අපට අවශ්‍ය නැහැ තීරණය කලින් කියන්න | ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග

තරිඳු උඩුවරගෙදර

 

සනත් නිශාන්ත කියලා තිබුණේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව පක්ෂ නායකත්වය කටයුතු නොකරන බවත් පක්ෂ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව පිළිනොගන්නා බවත්. ඒ අදහසට ඔබත් එකඟද?

නිල වශයෙන් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒක පැහැදිලියි. එහෙත් පාක්ෂිකයන් අතර නායකයා කවුද කියන එකයි මෙතැන ගැටලුව වෙන්නේ. පාක්ෂිකයන්ගේ හදවත් දිනාගන්න පාක්ෂිකයා වෙනුවෙන් එතුමා කරන්නේ මොකක්ද කියන එකයි ගැටලුව. එතුමාම කියනවා මේ පාර විතරයි ඉන්නේ. ඊළඟ පාර ජනාධිපතිවරණයට එන්නේ නැහැ කියලා. ඊළඟට යූඇන්පී ශ්‍රී ලංකා දීගය අවුරුදු පහකට දිගු කරනවා. අවුරුදු පහකට පස්සේ කවුද ශ්‍රී ලංකා එකේ ජනාධිපති අපේක්ෂකයා. මේ වෙනකොට පක්ෂය දුර්වලයි. ජනාධිපතිවරණයට පක්ෂයේ ලේකම් පක්ෂය කඩාගෙන ගියාට පස්සෙයි පක්ෂය දුර්වල වුණේ. අද වෙනකන් ඒ පක්ෂය ගොඩනඟා ගන්න බැරිවුණා. එජාපය එක්ක එකඟතාවකට ගිහින් අවුරුදු පහක ආණ්ඩු කරනවා කී පළියට පක්ෂය ශක්තිමත් වෙන්නේ නැහැ.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට ගත්ත විනය පියවර සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මම හිතන්නේ ඒක අසාධාරණ තීරණයක්. පක්ෂයේ සංහිඳියාව ඇති කරන්න කටයුතු කරනවා නම් ඕවා කරලා හරියන්නේ නැහැ. පළාත් පාලන මැතිවරුන්ගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ව දීර්ඝ නොකර ඡන්දය තියන්නේ නැතිව කල් දැමීම. එහි වාසිය එජාපයටයි. ඒකට විරුද්ධ වුණාම ඒ අයව ඉවත් කරනවා. පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අදහසක් කීවාම ඔවුන්ව ඉවත් කරනවා. තමන්ව මරන්න ආපු ත්‍රස්තවාදියාටත් සමාව දෙන්න තරම් රටේ සංහිඳියාව ඇති කරන්න ලිහිල් තත්ත්වයට යනවා නම් පක්ෂයේ සංහිඳියාව ඇති කරන්න ඊට වඩා වෙනත් ක්‍රියාමාර්ග ගන්න ඕන.

පක්ෂයේ සංවත්සරයටත් එන්න කියලා ආරාධනා කළානේ. ඔබ කියන්නේ ජනාධිපතිවරයා පළ නොකියා පලා බෙදනවා කියලාද?

මම කලින් කීවෙත් ඒකයි. මේ ගන්න ක්‍රියාමාර්ග හරහා පක්ෂයේ සංහිඳියාව ඇති කරන්න බැහැ. පක්ෂයේ සංවත්සරයට සෙනඟ ගෙන්නන්න හදනවා. අපි දන්නවා දැනටමත් විශාල බස් ප්‍රමාණයක් ලෑස්ති කරලා තියෙනවා. ඒත් තමන්ව රවට්ටගෙන හරියන්නෙ නැහැ. බොරුවට සෙනඟ පෙන්වලා. පක්ෂයේ උන්නතියට පියවර ගන්නයි ඕන.

ඔබේ කණ්ඩායමේ බහුතරය ඉන්නවා කියලා පෙන්වන්න ඕන. අනෙක් අතට සංවත්සරය සංවිධානය කළේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන්. ඔවුන්ට සෙනඟ අඩුයි කියලා පෙන්වන්න නම් ඔබලා නොයා යුතුයි. සංවත්සරයට සහභාගි නොවී ඉන්නද බලාපොරොත්තුව?

තාමත් ආරාධනාවක්වත් කරලා නැහැනේ. මේ වෙලාවේ වේලාසන වැඩියි. අපි යනවා හෝ නෑ කිව්වොත් එයාලා කියයි අපි එයාලාට කතා කළේ නැහැ කියලා. එහෙම වුණොත් සවුත්තු වෙනවා. අපට අවශ්‍ය නැහැ තීරණය කලින් කියන්න.

ජනාධිපතිවරයා කියා තිබුණා සමුළුවට ඔබලාටත් ආරාධනා කරනවා කියලා. ඒක විවෘත ආරාධනාවක් නේද?

ඉතින් ඔබතුමා කීවා වගේ පල නොකියා පලා බෙදනවා. අනෙක් පැත්තෙන් සංවිධායකයන් ඉවත් කරනවා. පාක්ෂිකයන්ව ඉවත් කරනවා. ඉතින් අපි තීරණයක් ගන්න ඕන ඒවාට ප්‍රතිචාර විදියට මොනවද කරන්නේ කියලා. පක්ෂය දියකරන්න ඕන බව අපට තේරෙනවා. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා.

සනත් නිශාන්ත ජනාධිපතිවරයාව ඉතා තදින් විවේචනය කරලා තියෙනවා. ඇත්තටම ජනාධිපතිවරයා ඔබේ කණ්ඩායමේ දරුණු පහරදීම් හමුවේ හැකිතරම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව හිතෙන්නේ නැද්ද?

