පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂා


ivan

වික්ටර් අයිවන්

පසුගිය කලාපයට ලියන ලද ලිපිය මගින් පුනරුදය ව්‍යාපාරය ප්‍රාදේශීය මට්ටමෙන් පවත්වාගෙන යන සාකච්ඡා සභා ක්‍රමය හා ඒ මගින් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න පැහැදිලි කරන ලදි. මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ පුනරුද ව්‍යාපාරය වැඩ කරන ශෛලිය හා පුනරුදය උදාකර ගැනීමේ ඉලක්කය ජයගැනීම සඳහා ක්‍රියාවට නගන්නට අපේක්ෂා කරන උපාය මාර්ගික වැඩසටහනේ දර්ශනය පිළිබඳවය.

ශාන්තිය හා ප්‍රඥාව
විවිධ ප්‍රදේශවල ශාඛා ගොඩනැගූ පමණින් ඒ සියලු ශාඛා වැඩ කරන තත්ත්වයකට යනු ඇතැයි අප අපේක්ෂා කරන්නේ නැත. සමහර ශාඛා වැඩ කරන තත්ත්වයකට යා හැකි අතර තවත් සමහර ශාඛා එක තැන පල්වෙන තත්ත්වයක තිබිය හැකිය. ඒ සියලු ශාඛාවල කමිටු රැස්කොට ඒවා ප්‍රාණවත් කිරීමට හේතුවන අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාවට නැගීමට අපේක්ෂිතය.
ඒ සමඟ පුනරුදය ශාඛාවල සාමාජිකයන් අධ්‍යාපන වැඩසටහනකට යොමු කිරීමටද අපේක්ෂිතය. එම අධ්‍යාපන වැඩසටහනින් අපේක්ෂා කරන එක් අරමුණක් වනුයේ ඒ සියලුදෙනා ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කොට ඔවුන් ප්‍රබෝධමත් තත්ත්වයකට ගැනීමට ඒ සඳහා ඔවුන්ගේ පැසවන ලද තුවාලවල ඇති සැරව මිරිකා හැර එම තුවාල සුවපත් කිරීමය.
අධ්‍යාපන වැඩසටහනේ ඊළඟ අරමුණ වනුයේ ඒ සියලුදෙනාට ප්‍රඥාව ලබාදීමය. රටේ ඇතිවී තිබෙන විනාශය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු පිළිබඳව තියුණු අවබෝධයක් ලබාදීම එහි අපේක්ෂාවය. ඒ මගින් ඒ සියලුදෙනා කුල අගතියෙන් වර්ග අගතියෙන් හා ආගමික අගතියෙන් තොරව සාධාරණව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමේ හැකියාව ඇති පුද්ගලයන් බවට පත්කිරීමට බලාපොරොත්තු වේ.
එම අධ්‍යාපන වැඩපිළිවෙළින් පසුව ඊට යොමුවූ අය පුනරුද ව්‍යාපාරය පතළ කිරීම සඳහා වඩා ප්‍රබල ලෙස වැඩ කරන තත්ත්වයකට යොමුවනු ඇතැයි අපේක්ෂා කරමු. ඒ සමඟ ඒ සියලුදෙනා සාමාන්‍ය මිනිසුන්ට වෙනස් යහපත් අය ලෙස ඔවුන් පවුලේ සාමාජිකයන්ටද අසල්වැසියන්ටද පෙනෙනු ඇති අතර එම තත්ත්වය පුනරුද ව්‍යාපාරයේ ව්‍යාප්තිය වේගවත් කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත.

