කොයි ආණ්ඩුවේද ඔය වගේ සංදර්ශන නැත්තේ | නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර

 

ජනතා විමුක්ති පෙරමුණ වංචා දූෂණ ගැන දිගින් දිගටම කතා කරනවා. වංචාව, දූෂණය හා නාස්තිය පැත්තෙන් මේ ආණ්ඩුව සහ පැවති ආණ්ඩුව අතර වෙනසක් තියෙනවාද?

ඇත්තටම මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී වංචා දූෂණ නවත්වන්න අවශ්‍ය කරන විදියේ පරිසරයක් හා ඒකට අවශ්‍ය තරම් බලපෑමක් තිබුණා. දූෂණ විරෝධී හඬ වගේ විවිධ දූෂණ විරෝධී සංවිධාන බිහිවෙලා තිබුණා. ඒ වගේම සිවිල් සමාජයේ බලපෑම අනුව දූෂණ ගැන සොයන්න ආයතන ඇති කරන්න පවා ආණ්ඩුවට සිද්ධ වුණා. එම ක්‍රියාදාමයේ දිගුවක් විදියට සිවිල් සමාජයේත් එකඟතාව අනුව කෝප් කමිටුවේ සභාපතිත්වය ජනතා විමුක්ති පෙරමුණට ලැබුණා. මහා පරිමාණයෙන් දූෂණ ගැන මාධ්‍ය හා ආයතන හරහා එළිදරව් වුණා. කෝප් කමිටුව විදියට අපිත් ආයතන 19ක හෙළිදරව් වුණු වංචා ගැන වාර්තාවක් එළිදැක්වූවා. ඒ වගේම විටින් විට අපට ලැබුණු තොරතුරුවල තත්ත්වය වාර්තා කළා. ඒත් ඒ නිර්දේශ සහ සමාජයේ ඇතිවෙච්ච සංවාදය මත ඒ වංචා දූෂණ යළි නොවෙන විදියට තත්ත්වය සකසන්න ආණ්ඩුව උනන්දු වුණේ නැහැ. පහුගිය ආණ්ඩුවේ වැඩියෙන්ම දූෂණ තිබුණු මහාමාර්ග, ක්‍රීඩා, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධන වගේ ක්ෂේත්‍රවල ආයතන මට්ටමින් පරීක්ෂණ කරලා දූෂිත නිලධාරීන් සම්බන්ධව පියවර ගන්න තිබුණත් ඔවුන් කිසිවක් කළේ නැහැ. වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරුවේ නැහැ වගේම ඒවාට ඉදිරියේදී වැට බැඳලා යහපාලන ක්‍රමවේදයක් ඇති කරන්න කිසි උනන්දුවක් තිබුණේත් නැහැ. ඒ අනුව ගත්තාම පැහැදිලිවම පේන විදියට වංචා දූෂණවලට විරුද්ධව ඒවා යළි සිදුනොවීම වළක්වන්න ජනතාව අතර තියෙන අවශ්‍යතාව ආණ්ඩුව නොසලකා හැරලා තියෙනවා. ඒ වගේම පැරණි වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන් සහ විවිධ පාර්ශ්වයන්ගේ උදව් ගනිමින් මේ ආණ්ඩුවත් ක්‍රම ක්‍රමයෙන් පරණ පාරේම යමින් ඉන්නවා.

ලංකාවේ අකාර්යක්ෂම ක්ෂේත්‍ර ප්‍රතිංස්කරණය කරගෙන ඒ ක්ෂේත්‍රවල අකාර්යක්ෂමතාව සහ නාස්තිය නැති කොට දියුණුව ඇති කරන්න ආණ්ඩුව පියවර ගන්න බවක් පේනවාද?

