Friday, 18/8/2017 | 10:08 UTC+0
රාවය

වසර පුරා බොරුවලට රැවටෙන අපට ඒ සඳහා වෙනම දිනයක් කුමටද?

අප්‍රේල් 1 වනදා ලොව පුරා – විශේෂයෙන් බටහිර රටවල ්April Fools’ Day ලෙස ජනප්‍රියව තිබෙනවා. අවසනාවකට මෙය වැරදි සිංහලට පෙරළා ඇත්තේ ‘මෝඩයාගේ දිනය’ ලෙසින්.
වචනාර්ථයෙන් නොව දැනුම් තේරුම් ඇතිව පෙරළා ගත්තා නම් ඇත්තටම එය ‘මහා රැවටිලි දිනය’ විය යුතුයි. මොකද විවිධ රටවල මේ දිනයේ කැරෙන්නේ ඇස් රතු නොවන, අහිංසක විහිළු ලෙසින් බොරු කියා, හැකි නම් අන් අය රැවටීමයි. එසේ රවටනු ලබන්නෝ ‘අප්‍රේල් මෝඩයා’ (April Fool) ලෙස තාවකාලික ලේබලයක් ලබනවා.
මෙහිදී ‘අප්‍රේල් මෝඩයා’ කියන්නේ යම් සූක්ෂ්ම විහිළුවකට ලෙහෙසියෙන් රැවටුණු නිසා මිසක් කිසිසේත්ම ඔවුන්ගේ බුද්ධියේ හීන බවක් නිසා නොවෙයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියා කියනවානේ. මේකත් එහිම දිගුවක්. ඉන් ඔබ්බට කිසිවක් මේ දිනයේ නැහැ.
ඉරිදා පත්‍රයක මාධ්‍යවේදිනියක් මාර්තු අග සතියේ දුරකථනෙන් මට කථා කළ විට මහා විහිළු දිනයේ යුරෝපීය සම්භවය හා ඉතිහාසය ගැන මඳක් විස්තර කර, ඉහත පැහැදිලි කිරීම මා අවධාරණය කළා.
මෙය ‘මෝඩයන් උපදින දිනයක්’ ලෙසට ලක් සමාජයේ ප්‍රචලිත දුර්මතය දුරු කරන්න උදවු වන්න යයි ද අයැද සිටියා. ඒත් අන්තිමේදී ඇය මා කී වැදගත්ම ටික ලිපියට ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ වෙනුවට ලිපිය ගතානුගතික රටාවකට අප්‍රේල් 1දා උපන්නෝ මෝඩයන්ද යන්න යළි යළිත් විමසනවා.
මේ අඥාන ප්‍රශ්නයට මගේ කෙටි පිළිතුර මෙයයි: දේශපාලකයන්ට හා කට්ටඩියන් ඇතුළු සමස්ත ප්‍රෝඩාකරුවන්ට ලෙහෙසියෙන් රවටා ගන්නට හැකි බහුතර ජනතාවක් වෙසෙන අපේ රටේ, මෝඩයන් සඳහා වෙනම දිනයක් මොකටද? අපි හැමදාමත් රැවටෙනවානෙ!
මට තව විමතියක් තිබෙනවා. අප්‍රේල් පළමුවැනිදාට තමන් අසන කොයි දේත් සංශයවාදීව (skeptically) විමසන්නට තැත් කරන බොහෝ දෙනා, වසරේ ඉතිරි දිනවල එසේ නොකරන්නේ ඇයි? හැමදාමත් රැවටී එක් දිනක් පමණක් නොරැවටෙන්නද?
අප්‍රේල් පළමුවැනිදා සැහැල්ලු හා විනෝදබර නිමිත්තට වඩා හරබර නිමිත්තක් අප්‍රේල් 2 වනදාට යෙදී තිබුණා. එය ඉංග්‍රීසියෙන් International Factchecking
Day නම් වුණා. අපට සිංහලෙන් ජාත්‍යන්තර කරුණු තහවුරු කිරීමේ දිනය යයි කිව හැකියි.
මෙයට මුල් වුණේ බටහිර රටවල් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ සේවාවන් (fact checking services). දේශපාලකයන් හා මාධ්‍ය විසින් කරනු ලබන විවිධාකාරයේ ප්‍රකාශයන්ගේ සත්‍ය අසත්‍ය බව මූලාශ්‍ර හරහා නිර්දය ලෙස විමර්ශනයට ලක් කිරීම මේ සේවාවල කාර්යභාරයයි.
