පාවෙන්න දන්න අයට පාවෙන්න වලාකුළු දෙන සුළඟ ගිනි අරන්


sulanaga-2

චින්තන ධර්මදාස

විමුක්තිගේ අලුත් ෆිල්ම් එක පෙන්නන්නේ හවස 4.15 ෂෝ එක විතරයි. ඒ ෆිල්ම් එකේ ස්වභාවය හැටියට මං හිතන්නෙ නෑ ඊට වඩා ලොකු ඉල්ලූමක් හෝල්වල පැත්තෙන් එයි කියලා. වැඩ ඉවර වෙලා සෑහෙන කාලයක් ගතවුණත්, කීප තැනක වරින්වර ප්‍රදර්ශනය වුණත් මට ෆිල්ම් එක බලන්න ලැබුණ පළවැනි වතාව.
කොහොමටත් විමුක් තිගේ සිනමා ශෛලියට මං ආසක්තයි. සුළඟ එනු පිණිස චිත්‍රපටිය ලංකාවෙදී දැකපු පළමුවැනි වතාවෙදී ඒ රූපරාමුවලින් ඇතිකළ කම්පනය තාමත් ඇඟ ඇතුළේ තියෙනවා. ඒ සිනමාත්මක ප්‍රවේශය, නිමාව, බලාසිටීම වගේ ගොඩක් අත්දැකීම් මුල්වරට ලංකාවට ආවෙ විමුක්තිගේ වැඬේ හරහා. ඒක සම්මාන උළෙලවල හුරතල් කරන ප්‍රකාශන විදියක් වීමත්, ඊට පස්සේ තොග පිටින් ඒ විදියේම නිර්මාණ කිරීම හරහා සම්මානලෝභීන් පිරිසක් බිහිවීමත් වෙනම කාරණයක්. ඒත් සිනමාකරුවෙක් විදියට විමුක්ති යම් පුරෝගාමී මෙහෙවරක් හරියට කළා කියලා මං හිතනවා.
සුළඟ ගිනි අරන් චිත්‍රපටිය ගැන මට ආ පළමුවැනි හැඟීම වුණේ මේකෙ සිංහල නම නම් මස්තබාල්දුයි කියන එකයි. සුළඟ කියන වචනේ ෆිල්ම් ටයිට්ල්වල පට්ට ගහලා තවදුරටත් කිසිම ජීවයක් නැති වචනයක් වෙලා හමාරයි. ඒ මදිවාට පෝස්ටර්වලට පාවිච්චි කරලා තියෙන ස්ටයිල් එකත් අජපල්. වකුගඩු විකිණීමක කතාවක් එක්ක ගැටගහලා මේකට ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට යම් හෝ උනන්දුවක් ඇති කරන්න පුළුවන් කියලා හිතපු එකත් අසාර්ථක වැඩක්. මේ විදියේ ෆිල්ම් සාමාන්‍ය ප්‍රේක්ෂකයාට බලන් ඉන්න අමාරුයි. බලන් හිටියොත් ඌට මල පනිනවා. ඊට පස්සෙ එළියට ඇවිත් පලූ යන්න බනිනවා. ඒකෙන් වාසියකට වඩා වෙන්නෙ අවාසියක්. හරියටම චිත්‍රපටිය ගැළපෙන ඕඩියන්ස් එකට ආමන්ත්‍රණය කළා නම් සෙනග ගෙන්වා ගැනීම කොහොම වුණත් සාකච්ඡාවක්, සංවාදයක් ඇති කරගැනීම පැත්තෙන් ෆිල්ම් එකට හොඳ ෆීල්ඞ් එකක් හදා ගන්න තිබුණේ නැත්තං මේ ප්‍රචාරණ විදිවලින් වෙන්නේ හොඳ ෆිල්ම් එකක් නිකං බාල්දු කරන එකයි.
ෆිල්ම් එකේ පළමුවැනි සීන් එකම මාව චිත්‍රපටියට ඇදබැඳගන්න සමත් වුණා. මුහුද අයිනේ ගල්වැටියක් රළ පාරකින් පිරෙනකල් බලන් ඉන්න සංයමය චිත්‍රපටියෙ මූඞ් එකට අපිව අරන් එනවා. කතාව දිගහැරෙන්නට නියමිත ටෙම්පො එක, බලාපොරොත්තු විය යුතු වින්දනය ආදි හැම දෙයක්ම ඒ සරල ස්ථිතික රූපයෙන් කියනවා.
සුළඟ ගිනි අරන් ෆිල්ම් එකේ කතාව හෝ පිටපත විදියට ගත්තොත් මං ඒ තරම් වටිනාකමක් දකින්නේ නෑ. ඒ වෙනුවට කතාවක් කියන්න උත්සාහ ගන්නා හැම රූප රාමුවකම විමුක්ති දුර්වල වෙනවා මං දකිනවා. පිටපතක් විදියට දෙබස් රචනය පැත්තෙන් චිත්‍රපටියේ දර්ශන දෙකකට විතරක් මාරම කැමතියි. එකක් මහේන්ද්‍ර වකුගඩු හොයාගන්න දෙන දේශනය. අනික අන්තිමට කාඞ් ගහන කොල්ලෝ ටික කරන කතාව. ඒ ඇරෙන්න ෆිල්ම් එකේ පාවිච්චි වෙන දෙබස් අන්තිම දියාරුයි වගේම ඒකෙන් රූපයටත් හානි කරනවා.