එහෙම තත්ත්වයක් ඇතිවෙලා නැහැ. ඇත්තටම මේ හවුල් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල වැරැද්දයි මේ වෙනකොට පේන්න තියෙන්නේ. මහාමාර්ග ගැන හරි, ප්‍රවාහනය ගැන හරි සෞඛ්‍ය, අධ්‍යාපනය ගැන හරි වෙනසක් ඇති කරන්න මේ ආණ්ඩුවට දැක්මක් නැහැ. එයාලාට පුළුවන් මේක කොහොමහරි ඇදගෙන යන්න විතරයි. ඇත්තටම බලය අරන් තියෙන ඇමතිලාට සරල ප්‍රශ්න විසඳන්නවත් ඕනකමක් නැහැ. එයාලාගේ එකම අරමුණ තමන්ගේත් ඥාතීන්ගේත් දියුණුව හදාගැනීමයි. ඊළඟ ඡන්දය එනකොට ඡන්ද පදනමක් හදාගැනීම වෙනුවෙන් අමාත්‍යාංශයේ සම්පත් පාවිච්චි කිරීමයි. ඒකට පත්වීම් ලබාදෙමින් රස්සා දෙමින් ඉන්න එක තමයි කරන්නේ. ඇත්තටම අගමැතිවරයා ලොකු බලාපොරොත්තු ජනතාවට දීලා තියෙනවා. ඒවා ඔක්කෝම හිස්. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා පිහිටවලා තිබුණා මේ ක්ෂේත්‍ර දියුණු කරන්න. ඒකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ලත් අරගෙන තිබුණා. අපිත් උද්යෝගයෙන් සහාය දැක්වූවා. දැන් ඒ ක්‍රියාවලිය පුස්සක් බවට පත්වෙලා. නිකන් පුද්ගලයන්ව කැඳවලා පැය ගණන් කාලය කන තත්ත්වයක් දැන් තියෙන්නේ. දැන් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කරන්න අමල් කුමාරගේ කමිටුව පත්කරලා වාර්තාවක් ලබාගත්තා. ඒත් ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ හතරබීරී ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. ඒවා එක් එක් ඇමතිවරුන්ගේ නෙවෙයි මේ ක්‍රමයේ දුර්වලතාවක් විදියටයි දකින්න ඕන.

ඒත් ආණ්ඩුව රැකියා දසලක්ෂය වගේ වැඩසටහන් ගැන කියනවා. ඖෂධ පනත ආවා, දැන් ළඟම පාසල හොඳම පාසල වගේ වැඩසටහන් ගැන කියනවා. මේවා සංවර්ධනාභිමුඛ වැඩ නෙවෙයිද?

කොයි ආණ්ඩුවේද ඔය වගේ සංදර්ශන නැත්තේ. දැන් අවුරුදු හැටගාණක් තිස්සේ අපි ඔය වගේ සංදර්ශන දැක්කා. දිවිනැඟුම, ගමනැඟුම, මඟනැඟුම කියලා ආවා. දැන් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙලා නෑනේ. රැකියා දසලක්ෂය ගැන කියලා අවුරුද්දක් වෙනවා. තාමත් පාසල් මුරකරු, රෝහල් කම්කරු රැකියා සහ මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක තනතුරු ඇරුණාම වැදගත් රස්සාවක් දීලා තියෙනවාද. රස්සා දෙන පළියට දෙන්න පුළුවන්. ඒත් ආර්ථිකයට වැඩක් වෙන රස්සා දීලා තියෙනවාද. හැම අධ්‍යාපන ඇමතිටම මොකක්හරි සංදර්ශනයක් තිබුණා. නවෝද්‍යා පාසල්, මහින්දෝදය, පාසල් දහසේ වැඩසටහන වගේ කතා හැමදාම තිබුණා. ඒ වගේ අලුත් එක තමයි ළඟම පාසල හොඳම පාසල. ඒ වැඩසටහනිනුත් දුෂ්කර පාසලක පහසුකම් වැඩි කිරීමක් වෙලා නැහැ. අධ්‍යාපන අවස්ථා සමාන කරන්න ලැබිලා නැහැ. ඖෂධ පනත ගෙනාවා කියලා ඖෂධ මිල අඩුවුණේ නැහැ. 30%කින් වැඩි වෙලානම් තියෙනවා. ඔය කවුරුත් කරන සංවර්ධනයක් නැහැ. කොමිස් ගහලා කරන ඉදිකිරීම් ටිකක් අන්තිමේ ඉතිරි වේවි. මේ පෙනෙන්නේ ක්‍රමයේ දුර්වලතාව.