Untitled-1

Untitled-1

මළ ඉර බහින හැන්දෑවක මළවුන් අතර හිඳ


Borella

ටිරන් කුමාර බංගගමආරච්චි 

මළ ඉර බහින හැන්දෑවක මළවුන් අතර හිඳ ඒ අත්දැකීම් අත්වින්දෙමු. සැබැවින්ම ඒ මළ ඉරම විය. ඉළව්වක් පස්සේ නොගොස් සුසානයක අතරමංවූ මළ මිනිසුන් සමඟ සැරිසැරූ ඒ දෙපැය විඩාපත් නොවුණි.
බොරැල්ල කනත්ත ගැන කතා කොතරම් වේද? මේ සොහොන් කොත් තරම් ඒවාද ගොඩ ගැසී ඇත. එහෙත් ඒ සියල්ල පසෙක ලා නිදහසේ සැරි සැරීමට විහාර මහාදේවි උද්‍යානයට වඩා මේ සුසාන භූමිය කොතරම් අපූරුද? ඒ අපූරුව අපූරුවට වින්දෙමු.
විදුලියෙන් අළු කෙරුණු මෘත කලේබර දෙකක දුම් රොටු බොරැල්ල අවට සැරිසරද්දී අපි සොහොන් කොතකට බර දී ඇන තබාගෙන සිටියෙමු. ජීවිතේම බර අතහැර දැමූවන්ට අප බරක් විය හැකිද? එබැවින් එතරම් ඒ ගැන නොතැකූවෙමු.
‘පාදකානික්කයි’ චිත්‍රපටයේ එන ‘විදු වරයි’ ගීතය මතකයට රිංගයි. හින්දි සිරිත විරිත එහි අන්තර්ගත වුවත් කාටත් පොදු හැඟීමක් එහි ඉපදේ. එය සුප්‍රකට ‘තිරුක්කුරල්’ ග්‍රන්ථයෙන් ඩැහැ ගත්තකි. එය අපේ බස වටහා දෙන්නේ මේ පරිද්දෙනි.
ඔබේ අවසාන මොහොතේදී
ඔබේ පිටුපසින්ම නෑදෑ පිරිස පැමිණෙති
නිවසේ කඩුල්ල තෙක්
ආදර බිරිඳ පැමිණෙයි
මාවත අද්දර තෙක්
දයාබර පුතු
සොහොන් පිටියට පැමිණ ඇත.
ඔබ පසුපසින්ම
එහෙත්
අවසානයේදී රැඳෙන්නේ කවුද?
ඔබේ තනි නොතනියට ඔබ සමඟ.
සිංදුව එහෙම අරුත් සැපයුවද මෙහි තනි නොතනියක් නැත. බොහෝ දන්නා කියන අය බොරැල්ල කනත්තේ එමටය. සැබැවින්ම එහි යන අයට මොන තනියක්ද? කතාවේ නිමිත්ත එයය. බොරැල්ල කනත්තේ බොහෝ අය වැළලී ඇත. ඒ අතර ජනප්‍රිය චරිතද එමටය. පාළුවක් නැත්තේ එබැවිනි.
‘සඳ හිරු තරු
පවතින තුරු අපි මැරෙන්නෙ නෑ’
කියා ලියූ ප්‍රවීණ ගීත රචක නිවේදක කේ.ඩී.කේ. ධර්මවර්ධන මෙහි සදහටම නිදන්නේය. ඔහු සිහිවනු වස් ඉදි කළ සොහොන් කොතේ ඉහත ගීතය සේ ම තව ඔහු ලියූ ගීත ගණනාවකම මුල් පේළිය සටහන් කොට ඇත. ‘කුමරියක පා සළඹ සැලුණා’ අකුරු කළ ඔහු ‘මා හඬවා මා නළවා’ මෙතැන නිදන්නේ කලක පටන්ය.
