නායකයන් දෙදෙනා විශ්වාසය නැති කරගනීවිදැයි ජිනීවා බලා සිටිනවා |ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාකාරිනී


nimalka

තරිඳු උඩුවරගෙදර

ජිනිවාවල හිටපු මානව හිමිකම් සැසිවලට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සහභාගි වුණ කාලයේත් ඔබට අත්දැකීම් ඇති නේද?
මානව හිමිකම් කොමිසම කියන එක අලුත් දෙයක් නෙවෙයි ලංකාවට. අසූනවයේ සිදුවුණ දේශපාලන ඝාතනයන් සහ අතුරුදන්වීම් සම්බන්ධ කාරණා පිළිබඳව මහජනතාව තුළ බියක් තිබුණා. ඒ වගේ අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාත් කල්පනා කළා දේශීය අධිකරණයකින් යුක්තිය නොලැබේවි කියලා. ඒ නිසා ඔහු කල්පනා කළා ජාත්‍යන්තරය ඉදිරියට යන්න. ඉතිහාසයේ හැමෝම දන්නවා ඔහු තොරතුරු දන්නා හැටි. ගුවන් තොටුපලේදී ඔහුව නැවැත්වුවාම සාක්ෂිවල ලැයිස්තුවක් අරගෙන ඔහු ගිය හැටි. මමත් තරුණ මානව හිමිකම් ක්‍රියාකාරිකාවක් හැටියට රාජපක්ෂලා, වාසුදේව නානායක්කාරලාව ආශ්‍රය කළා. අපි දන්නවා තාමත් අපි කෝපි බොන සර්පන්ටයින් රෙස්ටුරන්ට් එකේදී මහින්ද රාජපක්ෂලාව හමුවුණ හැටි. සර්පන්ටයින් රෙස්ටුරන්ට් කියන්නේ ජිනීවා එක්සත් ජාතීන්ගේ කවුන්සිල රැස්වීම් පවත්වන ගොඩනැඟිල්ලේ තියෙන ආපන ශාලාව. එතැන තමයි විවිධ රටවලින් එන අය කෑමබීම ගන්නේ. එතැන තමයි ලාබෙට කෑමක් කන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතැනදී තමයි බොහෝ අය පහසුවෙන් හමුවෙන්නේ.

මහින්ද රාජපක්ෂ ගියේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටද?
නැහැ. සාමාන්‍යයෙන් මේ මානව හිමිකම් සමුළුවකට ඇතුළුවෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයකින් පාස් එකක් ලැබෙන්න ඕනෑ. එදා මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර දෙපළට බැජ් එක ලැබුණේ ක්වෙකපීස් කියන රාජ්‍ය නොවන සංවිධානයෙන්. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එන්ජීඕ කාරයෙක් විදියට අසූනවයේදී ජිනීවා සමුළුවට ඇතුළුවුණා. අපිත් ඒ වගේ රාජ්‍ය නොවන සංවිධානයකින් ගියේ. ඒ යුගයේදී මම දන්නවා වාසුදේව නානායක්කාර සහ මහින්ද රාජපක්ෂ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ පත්‍රිකා තමයි පිරෙව්වේ. එදා ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මුලින්ම ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ. හැන්සාඞ්වලත් තියෙනවා ජාත්‍යන්තර නිලධාරීන් ලංකාවට ගෙන්වාගන්න ඔහු මැදිහත් වුණා. දකුණු පළාතේ අතුරුදන්වූ මාපියන් ජාත්‍යන්තර නියෝජිතයන් මුණගැහුණේ ඔහුගේ කාල්ටන් නිවසේදී.