පවුල් සංස්ථාව
ඒ සමඟ පුනරුද ව්‍යාපාරයේ සාමාජිකයන් හරහා ඔවුන්ගේ පවුල් කෙරෙහිද යහපත් බලපෑමක් ඇති කිරීමට අපේක්ෂිතය. රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති බිහිසුණු අශීලාචාර වටාපිටාව පුද්ගලයන් විකෘති කිරීමට සේ ම එම පුද්ගලයන්ගේ පවුල් විකෘති කිරීමටද හේතුවිය. පවුල් සංස්ථාව තුළ ස්වාමිපුරුෂයා බිරිඳ අතරත් මාපියන් හා දරුවන් අතරත් කිසියම් ප්‍රමාණයකට හෝ ශාස්ත්‍රීය සංවාදයක් තිබුණේ නම් එම තත්ත්වය නැතිකොට ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර තිබෙන සහසම්බන්ධය සේ ම මාපියන් හා දරුවන් අතර ඇති සහසම්බන්ධයද විකෘති කිරීමට හේතුවිය. වර්තමානයේ පවුල තුළ ශාස්ත්‍රීය සංවාදයක් ඇත්තේම නැති තරම්ය. ශාස්ත්‍රීය හෝ දේශපාලන වැදගත්කමක් ඇති සංවාදයකට කලාතුරකින් හෝ සහභාගිවන්නේ පවුලේ පියා පමණය. පාසල් අධ්‍යාපනයට හා ටියුෂන් අධ්‍යාපනයට තමන්ගේ සම්පූර්ණ කාලය යොදවන්නට දරුවන්ට සිදුවී තිබේ. බිරිඳට තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගතකරන්නට සිදුවී තිබෙන්නේ ගෙදර වැඩ සඳහාය. බිරිඳට දැනුම හෝ විනෝදය ලබන්නට සිදුවී තිබෙන්නේ රූපවාහිනි වැඩසටහන්වලින් හෝ පූජනීය ස්ථානවල ආගමික වැඩසටහන්වලින්ය. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අම්මාවරුන් මිථ්‍යා විශ්වාසයන්ගේ රුදුරු ගොදුරු බවට පත්වීමය.
දරුවන්ගේ ජීවිතද ඉතාමත් ශෝචනීයය. අධ්‍යාපනයෙන් පැටවී තිබෙන අධික බර නිසා දරුවන්ට ළමා කාලයක් හෝ තරුණ කාලයක් ඇත්තේම නැති තරම්ය. ඔවුන් වැඩි වැඩියෙන් ජංගම දුරකතන සමඟ දිවි ගෙවන්නන් බවට පත්වී තිබේ. අන්තර්ජාලයට යන්නේද දැනුම වර්ධනය කරගැනීම සඳහා නොව ගොසිප් කියවන්නට, ඒවාට ග්‍රාම්‍ය ලෙස ප්‍රතිචාර දක්වන්නට හා ලිංගික කුතුහලය සංසිඳුවා ගන්නට අවශ්‍ය වල්පල් කියවන්නටය. ඔවුන් අධ්‍යාපනයෙන් පැටවී තිබෙන අධික බර සැහැල්ලු කරගැනීමට උත්සාහ කරන්නේ මත්ද්‍රව්‍යවලට හුරුවීමෙනි. සමහර පවුල්වල පියා හා මව අතර ගැටුම් පවතී. ඒ ගැටුම් දරුවන් කෙරෙහිද බලපායි. එයද දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු කරන තවත් වැදගත් හේතුවක් ලෙස ක්‍රියාකරයි.
දරුවන්ගේ අධ්‍යාපනයට ඉලක්ක කියා දෙන්නේ මාපියන්ය. ඒ ගැන බොහෝ මාපියන්ට අවබෝධයක් නැත. ඒ සඳහා අවශ්‍ය කරන අවබෝධය ඔවුන්ට ලබාදෙන ක්‍රමයක්ද නැත. ඉලක්ක නියම කිරීමේදී ළමුන්ගේ කැමැත්ත හෝ දක්ෂතා හොඳින් සැලකිල්ලට ගැනෙන්නේ නැත. මාපියන් කරට දෙන කුරුසිය කරගහගෙන යන්නට දරුවෝ පුරුදු වී සිටිති. ඉලක්ක සපුරාගත නොහැකිව මානසික රෝගීන් බවට පත්වන ළමුන්ගේ සංඛ්‍යාව විශාලය. ප්‍රධාන විභාග කඩුලු ජයගැනීමට අසමත් ළමුන් සැලකෙන්නේ කාලකණ්ණි ළමයින් ලෙසය. ශාස්ත්‍රීය අධ්‍යාපනයට කැමති නැති හා දක්ෂ නැති දරුවන් කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයට යොමුකිරීමක් සිදුවන්නේ නැත. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා රජය විසින් පවත්වාගෙන යන ආයතන ක්‍රමයක් ඇතත් බොහෝ ආයතනවල ප්‍රමාණවත් තරම් ශිෂ්‍යයන් නැත. ශාස්ත්‍රීය අධ්‍යාපනයකට කැමති නැති හෝ දක්ෂ නැති පාසල් සිසුන් කාර්මික හා තාක්ෂණික අධ්‍යාපන ආයතනවලට යොමුකරන විධිමත් ක්‍රමයක්ද නැත.