මේ හැම දෙයක්ම මැද්දේ විමුක්ති තමන්ගේ සුවිශේෂීභාවය නැත්තං ගැඹුර වෙන මානයකින් අරන් එනවා. මට හිතෙන්නේ අධ්‍යක්ෂ වරයෙක් විදියට විමුක්තිගේ දක්ෂකම මැනෙන හොඳ තැනක් සුළඟ ගිනි අරන් ෆිල්ම් එක. දුර්වල පිටපතක්, දුර්වල කතාවක් ඇතුළේ වුණත් තමන්ගේ ප්‍රකාශනය එයා කරන විදිය.
මේ ෆිල්ම් එකේ වටිනාම වගේම ඉතාම සෞන් දර්යාත්මක ගොඩනැගීම වෙන්නේ ෆිල්ම් මූඞ් එක. හැම රූප රාමුවක් දිහාම සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳිද්දි බලාගෙන ඉන්න අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. රූපය පටන් ගනිද්දී ඉන්න අපි නෙමෙයි රූපය ඊළඟ එකට මාරු වෙද්දී ඉන්නේ. සමහර දර්ශන හිතාගන්න බැරි තරම් සරියල් ඇත්දැකීමකට සමවදින්න ඉඩ හදනවා. උදාහරණයක් විදියට හාමුදුරුවෝ වැටකේ පඳුරු අතරින් ඇවිදගෙන යන දර්ශනය. හරිම මිතිකල් බවක් චිත්‍රපටිය පුරාම දුවනවා. ඒක සවිඥානක දිගහැරීමක් නෙමෙයි. අපි බලන් ඉන්නේ අවිඥානය හඳුනන භාෂාවකින් හැදුණ රූප පෙළක් දිහා.
ඒක නිසාම වාස්තවික තත්ත්වයන් එක්ක චිත්‍රපටිය ගැටගහන්න හදන හැම තැනම ඒ අත්දැකීම දුර්වල කරනවා. ප්‍රචාරක පෝස්ටර යේදීත් සිද්දවෙන්නේ මේ හානිය. ෆිල්ම් එකේ මූඞ්එක මරනවා.
මේ චිත්‍රපටිය එකිනෙක ඈඳුණු කතාවක් විදියට නරඹන්න මට ඕනෑ වෙන්නෙ නෑ. ඒ වෙනුවට එක මූඞ් එකකින් නැත්තං හැඟීමකින් වෙළුනු රූප පෙළක් දිහා මං බලාගෙන ඉන්නවා. මම සවිඥානක මනස ඉක්මවූ තැනකින් චිත්‍රපටියත් එක්ක සම්බන්ධ වෙනවා. කරුණුමය අතින්, සාහිත්‍යමය අතින් ඇදගෙන වැටෙද්දී සමවදින්න පුළුවන් අධිතාත්වික අත්දැකීමක් අපිව ෆිල්ම් එකට බැඳලා තියාගන්නවා.
කතාව https://www.viagrasansordonnancefr.com/ අමුණාගන්න නොයෙක් තැන්වල කරන දුර්වල උත්සාහයන් තැනින් තැන පෙනෙන්න ගන්නවා. විමුක්තිට තිබුණේ ඒ උත්සාහය නොදරාම ඉන්න. හැඟීමෙන් විතරක් ප්‍රකාශනය අරගෙන යන්න. හාමුදුරුවෝ සහ වකුගඩු විකුණන දුෂ්ට දොස්තර අතර දැනෙන නොදැනෙන බැඳීම හරිම සාංදෘෂ්ටික සමතුලිත බවක් ගේනවා. ඒක හරි ලස්සන දෙයක්. වනාන්තරේට එක පැත්තකින් ඇතුළ්වෙන හාමුදුරුවෝ අනිත් පැත්තේදී පිළිස්සුණු අවතාරයක් බඳු දොස්තර වෙනවා.
ෆිල්ම් එක අන්තිමට කොල්ලො ටිකක් ඕමි ගහන ගමන් කියන ඕපාදූප කතාවක් බවට පත්වීම ආතල්ජනකයි. එතැනදී විමුක්ති වාචාල විදියට ගෙනෙන සංවාදයට මං ගොඩක් කැමතියි. ආපෝ ඕක කතාවක්නේ කියලා ඒක හෑල්ලූවට ලක්වෙද්දී කතාව කියපු එකා කියන්නේ, හැම එකක්ම කතාවක් තමයි කියලා. ඒ මදිවාට උන් ඕමි ගහන්නේ රිවර්ස්ටන්වල හීතල කඳුගැටයක් උඩ කමිසවත් ඇඟේ නැතුව. ඒ ගිනිගත්ත හුළඟ කියන්නේ අන්තිමට පට්ට හීතලේ ඕමි ගගහා කොල්ලො ටිකක් කියන කතාවක් වීමම දෙපැත්තට වැඩකරන අධිතාත්වික අවසානයක් ගෙනෙනවා.
සුළඟ ගිනි අරන් කියන්නේ පාවෙන්න දන්න අයට පාවෙන්න වලාකුළු දෙන සිරා සිනමා අත්දැකීමක්.■