රාවය

අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරනවා අධ්‍යාපන | අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරනවා අධ්‍යාපන | අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

තරිඳු උඩුවරගෙදර

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කීවත් කිසිම දෙයක් සිද්ධවුණේ නැහැ. තවමත් පක්ෂය අභ්‍යන්තරයේ තනතුරු ගැටුම්ද? ඉදිරියේදී ඔබටත් තනතුරක් ලැබේවිද?
ඕනෑම පක්ෂයක් යම් කාලයකදී තීන්දු ගන්නවා. අපි ඒ ඕනෑම තීන්දුවකට බැඳිලා ඉන්නවා. අපි තනතුරු බලාගෙන නෙවෙයි ඉන්නේ. අපි තනතුරු ඉල්ලාගෙන ගිහිල්ලා නැහැ. අපි කාර්යභාරය කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලත් කුරුණෑගලින් මම ලක්ෂ තුනක අගමැතිවරයාට විතරක් දෙවැනි වෙන මනාප ප්‍රමාණයක් ගත්තේ තනතුරු තිබිලා නෙවෙයි. මහින්ද රාජපක්ෂ එක්ක තරග කරලා ඔවුන්ගේ ආසන හතට හතක් ආසන දිනාගන්නට අපට හැකිවුණා. ඒ කිසිවක් තනතුරු බලාපොරොත් තුවෙන් කළ දේවල් නෙවෙයි. පක්ෂයේ තීරණය පක්ෂයේ නායකයාගේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක්. ඒ ගැන කිසිවක් අපි කතාවුණේ නැහැ.

ඉදිරියේදී මැතිවරණ එන්න නියමිතයි. ශ්‍රීලනිපය එජාපය එක්ක යම් ගැටුමක ඉන්න බවකුත් පේනවා. මැතිවරණ එක්ක ආණ්ඩුවේ සමඟිය අවසාන වෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ?
මේක අලුත් තත්ත්වයක්. අපි ඒකට මුහුණදෙන්න ඕනෑ. අපි දැන් ආණ්ඩුවේ තුන්වැනි අවුරුද්දට ළං වෙලා තියෙනවා. අපි චෝදනාවලට මුහුණදෙන්න ඕනෑ. අපි හවුල්කාර ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය. ආණ්ඩුවට එන චෝදනා අපට බාරගන්න වෙනවා. එහෙත් ආණ්ඩුවේ වැඩවල ප්‍රතිඵල දෙදාස් දහනවය වෙද්දී ලැබේවි. ඒවාගේ ගෞරවයත් අපට බාරගන්න පුළුවන්. ආණ්ඩුවේ වගකීම අපේ පැත්තට යොමුවීම අපට හොඳයි. විවේචන කරන්න ආණ්ඩුව ඇතුළේ සහ එළියේ ඉන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් හොඳයි. නිදහස ඕනෑවටත් වඩා පාවිච්චි කරන අය ඉන්නවා. දැන් සුදුවෑන් නැහැ. ඝාතන සිද්ධවුණේ නැහැ. ඉතින් ජනතාවට තීරණය කරන්න පුළුවන් මේවා ගැන.

මේ ආණ්ඩුව බලයට ආවාම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් දියුණුවක් ලැබූ බව ඇත්ත. හැබැයි අපේ විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් තව බොහෝදුර යා යුතුයි. විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම අපේ බලාපොරොත්තුවක්. මේ බලාපොරොත්තුවට පයින් ගහන්න ආණ්ඩුව කටයුතු කරයිද?
මේ ගැන විවිධ අදහස් ප්‍රසිද්ධියේ කියන අය ඉන්නවා. අපේ ගමන නවත්වන්න විවිධ බාධාකිරීම් කරනවා. හැබැයි අපි ව්‍යවස්ථාව ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉදිරි දේශපාලන ප්‍රතිසංස්කරණත් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ලොකු ගමනක් ආවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා යටතේ ඔබේ ඉතිරි බලාපොරොත්තු ටිකත් ඉටු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් නටන කිහිපදෙනෙක් ඉන්නවා. හැබැයි නටන්නේ බහුතරය නෙවෙයි. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මේවා අඩපණ කරන අය නෙවෙයි මේ රටේ බහුතරය.