මිථ්‍යා විශ්වාස
පවුල් සංස්ථාව තුළ මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීමේ ලොකු වර්ධනයක් ඇතිවූයේද අශීලාචාරත්වය රජ කළ බිහිසුණු කාලපරිච්ඡේදයේය. එය මුළු මහත් සමාජයම අතිවිශාල අසරණභාවයකට පත්කර තිබුණු කාලපරිච්ඡේදයක් වන අතර එවැනි වටාපිටාවක් තුළ අසරණභාවයට පත් අය මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි යොමුවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මරණයට පත්වූ දරුවාගේ මළසිරුර දකින්නට නොලැබෙන අවස්ථාවලදී සාමාන්‍යයෙන් මව්වරුන් තමන්ගේ දරුවා මියගිය බව විශ්වාස කරන්නේ නැත. ඒ වෙනුවට දරුවා කොහේ හෝ ජීවත් වනු ඇතැයි විශ්වාස කරති. එවැනි මව්වරුන් පේනකාරයන් සොයා යෑම හා භාර හාර වීම ඉතාමත් ස්වාභාවිකය. එම වටාපිටාව මිථ්‍යා දේවලට තිබුණු ඉල්ලුම වර්ධනය කිරීමට හේතුවූ අතර එසේ වර්ධනය වූ මිථ්‍යා වෙළෙඳපොළ හැකිළෙන්නට නොදී පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලබාදෙන ලද්දේ ජනමාධ්‍ය විසිනි. පවුල් සංස්ථාවල හැමදෙයක්ම පාහේ සිදුවන්නේ ජ්‍යොතිෂ්‍යය පදනම් කොටගෙනය. ළමුන්ගේ විභාගවලදී භාරහාර වීම හැම තැනකම පාහේ සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. විභාග කාලසටහන අසුබ කාලය මගහැරෙන ලෙස පවත්වාගෙන යෑමට විභාග කොමසාරිස්තුමා පවා විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. දරුවන් විවාහ කර දෙන්නේද කේන්දරවල ගැළපීම සොයා බැලීමෙන් පසුවය. විවාහවීමට සුදුසු හා නුසුදුසු ගැහැනු ළමුන් කේන්ද්‍රය අනුව පුංචි කාලයේදීම හඳුනා ගැනේ. ස්වාමියාට මරු කැඳවීමට හේතුවිය හැකි යෝග තිබෙන ගැහැනු දරුවන්ට ඒ දරුවා කසාදයකට සුදුසු නැති දරුවකු බව කියාදෙන්නේ මාපියන් විසින්මය. මේ හේතුව නිසා පමණක් විවාහවීමෙන් වැළකී තනිකඩ ජීවිතයක් ගත කරන කාන්තාවන්ගේ අනුපාතිකය සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පවතී.

පවුලට පුනරුදය
පවුල් සංස්ථාව තුළ ඇතිවී තිබෙන මෙම විකෘතිය නැති කොට ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට ගැනීම පුනරුදය උදාකර ගැනීම සඳහා සම්පූර්ණ කරගත යුතු වැදගත් කොන්දේසියක් ලෙස පුනරුදය ව්‍යාපාරය සලකයි. පුනරුද ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් හරහා පුනරුදය දහම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ගෙනයෑමට අපේක්ෂා කරයි. ඒ මගින් පවුල් සංස්ථාවල තිබෙන විකෘතීන් නැති කොට පවුලේ සියලුදෙනා අන්‍යොන්‍ය අවබෝධයෙන් ප්‍රබෝධමත් ලෙස ක්‍රියාකරන තැනකට ගැනීමට අපේක්ෂා කරයි. ඒ සඳහා වන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරයි.
කලින් කල හෝ පවුලේ සාමාජිකයන් එකට එකතු වී තමන්ගේ ප්‍රශ්න පමණක් නොව සමාජ ප්‍රශ්නද කතා කරන සම්ප්‍රදායක් ඇති කළ හැකිය. මිථ්‍යා විශ්වාසයන්ගේ ඇති නිරර්ථකභාවය ඔවුන්ට කියා දිය හැකිය. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී මාපියන්ට උපදෙස් දෙන උපදේශකයෙකුගේ කාර්යභාරය පුනරුදය ව්‍යාපාරයට ඉටු කළ හැකිය. පවුලේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ක්‍රමයක්ද ඇති කළ හැකිය. අධ්‍යාපනයට සම්පූර්ණ බර යොදා ක්‍රියාකරන තත්ත්වයක් තුළ දරුවන්ට ඇතිවී තිබෙන පීඩනයේ බර සැහැල්ලු කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදද ඔවුන්ට කියා දිය හැකිය. ශාස්ත්‍රීය අධ්‍යාපනයකට කැමති නැති හෝ දක්ෂ නැති ළමුන් කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයකට යොමුකිරීමේ වැදගත්කම කියාදෙන අතර ඒ සඳහා තෝරාගත හැකි ආයතන ක්‍රමද හඳුන්වාදිය හැකිය. ළමුන්ගේ අභිවෘද්ධියට හේතුවන ශික්ෂණ ගණනාවක් ලබදෙන චෙස් ක්‍රීඩාව ඔවුන්ට හඳුන්වාදී එම ක්‍රීඩාව ඔවුන් අතර ප්‍රචලිත කළ හැකිය.
