රාවය

කැබිනට් සංශෝධනය අද නොවේ හෙට

කැබිනට් සංශෝධනය අද නොවේ හෙට

මහාචාර්ය සරත් විජේසූරිය

ආණ්ඩුවේ ප්‍රති රූපය උදෙසා කැබිනට් මණ්ඩ ලයේ සංශෝධනයක් අවශ්‍ය බවට වාදයක් නැත. ආණ්ඩුවේ ප්‍රතිරූපය කෙලෙසන අමාත්‍යවරුන් කවුරුන්දැයි සාධක සහිතව හඳුනා ගෙන ද අවසන්ය. ඒ අනුව කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට කරුණු වාර්තා වී ඇත. එහෙත් කැබිනට් සංශෝධනයක් සිදු වන පාටක් පෙනෙන්නට නැත. මේ වන විට නීති ගරුක පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ කැබිනට් සංශෝධනය, ‘අද නොවේ හෙටයි’ යනුවෙන් සිතා සැනසෙන්නටය. මේ වූ කලී ශෝචනීය තත්වයකි.

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සැබවින්ම සිදු වේවි ද?
කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ යුතුම ද? මේ ප්‍රශ්න දෙක ජන මාධ්‍ය මඟින් පසුගිය සති දෙක තුනක් තිස්සේ විවිධාකාරයෙන් මතු කළා පමණක් නොව, සංශෝධනයට බඳුන් වන අමාත්‍ය පදවි හා වෙනස්කම් ද සමාජයේ අවධානයට ලක් කෙරිණි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු විය යුතු බව හා ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපය යහපත් ආණ්ඩුකරණයකට පටහැනි බව සිවිල් සමාජය ද අවස්ථා කිහිපයක දී පෙන්වා දී තිබෙන බව කිව යුතුය.
රාජපක්ෂ ආණ්ඩුවේ විශාල කැබිනට් මණ්ඩලයක් තිබුණ ද බහුතරයක් අමාත්‍ය පදවි නාමික ඒවා වූ බව නොරහසකි. රාජපක්ෂ සමයේ අමාත්‍ය පදවියක් නිල වශයෙන් නොදැරූ පුද්ගලයන් රාජ්‍ය පාලනයේ නිරතව සිටි බව ද ප්‍රකට කාරණාවකි.
ජනවාරි 08න් පසුව යහපත් ආණ්ඩුකරණයක් අපේක්ෂා කළ නීති ගරුක පුරවැසියන් බලා සිටියේ ගෞරවනීය කැබිනට් මණ්ඩලයකි. අභාග්‍යය නම් ගෞරවනීය කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ගැළපෙන චරිත පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීමය. මෙහිදී වඩාත් අසීරුවට පත්වී සිටින පුද්ගලයා වන්නේ අගමැතිවරයා බව පෙනේ.
දීර්ඝ කාලයක් විපක්ෂයේ සිටි එජාපයේ ජ්‍යෙෂඨයන් සැලකිය යුතු පිරිසක් අනිවාර්ය විශ්‍රාම ගැන්විය යුතු මට්ටමේ චරිතය. එහෙත් ඔවුන් පක්ෂයේ සියලු අර්බුද මධ්‍යයේ නායකයා සමඟ සිටි පුද්ගලයන්ය. තවත් පුද්ගලයන් පක්ෂය නඩත්තු කිරීමට දායක වුණ පුද්ගලයන්ය. එබැවින් නායකයාට සිදු වී තිබෙන්නේ යහපත් ආණ්ඩුකරණයක් ගැන සිතන්නට පෙර ජ්‍යෙෂඨයන්ට කිසියම් අන්දමකට කෘතගුණ සැලකීමටය. අමාත්‍ය පදවි දැරීමට සුදුසු පුද්ගලයන් තරුණ එජාප මන්ත්‍රීවරුන් අතර සිටිය ද ඔවුන්ට නිසි තැනක් ලබා දීම ද අසීරුවී තිබේ. මේ ව්‍යාකුල තත්වය නිසා යහ පාලනයක් වෙනුවෙන් සුදුසු පුද්ගලයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ගොඩ නඟා ගැනීම සැබවින්ම අසීරුවී තිබේ. මීට අමතර කාරණාවක් ද ඇත. එය ද බරපතළය. ඒ කුමක් ද? එනම් අගමැතිවරයා තමන්ට හිතෛෂී චරිත කිහිපයක් නිශේධ බලයෙන් ඉහළට ඔසවා තබා ගන්නා තත්වයක් තිබීමය. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ අගමැතිවරයා නීති ගරුක පුරවැසියන්ගේ fදා්ෂ දර්ශනයට දිනපතාම විවිධ ස්වරූපවලින් ලක් වීමය. ඒ කිසිවක් මායිම් නොකරමින් අගමැතිවරයා කටයුතු කරන තත්වයක් විiමානය. මෙහි අවසානය කුමක් ද?

