ඛනිජ වැලි විකිණීම මෙතැනින් කොතැනටද?


sand

ලසන්ත රුහුණගේ

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයත නය නැතිනම් ව්‍යවහාරයට අනුව පුල්මුඬේ ඛනිජ වැලි සමාගම පිළිබඳව පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ එහි හිටපු නිසි බලධාරි අශෝක පීරිස් ජනාධිපතිවරයා විසින් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර මෛත්‍රී ගුණරත්න මහතා එම ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමේ සිදුවීමත් සමඟය.
මේ සිදුවීම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලි මේන්තුවේදී ප්‍රශ්න කළ අතර අශෝක පීරිස් මහතාගේ ඉවත් කිරීමට කරුණු දෙකක් බලපා ඇති බව ඔහු ප්‍රකාශ කළේය. ඉන් එක් කරුණක් වූයේ පළාත් පාලන ආයතන සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපතිවරයා වශයෙන් අශෝක පීරිස් මහතා එම කටයුතු ආණ්ඩුවේ වුවමනාව අනුව තවදුරටත් දීර්ඝ නොකරමින් ආණ්ඩුවේ බාධා මධ්‍යයේ අවසන් කිරීම පාලකයන්ගේ නොසතුටට කරුණක් වූ බවය. දෙවන කරුණ වූයේ රාජ්‍ය සම්පත් විකිණීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ යටතේ පාඩු ලබනවායැ’යි පෙන්වමින් ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනය විකිණීමට වුවමනා වී ඇති බවත්, ඊට අශෝක පීරිස් මහතා බාධාවක් වී ඇති බවත්ය. එම බාධාවට හේතු වශයෙන් පෙන්වා දුන්නේ අශෝක පීරිස් මහතා ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයට එන විට එහි තිබූ තත්ත්වයත් ඔහු පැමිණ වසර එකහමාරක් වැනි කාලයකදී එහි අනවශ්‍ය වියදම් කපා හැර සේවක පහසුකම් වැඩිකර ආයතනය පවත්වාගෙන යෑමට ඇති කර තිබූ වැඩපිළිවෙළත්ය.
යම් රාජ්‍ය ආයතනයක් විකිණීමට අවශ්‍ය නම් ඊට අදාළව රටට පෙන්විය යුතු පළමු කරුණක් තිබේ. ඒ එම ආයතනය පාඩු බව පෙන්නීමය. ලාභ ලැබිය හැකි ආයතනයක් පාඩු බව පෙන්වීමට අශෝක පීරිස් වැනි නිලධාරීන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වශයෙන් තබා ගනිමින් සිදු කළ නොහැකිය. එමෙන්ම ඛනිජ වැලි වැනි රාජ්‍ය සම්පත් විකිණීමේ ගනුදෙනුවලදී තම හිතවතුන්ට එම ටෙන්ඩර් ලබාදී ලැබෙන සංතෝෂම් ලබාගැනීමේ හැකියාවක්ද දේශපාලන පාලකයන්ට ලැබෙන්නේ නැත. ඒ නිසාම සිදුවන්නේ අශෝක පීරිස් වැන්නන් ඉවත් කර දේශපාලකයන්ගේ වුවමනාව ඉටුකරන ඊට අදාළ පිරිස් පත්කර ගැනීමය.
අශෝක පීරිස් මහතා ඉවත් කිරීමෙන් පසු ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනය ඔවුන් සතු ඉල්මනයිට් විකිණීම සඳහා පළමු ටෙන්ඩරය ප්‍රකාශයට පත්කර ඇති අතර මේ සටහන ඒ නිමිත්තෙනි. එම ටෙන්ඩරය පිළිබඳ විස්තර 2016 මාර්තු 13 දින ඬේලි නිව්ස් පුවත්පතේ පළකර ඇත. ටෙන්ඩර් දැන්වීමට අනුව ඉල්මනයිට් මෙටි්‍රක් ටොන් 11,000ක් විකිණීමට නියමිතය. ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කරන්නන් ඒ සඳහා රුපියල් 19704960ක් හෝ ඇමරිකානු ඩොලර් 132000ක ඇපයක් තැබිය යුතුය. ටෙන්ඩරය විවෘත කරනු ලබන්නේ 2016 අප්‍රේල් 04 දිනය.