දරුවන් දීග දීමේදී කේන්දරවලට බර තබා ක්‍රියාකිරීමේ ඇති නිරර්ථක විනාශකාරී ස්වරූපය ඔවුන්ට කියා දිය හැකිය. දරුවන්ගේ විවාහ මංගල්‍ය උත්සවවලදී ඒවාට ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා තිබෙන සියලු සේසත වියදම් කරන පිළිවෙතක් ක්‍රියාත්මක වේ. ඒ වෙනුවට අඩු වියදමකින් ලස්සන මංගල උත්සවයක් පැවැත්විය හැකි ආකාරය ඔවුන්ට කියාදිය හැකිය. නිවාස තනාගැනීමේදීද ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය කිරීම මගින් යන වියදම් අඩු කොට වඩා හොඳ නිවසක් තනාගත හැකි ආකාරය ඔවුන්ට කියා දිය හැකිය. කෘෂිකර්මය ප්‍රධාන ජීවන මාර්ගය කරගෙන තිබෙන අයට කෘෂිකර්මයෙන් වැඩි ආදායම් ලැබිය හැකි ක්‍රම කියාදිය හැකිය. අලුතෙන් ආර්ථික මාර්ග තනාගැනීමේදී හා ස්වයං රැකියාවලදීද ඔවුන්ට මගපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ හැකිය. පවුල් සංස්ථාවල වියපත් මිනිසුන් ජීවත්වන්නේද ලොකු අසහනයකිනි. ඔවුන් තුළ මරණ බිය ඇති කිරීම මගින් ඔවුන්ගේ ඉතිරි කිරීම් ගසාකන සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. ඔවුන් අතර පවතින මරණ බිය නැතිකොට මරණය තෙක් ප්‍රබෝධමත් ජීවිතයක් ගෙනයා හැකි ආකාරය ඔවුන්ට කියාදිය හැකිය.

බාහිර සතුරකු නැතිකම
බොහෝ විමුක්ති ව්‍යාපාරවල පැවැත්මට බාහිර සතුරකු අත්‍යවශ්‍යය. ඒ නිසා බාහිර සතුරකු නැති කල මවාපාන බොරු සතුරකු හෝ කරළියට ගැනීමට සිදුවේ. මිනිසුන්ගේ කෝපයට භීතියට හෝ වෛරයට හේතුවන ඇත්ත හෝ බොරු සතුරකු ඇතිවිට මිනිසුන් ඒකරාශි කිරීම පහසුය. මාක්ස්ට ලෙනින්ට පමණක් නොව මහත්මා ගාන්ධිටද මිනිසුන් පොළඹවා ගැනීම සඳහා සතුරෙක් සිටියේය. මාක්ස් කම්කරුවන් එකතු කළේ ධනපති පන්තියට එරෙහිවය. ලෙනින් ජනයා එකතු කළේ මහජනතාව පීඩාවට පත් සාර් පාලනයට එරෙහිවය. මහත්මා ගාන්ධිටද මිනිසුන් පොළඹවා ගැනීම සඳහා බි්‍රතාන්‍ය ආධිපත්‍යය නමැති සතුරෙක් සිටියේය. විජේවීර දෙවැනි කැරැල්ලේදී තරුණ පරපුර පොළඹවා ගැනීම සඳහා යොදා ගත්තේ ඉන්දියානු සාම හමුදාවේ ආගමනය පදනම් කොටගෙන ඉන්දියාව ලංකාව අල්ලා ගැනීමට යන්නේය කියන භීතිකාවය. ප්‍රභාකරන් අනුගමනය කළ පිළිවෙතද තරමක් ඊට සමානය.
