධාරීන් යන්නේ නම් ඒ අය රැගෙන ආ දැනුම හරහා ලබා දුන් ලබා ගත් දායකත්වය කුමක්ද? ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සුදනා කරන ඇමතිගෙන් අප අසනුයේ ක්‍රීඩා අමාත්‍යාංශ ගිණුම් නිලධාරීන් විදෙස් සංචාර යනුයේ ඇයි? ක්‍රීඩාවේ ගිණුම්කරණය ගැන අත්දැකීම් ලබන්නද? මොවුන්ගේ සංචාරයකට ලක්ෂ 20ක් වියදම් යැයි සිතුණොත් ඔවුන්ගෙන් ලද දේ කුමක්ද? ඒ දැනුම ක්‍රීඩාවේ උන්නතියට යොදාගෙන ඇතැයි ඇමතිට අවංක විය හැකිද?

සම්මාන උළෙල
සම්මාන උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් අප කළේ දැනුවත්කිරීම්ය. පළමු ජනපති සම්මාන උළෙලේ ඩන්කන් වයිට් අමතක කිරීම නොහොබිනා බව අපි කීවෙමු. එය සකස් කරගත යුතුව තිබූ අඩුපාඩුවක් බව පෙන්වා දුන්නෙමු. ඒ හැර අපි ඒ ගැන ලොකුවට නොකීවෙමු. එහෙත් එය පිළිගත් ඇමති අප එය හෙළා දකින්නේයැ’යි මුසාවාද ඇදබාන්නේය. ඇමති වසරක් පාසා නොව මසක් පාසා සම්මාන උළෙල කළද අපට කම් නැත. මේ ජාතික මුදල්ය. ඒවා වියදම් කිරීමේදී ක්‍රමවේදයක් තිබිය යුතුය. එමෙන්ම එහිදී වටිනාකම් දීමේදී ප්‍රමිතියක් තිබිය යුතුය. එසේ නැතිවුවහොත් එය පුස්ස බින්දා මෙනි. බැඞ්මින්ටන් ක්‍රීඩාවේ විකාරකාරියක වූ රාජපක් ෂලාගේ හුරතලියකට සම්මාන දී පිම්බුවේ ඇයි? ඇය බැඞ්මින්ටන්වලට කළ කෙහෙල්මලක් වේද? කළ එකම දේ නම් රාජපක්ෂලාට හේත්තු වී සෙසු ක්‍රීඩිකාවන් පැත්තකට කිරීමය. එවැනි මෝඩකම් මෙවර නොකළ යුතුයැයි අපි ඇමතිට කියමු. සමන් අමරසිංහගේ ලණු කා එදා ඒවා කළාට අද නොකරන්නැයි ඉල්ලමු. ඇමතිගේ කාර්යාලයට නිතර නිතර ආ ගිය සැණින් සම්මාන නොදෙන්නැයිද ඉල්ලමු.
ඒ නිසා එවැනි විකාර ක්‍රමවේදවලට නොගොස් මෙවර එය නියමාකාරව කරන්නැයි අපි ඇමතිට කියමු.

බොරු වියදම්
ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භයට තැනූ ගීයට උමාරියාට ලක්ෂ 16ක් පමණ වියදම් කළේ ක්‍රීඩාවේ නාමයෙන්ද? දිනුම දිනුම කියමින් ඇය කෑ මොර දුන්නේ ඇගේ දිනුම ගැනද?
යාපනයේ පැවති උළෙලේදී අවුලවාලන්නට බැරිවූ පහනට කොතරම් වැය කළාද? ඒ සියල්ල හෙළිකිරීම යහපත් නැද්ද?

මාධ්‍ය වෙත යෑම
මෙහිදී ඇතිවූ කෑම ප්‍රශ්න මුල් කරගෙන මාධ්‍ය සමඟ ඇවිළුණු ඇමති පසුව ඒ ගැන ලිවීම නවතාලන්නට මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු හමුවීමට මාධ්‍යයටම යෑම හතරවිලි ලැජ්ජා නැති වැඩක් නොවේද? එය ඇමතිට උචිතද? මාධ්‍ය මුදලාලිලා හමුවේ එවැනි වික්‍රම පෑ හැකිමුත් මාධ්‍යයෙහිම නියැලෙන මාධ්‍ය ආයතනවල බැරි බවද කිව යුතුය.

අයවැය වාර්තා
පනතේ ඇතැම් කරුණු ගැන කියද්දී එය ලියුම්කරුගේ බියක්යැ’යි කී ඇමතිට දැන් සිදුව ඇත්තේ කුමක්ද? අද ඉතිහාසයේ ප්‍රථම වතාවට සංගම් ක්‍රීඩා ඇමති, ක්‍රීඩා අමාත්‍යාංශය සතයකට මායිම් නොකරන තැනට පත්ව ඇත. පනතේ ප්‍රකාරව නැතැයි කියා නොපවත්වන්නැයි කී බැඞ්මින්ටන් නිලවරණය ඇමති නියෝග කුණු කූඩයට දමා එම සංගමය පැවැත්විය. දැන් අනියත බිය ඇත්තේ අපටද? මේ දේ අනෙක් සංගම්ද ආදර්ශයට ගනු ඇතැයි අනියත බියක් අප ඇතිකර ගන්නේ මන්ද? එයද ඇමතිට බාරදීම අගනා බව අපගේ හැඟීමය.
මේ යන ක්‍රමයට ක්‍රීඩාව දියුණු කරන්නට දයාසිරිලා දස දෙනෙක් ආවද බැරිය. ක්‍රීඩාව රියැලිටි ෂෝ එකක් නොවේ. එය පිටියට බැස කළ යුතු වෙහෙසකර වැඩකි. වෙහෙසකර වැඩ ලේසියෙන් කළ නොහැකිවා මෙන්ම ඇඞ්වර්ටයිසින් අය ලවා දැන්වීම් ලෙස බොරු මවාපෑම් කළද වසා ගතහැකි දේද නොවන බව කිව මනාය.■