කෙසේ හෝ අශෝක පීරිස් මහතාගේ කෙටි පාලන කාලය තුළ ඛනිජ වැලි විකිණීමේ විශාල ටෙන්ඩරවලට ලංකා මිනරල් සෑන්ඞ් ආයතනය යොමුවී තිබුණේ නැත. ඒ කරුණු කිහිපයක් නිසාය. එකක් එවැනි විශාල ටෙන්ඩර්වලදී තරගකාරීත්වයක් ඇතිවිය නොහැකි බව විගණනය පෙන්වා දී තිබීමය. ඒ අනුව සමාගම් එකක් හෝ දෙකක් ඛනිජ වැලි මිලදී ගැනීම සිදුකර ඇත. ඒ අනුව කුඩා ටෙන්ඩරවලට ගොස් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ප්‍රතිශතවලට ඇපකර ලබාගෙන දෙපාර්තමේන්තු මට්ටමේ කුඩා ටෙන්ඩර පවත්වාගෙන ගොස් තිබුණි.
අනෙක් කරුණ ඛනිජ වැලි ඍජුව නොවිකුණා එය අගය එකතු කර විකුණන ලෙසට ආණ්ඩුව කර තිබූ නිර්දේශයය. ඒ අනුව සිදුකර තිබුණේ ආයතනය පවත්වාගෙන යෑමට පමණක් අවශ්‍ය වන ආකාරයට ඛනිජ වැලි විකිණීමය. මහාචාර්ය ඕ. ඉලේපෙරුම ඇතුළු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සමඟ ඛනිජ වැලි අගය එකතු කිරීම පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමය. අගය එකතු කිරීමේ දැවැන්ත යන්ත්‍රාගාරයකට අවශ්‍ය ආයෝජකයෙකු සොයා ගැනීමට සැලසුම් කිරීමය. එතෙක් තමන් සතු ඛනිජ වැලි තොග ආරක්ෂා කරගැනීමය.
දැන් සිදුවී ඇත්තේ ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනය සතු මෙටි්‍රක් ටොන් 20,000ක් පමණ වන ඛනිජ වැලි තොගයෙන් මෙටි්‍රක් ටොන් 11,000ක් හෙවත් භාගයකට ආසන්න සංඛ්‍යාවක් එකවර විකිණීමට ටෙන්ඩර් කැඳවීමය. මෙම ටෙන්ඩරයක වටිනාකම රුපියල් මිලියන 100ට වැඩි නිසා ආයතන මට්ටමින් ඒ සඳහා ටෙන්ඩර් නොකැඳවා ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් ටෙන්ඩරයක් කැඳවීමය. එය ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතයේ වුවමනාවද නැත්නම් පසුගිය කාලයේ සිදුකර ගැනීමට නොහැකි වූ අමාත්‍යාංශ මට්ටමේ මහා පරිමාණ ටෙන්ඩර් කැඳවීමට නොහැකිවීමේ දේශපාලන වුවමනාවක්ද යන්න සැකයට භාජනය වන කරුණකි.
ඒ නිසාම ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ ඛනිජ වැලි විකිණීම පිළිබඳව විගණනය මීට පෙර සඳහන් කර ඇති කරුණු වෙත අවධානය යොමු කිරීම වටී. 2015 ඔක්තෝබර් 15 දින දරන විගණකාධිපති වරයාගේ වාර්තාව ආරම්භ කරන්නේ ඛනිජ වැලි අලෙවිය සම්බන්ධයෙන් අලෙවි ප්‍රතිපත්තියක් නොතිබීම අවධාරණය කරමින්ය. එහි මෙසේ දැක්වේ.
“ඛනිජ වැලි විකිණීමේදී ජාත්‍යන්තර මිල ගණන් සලකා බලා ඉහළම මිලකට ඛනිජ වැලි විකිණිය යුතු අතර ඒ සඳහා දේශීය හා විදේශීය ගැනුම්කරුවන් අතර තරගකාරීත්වයක් ඇතිවිය යුතුය. එසේම අලෙවි කරන මිල ගණන් ආයතනයට වාසිදායක විය යුතුය. එසේ වුවද එවැනි වැඩපිළිවෙළක් නොතිබුණි.” එසේම අලෙවි කරනු ලබන ඛනිජ වැලි සඳහා විචක්ෂණ මිලක් නියම නොකිරීමද, ඒ සඳහා විශේෂඥතාවක් ඇති පුද්ගලයන්ගෙන් සමන්විත මිල ඇගැයීම් කමිටුවක් පත්කර නිර්දේශ කරනු ලබන මිල ගණන් ටෙන්ඩර් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම හා ඉහළ මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරු සමඟ සමාගම තීරණය කළ මිල ලබා ගැනීම සඳහා එකඟතාවකට පැමිණීමේ වැඩපිළිවෙළක් නොතිබීම ගැනද විගණනය සඳහන් කරයි.
