උමඟ හදන තෙක් පාර අරින්න


umaga

මනුවර්ණ

රටේ පවතින තත්ත්වය ගැන තම සංඝ සභාවල අදහස් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා හමුවීම සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙස මල්වතු අස්ගිරි පාර්ශ්ව භික්‍ෂූන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා බදාදා, මහනුවර ජනාධිපති මන්දිරයේදී එම භික්‍ෂූන් වහන්සේලා හමුවිය. හිමිවරුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමට වුණත්, තමා මහනුවරට පැමිණ හිමිවරුන් හමුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකොට තිබුණේය.
ජනාධිපතිවරයා හමුවූ විට කාරණා විසි එකකින් සමන්විත ලියවිල්ලක් භික්‍ෂූන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට බාරදෙන ලද බව දැනගන්නට තිබෙන නමුත්, ඒ සම්පූර්ණ ලියවිල්ල මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණේ නැත. එහෙත්, එම ලියැවිල්ලේ අඩංගු මූලික කාරණා ගැන මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහි අඩංගු කාරණා ගැන කතාකරන්නට පෙර, පසුගිය මාර්තු 1වැනිදා මහනුවර දළදා මාලිගාවේ මහමළුවේ පැවැති උත්තමාභිවන්දනා නම් උත්සවය ගැන යමක් නැවතත් කිවයුතුය. 1818 කැරැල්ලේදී රාජද්‍රෝහීන් ලෙස නීතිගත කළ සිංහල කැරලිකරුවන් පිරිස එම රාජද්‍රෝහී තත්ත්වයට පත්කිරීම සඳහා නිකුත්කරන ලද පැරණි යටත්විජිත ගැසට් පත්‍රය අවලංගු කිරීමේ නියමයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් කිරීමට නියමිතව තිබුණේ එදාය. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව, තමා සිංහලයේ රජු හැටියට ස්වයංසිංහාසනාරූඪව සිටි හිටපු ජනාධිපතිවරයාට, සිය පාලන කාලයේදී මඟහැරුණු අවස්ථාවකි. මේ නිසා, මේ රාජ්‍ය උත්සවය කඩාකප්පල් කිරිමට හැකි සෑම වෑයමක්ම ඔහු දැරූ බවද, මහනුවර අවට නැවතී සිටිමින් ඒ සඳහා විවිධ උපාය ඔහු යෙදූ බවද දැන් සියල්ලන්ම දන්නා කරුණකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මහමළුවට ගොඩවෙන්නට ඉඩක් දෙන්නේ නැති බවට හිටපු ජනාධිපතිවරයා වහසිබස් දෙඩූ බවද සමහර තැන්වල වාර්තා වී තිබුණි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වුවමනාවන්ට හරියටම සමපාත වන සේ මේ උත්සවයේදී අස්ගිරි හා මල්වතු සංඝ සභාවල සමහර හිමිවරුන්ද හැසිරුණේ අන්ත වැඩවසම්, පසුගාමී, කිසිසේත් බුදුදහමට අනුකූල නොවන ආකාරයටය.
එම උත්සවය රාජ්‍ය උත්සවයක් වුණත්, රටේ සියලුම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට සමතැන් දී උත්සවය පවත්වන්නට රජයට නොහැකිවුණේ අස්ගිරි මල්වතු සමහර භික්‍ෂූන් වහන්සේලාගේ බෞද්ධ විරෝධී හැසිරීම නිසාය. ඔවුන් සමහරකට වුවමනා වී තිබුණේ කෙසේ හෝ මෙම උත්සවය මහමළුවේ පැවැත්වීමෙන් වැලැක්වීමටත්, ජනාධිපතිවරයාට මහමළුවට පැමිණීමට ඇති අවස්ථාව වලක්වාලීමටත්ය. උත්සවය කෙසේ හෝ පැවැත්වීමට රජයට වුවමනා වී තිබුණු නිසා, අවසානයේ රිස්සක් කරගැනීමට සංඝ සභාවට පවරා බලාසිටීමට රජයේ සංවිධායකයන්ට සිදුවිය. මේ පසුගාමී භික්‍ෂූන්ගෙන් දිගින් දිගටම සිදුවූ විවිධාකාර බාධා මධ්‍යයේ උත්සවය සම්පූර්ණයෙන්ම උඩරට සංඝ සමාජයේ වැඩවසම් බව, උඩපහතරට භේදය, නිකාය භේදය, කුල භේදය යහමින් ඉස්මත්තට ආ අවස්ථාවක් බවට පත්විය. අස්ගිරි මල්වතු ප්‍රභූ පාර්ශ්වවලට අයත් නොවන භික්‍ෂූන් වහන්සේලාට පහත් සැලකීම් දක්වන ලදි. රාමඤ්ඤ නිකායේ මහානායක හිමියෝ මේ කෙනෙහිලිකම් දරාගන්නට නොහැකිව ජනාධිපතිවරයාද නොදැන උත්සවයෙන් ආපසු හැරීගියහ. තමන්ට මහත් අවමානයක් කරන ලදැයි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන්ගෙන් පසුව රජයට චෝදනා නැගුණු අතර, ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා යවා නිල වශයෙන් සමාව ඉල්ලන්නට රජයට සිදුවිය. අස්ගිරි මල්වතු සංඝසභාවල සමහර භික්‍ෂූන්ගේ ක්‍රියාකලාපය නිසා, දළදා මාලිගාවේ මහමළුවෙන් බුදුදහම පිටුවහල් කරන ලද්දේ ඒ ආකාරයටය.