ඔහු ළඟින්ම සිටිනුයේ හේමසිරි හල්පිටය. ඔහු ද ගීත රචකයෙකි. ඔහු රචනා කළ ගීත පනස් හයක් ගැන ඔහුගේ සොහොන් කොත සාක්ෂි දරනුයේ ජිප්සීස් කණ්ඩායමේ බොහෝ ගීතවල හිමිකරුවා ඔහු බව කියාපාමිනි. ඊට කිට්ටුවම නිදනුයේ මිල්ටන් මල්ලවාරච්චිය. ඔහු ගැයූ ගීතවල මුල් වාක්‍ය තොගයක් සොහොන් ගල පුරා නෙළා ඇත. සොහොන උඩ තබ්ලා භාණ්ඩයේ අනුරුවකි. මේ නිදනුයේ ප්‍රේම ගීතයේ උරුමක්කාර හඬයැ’යි දකින විට කනත්තේ වුව ඔහුගේ හඬට ළං වෙන්නට හිතය. මේ හැම සොහොනකම ඔවුන්ගේ රූපද ඇත. මිල්ටන්ගේ බොකුටු කොණ්ඩය කියනුයේ මා මෙහි නිදන බවද? එහෙත් ඒ හඬ තවම ජීවමානය. ඒ ප්‍රදේශයම කලා පුරයකි. ජීවත්ව සිටියදීවත් මෙතරම් ළඟින් මේ අයට ඉන්නට හැකි නොවූ බව සහතිකය. ඒ සැවොම කාර්ය බහුල බැවිනි. එහෙත් දැන් සියල්ලෝ ඇලී ගැලී වෙලී සිටිති.
කනත්තේ ගීත සාහිත්‍යය ආරම්භ කළ එච්.ආර්. ජෝතිපාල සැතපෙනුයේද ඒ අසලමය. ජෝතිගේ සොහොන් කොත ටජ් මහලක් බඳුය. කනත්තේ සොහොන් කොත් මත ගීත ලියැවෙන්නේ ඔහුගෙන් පසුවය. එහි ආරම්භකයා ජෝතිය. ජෝතිගේ අවසන් ගමනට බොරැල්ල පිරී ඉතිරී ගිය මිනිස් ගඟක් ගැලුවේ ඒ තරමට ඒ හඬට මිනිසුන් ආදරය කළ නිසාය. අදටත් එතරම් මිනිස් ප්‍රාණීන් බොරැල්ල කනත්ත භූමියට නොආ බව එහි සේවකයන් මහත් ඉහළින් වණනුයේ ඔවුන්ද ජෝතිට ඒ තරමට ඇලුම් කරන නිසාය. ජෝතිගේ හඬට ප්‍රිය නොවන්නේ කවුරුද? ජෝතිගේ ගීත කප්පරක් කුඩා අකුරුවලට සොහොන් කොත් කෙටී ඇත. ඒ දෙස බලා විහිළුවක් කළ හැකි අයෙකු වේ නම් ඔහුද ජෝති අසලම හිඳී. ඒ දක්ෂ රංගන ශිල්පියෙකු වූ නිහාල් සිල්වාය. මේ අය සමඟ කනත්තේ මුල් දොර දෙසට යන කල තව බොහෝ අය හමුවිය හැක.
දොරකඩම වාගේ සිටිනුයේ ක්ලැරන්ස් විජේවර්ධනය. සුපුරුදු හිනා මුහුණෙන් සිටින ක්ලැරන්ස්ගේ රූපය යටින් ‘පියඹා යනවා මා ආකාසයේ අවසානයි ප්‍රේමාදරේ’ යනුවෙන් කෙටෙන කොට ඇත්තටම ක්ලැරන්ස් අත අරින්න ලෝබ හිතෙන තරම්ය. ජෝතිලා කෙළවර නිදද්දී ක්ලැරන්ස්ලා සාලයේ නිදනුයේ වෙනකක් නිසා නොව ආගමානුකූලව කනත්ත බෙදා ඇති නිසාය. ගීත පොදු වුවද ක්‍රිස්තියානි බෞද්ධ ලෙස කනත්තේ මායිම්ය. මේ කනත්තේ ක්‍රිස්තියානි කොටසය. ආගම මිනිසුන් මොන තරම් බෙදන්නේද යත් ස්වර්ගය සඳහාද එය එසේමය. ක්‍රිස්තියානි කොටස වම් පැත්තේය. බෞද්ධ කොටස දකුණු පසය. ආයේ ආයේ මෙලෙස බිම් කඩවල් මාරු වේ.