පුනරුද ව්‍යාපාරයට මිනිසුන් එකතු කරගැනීම සඳහා පාවිච්චි කිරීමට එවැනි සතුරන් නැත. මිනිසුන් එකතු කරගැනීමේ අරමුණ ජයගැනීම සඳහා බොරු සතුරකු මවාපාන්නට අපේක්ෂා කරන්නේද නැත. පුනරුද ව්‍යාපාරයට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ බාහිර බලවත් සතුරකු නැතිව සවිඥානකත්වයේ නොදියුණුකම නමැති අප තුළ ජීවත් වන සතුරාට එරෙහිවය. එම සතුරා අප අභ්‍යන්තරයේම ජීවත් වන සතුරකු වන නිසා මිනිසුන් තුළ වෛරයක්, කෝපයක් හෝ භීතියක් ඇති කළ නොහැකිය. ඇති කළ හැක්කේ ආත්ම ලැජ්ජාවක් හා වරදකාරී හැඟීමක් පමණය. මේ නිසා පුනරුද ව්‍යාපාරයට මහජනයා එකතු කිරීමට සිදුවී තිබෙනුයේ මහජනයා පහසුවෙන් පොළඹවා ගැනීමට හේතුවන ඇත්ත බාහිර සතුරකු හෝ මවා ගත් බාහිර සතුරකු නැතිවය. අපේ සතුරා බවට පත්ව තිබෙන්නේ අපමය. ඒ නිසා අපට සටන් කරන්නට සිදුවී තිබෙන්නේ අප අභ්‍යන්තරයේ පවත්නා අගතියට හා නොදියුණුකමට එරෙහිවය. එවැනි විශේෂ වටාපිටාවක් තුළ එනම් බාහිර සතුරකු හෝ සතුරු තර්ජනයක් නැතිව පවා පුනරුද ව්‍යාපාරයට මහජනයා එකතු කරගැනීමට හැකිවීම පුනරුද ව්‍යාපාරය ලබා තිබෙන ලොකු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

බලය අල්ලා ගැනීමට අපේක්ෂා නොකිරීම
පුනරුද ව්‍යාපාරයට අදාළව සැලකිල්ලට ගත යුතුව තිබෙන තවත් වැදගත් කරුණක් වනුයේ පුනරුද ව්‍යාපාරය රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණකින් තොරව සමාජ සවිඥානකත්වය දියුණු කොට සමාජය ජාලගත කොට ඒ මගින් සමාජ විපර්යාසයක් කිරීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් වීමය. මාක්ස්, ලෙනින්, ගාන්ධි, මැන්ඩෙලා යන සියලුදෙනාගේ විමුක්තිවාදී දේශපාලන න්‍යාය පත්‍රවලට විමුක්තිය දිනාගැනීම සඳහා රාජ්‍ය බලය අල්ලා ගත යුතුය කියන අදහස පැහැදිලිව අන්තර්ගතවී තිබුණි. ඒ අදහස විජේවීරගේ හා ප්‍රභාකරන්ගේ න්‍යාය පත්‍ර තුළද දකින්නට තිබුණි. ආකල්ප අතින් මොනතරම් වෙනස්කම් තිබුණද ඒ සියලු ව්‍යාපාර රාජ්‍ය බලය අල්ලා ගැනීම මගින් මහජනයාට විමුක්තිය උදාකර දීම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර ලෙස සැලකිය හැකිය.
මහජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඡන්ද බලයෙන් හෝ උණ්ඩ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගත් සියලු ව්‍යාපාර බලය අල්ලා ගැනීමෙන් පසු මහජනයාට විමුක්තිය උදාකරදී නැත. එසේ කර ඇත්තේ ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර අතරින් ඉතාමත් අතළොස්සක් ව්‍යාපාර පමණය. වැඩි හරියක් කර ඇත්තේ මහජනයාට විමුක්තිය ලබාදෙනවා වෙනුවට වඩා පීඩාකාරී පාලනයක් ඇති කිරීමය.