පසුගියදා, රට කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයාට කාරණා විසි එකකින් යුක්ත ලියුමක් බාරදුන්නේ මෙවැනි දුර්වර්ණ ඉතිහාසයක් ඇති භික්‍ෂූන් වහන්සේලා බව අමතක නොකළ යුතුය. බුදුහිමියන් දෙසූ බුදුදහමට ඉඳුරාම පටහැනිව, කුලවාදයෙන්, නිකාය වාදයෙන්, උඩ පහතරට භේදයෙන් උදුම්මාගත් ජරාජීර්ණ හිස් ඇති, තමන් වැනිම බුද්ධ චීවරය පොරවාගත් අනෙක් නිකායවල භික්‍ෂූන් වහන්සේලා පහත් තැන ලා සලකන, මෙවැනි පසුගාමී භික්‍ෂු සංඝයකින් රටේ විවිධ ජාතීන්ගේ ආගමිකයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කෙරෙන, ඔවුන් සමතැන්හි ලා සැලකෙන යහපත් යෝජනා ඉදිරිපත් විය හැක්කේ කෙසේද? ඔවුන්ගේ ලියුමේ ඇති කාරණා සියල්ලෙන්ම වාගේ ‘යළිත්’ තහවුරු වන්නේ, වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති ගැඹුරු ප්‍රශ්නවලට පිළිතුරු දී රට ඉදිරියට ගෙනයන්නට අවශ්‍ය සන්සුන් මනසක්වත්, දාර්ශනික දැක්මක්වත්, කරුණාර්ද්‍ර චින්තනයක්වත් මේ භික්‍ෂූන්ට නැති බවය. මනුවර්ණ ඉහත ‘යළිත්’ යන්න අවධාරණය කළේ, මීට පෙරද මේ භික්‍ෂූන් පිරිස ඉදිරිපත් කළ, බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව මතක්වීම නිසාය. මීට පෙරද අස්ගිරි මහනායක හිමියන්ගේ නමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ලියැවිල්ලක් මතක්වීම නිසාය. අවාසනාවකට මෙන් මේ භික්‍ෂූන් පිරිසගේ අබෞද්ධ චින්තනය ෆොටෝ කොපියක් මෙන් හැම අතින්ම සමපාත වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ අන්ත ජාතිකවාදී, ආගම්වාදී, වැඩවසම් මහින්ද චින්තනය සමඟය.
ඒ නිසාම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පුත්‍රයන්ගේ සමාගම මහනුවර නගරයේ කාර් රේස් පවත්වමින් එය එකම රාත්‍රී සැණකෙළියක් බවට පත්කරන විට, මේ අනුනායක හිමිවරුන්ගෙන් බරපතළ විරෝධයක් පැනනැගුණේ නැත. කාර් රේස් පැද්දොත් පාරට බහිනවා වැනි සිංහනාදයක් එවකට අස්ගිරි මහනායක හිමියන්ගෙන් පළමුව නිකුත් වුණු නමුත්, ඉක්මනින්ම එය හීන් කෙඳිරියක් බවට පත්වී නොඇසීම ගියේය. කාර් රේස් ඒ විදියටම මහනුවර පූජා නගරයේ පැවැත්විණි.