කැබිනට් මණ්ඩලය
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගැන මුල සිටම පුරවැසියන් සතුටු වූයේ නැත. ඊට මුල් වුණ එක් හේතුවක් වන්නේ සමහර පුද්ගලයන්ට හොඳ කීර්තිනාමයක් නොතිබීමය. තවත් හේතුවක් වන්නේ විiාත්මක පදනමක් මත අමාත්‍යාංශ නිර්මාණය කර නොතිබීමය. ඒ කාරණාව නිසා රාජ්‍ය පාලනයේ ව්‍යාකුලභාවයක් ද දිගින් දිගටම දක්නට ඇත. ඇතැම් අවංක නිලධාරීන් ද අකර්මණ්‍ය වී සිටින තත්වයක් පෙනේ. සම්මුතිවාදී ආණ්ඩුව තුළ අමාත්‍ය පදවි බෙදා හදා ගැනීමේ දී සිදුව තිබෙන තත්වයක් ද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී බරපතළ ප්‍රශ්න මතු කරන බව නොරහසකි. කැබිනට් අමාත්‍යවරයා එක් පක්ෂයකත්, නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා එක් පක්ෂයකත් බැවින් ඇතැමුන් එළිපිට රණ්ඩුසරුවල් වන තත්වයක් ද ඇත. ඒ නිසා ඇතැම් අමාත්‍යාංශයක වැඩ කටයුතු සිදු වන්නේ ද නැද්ද යන්න පවා ප්‍රශ්න සහගතය.
අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයට පිටුපා කටයුතු කරන බව සාධක සහිතව ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් අද වන විට රහසක් නොවේ. සිවිල් සමාජයෙන් නැඟෙන චෝදනාවලට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව කීප වතාවක්ම පිළිගෙන ඇත. එහෙත් බාලගිරි දෝෂය අද නොවේ හෙටයි යන තත්වයකි අසන්නට ලැබෙන්නේ.
රාජපක්ෂ පාලන සමය තුළ පැවති දූෂණ ගැන කතා කළ පුද්ගලයන් සිටියේ එජාපය නියෝජනය කරමිනි. උත්ප්‍රාසය නම් අද ඔවුන් දූෂණ චෝදනාවලට භාජනය වී සිටීමය. මෙහිදී පැහැදිලි වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට බඳුන් කිරීමේලා එජාපය නියෝජනය කරන අමාත්‍යවරුන් වඩාත් ඉදිරියෙන් සිටින බවයි.
පක්ෂයක නායකයා දූෂණයේ නිරත නොවීම වැදගත්ය. එමෙන්ම දූෂණයේ යෙදෙන පුද්ගලයන් සම්බන්ධව නිර්භීත අන්දමින් තීන්දු තීරණ ගැනීම ද යහපත් ආණ්ඩුකරණයක් උදෙසා වැදගත් වන්නේය. අවශ්‍ය තීන්දු තීරණ නිසි අවස්ථාවේ දී නිර්භීතව නොගැනීම නිසා පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා සම්බන්ධ අධිචෝදනා ලබා සිටින පුද්ගලයන් දිනපතාම වාගේ අද ආණ්ඩුවේ දූෂණ වංචා මුල් කරගෙන මාධ්‍ය හමු පවත්වන තත්වයක් ඇත. මේ තත්වය සැබවින්ම ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවුණ සෑම පුද්ගල යෙකුටම අවමානයකි.
මහින්ද රාජපක්ෂ සිය අමාත්‍ය මණ්ඩලය තමන්ට අවශ්‍ය අන්දමට මෙල්ල කරගෙන සිටියේය. එපමණක් නොව බැසිල් රාජපක්ෂට හැර වෙනත් කිසිම අමාත්‍යවරයෙකුට එකල ස්වාධීනව කිසිම තීරණයක් ගැනීමට ද අවකාශයක් නොතිබිණි. සම්මුතිවාදී ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අගමැතිවරයා සමඟ සහයෝගයෙන් බැවින් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් තනි කැමැත්ත මත සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවක් නොපෙනේ. තමන් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව කැබිනට් සංශෝධනයක් ජනාධි පතිවරයා සිදු නොකරන බව තේරුම් ගෙන සිටින අගමැතිවරයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනවාරි 08 වෙනිදා රට අබිමුව තබන ලද ප්‍රතිඥාවලට එහෙම පිටින්ම පටහැනි පුද්ගලයන්ට රැකවරණය ලබා දෙන තත්වයක් පෙනේ. එසේ කරන්නේ කල් මැරීමෙනි. අගමැතිවරයා එසේ කරන්නේ පක්ෂයේ බලය රැක ගැනීම වෙනුවෙන් නම්, එයම භූමරංගයක් වන මොහොත ඉක්මනින් ළඟාවන බව පැවසීිමට සිදුව ඇත.