එදා මැදිහත්වීමේ සහ මෙවර මැදිහත්වීමේ වෙනසක් තියෙනවාද?
ඇත්තටම මේ ජාත්‍යන්තර මැදිහත්වීම් දෙකේ වෙනසක් නැහැ. දැන් මේක අධිරාජ්‍යවාදී බලමුළුගැන්වීමක් කියලා කියනවා නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමදාම කරන දේ මෙවරත් කර තියෙන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එදා කළේ අධිරාජ්‍යවාදීන්ට උදව් කළ එක. මෙවර මැදිහත්වීමේ වෙනසක් වුණේ යුද්ධය එක්ක. එදා ජාත්‍යන්තර කණ්ඩායම ඇවිල්ලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඉන් පස්සේ දිගින් දිගටම ඉල්ලුවා අතුරුදන්වීම් ගැන පියවර ගන්න කියලා. හැබැයි එදා එජාප ආණ්ඩුව මානව හිමිකම් කොමිසම පත්කළා. එදා මහින්ද රාජපක්ෂලා කීවේ යකාගේ අම්මා ළඟට හරි යනවා ලංකාවට ජාත්‍යන්තරයෙන් එන මුදල් නවත්වන්න කියලා. ඒක දැන් අපි කරන මැදිහත්වීමටත් වඩා එහා ගිය එකක්. අපිවත්, දෙමළ ඩයස්පෝරාවේ සාමාජික යන්වත් ඉල්ලලා නැහැ ලංකාවට එන මුදල් නවත්වන්න කියලා. එදා ලෝක බැංකුව ලංකාවට කීවා මානව හිමිකම් ආරක්ෂා කරන බවට ලංකාව යමක් පෙන්වන්න ඕනෑ කියලා. ඒ එක්කම තමයි මට මතක විදියට යූඇන්පී ආණ්ඩුවේ අගභාගයේ මානව හිමිකම් කොමිසම පිහිටෙව්වේ. ඒක වඩා ඉදිරියට ගෙනිහින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආණ්ඩුවේ කාලයේ මානව හිමිකම් ගැන වැඩකොටසක් කළා. අපි හැමෝම දන්නා මනෝරි මුත්තෙට්ටුවේගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පිහිටෙව්වා. ඒවා එක්ක අන්තර්ජාතික ප්‍රජාව විශ්වාස කළා දේශීය වශයෙන් පියවර ගන්නවා කියලා. ඒ කොමිසමෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. මට මතක විදියට තිස්පන්දාහක් අතුරුදන් වූ බව පිළිගත්තා. රජයට නිර්දේශ දුන්නා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව ගත් පියවරවලටත් මුල්වුණේ එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම්. ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරීන්, මහින්ද රාජපක්ෂලා ඇතිකළ ප්‍රවණතා එක්කයි ක්‍රියාත්මක වුණේ. ජිනීවා යෑමේ සම්ප්‍රදායක් පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ.

එදා පියවර ගත්තා නම් නැවත මානව හිමිකම් කඩවීම් සිද්ධවුණේ කොහොමද?
හැබැයි එදා ජාත්‍යන්තරයෙන් බේරුණත් සම්පූර්ණ වන්දි පූර්ණයක් වුණේ නැහැ. එදා ජාත්‍යන්තරයෙන් ගැළ වෙන්න කළ දේවල් ටිකක් පමණයි සිද්ධවුණේ. ඒ ගැන වෙනම කතාකළ යුතුයි. එහි ප්‍රතිඵලය වුණේ රාජ්‍යය තුළ අපරාධකාරීත්වය හොල්මන් කරමින් තිබීම. ඒ හොල්මන රාජ්‍ය බලය අතැති ඕනෑ කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. යම් සුළු දීමනාවක් ලැබුණා. එතැනින් එහාට නඩු පැවරීම සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් එදා වුණේ නැහැ. සූරියකන්දේ සිසුන් සම්බන්ධ නඩුව තමයි ක්‍රියාත්මක වුණේ. ලංකාවේ රාජ්‍යයේ අපරාධකාරී ස්වභාවය නැති කරන්න එදා හැකිවුණේ නැහැ. හැබැයි එතැනින් අතුරුදන්වීම් සම්බන්ධ සිදුවීම් නතර වේවි කියලා අපට හිතුණා. එහෙත් නැවත සුදුවෑන්, අතුරුදන්වීම් දෙදාස් පහෙන් පස්සේ අපට වැඩි වැඩියෙන් දකින්න ලැබුණා. ඊට පෙරත් අතුරුදන්වීම් තියෙනවා. එහෙත් දෙදාස් පහෙන් පස්සේ නැවතත් රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරීත්වය එළිපිට ක්‍රියාත්මක වෙන්න ගත්තා. එහෙම වෙද්දි ඒකෙන් ආරක්ෂා වෙන්නටත්, අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නටත් යාන්ත්‍රණයක් ඕනෑ වුණා.

