Friday, 18/8/2017 | 10:08 UTC+0
රාවය

සුළඟ ගිනි අරන් සුදු එළිය තුළ කළු අඳුර

සුමුදු අතුකෝරල

ඉතාම දැඩි සුදු එළියක් දෙස මඳ වේලාවක් බලා සිටින විට ඒ තුළ අඳුරක් දැකිය හැකියි. සමහරවිට Dark in the white light (සුළඟ ගිනි අරන්) චිත්‍රපටය තුළත් මතුවන ආතතිය එම අඳුරම විය හැකියි. විමුක්ති මේ චිත්‍රපටිය ඇතුළේ චිත්‍රපටියේ කතාව සරලව ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියල්ල පසෙකින් තබා, සාමාන්‍ය කතාවක් කීමට නම් අනවශ්‍ය යැයි බැහැර කරන සිදුවීම් කිහිපයකින් කතාවක් වෙනුවට යම්කිසි හැඟීම් සමුදායක් එක හුයකට අමුණනවා. ඒත් හිතාමතාම කථාන්තර ඇසීමේ හුදු මිනිස් ආශාව විමුක්ති ඉතා සියුම් විදිහට සංසිඳුවනවා. බොහෝ විට ලංකාවෙ සහ අනිත් කලාපීය රටවල සිනමාව තේරුම් ගන්නේ දෙබස්වලින්. රූපය තුළම අර්ථ සටහන් වුණත් ඒක අබිබවා දෙබස්වලින් හැමදේම ලේසි සහ අතිසරල කරනවා. ඒත් සිනමාව කියන්නේ රූප සහ ශබ්ද අස්සේ හැඟීම් සඟවන සහ සොයාගන්නා කලාවක්. විමුක්ති සිනමාකරුවෙක් විදියට මේ වැඬේට කවදත් දක්ෂයි. රූප අස්සේම අභ්‍යාස කරලා අර්ථ සොයාගැනීමට එයා චලනය වන හෝ නොවන චිත්‍ර විතරක් ඉදිරිපත් කරනවා. හොඳ සිනමා රසිකයෙකුට තමන්ගේ සිනමා කෘතිය නිරස වෙන්න විමුක්ති ඉඩ දෙන්නේ නැහැ. රූප අස්සේ මතුකරන ඉතා ශූන්‍ය විස්තරයන් සහ එක් එක් රූප චලනය කෙරෙන හෝ ස්ථිතිකව පවතින රිද්මය තුළ නරඹන්නා තමන්ගේ සිනමා රසවින්දනය සොයාගත යුතුයි.
සුළඟ ගිනි අරන් පටන් ගන්නේ ගල්පර අස්සේ නිසලව සෑහෙන වෙලාවක් නතරවෙලා තිබෙන රූපයකින්. ඒ වුණත් ඒ ගල්පර වැලි කුඩා කුහර තුළ පවතින හිස් බව දැන් දැන් යම්කිසි දෙයක් පිරෙනකන් බලන් ඉන්න බව ඉවසිලිවන්තයාට දැනෙනවා. සුදු මුහුදු වතුරෙන් ඒ කුහර පිරෙනකම් අධ්‍යක්ෂවරයා එයාගේ අත්දැකීමට අපිවත් එකතු කරගන්නවා. ස්වාභාවික පරිසරයේ තියෙන මේ වගේ සාමාන්‍ය තත්ත්වයන් සිනමාව ඇතුළේ පුදුමයන් බවට පත්වෙන්නේ ඒවා නිර්මාණාත්මකව සහ යම්කිසි හැඟීමක් බිහිකිරීම උදෙසා සියුම්ව භාවිත කිරීම නිසායි. (කඳු අතරේ කුඩා පාරක පොඩි හාමුදුරුවෝ ඇවිද යන දර්ශනයේ අහසේ පාවෙන වලාකුළේ හෙවණැල්ල මුළු දර්ශනයම අත්පත් කරගන්නකම් පැය කීයක් ඒ දර්ශනය රූගත නොකර බලන් හිටියාද කියල විමුක්ති හම්බවුණාම අහන්න ඕනෑ.)