විදේශ ආයෝජන
රටේ ආර්ථිකය ගොඩ නැඟීිම සඳහා ආණ්ඩුව බලාපොරොත්තු තබා තිබෙන්නේ විදේශ ආයෝජනවලට බව පැහැදිලිය. එහෙත් විදේශ ආයෝජකයන්ගේ පැමිණීම මන්දගාමීය. ඊට තුඩු දී තිබෙන කාරණා දෙකක් හොඳටම පැහැදිලිය. ඉන් පළමුවැන්න සම්මුතිවාදී ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ව්‍යාකූලතාවන්ය. ජනතාවගේ උද්ඝෝෂණ ඔස්සේ රාජ්‍ය පාලනයේ අවුල් සහගත බවක් කාට වුව පැහැදිලිය. දිගින් දිගටම උද්ඝෝෂණ පවතින සංදර්භයක් තුළ රාජ්‍යයේ පැවැත්ම සම්බන්ධ පැහැදිලි අදහසක් නොලැබේ. ආණ්ඩුවෙන්ම පවසන්නේ මේ තත්වය විදේශීය ආයෝජකයන්ට ප්‍රශ්නයක් වී ඇති බවයි. එසේ නම් ආණ්ඩුව මේ අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් ප්‍රථමව තීරණාත්මක ස්ථාවරයක පිහිටා කටයුතු කළ යුතුය. මෙහි වගකීම තිබෙන්නේ අගමැතිවරයාට සහ එතුමාගේ පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටය.
ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා මේ වන විට දෙවතාවක් මුදල් ඇමතිවරයා ලෙස සම්මාන ලබා ඇත. මේ සම්මානවල තත්වය කුමක් ද? සැබවින්ම මේවා හාස්‍යජනකය.
හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට බඳුන්වීම සඳහා අමාත්‍යවරයා පසුගිය කාලය තුළ රටේ අභිවෘද්ධිය උදෙසා සිදු කළ කාර්යභාරයක් තිබේ ද? මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ගේ ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය පදනමක් ගොඩ නඟා ගත් බව කෙනෙකු පවසන්නේ නම් එය පිළිගත හැකිය. ජනවාරි 08 වෙනිදා සිට ගත වුණ කාලය සලකා බලන විට සැබවින්ම ගෙවී තිබෙන්නේ කෙටි කාලයකි. මේ කෙටි කාලය තුළ රටේ ආර්ථික වර්ධනය හා ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ ශේෂ පත්‍රයේ තරම කියන්නට නොදරුවෙකුට වුව හැකිය. තතු එසේ නම් මුදල් අමාත්‍යවරයා ලබා ගෙන තිබෙන සම්මාන ව්‍යාජ සම්මානය. රටේ නීති ගරුක පුරවැසියන් නොදරුවන් මෙන් සලකා සිනා රස ඉපදවීම කිසිම අමාත්‍යවරයෙකුට තරම් නොවන්නේය.