ඒ අර්ථයෙන් පුනරුද ව්‍යාපාරය රාජ්‍ය බලය පිළිබඳ විෂයේදී දේශීය හා විදේශීය අනෙකුත් සියලු විමුක්ති ව්‍යාපාරවලට වඩා වෙනස් මගක් ගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. එය ඡන්ද බලයෙන් හෝ උණ්ඩ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමට අපේක්ෂා කරන්නේ නැත. එය රාජ්‍ය බලය වෙනුවට වැදගත් කොට සලකනුයේ සමාජයයි. එය රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු මහජනයාට විමුක්තිය උදාකර දෙනවා වෙනුවට අපේක්ෂා කරන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් තොරව සමාජ සවිඥානකත්වය උසස් තත්ත්වයකට පත්කිරීමෙන් හා දැනුවත් සමාජය ජාලගත කිරීම මගින් තර්කානුකූලව හා සාධාරණව සිතන මතන සංවිධානාත්මක හා නවීන සමාජයක් ඇති කිරීමය. ඒ ක්‍රියාවලිය තුළ සමාජයේ පවත්නා පසුගාමී ආකල්ප වෙනස් කොට කුලය මුල් කරගත් උස් පහත් භේදයක් නැති වර්ගය හා ආගම මුල්කරගත් භේද නැති භේදයකින් තොරව සියලුදෙනාට සමාන සමාජ ගෞරවය හා සමාන අයිතිවාසිකම් ඇති සියලු ජනවර්ගවල අනන්‍යතාවන්ද ආරක්ෂා කෙරෙන ආකාරයේ ශ්‍රී ලාංකේය ජාතියක් ඇතිකර ගැනීමට එය අපේක්ෂා කරයි. ඒ තත්ත්වය කරා සමාජය ඔසවා තැබිය හැකි නම් ඊට ගැළපෙන ලෙස උත්තර නිර්මිතය ඇතුළු අන් සියලු දේ ද වෙනස් වනු ඇති බව හා නැතහොත් වෙනස් කරගැනීමට සමාජය සමත්වනු ඇති බව පුනරුදය ව්‍යාපාරය විශ්වාස කරයි. රටට හෝ සමාජයට පුනරුදය උදාකරනවා යන්නෙන් පුනරුදය ව්‍යාපාර අදහස් කරන්නේ එම ඉලක්කය ජයගැනීමය. එහි අතුරු ප්‍රතිඵල බොහෝය. ඒ ක්‍රියාවලිය හැම විෂය ක්ෂේත්‍රයක් තුළම ලොකු වෙනස්කම් හා ලොකු ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවනු ඇත. ඒ හැම ක්ෂේත්‍රයක් සඳහාම නව නිර්මාණකරුවන් හෝ නව නායකයන් බිහිකිරීමට හේතුවනු ඇත.

අපන්තික හා අනේකවාදී බව
අපන්තික බව පුනරුදය ව්‍යාපාරයට ආවේණික තවත් වැදගත් ලක්ෂණයකි. එය ලංකාවේ සියලු පන්තීන්ගේ විමුක්තිය පිණිස මිස තෝරාගත් එක පන්තියක විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එහි දොරටු ධනවතුන්ට, දුප්පතුන්ට හා මැද පන්තිකයන්ටද, කර්මාන්ත කරුවන්ට, වෙළෙඳුන්ට, කම්කරුවන්ට, ගොවීන්ටද විවෘතය.
වාර්ගික අර්ථයෙන් එය බහුවාර්ගිකය. ලංකාවේ සියලු ලොකු කුඩා ජනවර්ගවලට එහි දොරටු විවෘතය. එය මොනම ජනවර්ගයක්වත් උසස් කොට හෝ පහත් කොට නොසලකන්නේය. පුනරුදය ව්‍යාපාරය සලකනුයේ ලංකාවේ ජීවත් වන සියලු ජනවර්ග ඔවුන් පැමිණියේ කවදාද? කොහේ සිටද, කතා කරන භාෂාව කුමක්ද? අදහන ආගම කුමක්ද යන කාරණා නොසලකා ඒ සියලුදෙනාම සමාන මනුෂ්‍ය ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගැනීමේ අයිතිය ඇති ශ්‍රී ලාංකේය ජාතියේ කොටස්කරුවන් වශයෙනි. සිංහල හා දෙමළ සමාජවල පවත්නා කුලය මුල්කරගත් උස් පහත් භේදය දකිනුයේ නැතිභංග කළ යුතුව තිබෙන අවලස්සන දෙයක් ලෙසය.
සංස්කෘතික අර්ථයෙන් ගත්විටද පුනරුද ව්‍යාපාරය එක සංස්කෘතියකට සීමා නොවූ බහුසංස්කෘතික ව්‍යාපාරයකි. එය කිසිදු සංස්කෘතියක් උසස් කොට හෝ පහත් කොට සලකන්නේ නැත. ලිංග අර්ථයෙන්ද පුනරුද ව්‍යාපාරය බහු ලිංග ව්‍යාපාරයකි. එය පුරුෂයන් හා ස්ත්‍රීන්ද ද්විලිංගිකයන්ද සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ඇති මනුෂ්‍ය ප්‍රභේද ලෙස සලකයි. පුනරුද ව්‍යාපාරයේ ස්ත්‍රී නියෝජනය පුරුෂ නියෝජනයට සමාන තත්ත්වයක තබාගැනීමට උත්සාහ කළ යුතුය යන්න පුනරුද ව්‍යාපාරයේ පිළිගැනීමය.