දමිළ කවියකු, නාට්‍ය ශිල්පියෙකු වූ සිල්ලයියුර් සෙල්වරාජන් දමිළ වුවද දමිළ ක්‍රිස්තියානුවකු නිසා ක්ලැරන්ස් කිට්ටුවේම සැතපෙයි.
ඒ මගෙහි ටික දුරක් එනවිට ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේනය. ඊට කිට්ටුව ‘මාද ඔබම විය’ කෙටුණු සොහොන් කොතක මාලිනී බුලත්සිංහලයන්ගේ මතකයය. ඇගේ රුවද එහි ඇත.
දැන් නැවත ජෝතිලාගේ අඩවිය ළඟය. ඒ කිට්ටුවම එල්සන් දිවිතුරුගමය. ඔහුගේ පවුලේ සොහොන් බිම එයය. කරුණාරත්න අබේසේකර සිටිනුයේද පවුලේ සොහොන් බිමෙහිය. එහි එක් පසක ඔහුගේ සහෝදරයාගේ මතකයය. ජෝතිට පිටුපස මිල්ටන් මල්ලවආරච්චිටද මැදිව නාරද දිසාසේකර සිටී. ඒ ඔහුගේ රුවද ගීත මතකයද කොතේ දරාගෙනය.
‘රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා’ ලියූ කේ.ඩී.කේ. එය ගැයූ මිල්ටන් සමඟ අවසන් නින්ද නිදනුයේද ළඟින්මය. මේ නම් සසර බැඳීම්ය.
මේ ඇරුණු කොට තවත් කොණක කලාසූරී අරිසෙන් අහුබුදු නිදන අතර කාලිංග ඔබේවංශද ඒ කිට්ටුවම නිදයි. ඉන් ටික දුරක් ගිය තැන සාමාන්‍ය මිනිසුන්ගේ ලේඛකයා වූ ඩීමන් ආනන්දය. ඒ අසලම සුසිල් ගුණරත්නය.
මේ කිසිවකු තනි නැත. තනි නොතනියට දන්නා අය බොහෝය. ධර්මසිරි ගමගේ, එච්.ඩී. ප්‍රේමරත්න හා ගැමුණු විජේසූරියත් අත පොවන මානයේය. ජෝ අබේවික්‍රමත් එහි ඇත.
ජෝතිට මුහුණලා ධර්මදාස වල්පොළගේ සොහොන් කොතය. ගීත ලියැවෙද්දී අහුබුදුන්ගේ සොහොන් කොතේ සිංහලකම පිරී ඇත්තේ හෙළ හවුලේම කවුරු හෝ එය අකුරු කොට ඇති බැවිනි.
‘බස රැස දෙස නැගුම කොටැ දිවියෙහි අරුත
අස දිස නිමැවුමෙන් සරු කළ කලා කෙත
ඇස ඇස දනන් ඇදැවූ බෝසත් සිරිත
යස ගොස ඔබගේ යුග යුග රැව් නැගෙනු ඇත.’

‘භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරුයි සුවාමිනේ
මුළු හදින් මම, සදා ආදර බිරිඳ
නිලාංගනී දිසාසේකර’
ඒ නාරදගේ සොහොනේ ඇති කවකි. යසෝදරා වතෙහි කවි පබඳන තරමට නාරදට ඇති ඇගේ පෙම කෙටී ඇති තරම එබඳුය.
දමිළ කවියකු වූ සිල්ලයියුර් සෙල්වරාජන්ගේ සොහොන් කොතේ ඇත්තේ මෙබඳු සටහනකි.