ඒකාබද්ධ විපක්ෂය මේවා අඩපණ කරන්න උත්සාහ කරන බව පැහැදිලියි. එහෙත් ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව ඇතුඝේම ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම දරන ස්ථාවරය. ඔවුන්ගේ න්‍යාය පත්‍රය අපැහැදිලි නැද්ද?
මම කිව්වා වගේ ඒ නටන අයත් බහුතරය නෙවෙයි. ශ්‍රීලනිපයේ දෙතුන්දෙනෙක්නේ ඔහොම කියන්නේ. ඒක ශ්‍රීලනිප බහුතරයේ මතය නෙවෙයි. දියුණු රටවල වගේ දැන් අපේ රටේත් විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ශ්‍රීලනිපයේ මතය තවමත් නිල වශයෙන් ඉදිරිපත් වෙලා නැහැ.

පහුගිය දිනවල ග්‍රාමීය ඉස්කෝලයක වහලයක් කඩා වැටුණු සිද්ධියක් ගැන කතාවුණා. අධ්‍යාපනය පැත්තෙන් සම්පත් අසමාන ලෙස බෙදීයෑම තවමත් තියෙනවා නේද?
ඒක මගේ වැරැද්දක් නෙවෙයි කියලා පැහැදිලිව කියන්න ඕනෑ. ඇතැම් අය මට චෝදනා කරලා තිබුණා. අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මේ රටේ පාසල් දහස් ගණනක් තෝරාගෙන පැහැදිලිව නිර්ණායක මත ප්‍රමුඛතාව හඳුනාගෙන අඩුපාඩු තියෙන පාසල් ටික පිළිබඳ විස්තර එවන්න කියලා පළාත් සහ කලාප නිලධාරීන්ට දැනුම් දුන්නා. එයාලාගේ නිර්දේශ මත තමයි මේ ව්‍යාපෘතිය දාලා මුදල් පාස් කරන්නේ. කනගාටුවෙන් කියන්න ඕනෑ මේ වගේ ගොඩනැඟිලි තියෙන්න බැහැ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී මේ වගේ ගොඩනැඟිලි තියෙන්න බැහැ. ගොඩනැඟිලි, විද්‍යාගාර, සනීපාරක්ෂාව වැනි ව්‍යාපෘති දහඅටදාස් පන්සීයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අනුව මේ වගේ ගොඩනැඟිලි තියෙන්න බැහැ. අපි ගැටලු තියෙන තැන් ඉල්ලුවා. මෙහෙම ගොඩනැඟිලි ඉතිරි වෙන්න නම් හේතුව තමයි මේ තොරතුරු අපට ලැබිලා නැහැ. අපි පළමුවැනි වතාවට මෙහෙම දේවල් නොවන විදියේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ. එය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ ගැන මට ඉතාමත් කනගාටුයි. අපි විභාග තියලා විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් ගත්තා. විධිමත් පුහුණුව දුන්නා. වැඩිම ලකුණු ගත් අයට විදෙස් පුහුණුව දුන්නා. හැබැයි තවමත් උපගුරුවරු වැඩ බලනවා. අපි අහන්නේ විධිමත් පත්කිරීම් කළාම උපගුරුවරු විදුහල්පති ලෙස වැඩ බලන්නේ කොහොමද? මේවායේ විධිමත්භාවය නැතිව දේශපාලන ඇඟිලි ගැසීම් කෙරෙන්නේ කොහොමද? පොල් අතු ගොඩනැඟිලි, මේ වගේ ගොඩනැඟිලි සියල්ලේම තොරතුරු දෙන්න, අපි කැබිනට් පත්‍රිකාවක් දාලා එක සැරේ සියල්ල හදලා දාමු කියලා මම කිව්වා. ඇත්තටම මේවාට ලැබෙන සහයෝගය මදි.

