Untitled-1

Untitled-1

ටෙස්ට් ජය පැරදුම සහ කටමැත දෙඩීම


rajidu

රජිඳු කාශ්‍යප

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කටමැත දොඩවමින් සිටී. බංග්ලාදේශය වෙතින් ටෙස්ට් සහ එක්දින තරගයක් පරාජය වූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටී නැතැයි ඔහු මාධ්‍යයට පවසයි. ඔහු පවසන්නේ මෙය අදාළ තරගය සම්බන්ධයෙන් පමණක් ඇති වූ ගැටලුවක් බවයි.
ඇත්ත, අපි මේ කටමැත දෙඩවීම හා එකඟ වන්නෙමු. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටී නැති බැව් අපි දනිමු. පාසල් සේ ම ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාවත් පවතින්නේ ඉතා තරගකාරී මට්ටමේ ය. පාසල් සේ ම ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ද එකිනෙකා අබිබවමින් පිටියේ දක්ෂතා දක්වති. එහෙත් එසේ දක්ෂතා දක්වන උන්ට යන එනමං නොමැති වීම ය ගැටලුව.
ඇමැති දයාසිරි ක්‍රිකට් කඩා වැටී නැතැයි පවසන්නේ ක්‍රීඩාව ගැන සිතා නොවේ, ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් විය යුතු ය. ඔහුට අනුව ක්‍රිකට් පරිපාලනය අංක එකට සිදු කෙරෙයි. ආයෙ සොයා බැලීමට දෙයක් නැත. එනිසා ඇමැති දයාසිරි ද ඒ මත්තේ ම සිටී. මරු.
ඇමැති දයාසිරි සේ ම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද සිතනුයේ ක්‍රිකට් යනු ඊට ලැබෙන මුදල් සංසරණය කිරීම හැටියටය. හිතවතුන්ට ඇති පදමින් රඟන්නට ඉඩ දීම ය. ඒ දෙක ම ඉතා ම උසස් අන්දමින් සිදු වෙති. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව තරගකාරී මට්ටමට ගෙනඒමට පැහැදිලි ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් තුළ නැත. ඊට සරිලන පාලකයෝ ද මේ තුළ නැති බවකි පෙනෙන්නේ.
අඩුම තරමින් මේ පාලකයන්ට නිවැරදි තීරණ ගන්නා ක්‍රිකට් තේරීම් කමිටුවක් හෝ පත්කර ගැනීමට හැකි වී නැත. තරගාවලියකට පෙර ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කරනු ලබන අතර ඒ හොඳ ම ක්‍රීඩකයන්ගෙන් යුත් සංයුතියක් බැව් අපි විශ්වාස කරමු. එහෙත් යම් ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් වන්නේ නම් ඊට ආදේශක ක්‍රීඩකයා මේ 15 දෙනාගෙන් යොදා ගැනීමක් නැත. ඊට කැඳවෙන්නේ පිටස්තරයේ සිටින ක්‍රීඩකයෙකි. එසේ වන්නේ කෙසේ ද?
බංග්ලාදේශය හා සමග පැවැති දෙවැනි එක්දින තරගයේ කණ්ඩායම නම් කිරීමේ දී අපි ඒ බැව් දුටුවෙමු. එය ම අවුලකි. එහෙත් ඇමැති දයාසිරිට එහි අවුලක් නැත.
තරගයක් ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම වෙන ම දෙයකි. ඒ එය තරගයක් බැවිනි. පාලකයන්ට තරගයක් තිබිය යුතු නැත. එනිසා ඔවුන් සෑම විට ම නිවැරැදි තීරණයන්හි සිටිය යුතු ය.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංසරණය වන ආකාරයට තරගයක් ඇත්තේ පාලකයන් තුළ ය. ඔවුන් කටයුතු කරනුයේ ඊළඟ අදියරේ දී ද තමන් ම පාලකයන් වීමේ අරමුණ පෙරදැරිව ය. එනිසා ඔවුන් අන් සෑම දේ ම පසෙකලා තමන්ට රජ වෙන්නට හැකි තීරණ තීන්දුවල රැඳෙති. ඇමැති දයාසිරි මේ හරියයි පවසන්නේ එකී තියරිය ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අරබයා සංවිධානය වන තරගාවලිවල පූර්ණ වෙනසක් සිදුවිය යුතු බවට පැවැසෙන්නේ කලක සිට ය. මේ සම්බන්ධයෙන් පෙර සිටි අතුරු කමිටු පාලකයෝ ද උත්සාහ කළ හ. වර්තමාන ක්‍රිකට් සභාපති තිලංග ද තමන් පත්ව ආ විගස පැවැසූවේ එවැන්නක අවශ්‍යතාවකි. එහෙත් සිදුවූ වෙනසක් නැත.
මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සේ ම කුමාර් සංගක්කාර ද වරින් වර අදහස් දැක්වූහ. මහේල ජයවර්ධන විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ අයුරු ද මතක ය. ඒ සියල්ල සිදු කෙරුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් තරගකාරී මට්ටමට ගෙන ඒමට ය. ඒ හරහා වඩාත් දක්ෂයන් කරලියට ගැනීම ය. එහෙත් තිලංගගේ පිටියේ තවමත් ක්‍රියාත්මක වන්නේ තම හිතවතුන්ට ඇවැසි ආකාරයේ තරග සංවිධානය වීමකි.
ඇමැති දයාසිරි හා එක් ව තිලංග සුමතිපාල ක්‍රිකට් බිමේ වැපිරු දේශපාලනයේ අස්වැන්නය මේ. ඔවුන්ට ඇවැසි අස්වැන්න ලබා ගැනීමට ඔවුන් වපුරන්නේ ඔවුන්ට අවශ්‍ය බීජයන් ය. එනිසා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩදායි වෙනසක් අපට කිසිදා බලාපොරොත්තු විය නොහැක. මහේල නොව ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් පැමිණ පැවැසුවත් මේ ව්‍යුහයේ වෙනසක් මේ කපේට බලාපොරොත්තු විය නොහැක. දැනට අපට හැඟෙන්නේ අප බලාපොරොත්තු විය යුත්තේ සහ අනාගතයේ අපට දැක ගත හැක්කේ ඇමැති දයාසිරි සහ සභාපති තිලංගගේ අවශ්‍යතාවන් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක් පමණකි.■