පුනරුද ව්‍යාපාරය ලෞකික ව්‍යාපාරයක් මිස ආගමික ව්‍යාපාරයක් නොවේ. එය ප්‍රවර්ධනය කරන්නේද ලෞකික වටිනාකම් මිස ආගමික වටිනාකම් නොවේ. ඒ සමඟ ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස සේ ම නොඇදහීමේ නිදහස තිබිය යුතු බව පිළිගනී. එය සියලු ආගම් අදහන්නන්ට විවෘත වූ ව්‍යාපාරයකි.
පුනරුදය ව්‍යාපාරයට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ එය කවර හෝ එක නිල දෘෂ්ටියකට සීමා නොවූ දෘෂ්ටිමය අර්ථයෙන් නානාවිධ ව්‍යාපාරයක් වීමය. කුල ක්‍රමය විසින් ඇති කර තිබෙන උස් පහත් භේදයෙන් තොර, වර්ග හා ආගම් භේදයෙන් තොර ඕනෑම දෘෂ්ටිවාදයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට පුනරුද ව්‍යාපාරයට එකතු විය හැකිය. පුනරුද ව්‍යාපාරයට හැමවිටම පිළිගත් නිල අදහස් තිබිය හැකි වුවත් ඊට වෙනස් මත ඇති අයට ඒ අදහස් පළකිරීමේ අයිතිය පමණක් නොව තමන් දරන අදහස ව්‍යාපාරයේ නිල මතය බවට පත්කිරීම සඳහා බලවත් ලෙස උත්සාහ කිරීමේ අයිතියද එවැනි අයට තිබෙන්නේය. දෘෂ්ටිමය වශයෙන් පවත්නා මෙම නානාවිධභාවය අවුල් ඇති කරන මාර්ගයක් ලෙස පුනරුද ව්‍යාපාරය සලකන්නේ නැත. ඒ වෙනුවට එය සලකනුයේ දෘෂ්ටිමය වශයෙන් එක තැන පල්වීම වළකන වාද විවාද මැද්දේ ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා දෘෂ්ටියේ වෙනස් කරගත යුතු සේ ම ඒවා වෙනස් කරගැනීමට අවස්ථාව ලබාදෙන විධි ක්‍රමයක් ලෙසය.

සංවිධාන ව්‍යුහය හා ආකෘතිය
පුනරුදය ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය හා ආකෘතිය මහජනයාගේ ස්වාධිපත්‍ය බලය උපරිම මට්ටමකට පවත්වාගෙන යන හා මහජනයාට ඒ බලය විස්තීරණ ලෙස අභ්‍යාස කිරීමට ඉඩ ලබාදෙන නවීන පාර්ලිමේන්තුවක ආකාරයෙන් පවත්වාගෙන යෑමට පුනරුද ව්‍යාපාරය අපේක්ෂා කරයි. සංවිධානයේ ස්වාධිපත්‍ය බලය අවසාන විග්‍රයේදී හිමිවනු ඇත්තේ ව්‍යාපාරයේ සාමාජික සම්මේලනයටය. සම්මේලන දෙකක් අතර කාලය තුළ ස්වාධීන ඡන්දයෙන් මධ්‍යම කාරක සභාවට තෝරාපත් කර යවන පුද්ගලයෙකු ආපසු කැඳවීමේ බලය සේ ම සමස්ත මධ්‍යම කාරක සභාවට එරෙහිව හෝ තෝරාගත් නායකයකු හෝ නායක පිරිසකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට එය සම්මත වේ නම් මධ්‍යම කාරක සභාව හෝ එම නායකයා හෝ නායකත්ව කණ්ඩායම බලරහිත කොට ඒ වෙනුවෙන් තව පිරිසක් පත්කිරීමේ බලය සාමාජිකයන්ට ලබාදෙන විධිවිධාන ව්‍යාපාරයේ ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ඇත. එසේම ව්‍යාපාරයේ ව්‍යවස්ථාව අවලංගු කොට නව ව්‍යවස්ථාවක් ආරම්භ කිරීම අවශ්‍ය වේයැ’යි සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් අදහස් කරන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ හා ක්‍රියාකිරීමේ බලයද සාමාජිකයන්ට ලැබෙන විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙනු ඇත. සාමාජිකයන් අතර හෝ ව්‍යාපාරයේ විවිධ ආයතන අතර ඇතිවන මතභේදාත්මක ප්‍රශ්න හෝ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඇති කරන මණ්ඩලය නවීන අධිකරණයක ස්වරූපයෙන් ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරය අතින් වරදක් හෝ අසාධාරණයක් වන අවස්ථාවලදී එම තත්ත්වයට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි පරීක්ෂා කිරීමේ බලය එම මණ්ඩලයට හිමිවනු ඇත. ව්‍යාපාරය ව්‍යවස්ථාවට අනුකූල නොවන ආකාරයට තීන්දු ගනු ලබන අවස්ථාවලදී ඒවා බල රහිත කිරීමේ බලය සේ ම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලයද එම මණ්ඩලයට හිමිවනු ඇත.