පහුගිය ආණ්ඩුව කාලයේ ඉඳන්ම බරපතළ චෝදනා තියෙන විදුහල්පතිවරුන් හිටියා. ඔබ ඇමතිධූරයට ආවාම කවදාවත් ඉවත් කරන්න බෑ කිව්ව සමහරුන් ඉවත් කළ බව ඇත්ත. හැබැයි ඒ කිසිවෙකුට දඬුවම් ලැබිලා නැහැ නේද?
අපි පැහැදිලිව චෝදනා තියෙනවා නම් විධිමත් විමර්ශන කළා. මේක ඇවිල්ලා මාෆියාවක්. සමහර අය වෘත්තියක් විදියට හොරට ළමයි දාන ඒවා කරලා තියෙනවා. හැබැයි මම කියන්නේ බහුතරය ඉන්නවා හොඳම විදුහල්පතිවරු. මේ හොරකම උපසංස්කෘතියක් වුණාම තමයි ගැටලු මතුවෙන්නේ. අපි කියන්නේ කිසිම දූෂිතයෙක්ව ආරක්ෂා කරන්න අපි චාන්ස් එකක් දෙන්නේ නැහැ.

පහුගිය අයවැයේදී අධ්‍යාපනය පැත්තෙන් දුන්නු පොරොන්දු ඉටුවේවිද?
ඒ හැම එකක්ම ඉටු කරන්න අපි සැලසුම් හදනවා. මේ වෙද්දී පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් දෙනවා. ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට රජයේ රෝහලට ගියොත් දවසකට දාහ ගානේ ගෙවනවා. පෞද්ගලික රෝහලකට ගියොත් ලක්ෂය වෙනකම් බිල ගෙවනවා. අපි රක්ෂණ සමාගම් එක්ක කතාකළා. මේ රටේ දරුවන්ට ජනාධිපති අරමුදල වගේ අරමුදලක් හදන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන්ට විශාල සැත්කම් කරන්න පහසුකම් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ටැබ් පරිගණක දෙන නියමු ව්‍යාපෘතිය පටන්ගන්නවා. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ටැබ් ලබාදීමේ ව්‍යාපෘතිය මේ අවුරුද්දේ නියමු ව්‍යාපෘතියක් විදියට කරන්න පුළුවන් මට්ටමට ගෙනල්ලා තියෙනවා.

බිග්මැච් සංස්කෘතිය සම්බන්ධයෙන් ඔබට තීන්දුවක් ගන්න කියලෘ පීඩනයක් ආවා නේද?
සමහර ස්වාමීන් වහන්සේලා කිව්වා අහෝසි කරන්න කියලා. හැබැයි බිග්මැච් වගේ ඒවා උපසංස්කෘතීන් නේ. අනික මේ තරුණ ළමයි. ඒ අයට ඉගෙනගන්නවායින් එහා විනෝදයක් ලැබෙන්න ඕනෑ. හැබැයි ඒවා පාලනය කෙරෙන්න ඕනෑ. විදුහල්පතිවරුන් ඒ ගැන බලන්න ඕනෑ. මටත් අහෝසි කරන්න කියලා කිව්වා. හැබැයි මම ස්ථීර තීරණයක් ගත්තේ නැහැ.

පාසල් නිල ඇඳුම් සහ ගුරුවරියන්ගේ සාරි ගැනත් ඔබ විප්ලවීය අදහස් දැක්වීමක් කළා නේද?
නිල ඇඳුම ගැන අපි තීරණයක් ගන්නවා. මම වතාවක් දැක්කා මොනරාගල පාසලක ළමයි ටයි එකක් දාගෙන දාඩිය දාගෙන අමාරුවෙන් ඉන්න විදිය. මේ ගැන පරෙස්සමෙන් අපි තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරියන්ගේ පැත්තෙන් ගර්භණී තත්ත්වයේ ඉන්න ගුරුවරියන්ට පටි බැඳගෙන සාරි ඇඳන් ඉන්න අපහසු බව අපි තේරුම් ගන්න ඕන. ඒ වෙනුවෙන් අපි පියවර ගන්නවා. ඒ සඳහා වගකීමක් තියෙන විද්වතුන්ගේ උපදෙස් ගන්නවා. ඔබ මෙය විප්ලවීය තීන්දුවක් යැයි පැවසීම ගැන මම සතුටු වෙනවා. ඇමතිවරයෙක් විදියට මම නවීන විදියට හිතන්න කැමතියි. අධ්‍යාපනය නවීන තැනකට ගේන්න කැමතියි. ඇතැම්විට මාත් එක්කම ඉන්න නිලධාරීන් පවා ඒවාට විරුද්ධ වෙන්න පුළුවන්. අනික සමාජයෙන් විරෝධයක් එන්න පුළුවන්. නවීන විදියට හිතන මිනිසුන්ගේ සහාය අවශ්‍ය කාලයක් මේ.