ඛනිජ වැලි විකිණීමේදී 2014 වර්ෂයට අදාළව තරගකාරීත්වයක් නොතිබීම පිළිබඳව විගණනය මෙසේ සඳහන් කරයි. “පිරිනමන ලද ටෙන්ඩර් 18 අතුරින් ටෙන්ඩර් 2ක් සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ එක් ගැනුම්කරුවකු පමණක් වන අතර ටෙන්ඩර් 8ක් සඳහා ගැනුම්කරුවන් දෙදෙනකු පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. මේ අනුව මෙම ටෙන්ඩර් 10 සඳහාම මිල ගණන් තරගකාරීත්වයකට ලක්වී නොතිබුණි.” තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ලංසු විවෘත කිරීමේ කමිටුවක් පත්කිරීමට කටයුතු කර නොතිබුණු බවද සඳහන් කරයි.
විශාල තොග වශයෙන් ඛනිජ වැලි විකිණීම පිළිබඳව අවධානය යොමු කරමින් විගණනය සඳහන් කරන්නේ 2015 වර්ෂයේදී එම වර්ෂයේ සැප්තැම්බර් මාසය වන තෙක් ඛනිජ වැලි විකිණීමේ අවස්ථා දෙකක් හඳුනාගත හැකි බවත්, ඒ මෙටි්‍රක් ටොන් 25,000ක් හා මෙටි්‍රක් ටොන් 32,750ක් වශයෙන් පුල්මුඬේ ගබඩාවේ සම්පූර්ණයෙන්ම එකතු වී තිබූ ඛනිජ වැලි තොගය බවත්ය. එම ඛනිජ වැලි තොගය එකවර සම්පූර්ණයෙන් විකිණීම සිදු නොකර කොටස් වශයෙන් තොග අලෙවි කිරීම තුළින් විශාල ගැනුම්කරුවන් ප්‍රමාණයක් ළඟාකර ගැනීමට හා සමාගමට ඉහළ ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබුණු බව එහිදී විගණනය සඳහන් කරයි.
තවද මේ ආකාරයට විශාල තොග අලෙවි කිරීමේ ආනිසංසය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරමින් විගණනය සඳහන් කරන්නේ 2015 ජුනි මාසයේදී අමාත්‍යාංශ අනුමැතිය ලැබුණු ඉල්මනයිට් මෙටි්‍රක් ටොන් 30,000ක්, රූටයිල් මෙටි්‍රක් ටොන් 500ක්, හයිටයි ඉල්මනයිට් මෙටි්‍රක් ටොන් 2000ක් හා සර්කොන් මෙටි්‍රක් ටොන් 250ක් විකිණීමේ ටෙන්ඩරය සඳහා එක් එක් ඛනිජ වර්ගය සඳහා වෙන වෙනම ලැබී ඇති ලංසු සංඛ්‍යාව තුනක් බවය. එහිදී ආයතන 4ක් ටෙන්ඩර් පත්‍රිකා ලබාගෙන ආයතන 3ක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර ඇත. (මෙහිදී ටෙන්ඩර් කැඳවා ඇත්තේ විවෘත තරගකාරී ක්‍රමයකට නොවන අතර ලියාපදිංචි සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා ඇත.)
මහා පරිමාණ ඛනිජ වැලි තොග නිකුත් කිරීමේදී ඉහත තත්ත්වය නැවත වරක් සිදුවිය නොහැකිද? කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට අනුව එය එසේ සිදුවිය නොහැකිය. ඔහුට අනුව ඉහළ ලංසු ඇපකරයක් තබා ගැනීම මගින් ලංසු අතහැරීමෙන් රජයට එම ඇපකරය ලබාගැනීමේ හැකියාව ඇත. රුපියල් මිලියන 19ක හෙවත් ඇමරිකානු ඩොලර් 132000ක ඇපකරයක් කිසිදු සමාගමක් නිකරුණේ අත්හරීවියැ’යි සිතිය නොහැකිය. සිදුවනවා නම් සිදුවිය හැක්කේ ඉහළ මිල ඇපකරයක් නිසා තරගකරුවන් ප්‍රමාණය සීමිත වීම හා ඉල්ලුම් කරන ලද මිල ගණන් ඉතා අඩු අගයක් ගැනීමය.
