අප්‍රේල් 5 සහ තෙවැනි දේශපාලනය


sunnada

අප්‍රේල් කැරැල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැපකළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැඳෑසමය ගතකරයි. එම පරම්පරාවෙහි සුළුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබාදෙමින් සිටිත්.
අද මෙරට දේශපාලනය එක්තරා අන්දමකින් 1971ට සමානය. ඒ විකල්ප දේශපාලනයක් සඳහා ඇති අවකාශය අතිනි. එජාපයට සහ ශ්‍රීලනිපයට බැහැරින් තෙවැනි දේශපාලනයක අවශ්‍යතාව එළැඹෙන වසරවලදී ප්‍රධාන දේශපාලන සාකච්ඡාවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ජනතා විමුක්ති පෙරමුණට මෙම අවකාශය පිරවිය හැකිද?
ඇත්ත වශයෙන්ම නම් දැනටමත් ප්‍රධාන දේශපාලන ධාරා තුනක් වෙන වෙනම සංවිධානය වෙමින් සිටියි. ඒවා නම් වික්‍රමසිංහගේ එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂගේ ශ්‍රීලනිපයයි. එනමුත් මෙම කිසිදු ධාරාවක් තෙවැනි දේශපාලනයක් නියෝජනය කරන්නේ නැත. ශ්‍රීලනිපයේ රාජපක්ෂ සහ සිරිසේන පාර්ශ්වයන් වෙන් වෙන්ව පවතිනු ඇත්තේ ඊළඟ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය තෙක් පමණි.
මෙම දේශපාලන පක්ෂ දෙකම කෙරෙහි කලකිරෙන පිරිස් එන්න එන්නම වර්ධනය වන බව දැන් පෙනෙන්නට තිබේ. යහපාලන පොරොන්දු සිය කෙටිකාලීන සුඛවිහරණය වෙනුවෙන් පාවාදී ඇති සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව අද සිටින්නේ බහින කලාවෙහිය. එයට අද සමාජ ආකර්ෂණයක් නැත. 2020 වන තුරු බලයේ සිටින බවට පාරම්බෑම හැරුණු විට සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කරන වැඩක් පෙනෙන්නට නැත. මෙම තත්ත්වය යටතෙහි රාජපක්ෂගේ දූෂණයේ සහ භීෂණයේ දේශපාලනයටද විරුද්ධ සමාජ පිරිස් තෙවැනි දේශපාලනයක් කරා ඇදීයෑමේ විභවය ඉහළය. විකල්ප දේශපාලනයක් සොයන දේශපාලන අවකාශයද එනයින් ඉහළ යනු ඇත.
අප්‍රේල් කැරැල්ලෙන් උපත ලද ජනතා විමුක්ති පෙරමුණට ශ්‍රී ලංකාවේ තෙවැනි දේශපාලනය වශයෙන් වර්ධනය වීමට හැකියාවක් ඇත්ද නැත්ද යන්න කාලීන සාකච්ඡාවට ගත යුතු සන්දර්භය එයයි.
කැරැල්ලේ දේශපාලන පණිවිඩය මෙරට සිංහල සමාජය තුළ මුල් බැසගෙන තිබේ. යහපත් සමාජයක් පිළිබඳ එහි පණිවිඩය සිංහල සමාජයෙහි තවමත් දෝංකාර දෙයි. එමෙන්ම සිංහල සමාජයෙහි අධිපති දේශපාලන පක්ෂ දෙක වන යූඇන්පියට සහ ශ්‍රීලනිපයට රැහැණිව පවත්නා තෙවැනි ප්‍රමාණාත්මක දේශපාලන පක්ෂය බවට 71 කැරැල්ලේ වාහකයාවූ ජවිපෙ පත්ව තිබේ. එහෙත් එයට ගුණාත්මක වෙනසකින් යුතු තෙවැනි දේශපාලනය බවට පත්වීමට හැකිවී නැත.