දෙබිඩි චරිත
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන දූෂණ චෝදනා ලබන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ගැන ජනතාවට සෑහෙන අවබෝධයක් ඇත. ඒ තරමේම අවබෝධයක් ජනතාවට නැතත් තවත් විදිහක අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ගැන තතු වාර්තාවේ. ඔවුන්ගේ දූෂණයේ ස්වරූපය තුළ හුදු ජුගුප්සාවක් පමණක් නොව සාපරාධී බවක් ද තිබේ. ඔවුන් කරන්නේ පසුගිය ආණ්ඩුවේ බරපතළ දූෂණවලට චෝදනා ලබා සිටින පුද්ගලයන්ට රැකවරණය ලබා දීමයි. මේ රැකවරණය ලබා දෙන්නේ පින් පිණිස නොවන බව ද නොරහසකි. දූෂිත නිලධාරීන් තමන්ගේ අභිමතය පරිදි තනතුරුවලට පත් කිරීම, ඇතැම් නිලධාරීන්ට රටින් පලායාමට උදව් කිරීම, ඇතැම් පරීක්ෂණ අඩාල කිරීම හා අදාළ නිලධාරීන් අධෛර්යමත් කිරීම යනාදි කටයුතුවල ඔව්හු නිරතව සිටිති. ඔවුන් යහ පාලනය සම්බන්ධ කිසිදු වගකීමක් නැති පුද්ගලයන්ය. සැබවින්ම ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත් නිසා ආණ්ඩුවට කළ හැකි දේ, ආණ්ඩුව කළ යුතු දේවල් අතරමඟ ඇනහිට තිබේ. මේ දෙබිඞ්ඩන් කරන්නේ දේශපාලන ජාවාරමකි. තමන්ගේ අමාත්‍ය පදවිය සතු බලය අවභාවිත කිරීමකි ඔවුන් සිදු කරන්නේ. මේ පුද්ගලයන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වනන්ට පුළුවන. අගමැතිවරයාට පක්ෂයේ නායකත්වය රැක ගෙන කටයුතු කිරීමට උදව් කළ පුද්ගලයන් ද විය හැකිය. එහෙත් එබඳු සාධක නිසා අගමැතිවරයා මේ පුද්ගලයන් දරන අමාත්‍ය පදවි අවම වශයෙන් වෙනස් කිරීමටවත් කල්පනා නොකරන්නේ නම් ඉන් තමන්ට පමණක් නොව රටට අත්වන ඉරණම ද සුබදායක නැත.
ජනවාරි 08 ජයග්‍රහණයෙන් අනතුරුව දූෂිතයන්ට දඬුවම් ලබා දෙන බවට දේශපාලනඥයෝ විවිධ අදහස් පැවසූහ. එහෙත් සත්‍යය නම් දේශපාල නඥයන්ට කිසිවෙකුට දඬුවම් නියම කිරීමට නොහැකිය යන්නයි. දඬුවම් නියම කළ යුත්තේ අධිකරණයෙනි. අධිකරණ යට දඬුවම් නියම කිරීමට නම් සාක්ෂි සහිතව අදාළ විමර්ශන ඉදිරිපත් කළ යුතුය. ජනවාරි 08 ජයග්‍රහණයට කැපවුණ කිසි කෙනෙකු නොසිතූ දේ වන්නේ ජයග්‍රාහකයන් දූෂිතයන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමය. දූෂිතයන්ට දඬුවම් නියම කිරීම සිදු කළයුතුය යන මතය දිනවීමට යම් හේතු කාරණා මත කටයුතු කළ නොහැකි නම් මේ දේශපාලනඥයන් නිහඬව සිටීමය කළ යුතු වන්නේ. එහෙත් ඔවුන් කරන්නේ අදාළ පරීක්ෂණ අඩාල කිරීමට දිගින් දිගටම මැදිහත්වීමටය. මෙබඳු අමාත්‍යවරුන් සමඟ යහපාලනයක් ඇති කිරීමට අගමැතිවරයා කල්පනා කරන්නේ කෙසේ ද?