අඩු ලංසු ඇපකරයක් යෝජනා කිරීමේදී තරගකරුවන් වැඩිවන බවට අමුතුවෙන් කිවයුතු නැත. එම තරගකරුවන් වැඩිවීම මත ඉහළ මිල ගණන් ලැබීමද සිදුවිය හැකිය. අඩු අගයක් නිසා ඇප මුදල අත්හැර ඊළඟ ලංසු තබන්නාට ටෙන්ඩරයට යෑමට ඉඩදීම මගින් අඩු මුදලක් ලැබෙනවාය යන අමාත්‍යාංශ ලේකම්වරයාගේ තර්කය තාර්කික නැත. මන්ද යම් ටෙන්ඩරයකදී ලැබෙන ඉහළම මිලට ටෙන්ඩරය ලබාදිය යුතු බවට නියමයක් නැති බැවිනි. සමාගම අපේක්ෂිත මිල නොලැබුණේ නම් එම ටෙන්ඩරය අවලංගු කර නැවත ටෙන්ඩර් කැඳවිය හැකිය. අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම තර්කය අනුව ලැබෙන වැඩිම මිලට ටෙන්ඩරය පිරිනැමිය යුතුයැ’යි නියමයක් ඇත්නම් ටෙන්ඩර්කරුවන්ට කථිකා කරගෙන ඉතා අඩු මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කර ඔවුන්ට අවශ්‍ය මිලට ඛනිජ වැලි ලබාගැනීමේ අන්‍යොන්‍ය සහයෝගිතාවක් ඇති කර ගත හැකිය. එහෙත් එසේ නොවන්නේ අපේක්ෂිත මුදලට ළඟා නොවුණහොත් අදාළ ටෙන්ඩරය පිරිනොනැමීමේ හැකියාව විකුණුම්කරුට තිබෙන බැවින්ය.
ඒ නිසාම ඛනිජ වැලි විකිණීම හෝ වෙනත් යම් දෙයක් විකිණීම සම්බන්ධයෙන් වඩාත් හොඳ තීරණය වැඩි තරගකරුවන් ප්‍රමාණයකට ඉදිරිපත්වීමේ හැකියාව ලබාදී ඉහළ මිලක් ලබාගැනීම බවට විවාදයක් තිබිය නොහැකිය. ඒ අනුව මෙම ඛනිජ වැලි ටෙන්ඩරයේදී සිදුවන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.■

ඇපකරය අඩු කළාම වැඩි මිල අතහරිනවා
චින්තක එස්. ලොකුහෙට්ටි
ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ ඉල්මනයිට් විකිණීම සඳහා දැන්වීමක් පළ කරලා තියෙනවා. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝප සංග්‍රහය අනුව විකිණීමට බලාපොරොත්තු වන මිලෙන් 1%ත් 2%ත් අතර මිලක් තමයි ඇපකරය ලෙස තබාගත යුතු බව සඳහන්වන්නේ. එසේ නිර්දේශ කර ඇත්තේ වැඩි තරගකරුවන්ට ඉදිරිපත්වීමට ඉඩදී වැඩි මිලක් ලබාගැනීම සඳහා. ඒත් මෙම ටෙන්ඩරයේ ඇපකරය වශයෙන් ඉහළ මිලක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තරගකාරීත්වය පැවතිය යුතු බව විගණනය පවා මීට පෙර ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනය සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා.
ඇපකරයට අඩු මිලක් දැම්මාම වැඩියෙන් මිල ඉදිරිපත් කරන කට්ටිය ටෙන්ඩරය අතහරිනවා. ඊට අඩු මිල ගණන්වලට තමයි ටෙන්ඩරය හිමිවන්නේ. ඒකෙන් රජයට පාඩුවක් සිදුවෙනවා. ඒක නිසයි විශාල ඇපකරයක් ගන්නේ.
රජයත්, පරිසර අමාත්‍යාංශයත් පසුගිය කාලය පුරාම ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයට කියලා තිබුණා නේද මේ ඛනිජ වැලි අගය එකතු කර විකිණීමකට යන්න කියලා.
ඒක ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. දීර්ඝ කාලයක් යන වැඩක්. එතෙක් ආයතනය පවත්වා ගත යුතුයි. සේවකයන්ට වැටුප් ගෙවිය යුතුයි. ඒ නිසයි මේ ඛනිජ වැලි විකුණන්නේ.■