නවීන අදහස් ගැන කීවාම පෞද්ගලික අංශය අධ්‍යාපනයට මැදිහත්වීම ගැන ලොකු විවේචන ඇතිවෙලා නේද? දැන් ලංකාවේ ලොකුම විරෝධතා ව්‍යාපාරය යන්නේ සයිටම් ආයතනයට එරෙහිව නේද?
සයිටම් එකේ අඩුපාඩු මමත් විවේචනය කරනවා. දැනටත් මට විවේචන තියෙනවා. හැබැයි අපි බලන්න ඕන ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ගුණාත්මකභාවය හදාගැනීමයි. අපි රජයේ අධ්‍යාපනයත් පුළුල් කරනවා. අලුත් මෙඩිකල් ෆැකල්ටියක් සබරගමු විශ්වවිද්‍යාලයේ අපි පටන්ගන්නවා. කැම්පස් යන විසිපන්දාහට අමතරව ලක්ෂ ගාණක් එළියේ ඉන්නවා. ඒ අය ගැන අපි හිතන්න ඕන. අපි විශ්වවිද්‍යාලවලට යන අයට ණයක් දීලා ණය මඟින් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හරි උපාධිය හදාරලා රැකියාව කරන අතරේ ණය ගෙවන්න අවස්ථාව ලැබෙන ක්‍රමයක් හදන්න බලාපොරොත්තු වෙනවා. අපට තියෙන වගකීම මොකක්ද. රජයේ තැනටම ගෙන්වාගෙන මොනවාහරි අධ්‍යාපනයක් දෙන එක අපේ වගකීම නෙවෙයි. අපට තියෙන්නේ සියලු සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම. සියලු දෙනාටම සමාන අවස්ථා ලබාදෙන එක. ඒ සඳහා පෞද්ගලික අංශයෙන් සහාය ලබාගන්න පුළුවන්. ඒ හරහා රජයේ සම්පත් දිළිඳු දරුවන්ට ලබාදෙන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් මේක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ප්‍රතිපත්ති සුළු පිරිසකගේ විරෝධතා නිසා අකුලාගන්න අපි සූදානම් නැහැ. අපට විශ්වාසයි මේ ප්‍රතිපත්ති රටට අයහපතක් නොකරන බවට. කවුරුහරි ඒකට අන්ධයෝ වගේ විරුද්ධ වෙනවානම් ඔවුන් විරුද්ධ වෙන්නේ තමන්ගේම දරුවන්ගේ අනාගතයට.

පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් රජයේ අධ්‍යාපනයේ ප්‍රමිතිය අඩුවේවිද?
පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි ප්‍රමිතිය ගැන තීන්දු ගන්නවා. පෞද්ගලික හෝ රජයේ භේදයකින් තොරව පාසල්වල ප්‍රමිතිය පවත්වාගන්නට ස්වාධීන ආයතනයක් අපි නිර්මාණය කරනවා. ඒකෙන් අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය හදනවා. ඒක හරහා පාසල් සුපරීක්ෂාවට ලක් වෙනවා. ගුරුවරුන්ගේ දැනුම පවා සුපරීක්ෂාවට ලක් කරනවා. අපට තියෙන සැලසුම් පත්තර පිටුවකට කියලා ඉවර කරන්නත් බෑ. අපට විරුද්ධ වෙන ඇතැම් මාධ්‍ය සහ වෘත්තීය සංගම්වලටත් අපි කරන දේවල් බලලා සහයෝගය දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.■