සිරිසේන ජනාධිපතිවරයාට පසුගියදා ඉදිරිපත් කළ ලියුමේ සඳහන් එක් කරුණක් වන්නේ දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන ඒ26 මාර්ගය කිසිසේත් විවෘත නොකළ යුතු බවයි. මේ මහාමාර්ගය විවෘත කිරීමට එරෙහි සංඝ විරෝධය, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී හාහාපුරා කියා තම පළමු ශ්‍රාවක පිරිසට අනුශාසනා කළ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය’ ප්‍රතිපත්තිය වැනි මූලික භික්‍ෂු ප්‍රතිපදාවක් පවා අමු අමුවේ කඩකිරීමකි. මේ මාර්ගය විවෘත නොකිරීම නිසා පසුගිය කාලය පුරා සිදුවී ඇති පරිසර දූෂණය, විවිධ ලෙඩරෝග ඇතිවීම, මිනිස් ජීවිත අනතුරේ වැටීම මෙන්ම පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට සිදුවන මාරාන්තික බලපෑම ගැන ඕනෑවටත් වඩා කතාබහ මේ සමාජය තුළ සිදුවී තිබේ. එහෙත්, ඒ කිසිවක් නෑසුණු නොතේරුණු ගානට ඉන්නා මේ ඊනියා බුද්ධ පුත්‍රයන් නැවත නැවතත් රජයට බලකර සිටින්නේ මේ මාර්ගය නොඇරිය යුතුමය කියාය. සුවිසල් විහාරවලට වී මහජනතාවගේ දන්පෙත් වළඳමින් සුවපහසුව සිටිනා මේ භික්‍ෂූන්ට මහනුවර මහාමාර්ගවල අධික වාහන තදබදය නිසා ඇස් පනාපිට සිදුවන ව්‍යසනය පිළිගන්නට ගන්නට තරම් එළැඹ සිටි සිහියක් නැත.
බුදුදහමින් කොයිතරම් පීලි පැන්නත්, චීවරයට මේ රටේ තිබෙන ආවේණික තැන නිසා, ඒ26 මාර්ගය තවදුරටත් වසා තබනවා හැර රජයටද කළ හැකි කිසිවක් නැති බව පෙනෙයි. ජනාධිපතිවරණයට පෙර මාර්ගය විවෘත කළයුතුයැයි කියන ස්ථාවරයේ සිටි ජනාධිපතිවරයාත්, ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාත්, මාර්ගය විවෘත නොකළ යුතුයැයි කියන ස්ථාවරයට දැන් මාරුවී ඇත්තේ ඒ නිසාය. දැන් ඒ වෙනුවට යෝජනාවී ඇත්තේ, ලුවි පීරිස් මාවත හා රජපිහිල්ල මාවත වෙත ඒ26 වෙනුවට උමං මාර්ගයක් නිර්මාණය කිරීමටය. එය පහසු ව්‍යාපෘතියක් නොවේ. එදා වේල සපයාගන්නටවත් සල්ලි නැති ආණ්ඩුවට එවැනි උමං මාර්ගයක් සඳහා වැයකරන්නට අතිවිශාල මුදලක් සපයාගන්නේ කොහොමදැයි ප්‍රශ්නයක් ඇතුවාට සැකයක් නැත. බරපතළම කාරණය නම්, ව්‍යාපෘතිය හෙට පටන්ගත්තත්, අවසන් වන්නට අවුරුදු දෙකක්වත් ගතවීමයි. මේ නිසා, තවත් අඩුගණනේ අවුරුදු දෙකක් මේ සියලු පිරිපත මාලිගාවේ නාමයෙන් ඉවසා දරාගන්නට මහනුවර බාල මහලු රෝගි නිරෝගි සියලු දෙනාටම සිදුවී තිබේ. මහාවිහාරවල බුදුදහමේ අංශු මාත්‍රයක්වත් ඉතිරිවී තිබේ නම්, ඒවායේ නායක හිමිවරුන් යෝජනා කළ යුත්තේ, යෝජිත උමං මාර්ගය සාදා නිමකරන තෙක්වත්, ඒ26 මාර්ගය තාවකාලික පදනමක් මත ‘බහු ජන හිතාය, සුඛාය’ සඳහා විවෘත කොට තැබීමට නොවේද?