මා අදහස් කරන අන්දමට නම් අද ලෝක සහ ජාතික දේශපාලන වර්ධනයන් තුළ තෙවැනි දේශපාලනය විය හැක්කේ ජනප්‍රිය ජාතිකවාදයට සහ අධිකාරීවාදයට විරුද්ධව පොදුජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටිය හැකි නූතනවාදී ව්‍යාපාරයකටය. මා පොදුජනයාගේ අයිතීන් යනුවෙන් අදහස් කරන්නේ එක්සත් ජාතීන් විසින් පිළිගෙන ඇති මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමුදායයි.
මේ අර්ථයෙන් ජවිපෙ මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් නම් එය 1971 සිට අද දක්වාම සිංහල (එමෙන්ම බෞද්ධ) සමාජය තුළ පමණක් ක්‍රියාත්මක වන දේශපාලනයක් වීමයි. එමෙන්ම එය ආදානග්‍රාහීය. වත්මන් ජවිපෙ පවා සිය ආදර්ශයන් ලෙස සලකන බව පෙනෙන්නට ඇත්තේ සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලනය ස්ථාපිතවී ඇති ස්වීඩනය හෝ නෝර්වේ වැනි රටවලට වඩා අධිකාරිවාදී දේශපාලනය මත රඳාපවත්නා උතුරු කොරියාව සහ චීනය වැනි රටවල්ය. අද තනිකරම අවුල් ජාලයක් බවට පත්ව ඇති චාවේස්ගේ වෙනිසියුලාවද කලක් ජවිපෙ ආදර්ශයක් ලෙස සලකාගෙන තිබුණි.
එහි නායකත්වයද එජාපයේ සහ ශ්‍රීලනිපයේ මෙන්ම සිංහල සහ පුරුෂමූලිකය. හතළිස් පස් වසරක් පුරා එයට සිය වාර්ගික සහ පුරුෂ මූලික දේශපාලනය ඉක්මවා යෑමට හැකිවී නැත.
මෙරට තෙවැනි දේශපාලනයක එක් ලකුණක් විය යුත්තේ වාර්ගික, පුරුෂ මූලික සහ වැඩිහිටියන්ට පමණක් වූ දේශපාලනය ඉක්මවා යෑමට සමත්වීමයි. තෙවැනි දේශපාලනයක් පෙනුමින්ද හරයෙන්ද සමාජ සමානාත්මතාවේ සහ සාධාරණත්වයේ ලාංඡනයක් විය යුතුය.
ජවිපෙ වරෙක 225ක් වූ පාර්ලිමේන්තු ආසන ගණනින් 50කට ආසන්න ගණනාවක් දිනාගැනීමට සමත්විය. ඒ 2005 වසරෙහිදී මහින්ද රාජපක්ෂගේ යුදවාදී දේශපාලනයෙහි කොටස්කරුවකු වෙමින් ඔහු බලයට ගෙනඒමට තීරණාත්මක ලෙස මැදිහත්වීම මගිනි. එසේ නමුත් එම ප්‍රමාණාත්මක බලය ශ්‍රී ලංකාවෙහි දේශපාලනයෙහි ගුණාත්මක වෙනසක් බවට පත්කිරීමට ජවිපෙ සමත්වූයේ නැති බව අපි දනිමු. එය තෙවැනි බලවේගය බවට පත්වුවද එයට එදා වුව තෙවැනි දේශපාලනයක් තිබුණේ නැත. එහි මතවාදය වූයේ අන්තවාදී සිංහල බෞද්ධ රාජපක්ෂවාදයයි.
ඉන් වසර දහයකට පසු 2015 වසරෙහි රාජපක්ෂ විරෝධී දේශපාලනය ජයගැන්වීමටද ජවිපෙ තීරණාත්මක දායකත්වයක් සැපයූ බව රහසක් නොවේ. එම අවස්ථාවෙහිද තමන්ගේම වූ දේශපාලනයක් වර්ධනය කරගැනීමට නොහැකි වූ බව 2015 අගෝස්තු මැතිවරණයෙන් පෙනීගියේ ය.