හැකි තාක් අවස්ථාවල යමක් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වීමට පෙර කරුණු විමර්ශනය කරන අතර දේශපාලකයන් හා වෙනත් පුවත් මවන්නන් පොදු අවකාශයේ කරන ප්‍රකාශවල ඇත්ත නැත්ත වීමසා ලොවට කීමද ඔවුන් කරන මාහැඟි මහජන සේවාවක්.
රටවල් රැසක් මෙබඳු සේවා සරසවි යටතේ, ස්වාධීන පර්යේෂ ණායතනවල හෝ ලාබ නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වනවා. සමහර සේවා අරඹා තිබෙන්නේ මහජන විශ්වාසය දිනූ මාධ්‍ය ආයතන මඟින්. උදාහරණ හැටියට අමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් සමාගමට අයත් Factchecker සහ එරටම ටැම්පා බේ ටයිම්ස් පත්‍රයට අනුබද්ධ Politi Facts දැක්විය හැකියි.
මෙයට අමතරව ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ආයතන රැසක කාර්ය මණ්ඩලයේ කරුණු විමර්ශකයෝ (inhouse factcheckers) සිටිනවා. මාධ්‍යවේදීන් සම්පාදනය කරන පුවත් හා විග්‍රහයන් පළවීමට පෙර ශීඝ්‍රගාමීව කරුණු තහවුරු කිරීම ඔවුන්ගේ භාරධුර වගකීමයි.
මෙකී සියලු කරුණු විමර්ශකයන් එක් වී ජාත්‍යන්තර ජාලයක්ද පිහිටුවා ගෙන තිබෙනවා.
සමහරුන් මහජන වේදිකාවල හෝ ටෙලිවිෂන් සංවාදවලදී ඉතිහාසයේ යම් සිදුවීම් හා දින වකවානු ගෙන හැර දක්වනවා. යම් සිදුවීම් තම තර්කවලට වාසි වන ලෙස ප්‍රතිවිග්‍රහ කරනවා. තවත් සමහරුන් සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් යම් මත ඉදිරිපත් කරනවා.
කියන්නා කෙසේ කීවත් අසන සැවොම ඒ ප්‍රකාශ සංශයවාදීව හා විචාරශීලීව ග්‍රහණය කළ යුතුයි. අප සැමට තවම තොරතුරු සාක්ෂරතාව ලැබී නැති නිසා කරුණු විමර්ශකයන්ගේ සේවය තීරණාත්මක වනවා.
අද වන විට (2016 අග සංඛ්‍යා ලේඛන) ලෝක ජනගහනයෙන් අඩක් හෙවත් බිලියන් 3.3ක් දෙනා ඉන්ටර්නෙට් භාවිත කරනවා. ඉන්ටර්නෙට් හරහා සත්‍ය තොරතුරු මෙන්ම අර්ධ සත්‍යයන් හා සම්පූර්ණ අසත්‍යයන් ඉක්මනින් ලොව පුරා සංසරණය වනවා.
හැබැයි මේ ප්‍රවණතා කිසිවක් ඉන්ටර්නෙට් නිසා බිහි වූයේ නැහැ. ඒ සියල්ල ඉන් පෙරද පැවතුණා. ඉන්ටර්නෙට් ප්‍රචලිත වීමෙන් සිදුව ඇත්තේ ඒවා පැතිර යාම ශීඝ්‍රගාමී වීම පමණයි.
මෑතක පටන් ලෝක අවධානයට ලක්ව ඇතිFake News හෙවත් සාවද්‍ය පුවත් එයට උදාහරණයක්.
අසත්‍ය බව දැන දැනම යමක් සත්‍ය පුවතක් ලෙස බෙදා හැරීමට Fake News නම යෙදෙනවා. නම සාපේක්‍ෂව අලුත් වුවත් සාවද්‍ය පුවත් අපේ රටට නම් ආගන්තුක නැහැ. දශක ගණනාවක් තිස්සේ අපේ සමහර ජනමාධ්‍ය හා දේශපාලන පක්‍ෂ සාවද්‍ය පුවත් නිෂ්පාදනය කරමින් සිටිනවා! (මේ ගැන විස්තරාත්මකව ඉදිරි ලිපියක අප සාකච්ඡා කරනවා.)