ජන ජීවිතයට බලපාන හා රටේ යහපැවැත්මට අදාළ ප්‍රධාන විෂය ක්ෂේත්‍රයක් සඳහා ව්‍යාපාරයට උපදෙස් දීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩල ක්‍රමයක් ඇති කොට පවත්වාගෙන යනු ඇත. එම උපදේශන මණ්ඩල මහජනයා සේ ම සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී ප්‍රසිද්ධ දේශන පවත්වනු ඇති අතර පත්‍රිකා හා පොත්පත්ද ප්‍රකාශ කරනු ඇත. ව්‍යාපාරයේ සියලු මූල්‍ය කටයුතු පාරදෘෂ්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යනු ඇත. විදේශ ආධාර ආයතනවලින් හෝ කළු සල්ලිකාරයන්ගෙන් මුදල් ආධාර ලබානොගනු ඇත. ආධාර වශයෙන් හෝ සාමාජික මුදල් වශයෙන් හෝ වෙනත් ආකාරවලින් ලැබෙන ආදායම් සේ ම වියදම්ද වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කරනු ඇත.
ව්‍යාපාරයට රහස් නොතිබෙනු ඇති අතර සියලු කටයුතු සිදුකරනු ඇත්තේ සාමාජිකයන්ට හා මහජනයාට පමණක් නොව රජයේ ඔත්තු සේවාවන්ටද විනිවිදව දැකිය හැකි ආකාරයටය.
ව්‍යාපාරයට එකතු වන පුද්ගලයෙකුට තමන් කැමති ඕනෑම අවස්ථාවකදී ද්‍රෝහී ලේබලය අලවා ගැනීමෙන් තොරව ව්‍යාපාරයෙන් ඉවත්ව යෑමේ නිදහස සේ ම නැවත තමන් කැමති ඕනෑම අවස්ථාවකදී නැවත ව්‍යාපාරයට එකතුවීමේ අයිතිය හිමිය. ඕනෑම පුද්ගලයකුට ව්‍යාපාරයට අදාළ ඕනෑම ප්‍රශ්නයක් ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය තිබෙන අතර ව්‍යාපාරය එසේ ඉදිරිපත් කෙරෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරු දිය යුතුය. ව්‍යාපාරය සියලු තීන්දු ගනු ඇත්තේ සාකච්ඡා කොට අවශ්‍ය නම් වාද විවාද කොට ඡන්ද විමසීමකට ලක්කිරීමෙනි.

ව්‍යාපාරයේ අවම සාමාජික ඉලක්කය සාමාජිකයන් දශ ලක්ෂයකි. විකල්ප සමාජය සංස්ථාපනය කෙරෙන ප්‍රධාන කඩඉම ලෙස සැලකෙනු ඇත්තේ එයයි. එම තත්ත්වය කරා ළඟාවන අවස්ථාව වනවිට අහසේ වෙනුවට මහ පොළොව මත කෙරුණු ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ කාර්යයද බොහෝ දුරකට අවසන් කෙරුණු දෙයක් බවට පත්වනු ඇත. ඒ සමඟ වර්ග කුල හා ආගම් භේදයෙන් තොරව සාධාරණව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමේ හැකියාවක් ඇතිව ගොඩනැගෙන විකල්ප සමාජයට ලැබෙන පිළිගැනීම ඉහළයමින් පරණ ගතානුගතික සමාජයට හැකිළෙන තත්ත්වයකට පත්වෙමින් ක්‍රමානුකූලව නව සමාජය ප්‍රධාන සමාජ ධාරාව බවට පත්වනු ඇත. ඒ සමඟ මූල විපර්යාසයක් සඳහා අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් පුනරුද ව්‍යාපාරය ක්‍රියාකරනු ඇත. ඒ වෙනස්කම් කිසිදු ලේ වැගිරීමකින් හෝ කලකෝලාහලවලින් තොරව සාමකාමී ලෙසත් විනයගරුක ලෙසත් දිනාගැනීමට පුනරුද ව්‍යාපාරය අපේක්ෂා කරයි.■