1971න් පසු ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනයෙහි දැකිය හැකි ප්‍රධාන හුය නම් ප්‍රයෝජ්‍යතාවාදයයි. එනම් වඩා ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද එය නිවැරදිය යන දේශපාලනයයි.
1977 අගභාගයේදී අලුත පිහිටුවන ලද ජේආර් ජයවර්ධනගේ යූඇන්පී ආණ්ඩුව විසින් දෙන ලද සමාව ලබා නිදහස් වූ විජේවීරගේ නායකත්වය යටතේම දෙවන ජවිපෙ ගොඩනැගුණි. ආරම්භයේදී බාලා තම්පෝ සමඟ එක්ව මාක්ස්වාදී-ට්‍රොස්කිවාදී දේශපාලනයකින් පටන් ගත් එම ජවිපෙ 1983න් පසු අන්තවාදී සිංහල ජාතිකවාදී දේශපාලනය තෝරාගත්තේය. එහි සන්නද්ධ උපායමාර්ගය වූයේ පුද්ගල ඝාතන සහ බියවැද්දවීමේ ත්‍රස්තවාදයයි. එලෙස ජවිපෙ විසින් දියත්කරන ලද 89-90 දෙවැනි කැරැල්ල භීෂණ සමයක් බවට පත්වී දැවැන්ත දේශපාලන සමාජ විපතක් බවට පත්විය.
රාජපක්ෂ විරෝධී බලවේග අතර ජවිපෙ පෙරමුණ ගත්තේ දූෂණ විරෝධී මතවාදය මගිනි. එහෙත් ඉන් දෙවසරක් ගෙවී ගිය අද එය අතෙහි එම දූෂණ විරෝධී ධජය ඇති බවක් නොපෙනේ. අද එය ගමන් කරන්නේ පෙනෙන විදිහට බලය බෙදීම මත පදනම් වූ නව ව්‍යවස්ථා වෙනසකට විරුද්ධවීම මගින් ජනප්‍රියවීම කරාය.
එසේ නමුත් සිංහල ජාතිකවාදී දේශපාලනය රාජපක්ෂගේ වපසරිය බවට පත්ව ඇති බැවින් එමගින් මැතිවරණ ආසන ගණන වැඩිකර ගැනීමට ජවිපෙ සමත්වනු ඇතැයි සිතීම දුෂ්කරය. එවැනි දේශපාලනයක් කරා ගමන් කළහොත් ජවිපෙට තවදුරටත් පාර්ලිමේන්තුව තුළ පසුබෑමට ඉඩ තිබේ.
විකල්ප දේශපාලන නායකයකු ලෙස අනුර කුමාර දිසානායක සතුවූ විභවය මාධ්‍ය ජාවාරම්කරුවන්ට සිය ප්‍රතිරූපය ගොඩනැගීමට බාරදීම නිසා පල්ලම් බැස්සේය.
මේ සියලු පසුබෑම් තිබියදීත් සිරිසේන-රනිල් අසාර්ථකත්වය තිබියදීත් තවමත් ප්‍රමාණාත්මක තෙවැනි බලවේගය එයයි. එහි ප්‍රචාරක සහ සංවිධානාත්මක ශක්තිය ප්‍රබලය. එනමුත් තෙවැනි දේශපාලනයක් කරා ගමන් කිරීමට නම් එයට තීරණාත්මක වෙනස්කම් සඳහා සූදානම් විය යුතුය. ඉදිරි දෙවසර ඒ නයින් සිරිසේන-රනිල් ආණ්ඩුවට පමණක් නොව ජවිපෙටද තෙවැනි දේශපාලනයක් අපේක්ෂා කරන සමාජ කණ්ඩායම්වලටද තීරණාත්මකය.■