Untitled-1

Untitled-1

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (3)


viyangoda

භාණ්ඩයක් යනු යමක් විකුණන තැනකි. මුදල් ඇති ඕනෑම කෙනෙකුට මේ කඩයේ ඇති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගත හැකිය. මුදල් තිබූ පමණින් මිල දී ගත නොහැකි භාණ්ඩයක් හෝ සේවාවක් කිසි කඩයක තිබිය නොහැක. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ, රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය රටේ සමස්ත ජනතාව විසින් මිලදී ගෙන ශිෂ්‍යයාට නොමිලේ ලබා දීමත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකදී ශිෂ්‍යයා විසින් තමන්ගේ මුදලින්ම එය මිලදී ගැනීමත් ය. ප්‍රශ්නය තිබිය යුත්තේ, රජයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයා හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයාට යම් මිලකට පිරිනැමෙන එම භාණ්ඩයේ ඇදක් කුදක් ඇතොත් පමණි.
ලංකාවේ පාසල් 10,000ක් තිබේ. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 440,000කි. 2015 වසරේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 255,191 කි. ඒ අතරින් විභාගය සමත් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලත් ශිෂ්‍ය සංඛ්‍යාව 155,447 කි. එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබුවේ 27,603 ක් පමණි. එනම්, විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට සියයට 83ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර නොගත් බවයි.
2006 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපොස උසස් පෙළ සමත්වූවන් අතරින් විශ්වවිද්‍යාලයකට තෝරාගනු ලබන්නේ සියයට 14.34ක් පමණි. 2009 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ආචාර්ය තාරා ඩි මෙල් මහත්මිය එදා පෙන්වා දුන් පරිදි, විෂයයන් තුනටම ‘ඒ’ සාමර්ථ ලද ශිෂ්‍යයන් 164 දෙනෙකු කිසි විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගෙන නැත. ‘ඒ’ සාමර්ථ දෙකක් සහ එක් ‘බී’ සාමර්ථයක් ලද ශිෂ්‍යයන් 1464ක් කිසි විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගෙන නැත.
2011දී ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 60,000කි. එහෙත් වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගනු ලැබුවේ 1500කට අඩු පිරිසක් හෙවත් සියයට 2.5කට අඩු පිරිසකි.
සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත් 2011 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම ‘ඒ’ සාමර්ථ ලබා ගනිමින් සමත් විය. ඔහුගේ ‘ඉසෙඞ්’ ලකුණු මට්ටම වුණේ 1.9191කි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීම සඳහා සලකා බැලුණු ‘ඉසෙඞ්’ ලකුණු මට්ටම වුණේ 1.9196කි. ඒ අනුව, කොළඹ මට්ටමට සාපේක්ෂව 0.0005 ක් වැනි හිඟයක් නිසා ඔහුට විශ්වවිද්‍යාලයේ දොර වැසුණි. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මොහුට විශ්වවිද්‍යාලයේ දොරටු වැසෙන්නේ විභාගය අසමත් වීම නිසා නොව, විභාගයෙන් ඉහළම ‘ඒ’ සාමර්ථ තුනක් ලබා සිටියදීත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම නිසා වන බවයි.
මේ ක්‍රමයේ අමානුෂික හෙළුව පෙන්වන අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ. ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ. ඔහු උපන්නේ මාතර ය. එහෙත් මාතර නොදියුණු පාසලක 5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය. ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්’ වශයෙන් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි. අවසානයේ, ඔහුට රජයේ විශ්වවිද්‍යාලය අහිමි කරනු ලැබුවේ, රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.’
එම වසරේම කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපොස උසස් පෙළට පෙනී සිට ‘සී’ දෙකක් සහ ‘බී’ එකක් ලබා ගත් ශිෂ්‍යයෙකු යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනුණි. ඔහුගේ ඉසෙඞ් ලකුණු අගය වුණේ, 1.1028 කි. එනම් ඩිල්ෂාන්ට වඩා 0.8163 ක් අඩු ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට මේ ක්‍රමය යටතේ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් විය හැකි වූ බවයි.
2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ ‘එස්’ තුනකි. ඔහුගේ ඉසෙඞ් ලකුණු අගය 0.1149 කි. එම වසරේම, එනම් 2009 දීම සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි. ඒ අතරින් අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට ‘එස්’ දෙකක් සහ ‘සී’ එකක් තිබුණි. ඔහුගේ ඉසෙඞ් ලකුණු අගය 0.2351කි. එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා 0.1202ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය. රජයේ විශ්වවිද්‍යාලවල සිටින්නේ රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්’ යැයි කියන මිථ්‍යාවේ මහත කොතරම්ද?