බාලගිරි දෝෂය
වත්මන් ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට මුල් වී තිබෙන ප්‍රධාන සාධකය වන්නේ අවශ්‍ය තීන්දු අවශ්‍ය මෙහොතේදී නොගැනීමය. මේ ඉතා අවාසනාවන්ත තත්වයකි. මේ සම්බන්ධව සියලු වගකීම් දැරිය යුතු වන්නේ අගමැතිවරයා බව පැවසීමට සිදු වේ.
ආණ්ඩුවේ ප්‍රතිරූපය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අශිෂ්ට අන්දමට පමණක් නොව, සාපරාධී අන්දමට කෙළෙසන බව කරුණු කාරණ ඇතිව අනාවරණය වන විට ජනාධිපතිවරයා අවධාරණ යෙන් සිවිල් සමාජයට දුන් පොරොන්දුව වූයේ කැබිනට් සශෝධනයක් ප්‍රථමයෙන් සිදු කරන බවය. ඉන් තත්වය වෙනස් නොවුණහොත් ඊට සුදුසු පියවර ගන්නා බවය. මේ පොරොන්දුව ජනාධිපති වරයා මේ වන විට හය හත් වතාවක් ලබා දී ඇත. එහෙත් ඒ පොරොන්දුව ඉටු කිරීමට මේ වන විටත් ජනාධිපතිවරයා අසමත්ය.
කැබිනට් සංශෝධනයක් සිදු කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා සමඟ ඇති කර ගන්නා එකඟතාවකිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ මහින්ද රාජපක්ෂට හෝ කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට කිසි අවස්ථාවක අගමැති සමඟ සාකච්ඡා කිරීම අවශ්‍ය වූයේ නැත. ඊට අදාළ එක් හේතුවක් නම් අගමැතිවරයා ද ජනාධිපතිනියගේ හෝ ජනාධිපතිවරයාගේ පක්ෂයේ පුද්ගලයෙකු වීමය. අනෙක් හේතුව නම් අගමැතිවරයා නාමික චරිතයක් වීමය. වත්මන් ආණ්ඩුවේ තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයාට රාජ්‍ය පාලනය තුළ ප්‍රධාන භූමිකාවක් හිමිය. මේ ඉතා සංකීර්ණ තත්වයකි. මේ සංකීර්ණ තත්වය තවත් බරපතළ වී තිබෙන්නේ දූෂණ චෝදනා ලබන කැබිනට් අමාත්‍ය වරුන්ගෙන් කෙනෙකු දෙන්නෙකු හැරෙන්නට අනෙක් සියලුම දෙනා එජාපයේ අමාත්‍යවරුන් වීමය.
අගමැතිවරයා කැබිනට් සංශෝධනයක් දිගින් දිගටම කල් දමන තත්වය මේ නිසා හොඳින් පැහැදිලිය. ප්‍රශ්නය වන්නේ මේ කල් මැරීම කොපමණ කාලයක් කළ හැකි ද යන්නය. මේ කල් මැරීම කළ හැකි වන්නේ ආණ්ඩුව විසුරුවා හරින තෙක් පමණය. ආණ්ඩුව විසුරුවා හැරි විටක නැවත ජනවරමක් ඉල්ලා ජනතාවට හමුවට යන්නට අගමැතිවරයාට හැකිවේ ද? කිසිසේත් නොහැකිය.
ජනවාරි 08 වෙනිදායින් පසුව නීති ගරුක පුරවැසියන් භුක්ති විඳින යම් වරප්‍රසාද නිසා මැතිවරණයක දී මුදල් වියදම් කිරීමෙන් පමණක් ජයග්‍රහණය ලැබිය නොහැකිය. පුරවැසියන් වහලුන් සේ සලකා රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මැතිවරණ ජයග්‍රහණය කළේ ධන බලයෙනි. එහෙත් 2105 ජනාධිපතිවරණයේ දී ඔහුගේ ක්‍රමවේදය අසාර්ථක විය. අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අද පුරවැසියා ශක්තිමත්ය. මර බිය සමඟ හොර ගල් අහුලන්නේ නැතිව කටයුතු කිරීමට, ජනතාවගේ අදහස් වෙනස් කිරීමට, හා සත්‍යය පහදා දීමට තිබෙන අවකාශයන් අප්‍රමාණය. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් භුක්තිවිඳින ජනතාවකගේ ඡන්දය ලබා ගැනීම පහසු නොවනු ඇත. එබැවින් අග්‍රමාත්‍යවරයා සිහිනුවණින් කල්පනා කළ යුතු වන්නේ ආණ්ඩුවේ පැවැත්මට විනාශකාරී බලපෑම් කරන අමාත්‍යවරුන් සම්බන්ධ තීන්දුවක් ගැනීමට වහාම පියවර ගැනීමය. ඒ පියවර ගැනීමෙන් ආරක්ෂා වන්නේ අග්‍රමාත්‍යවරයාගේ තත්වයයි. අග්‍රාමාත්‍යවරයා නිර්භීත තීන්දුවක් කරා නොගියහොත් ඉන්ම එතුමාගේ දේශපාලන ඉරණම තීන්දු වනු නියතය.■