බැලූ බැල්මට මේ චිත්‍රපටිය අස්සේ ඔහේ අමුණපු දර්ශන තිබුණා වාගේ චිත්‍රපටිය බලන වෙලාවෙ හිතුණත්, ඒ හැම දර්ශනයක්ම චිත්‍රපටියේ සාමූහික හැඟීම් වියමන පුරවන්න ඉතා සූක්ෂ්මව යොදාගන්න ඇති කියලා මට හිතුණේ දවස් දෙක තුනකට පස්සෙයි. උදාහරණයක් විදියට පොඩි හාමුදුරු නම කැළයක් අස්සෙන් ඇවිදගෙන ලොකු දුරක් යන දර්ශනය අවසන් වෙන්නේ මහමුහුද ළඟින්. ඒක හරිම සන්සුන් නිවුණු පැහැදුණු ගමනක්. ඒ ගමන අවසානයේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන බවක් ඒ හැඟීම් අස්සේ තිබුණා. හැබැයි ලස්සනම දේ හාමුදුරුවන්ට මුහුද හම්බවෙන්න එයා ඇවිදින්නේ අපිට පිටුපාලා, අපි හාමුදුරුවෝ පස්සෙන් යනවා. ඒ වගේම ජයවර්ධනපුර රෝහලේ පාළු කොරිඩෝවේ අපි දිහාට ඇවිදන් එන දොස්තර ගොඩක් දුර ඔහේ අපි දිහාටම එනවා. අපි පස්සෙන් පස්සට යනවා. අඳුරුයි, මොකක් හරි විනාසයක් වෙන්න යනවා වාගේ. මේ දර්ශන දෙක එකිනෙකට විරුද්ධව ගමන් කරමින් අධ්‍යාත්මය සහ ආසාව අතරේ සීමාව වෙන්කරනවා.
දොස්තරගේ චරිතය නිර්මාණය කිරීම තුළ විමුක්ති සමහර දේවල් මග ඇරගෙන තියෙනවා වගේ දැනුණා. හරිම විනාසකාරී දොස්තරගේ චරිතය ගොඩනැගෙන්නේ අදහගන්න බැරි තරමේ නරක ගතිත් එක්ක. ඒ පීඩාකාරී හිංසනමය ක්‍රියාවලිය ඇහැට පෙනෙන නොපෙනෙන කුඩා දේවල්වලින් හෙව්වා නම් දොස්තර මීට වඩා තාත්වික වෙන්න තිබුණා වගේ හිතෙනවා. ඔව්! හැම දෙයක්ම තාත්වික වෙන්න ඕනෑත් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම අස්සේ, ඉතාම අඩුවෙන් කතා කරන හෝ කතා කරන්නේම නැති චරිත කිහිපය තමයි චිත්‍රපටිය නව සීමාවකට ගෙනියන්නේ. පොඩි හාමුදුරුවන්ගේ ඔළුව උඩ නටන තණකොළපෙත්තා සහ පිළිස්සුණු දොස්තරගේ අවතාරමය රූපයට කුතුහලයෙන් බුරන සහ විටෙක වලිගය වනන බල්ලාත් ඒ ගොඩට අයත්.
“හැම චිත්‍රපටියකටම මුලක් මැදක් අගක් තිබිය යුතුයි, හැබැයි ඒ පිළිවෙළටම තිබිය යුතු නැහැ.” මට මතක විදියට මෙහෙම කිව්වෙ ගොඩාඞ්. අන්න ඒ වාගේ අග මුල මැද මාරු කරමින් චිත්‍රපටිය ඉදිරියට අරගෙන එන විමුක්ති තමන්ට සුපුරුදු විදියටම කතාව ඉවර කරන්නේ අපේ හිතේ තිබුණු මේ ඔක්කොම අමුණා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට හරිම සරල උත්තරේකුත් එක්ක. ඒක අර ලස්සන රූපරාමුවක ඉඳගෙන කාඞ් සෙල්ලම් කරන තරුණයන් කිහිප දෙනාට ඇහුම්කන් දුන්නොත් තේරෙයි.■

About