සිය මියුරු ගී පද
අමෝරා දුන් හී ලෙද
මිනිස්කම විනිවිද
දුටුව මිනිසකු නිදයි මෙහි අද
බොරැල්ල කනත්ත යනු අමුතුම රසකාමීන්ගේ එකතුවකි. එහි නිදනුයේ මෙරට හදවත් ආදරයෙන් පුරවාලූ මිනිසුන්ය. අද ඔවුන් නැතත් ඒ මතක අතර සැරිසැරීමත් අමුතුම ආස්වාදයකි.
‘මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි’යැයි මහගම සේකරයන් කියද්දී පණ්ඩිත් අමරදේවයන් සමුගෙන ගියේ ‘මළ ඉර බසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්’ ගීතය වාදනය වෙද්දීය. මේ හැම මතක අස්සේම එක තැන මැවෙන මතක ගොඩාක් ඇත්තේ සොහොන් කොත් අස්සේය.
මෙරට අපූරු රසකාමී මිනිස් කැළක සොහොන් කොත් අතර එහා මෙහා වෙන හැම මොහොතකම ඔවුන් ඉතිරි කර ගිය අතීත මතකයක හිත ඉගිල්ලේ. ඒ සුන්දර මතක මැවූ මිනිස්සු අද මෙහි නිදති. කොතක කෙටෙන මේ බොහෝ වැකි කියනුයේ මෙහි නිදනුයේ මිනිසුන් නොව පුරාවෘත්ත බවය.
පැරණි ක්‍රමයට හිතැති අවමඟුලක සිරි කනත්ත පහළින් පෙනේ. එනම් අපූරුවට ඉදිවන සොහොනක්ය. දැන් සොහොන් ඉදි නොවන තරම්ය. සියල්ල ක්ෂණික වී ඇත. විදුලියෙන් ඉක්මනින් පිච්චෙන්නේය. එහෙත් එතරම් හදිසියක් කුමටද? මේ හෙමින් සීරුවේ ඉදිවන සොහොන කියයි.
අඳුර කනත්ත වෙලා ගනිමින් තිබේ. සොහොන් කොත් පාළුවට යමින් අප හොල්මන් අවතාර බවට පරිවර්තනය වන වෙලාව පැමිණෙමින් තිබේ. මෙහි නිදන සියලු කලාකරුවන්ට සමුදිය යුතු බව කාලය වටහා දේ. සියල්ල සිදුවන්නේ එලෙසමය.
කනත්තේ තනි දොරට බෙදුණු පාර ආර්ච් ගේට්ටුව දක්වා ඇස් කෙළින්ය. කනත්තේ සුපුරුදු පාළුව රජ කරන්නට පටන් ගෙනය. මලානික මුස්පේන්තු ගතිය අවදි වන්නට පටන් ගෙනය.
සුසානය නොවේ අවසන
තිඹිරි ගෙය නොවේ ඇරඹුම
මරණය හුදෙක් දිගු ගමනක
නවාතැන් පොළක් පමණය
සේකර ලියා තිබුණා මතකය. කනත්තෙන් එළියට බැස ජීවිතය හොයන්නට වීමු. බසයේ හඬ ජෝතිගේය. ඔහුගේ සොහොන් කොත මට සිහිවේ. එය අබිබවා ඔහුගේ හඬ මතුවේ.
‘පාළු සුසානේ ප්‍රේම පුරාණේ’
ඒ මොහොතේම බස් රථයෙන් ඒ සිංදුවම ඇහුණේ ඇයි? අමුතු ජිමික් එකක් ඇත. ඒ සිංදුව බසයේ දමා තිබූ නිසාය. පුංචි විරාමයකට යනවා නම් කොළඹ ඇති සුන්දර තැනක්මය බොරැල්ල කනත්ත. සුන්දර මිනිසුන් එහි නිදන බැවිනි. මේ සියල්ල අතීතයට අයත්ව ඇතත් මතකයේ අදත් ඇත.
අතීතය
සුසානයකි.
මතකය
සොහොන් කොත්ය.
මේ නිකංම නිකං මතක නම් නොවේමය.■