ඇතැම් විට චේතනාන්විතව නොවූවද මාධ්‍යවල නොසැලකිල්ල නිසාත් අර්ධ සත්‍යයන් හෝ පූර්ණ අසත්‍යයන් සමාජගත වනවා. අපේ රටේ කරුණු විමර්ශන සම්ප්‍රදායක් හෝ සේවාවක් නැති වීමත් මෙයට දායක වනවා.
අපේ මෑත ඉතිහාසය ගැන නිවැරදි දත්ත හා විග්‍රහයන් වෙනුවට දුර්මත හා සත්‍යය විකෘතිවීම් රැසක් අප අතර තිබෙනවා. උදාහරණ ලෙස මේ ප්‍රශ්න කිහිපය මෙනෙහි කරන්න.
ප (නිදහස් අධ්‍යාපනය යයි වැරදි ලෙස ලේබල් කැරෙන) සිසුන්ගෙන් සෘජුව මුදල් අය කරනු වෙනුවට, ජනතාවගෙන් එකතු කරන බදු මුදල්වලින් නොමිලයේ අධ්‍යාපනය ලබාදීම හඳුන්වා දුන් එහි නිර්මාතෘ කන්නන්ගරයන්ට සැබැවින්ම සෙසු දේශපාලන ප්‍රභූන් විරුද්ධ වුණාද?
ප මෙරට පාසල් හා සරසවිවල ඉංග්‍රීසි බසින් ඉගැන්වීම අගමැති බණ්ඩාරනායක ඕනෑකමින් නතර කළාද?
ප අත්‍යවශ්‍ය ඖෂධ සංකල්පය ප්‍රවර්ධනය කළ මහාචාර්ය සේනක බිබිලේට අන්තිමේදී මොකද වුණේ?
මේ හැම එකක් ගැනම සමාජගත මතවාද විග්‍රහයන් ඇතත් ඵෙතිහාසික වාර්තා සාධක මත පදනම් වනවා වෙනුවට කුමන්ත්‍රණවාදී තර්ක හා අර්ධ සත්‍යයන් පුළුල්ව පැතිර ගොස් තිබෙනවා. අද බොහෝ දෙනා මෙවැනි සිදුවීම් ගැන ආවේගශීලී වන්නේ කරුණු විමර්ශනයකින් තොරවයි.
මෙයට හොඳ උදාහරණයක් මෑතදී මතු වුණා. මාර්තු මස මැදදී අපේ මාධ්‍ය රැසක් වාර්තා කළේ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 94 දෙනකු අපොස සාමාන්‍ය පෙළ පවා සමත් නොවූ අය බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනකු බවත්.
මාධ්‍ය සාකච්ඡාවකදී මෙය පවසා තිබුණේ පේරාදෙණිය සරසවියේ හිටපු දේශපාලන විද්‍යා මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා විසිනුයි. විෂය පිළිබඳ නාමධාරී විද්වතකු කළ ප්‍රකාශයක් නිසාත්, මාධ්‍යවේදීන් බහුතරයක් දෙනා එල්බගත් අදහස් සමඟ එය සමපාත වූ නිසාත් කිසිදු විමර්ශනයකින් තොරව මේ ප්‍රකාශය ප්‍රතිරාවය කරනු ලැබුවා.
මේ දත්තවල මූලාශ්‍රය කුමක්දැයි ප්‍රශ්න කළේ ඉංග්‍රීසි පත්‍රවල වැඩකරන මාධ්‍යවේදීන් දෙදෙනකු පමණයි. එයින් එක් මාධ්‍යවේදිනියක් මහාචාර්ය වරයාට දුරකථනයෙන් අමතා ඔබේ දත්ත ලබා ගත්තේ කෙසේදැයි විමසූවා. (පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පවා මෙවන් දත්ත එකතු කිරීම දුෂ්කර බව ඇය දැන සිටියා.)
තමා මේ තොරතුරු යම් පුවත්පතක කලකට පෙර කියවූ බවත්, ඒ කුමන පුවත්පත දැයි හරිහැටි මතක නැති බවත් මහාචාර්යවරයා මාධ්‍යවේදිනියට කියා තිබෙනවා. ‘ඒ තොරතුරු නිවැරදි වෙන්න ඇති. කවුරුත් එයට අභියෝග කළේ නැහැනේ.’ යයි ද ඔහු පැවසුවාලු.