මේ නායක හිමිවරුන් දිගටම පෙනීසිට ඇත්තේ රටේ කුමන අන්දමේ හෝ බල හවුල්කාරිත්වයකට විරුද්ධවය. ඔවුන්ගේ ලිපියේ එක් කරුණක් හැටියට දැක්වෙන්නේ උතුරට දේශපාලන විසඳුමක් දීමේදී ජනාධිපතිවරයාගේ බලය අඩුවන පරිදි කටයුතු නොකළ යුතු බවත් පළාත් සභා දැඩි ලෙස මධ්‍යම ආණ්ඩුවට බැඳ තබන විධිවිධාන ඇතිකළ යුතු බවත්ය. මේ අදහස නම් පසුගිය කාලය පුරාම අන්තවාදී මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය කියමින් සිටින දේමය. පළාත් සභාවලට බලය බෙදුවහොත්, රට කැඩී යාවිය කියන බිය පතුරවමින් සිටින ඔවුහු ඒ වෙනුවට කේන්ද්‍රයේ බලය තවදුරටත් ශක්තිමත් කරමින් විධායක ජනාධිපතිගේ බලතල අඩු නොකළ යුතුයැයි කියති. එහෙත් අනෙක් පැත්තෙන් රටේ බහුතරයකගේ වුවමනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රට යළිත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට පෙර ඒ මතයේ තදින් එල්බ සිටියා පමණක් නොව අදත් ඒ මතයේම නොසැලී සිටියි. එය අගය කළ යුතු අතර එවැනි තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන බවට අපට බලාපොරොත්තු තබාගන්නට පුළුවන. දෙමළ ජනතාව සමඟ කල් පවතින බල හවුල්කාරිත්වයකට යෑමද අද බලවත් අවශ්‍යතාවකි. ඒ සඳහා පළාත් සභාවලට දැනටමත් බෙදා ඇති බලය ප්‍රායෝගිකව ලබාදිය යුතුවාක් මෙන්ම, පළාත් සභාවල ඉල්ලීම් ලෙසට ඉදිරිපත්ව ඇති ආණ්ඩුකාරවරයාගේ බලය අඩුකිරීම, සමගාමී ලැයිස්තුව නැවතත් සලකා බැලීම වැනි කාරණාද සලකා බැලිය යුතුය. මේ දේවල්වලින් උතුරේ පමණක් නොව, නැගෙනහිර, දකුණ, බටහිර, උතුරුමැද වසන දෙමළ සිංහල මුස්ලිම් සියලු මිනිසුන්ට බල හවුල්කාරිත්වයක් ලැබෙනවා මිස රට කැඩෙන්නේ නැත. බල හවුල්කාරිත්වයක් තුළින් කෙරෙන්නේ, රටේ පාලන යන්ත්‍රණයෙන් දැනට පිටමංවී සිටින පිරිසක් පාලනයට හවුල්කර ගැනීමයි.
විධායක ජනාධිපති ක්‍රමය තුළ රටම එක පුද්ගලයකුගේ අත්තනෝමතික පාලනයකට යටත්කරනවා පමණක් නොව මේ ආකාරයේ බල හවුල්කාරිත්වයකටද බාධා ඇතිකෙරෙයි. ස්වභාවයෙන්ම බලය කේන්ද්‍රගත කරගැනීම අරමුණු කරගත් විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිම ආකාරයක බල බෙදීමක් ගැන සැලකිල්ලක් නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූවත් පසුගිය ආණ්ඩු කාලයේ ඒවාට කළ හැකි කිසිවක් නොවුණේ මේ විධායක බල කේන්ද්‍රයේ පාලනය නිසාය. එනිසා, බල හවුල්කාරිත්වයකට යෑමට නම් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම අත්‍යවශ්‍ය දෙයකි.
එහෙත්, ජාතිවාදී ඇසකින් මේ ගැන දකින පිරිස්වලට පෙනෙන්නේ, කුමන ආකාරයක බලය බෙදාහදාගැනීමක් වුණත්, රට කැඩීමට උඩගෙඩි දීමක් හැටියටය. තවමත් කෙටුම්පතක් වත් සකස්වී නැති අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ ආකාරයෙන් රට බෙදීමේ විධිවිධාන අඩංගු වී ඇති බව මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය කියයි. ජනාධිපතිවරයාට ලියුමක් භාරදුන් හිමිවරුන්ගෙන් සමහරුන්ද පසුගිය කාලයේ වේදිකා මත අඩුවැඩි වශයෙන් වගා කළේ මේ බොරුවයි. තමාගෙන් අලුත් ව්‍යවස්ථාව ගැන විමසූ විට තවමත් කෙටුම්පතවත් සකස්වී නැති ව්‍යවස්ථාව ගැන කියන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා මේ හිමිවරුන්ගෙන් විමසා සිටි බවද වාර්තාවෙයි.
රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරිම, සංහිඳියා ක්‍රියාකාරිත්වය ගැන ප්‍රසිද්ධ කිරීම වැනි මේ හිමිවරුන්ගේ අනෙක් ඉල්ලීම්වලින්ද සමස්තයක් හැටියට පෙනෙන්නේ ඔවුන් දක්වන මහත් අධිකාරිවාදී හා අන්තවාදී දෘෂ්ටියේ තරමයි. එහෙත් මතක තබාගත යුත්තේ, පසුගිය ජනවාරි 8වැනිදා රටේ බහුතර ජනතාව දේශපාලන වෙනසක් කළේ මේ ආකාර සියලු අන්තවාදී දෘෂ්ටීන්වලට එරෙහිව බවයි. ඒ නිසා ඒ බහුතර ජනතා වුවමනාව ආපසු හරවන්නට, රටේ භික්‍ෂූන් වහන්සේලාගෙන් ඉතාමත් සුළු පිරිසක් නියෝජනය කරන මෙවැනි අන්තවාදී හා වැඩවසම් අදහස් දරන හිමිවරුන් පිරිසකට ඉඩක් ඇත්තේ නැත.■