මෙසේ සිදුවන්නේ, ‘දිස්ත්‍රික්ක ක්‍රමය’ යනුවෙන් හැඳින්වෙන එක්තරා සූත්‍රයක් නිසා ය. මේ සූත්‍රය තුළ, අපොස උසස් පෙළ විභාගයෙන් දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාලයකට තෝරා ගැනෙන්නේ සියයට 40ක් පමණි. එනම්, සියයට 60ක්ම තෝරා ගැනෙන්නේ අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි. ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි. මේ පිරිස මා හඳුන්වන්නේ ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව’ වශයෙනි. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ අමානුෂික ක්‍රමය පිටුදැකීමයි. එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෑමොර දෙන පුද්ගලයන් අතරේ මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්’ කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.
ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාව, ජීව විද්‍යා අංශයෙන් 2010දී ලන්ඩන් අපොස උසස් පෙළ විභාගයට ලංකාවෙන් පෙනී සිටියාය. ඇගේ දෙමාපියන් බොහෝ කාලයක් විදේශ රටවල සේවය කළ හේතුවෙන් රජයේ විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඈට නොහැකි වූ නිසා, ඈ මේ විභාගයට පෙනී සිටියේ ලංකාවේ ජාත්‍යන්තර පාසලකිනි. ඒ විභාගයෙන් ඈ ‘ඒ’ සාමර්ථ හතරක් ලබා ගත්තාය. ඒ වසරේ ලංකාවේ ඉහළම ප්‍රතිඵලය වුණේ එයයි. එපමණක් නොව, ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු ලෝකයේම ශිෂ්‍යයන් අතරින් එම වසරේ ඈ පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබුණි. එහෙත්, ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමය අනුව, ඇයව කිසි විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර නොගැනුණි. ඒ ගැන ඈ කියන්නේ මෙවැන්නකි: “මං පිටරට ඉඳගෙන මේ විභාගෙම කළා නං, විදේශ ශිෂ්‍ය අනුපාතික ක්‍රමය යටතේ යම් ගාස්තුවක් ගෙවා ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මට පුළුවන්කම තිබුණා. ඒත් අපේ සංස්කෘතියට අනුව මාව හදාවඩා ගන්න මගේ දෙමාපියන්ට ඕනේ කළ නිසා මාව ලංකාවට ගෙනල්ලා ලංකාවේ පෞද්ගලික පාසලකින් මට අධ්‍යාපනය දුන්නා. ඒකෙන් වුණේ, ලංකාවේ විශ්වවිද්‍යාලෙකට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව මට නැති වෙච්ච එක.”
ලංකාවේ සුපිරි පාසලක තමන්ගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව ෂලසා දිය යුතු බවට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරයි. එනම්, තමන්ගේ දරුවන්ට සුපිරි පාසලක් වෙනුවෙන් දුප්පත් රෝගීන්ගේ ජීවිත බිල්ලට ගනිති. එවැනි හයිරංකාර වෘත්තීය සමිති බලයක් නැති ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාවට පහසුකම් සහිත පාසලක් සොයා ගැනීමට බැරි නිසා, තරමක් අතමිට සරු ඇගේ දෙමාපියෝ ඇය ලංකාවේ ජාත්‍යන්තර පාසලකට ඇතුල් කළහ. ඒ ‘පාප කර්මය’ නිසා ඇයට ලංකාවේ විශ්වවිද්‍යාලයක් අහිමිව යාමෙන් පෙන්නුම් කරන්නේ, ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව’ වෙනුවෙන්, නැති බැරි මාතර උපන් ඩිල්ෂාන් සම්පත්ට සේම, ඇති හැකි ජුඩිත් පීරිස්ටත් එක විට දඬුවම් විඳීමට සිදුව ඇති බවයි.
මේ තත්වය තුළ වසරකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ලංකාවෙන් පිටරටවලට යන ශිෂ්‍ය සංඛ්‍යාව 200කට අධික බව ගණන් බලා තිබේ. එහිදී දැරීමට සිදුවන වියදම රටින් රටට වෙනස් වෙයි. බංග්ලාදේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන ලංකාවේ ශිෂ්‍යයෙකු රුපියල් මිලියන දෙකක වියදමක් සාමාන්‍යයෙන් දැරිය යුතු බව කියැවේ. චීනයේදී එය රුපියල් මිලියන 6ක් ද, ඉන්දියාවේදී රුපියල් මිලියන 10ක් ද, ඇමරිකාවේ හෝ එංගලන්තයේ නම් රුපියල් මිලියන 40 ක් ද වන්නේය. මේ සියල්ල රුපියල් ශත නොව, විදේශ විනිමය බවත් අමතක නොකළ යුතුය.
ලංකාවේ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් තිබේ. මහාචාර්ය ලලිතා මෙන්ඩිස්ගේ එක් අධ්‍යයනයකට අනුව, ලංකාවේ ලක්ෂයක ජනගහනයකට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 55.2කි. එනම්, 1811 දෙනෙකුට එක් වෛද්‍යවරයෙකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා හිඟයි. ජනතාවගෙන් 25,000කට සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණි. මෙවැනි වෛද්‍ය හිඟයක් දිගටම පවත්වා ගැනීම තුළින්, අඟහිඟකම් ඇති දුගී රෝගියා වෙනුවෙන් ප්‍රශස්ත මට්ටමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරයෙකු විසින් නැති කර ගැනීමට අමතරව, අතමිට සරු රෝගීන් සඳහා ස්ථාපිත පෞද්ගලික රෝහල්වල රෝගීන්ගේ සාක්කුවෙන් යම් ගතමනාවක් උපයා ගැනීමටත් වෛද්‍යවරයෙකුට හැකි වන්නේය. වෛද්‍යවරුන් එසේ මුදලට සේවය කිරීම මේ ලියුම්කරු කිසිසේත්ම වරදක් වශයෙන් දකින්නේ නැත. රජයේ රෝහලක නොමිලේ සැපයෙන ප්‍රතිකාර ගැනීම සඳහා සල්ලිකාරයනුත් පැමිණ තවත් තදබදය වැඩි කරනවා වෙනුවට, ඒ සල්ලිකාරයා වෙනුවෙන් කරන ‘සේවය’ සඳහා යම් මිලක් නියම කිරීම අත්‍යන්තයෙන්ම යථායෝග්‍ය ය. එහෙත් ඒ ආකාරයෙන්ම, රජයේ විශ්වවිද්‍යාලවල තදබදය නිසා එළියට වීසි වන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ගෙන් යම් කොටසකට සල්ලි ඇත්නම්, ඒ මුදලින් ඔවුන් වෛද්‍යවරුන් වීම නුසුදුසු වන්නේ මන්ද යන්නයි අපට ඇති ප්‍රශ්නය.■ (ඉතිරිය ඊළඟට)