අනෙක් ඉංග්‍රීසි මාධ්‍යවේදියා මේ අතර සොයා ගත්තේ මෙම සංඛ්‍යා ලේඛනයම 2014 සැප්තැම්බරයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබූ බවයි. (ඉන්ටර්නෙට් සෙවුම් යන්ත්‍රයක් හරහා තත්පර කීපයකින් මේ ගැන එවකට පළ වූ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් වෙබ් අඩවිවලින් සොයා ගත හැකියි.)
එම 2014 ප්‍රකාශයට අනුව මන්ත්‍රීවරුන් 94ක් සාමාන්‍ය පෙළ අසමත්ව සිටියේ පසුගිය 2010-2015 පාර්ලිමේන්තුවේයි. වත්මන් පාර්ලිමේන්තුවටත් එම ගණනම අදාළ වීමට ඉඩක් ඇත්ද?
පිළුණු වූ සංඛ්‍යා ලේඛනයක්, මූලාශ්‍ර කිසිවක් රහිතව අලුතෙන් සමාජගත කිරීම කෙතරම් වගකීම් විරහිත වැඩක්ද? මෙවැනි බරපතළ ප්‍රකාශයක් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක පැවසූ විට එහි සිටි කිසිවකුත් එහි පදනම හා මූලාශ්‍ර ගැන ප්‍රශ්න නොකළේ ඇයි? දේශපාලකයන් බහුතරයක් හරිහැටි උගත්කමක් නැති අය ලෙස සලකන ජනප්‍රිය මතයට එය අනුගත වූ නිසාද?
නාමධාරී (හෝ නොවන) කවරකුත් කරන ප්‍රකාශ ගෙඩි පිටින් සටහන් කොට හෝ පටිගත කොට එය ප්‍රචාරය කිරීමට එහා යන සංශයවාදී හා විමර්ශනශීලී ගුණයක් මාධ්‍යවලට තිබිය යුතුයි.
අපේ මාධ්‍යවලට අද ප්‍රකාශන නිදහස ඇතත් තවමත් එයින් බහුරතයකට නැත්තේ ද මෙම වෘත්තීයභාවයයි.
තොරතුරු නීතිය හරහා රාජ්‍ය තොරතුරු ටිකෙන් ටික විවර වෙමින් තිබෙන, ඉන්ටර්නෙට් හරහා බොහෝ දත්ත සොයා ගත හැකි අද කාලේ යම් කරුණක ඇත්ත නැත්ත තහවුරු කර ගැනීම පෙරට වඩා පහසුයි. අවශ්‍ය වන්නේ ඕනෑකම හා කැපවීමයි.
රාවය 25වන සංවත්සරය නිමිත්තෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගයීමක් ’ (2012) නම් පොතට පරිච්ඡේදයක් ලියූ මහාචාර්ය රොහාන් සමරජීව කීවේ මෙයයි.
“සාක්‍ෂි ඕනෑ තරම් මේ රටේ තිබේ. නොමිලයේ ලබා ගත හැකිව ඇති මේ කිසිවක් මාධ්‍ය විසින් පාවිච්චි කරන බවක් නොපෙනේ. ඒ වෙනුවට අපට දිවා රෑ අසන්නට, කියවන්නට ලැබෙන්නේ කවුරුන් හෝ දේශපාලකයකුගේ දුර්වලකම් පුන පුනා කියනු ලැබීමකි.”
මාධ්‍යවලට මහාචාර්ය සමරජීව දුන් අවවාදය මෙයයි: “ශ්‍රී ලංකාවේ පුවත්පත්වල අන්තර්ගතයේ ගුණාත්මක බව දියුණු කරමින්, දැනට පවතින අඩු පිරිවැයෙන් යුතුව නිපදවෙන සාධක නොමැති මතවාද ලිපිවල සිට වඩාත් සමතුලිත වූද සාධක හා මතවාදවල යහපත් මිශ්‍රණයකින් යුත් වූද ලිපි ලියැවෙන තත්ත්වයක් කරා දියුණු කරන්නට මේ රටේ පුවත්පත් සිය අවධානය යොමු කරන්නේ නම් සියලු තරගකාරී තත්ත්වයන් අතරේ ඔවුන් නොනැසී පවතිනවා පමණක් නොව වඩාත් සමෘද්ධිමත් වනවාද නොඅනුමානය.”
අප්‍රේල් පළමුවැනිදාට පමණක් අසන කියවන හැම දෙයක්ම ගැන සංශයවාදී වන මාධ්‍ය ග්‍රාහකයන්ට, එම ගුණාංගය හැම දිනෙකම ප්‍රගුණ කිරීමේ වගකීම තිබෙනවා.■