Untitled-1

Untitled-1

මේ ව්‍යවස්ථාවට කාලයයි


kathu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ අසීරු ගමනකි. කිහිප දෙනකුගේ වුවමනා එපාකම් අනුව සකස් නොවී එය රටක ජනතාවගේ අභිලාෂයන් අනුව සකස් කෙරෙන විට එය කොහොමත් අසීරු ගමනකි.
ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ බවට විවාදයක් නැති තරම් ය. අලුත් ව්‍යවස්ථාවක් එපායැ’යි කියන්නෝ ද එසේ කියන්නෝ, ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දැන දැන ම, හුදෙක් සිය බල ලෝභිත්වයට යට වීම නිසා ය.
වර්තමාන ආණ්ඩුව බලයට එන්නේ ම අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ පොරොන්දුවට අනුගත වෙමින් ය. ඒ වුවමනාව සපුරා ගැනීම සඳහා දැනටමත් බොහෝ පියවර ගෙන තිබේ. මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කිරීම, පක්‍ෂ නායකන්ගෙන් සැදි මෙහෙයුම් කමිටුවක් ක්‍රියාත්මක වීම, ඒ ඒ තේමා සඳහා අනුකමිටු හයක් පිහිටුවීම මෙන් ම මහජන අදහස් එකතු කර ගැනීම සඳහා කමිටුවක් පත් කිරීම ඒ ක්‍රියාවලියේ වැදගත් අවස්ථා වෙයි. මේ වන විට මහජන උදහස් විමසීමේ කමිටුවේත්, අනුකමිටු හයේත් වැඩකටයුතු අවසන් වී ඇති අතර, ඔවුන්ගේ වාර්තා ප්‍රසිද්ධ කොට තිබේ. මෙහෙයුම් කමිටුව සිය වාර්තා සකස් order other info කරමින් සිටින අතර, එහි අවසාන වාර්තාවෙන් පසු ව්‍යවස්ථා කෙටුම්පත සකස් කෙරෙනු ඇත. ඊළඟට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබා ගත යුතු අතර අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු ය.
තවමත් ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පතක් සකස් වී නැත. කෙටුම්පත සකස් කිරිම ඇරඹී වත් නැත. ඒ ඒ කමිටුවලින් ඉදිරිපත්වුණු වාර්තා හරහා අතුරු වාර්තා මෙහෙයුම් කමිටුව විසින් සකස් කෙරෙමින් පවතින අතර, මධ්‍යය හා පරිධිය අතර බලය බෙදා හැරීමට අදාළ අතුරු වාර්තාව නුදුරෙහි දී ඉදිරිපත් කිරිමට නියමිත ව තිබේ.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණ ක්‍රියාවලිය හදිසියේ කරන්නක් නොවේ. 1978 සිට ම අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වුවමනාව රටේ පැවතුණු අතර ඒ ගැන විවිධ අවස්ථාවල දී ඉතාමත් ඉදිරිගාමී පියවර ද ගෙන තිබේ. අද සිදුවන්නේ ඒ සියලු ප්‍රයත්නවල සම්ප්‍රයුක්තය ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යි. අනෙක් අතට රටේ සියලු දෙනාට ම වාඩි වී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ නොහැකි ය. එය කළ යුත්තේ ඒ ගැන දැනුමක් ඇත්තවුන් විසිනි. ඔවුන් සාදන කෙටුම්පතක හොඳ නරක ගැන වාද විවාද කිරීම සාමාන්‍ය ජනතාවට කළ හැකි නමුත්, සාමාන්‍ය ජනතාව කියන හැම දෙයක් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළු කළ නොහැකි ය. ඇතුළු කළ යුතු ද නැත. ඒ නිසා රටේ සිටින සියල්ලන් ම එක ම ආකාරයෙන් තෘප්තිමත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට කිසි ම රටකට නොහැකි ය. කළ හැක්කේ, රටේ සැලකිය යුතු බහුතරයක් පිළිගන්නා ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම ය.
වැදගත් ම කාරණය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇති මහජන හා දේශපාලන අවධානය ව්‍යවස්ථා කෙටුම්පත මත ම නොව, විවිධ කාරණා මත ද රඳා පැවතිය හැකි බව ය. සමස්තයක් හැටියට ආණ්ඩුව ගැන තිබෙන හොඳ නරක අදහස් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බැලීමේ දී ජනතාව සලකා බලති. ඒ නිසා දැඩි මහජන විවේචනයට ලක්වන ආණ්ඩුවකට, අලුත් ව්‍යවස්ථාවක් සඳහා මහජන අවධානය දිනාගන්නට අපහසු වන්නට පිළිවන. අද පවතින පාර්ලිමේනතු ව්‍යුහයේ වෙනස්කම් ද ව්‍යවස්ථාවක් සඳහා බලපායි. කල් ගත වන විට සිදුවන දේශපාලන වෙනස්කම් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ළැදියාවන් පවා වෙනස් විය හැකි බැවින්, මාදුළුවාවේ සෝභිත හිමියන් කීවාක් මෙන්, තැටිය රත් වී තිබෙන අවස්ථාවේ රොටිය පුච්චා ගැනීමට වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතු ය.
දැන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් බාගයක් ගෙවී යමින් තිබේ. 2019 අවසානය වන විට මීළඟ ජනාධිපතිවරණය එළැඹෙන්නේ ය. ආණ්ඩුවේ ධුර කාලයෙන් ද දැන් අඩකට ආසන්න ප්‍රමාණයක් ගෙවී ගොස් ය. ඉදිරි වසර ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් වැඩිපුර වැය කරන්නට සිදුවන්නේ මැතිවරණ සඳහා ය. ඒ නිසා, අද හෙට ගෙවෙමින් යන්නේ ව්‍යවස්ථාවේ ඉතිරි වැඩකටයුතු ඉදිරියට ගැනීමට හොඳ ම කාලය යි. ඒ ගැන සැලකිල්ලෙන් ව්‍යවස්ථා සම්පාදනයේ යෙදෙන දේශපාලන හා විශේෂඥ නියෝජිතයන් කටයුතු කරනු ඇතැ’යි කල්පනා කරමු.■