මෙහෙමනේ. දැන් අපි බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරග කළේ පොදු අපේක්ෂකයා විදියට. පොදු අපේක්ෂකයාට උදව් කළ පක්ෂ යූඇන්පී, ජේවීපී, ටීඑන්ඒ සහ මුස්ලිම් පක්ෂ. එතකොට ශ්‍රීලනිපයේ අපි අපේ අපේක්ෂකයාට උදව් කළා. එතැනත් පැහැදිලි බෙදීමක් තියෙනවා. එතුමා මෙහෙමනේ. දැන් අපි බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරග කළේ පොදු අපේක්ෂකයා විදියට. පොදු අපේක්ෂකයාට උදව් කළ පක්ෂ යූඇන්පී, ජේවීපී, ටීඑන්ඒ සහ මුස්ලිම් පක්ෂ. එතකොට ශ්‍රීලනිපයේ අපි අපේ අපේක්ෂකයාට උදව් කළා. එතැනත් පැහැදිලි බෙදීමක් තියෙනවා. එතුමාට විරුද්ධවයි අපේ පාක්ෂිකයා හිටියේ. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිත්වය ගද්දීම ගැටලුවක් තියෙනවා. එතුමා ඒ තනතුර ගන්න සදාචාරාත්මක හැකියාවක් නැහැ. දෙවැනි කාරණය ඒක ගත්තාම පක්ෂයේ උන්නතියට කටයුතු කරන්න ඕන. එහෙම නොවුණාම පක්ෂයට ආදරය කරන අය විදියට යම් විවේචන තියෙනවා. ඒ විවේචන පක්ෂයේ උන්නතිය සඳහායි.

ආසන සංවිධාකයකවරුන්ව අලුතින් පත් කරලා තියෙනවා. ඒ ගැන මොකක්ද අදහස?

ඔවුන්ට පක්ෂයේ නිල බලය තියෙන නිසා ඔවුන් පක්ෂයේ ව්‍යවස්ථාවේ හැටියට කටයුතු කරනවා. ඒත් ආණ්ඩුවට එක්කහු වෙලා ඉන්න පිරිසට වඩා අපේ දේශපාලන ස්ථාවරය වෙනස්.

පාක්ෂිකයන් ඉතා තදින් ජනාධිපතිවරයාට බැණවදිනවා. ඔබ මෛත්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් බැලුවොත් ජනාධිපතිවරයා කෙසේ එය දැකිය යුතුයි කියලා හිතනවාද?

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය දිනපු නායකයා. එදා මිනිස්සු කීවේ මහින්ද මහත්තයා රටේ බාගයක් ගත්තත් කමක් නැහැ යුද්ධය දින්න නිසා කියලා. එහෙම නායකයාට අපේම ආණ්ඩුවේ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ කොච්චර බණිනවාද? එහෙම කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ වගේ බණින එක ඕනතරම් තියෙනවා. දැන් බණිනකොට එකපාරම රිදෙන්න විදියක් නැහැ. ජනාධිපතිවරණයේදී පක්ෂයට විරුද්ධව කියපු දේවල් රටම දන්නවානේ.

ප්‍රාදේශීය නායකයන් කියා තිබුණා බැසිල් රාජපක්ෂ විසින් වෙනම තරග කරන බව ඔවුන්ට සහතිකයක් දුන්නු බව. එහෙම සූදානමක් තියෙනවාද?

මුළු රටේම පාක්ෂිකයන් කියන්නේ ශ්‍රී ලංකා එකෙන් ඉල්ලුවොත් පාක්ෂිකයන්ට තැන නැතිවෙනවා. පාක්ෂිකයන් වෙනුවෙන් යමක් කරන්න කියලා. බහුතරය අරගෙන වෙනම ඉල්ලන්න කියලායි කියන්නේ. එහෙම දෙයක් ගැන තීන්දුවක් ගන්නවා නම් හිටපු ජනාධිපතිවරයා සහ නායකයන් තමයි තීන්දුවක් ගත යුත්තේ.

ඇතැම් ප්‍රාදේශීය නායකයන්ට අපේක්ෂකත්වය දෙන්නේ නැති බව කියනවා. එහෙනම් කොහොමත් එයාලාට වෙනම ඉල්ලන්න වේවි නේද?

ඔව්, කොහොමත් ප්‍රාදේශීය නායකයන් පක්ෂයෙන් ඉල්ලන්න බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි මේ ක්‍රියාමාර්ගයේ ඉන්නේ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වෙනම ගමන් කිරීමයි. ඒ හරහා මැතිවරණයකින් තමයි පෙන්වන්න පුළුවන් පාක්ෂිකයා කොතැනද ඉන්නේ කියලා.

දැන් පෙනෙන විදියට මේ කණ්ඩායම් දෙකේම නායකයන් පක්ෂය එකතු කිරීම කියන අදහස අතෑරලා වගේ නේද?

මම ඒක දන්නේ නැහැ. හැබැයි එක් පැත්තකින් රාජපක්ෂලාව හිරේ යවමින් හිංසා කරනවා. රාජපක්ෂලාගේ වංචා ගැන කතා කරනවා. හැබැයි ගල්අඟුරු වංචාව ගැන, මහ බැංකු වංචාව ගැන, අතුරුදන්වූවන්ගේ පනත ගැන මේ අයට විවේචනයක් නැහැ. කබරයා තමන්ට ඕන වෙලාවට තලගොයා කරගන්න බෑනේ. වංචාවට විරුද්ධනම් විරුද්ධ වෙන්න ඕන. ඉතින් එහෙම පසුබිමක අපි විපක්ෂයේ කාර්යය කරනවා.