තිබුණු යාන්ත්‍රණයන් ප්‍රමාණවත් වුණේ නැද්ද?
තාමත් තමන්ගේ අතුරුදන්වූ දරුවන්ගේ ඡායාරූප අරගෙන යන අම්මලා ඉන්නවා. ඔවුන් එදා බොහෝවිට රජයේ පාලනය තිබුණු මඩකළපුව, යාපනයේ, කිලිනොච්චිය ආදි ප්‍රදේශවල අය. ඔවුන් ළඟ තියෙනවා පොලීසියේ පැමිණිල්ලක පිටපතක්. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට ගිහින් තියෙනවා. මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. රජයේ නොවන පාලනය යටතේ හිටපු අතුරුදන්වූවන් සම්බන්ධ යෙන් රතුකුරුසයට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් හරහා විවිධ මානව හිමිකම් සංවිධනවලට පැමිණිලි කරලා තියෙනවා. එහෙත් ආරක්ෂාවක් ලැබුණේ නැහැ. මානව හිමිකම් රකින්න පුළුල් යන්ත්‍රණයක් ඕනෑ වුණා. මේ සියල්ල එක්ක අපි කීවා විශ්වසනීය ජාතික යාන්ත්‍රණයක් පිහිටුවන්න කියලා. අපි මුලින් ඉල්ලුවේ ඒක. හැබැයි එහෙම තත්ත්වයක් නැතිවුණා. ඒ නිසා අපි කිව්වා ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වරියගේ කාර්යාලයක් පිහිටුවන්න කියලා. පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ සිවිල් වැසියන්ට එරෙහි අවනීතික අපරාධ සිද්ධවුණා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වුණා. සිදුවීම් දරුණුවෙද්දී කිසි සහනයක් රජයේ ආයතනවලින් නොලැබෙන තැනකට එනකොට අපි අවසානයේදී මානව හිමිකම් කවුන්සිලයට ගියා. එතැනදී මහින්ද රාජපක්ෂ එදා කළා වගේ දේශීයව පියවර ගන්නා බව පෙන්වුවේ නැහැ. උත්තර දුන්නේත් නැහැ. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තානාපති ප්‍රජාව දිගින් දිගටම කීවා ලංකාවේ මානව හිමිකම් කඩවුණේ නැහැ, ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඬපැවැත්වීම විතරයි වුණේ කියලා. ඔවුන් එහෙම කියද්දී එයට විකල්පව මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වුණා. සිවිල් වැසියන්, ගම්මානවලට පහරදුන් බවට සාක්ෂි ලැබුණා. වාර්තා ලැබෙද්දී මෙතැන යම් අවනීතික දෙයක් සිද්ධවෙනවා කියලා සාක්ෂි ලැබුණා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ අතුරුදන්වීම ගැන සාක්ෂි තිබුණා.

ඊට පස්සේ?
ඒ තත්ත්වය තුළ බැන් කී මූන් මහත්තයා ලංකාවට ආවා. එතකොට මහින්ද ජනාධිපතිවරයා කීවා පියවර ගන්නවා කියලා. හැබැයි ඒක වුණේ නැහැ. එහෙම පසුබිමක බැරිම තැන තමයි යෝජනාවක් සම්මත වුණේ. වෙනස ඒකයි.

ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සහ යහපාලන ආණ්ඩුව සමයේත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය කෙනෙක්. මේ ආණ්ඩු දෙක සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරන ගනුදෙනුවේ වෙනසක් තියෙනවාද? එයට හේතුව මොකක්ද?
ගනුදෙනුවේ වෙනසක් තියෙනවා. එදා ලංකාවේ ආණ්ඩුව ඉතාම බරපතළ ලෙස කිසිම ඇහුම්කන් නොදෙන රටක් ලෙස විශ්වාස කළා. මුලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා දරුස්මාන් කමිටුව පත්කළා. ජාතික වශයෙන් අපට පවා තොරතුරු ලබාදිය නොහැකි තත්වයක් තුළ තාක්ෂණය භාවිත කරමින් ලැබුණු සාක්ෂි මත දරුස්මාන් වාර්තාව ඉදිරිපත් වුණා. ලංකාවේ ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරමින් එල්එල්ආර්සී කොමිසම පත්කළා. ඒක යම් පියවරක් ලෙස පිළිගත්තා. රජය එල්එල්ආර්සී කමිටුවේ යෝජනා පිළිගත්තේ නැහැ. ඒ අතරේ ජාත්‍යන්තර වශයෙන් යළි පරීක්ෂණයක් පැවැත්වුවා. ලංකාවේ ආණ්ඩුව ඒ අතරේ තෝරාගත් සිදුවීම් පහළොවක් සම්බන්ධයෙන් කොමිසමක් පත්කළා. ත්‍රිකුණාමලයෙ සිසුන් පස්දෙනා ඝාතනය, රවිරාජ් ඝාතනය වගේ සිදුවීම් සම්බන්ධයෙන් ඒ කොමිසම වැඩකළා. ඒක උදලාගම කොමිසම. එතැනට ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණික සහාය ලබාගත්තා. ඉන්දියාවෙන් එන්. භගවතී මහතා ආවේ ඒකට. හැබැයි මේ සම්බන්ධයෙන් සාක්ෂි එද්දී උදලාගම කොමිසම වහලා දැම්මා. මමත් එතැන හිටපු නිසා මම දන්නවා. එදා ඉඳලා තමයි ජාත්‍යන්තරයෙන් පීඩනය ආවේ. එකල ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබුණා ආණ්ඩුව අවංක මැදිහත්වීමක් කරන්නේ නැහැ කියලා. අනික එදා වඩා ශක්තිමත් විදියට හඬනඟන්න ඩයස්පෝරා කණ්ඩායම් හිටියා. අපි තේරුම්ගන්න ඕනෑ ඩයස්පෝරාව කියන්නෙ තුට්ටු දෙකේ, පඳුරු අස්සේ ඉඳන් සටන්කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් ඒ රටවල්වල වැදගත් උදවිය. ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා.

ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය ඇයි?
ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තරයෙන් කොන්වීම එක්ක ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් ඕනෑ කියලා අපි කීවා. 2015 රජය පැමිණීම සමඟ වියයුතු දේවල් සම්බන්ධයෙන් ලබාදී තිබුණු වාර්තා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ වාර්තා සියල්ල එකතුකරගෙන සිදුවිය යුතු දේ ගැන යෝජනා ඉදිරිපත් වුණා. ඒවා මේ රජය ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාසයක් ඇතිවුණා. ඇත්තටම මේ සොයා බලන්නේ සිවිල් පුරවැසියන්ට එරෙහිව සිදුවුණ ඝාතන ගැන. අතුරුදන්වූ පවුල්වල අම්මලා කියන්නේ තමන්ගේ දරුවා එල්ටීටීඊ එකේ හිටියේ නැහැ කියලා. සමහර අම්මලා කියලා තියෙනවා ඔව්, මගේ දරුවා එල්ටීටීඊ එකේ හිටියා. හැබැයි ආණ්ඩුවෙන් බාරවෙන්න කියද්දී මම දරුවාව බාරදුන්නා. ඒ පුනරුත්ථාපනය කරලා ගෙදර එවයි කියලා හිතාගෙන. දැන් දරුවා අතුරුදන් කියලා. ඉතින් මේක ගැන සංවේදීව මේ ආණ්ඩුව මැදිහත් වෙයි කියලා විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ තියෙනවා.

දැන් අවුරුදු දෙකකට පස්සේ ජාත්‍යන්තර ප්‍රජාව ලංකාව කෙරෙහි දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
රාජපක්ෂ පාලනය වෙනස් වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඒක සිද්ධවුණා. ඒක සිදුවීමත් සමඟ ජාත්‍යන්තර සමාජය ඉදිරියට ආවා ඉතාමත්ම සාධනීය ලෙස. ඔවුන් දැනසිටියා යුද්ධය අවුරුදු තිහක් තිස්සේ තිබුණු එකක්. දවසින් වෙනසක් කරන්න බැහැ. ඉතින් වත්මන් නායකයන් දෙදෙනාව ඉතාමත්ම ඉහළින් පිළිගත්තා. තාමත් ඒ පිළිගැනීම තියෙනවා. දැන් අවුරුදු දෙකක් ලබාදෙන්න හේතුවත් ඔවුන් පැය විසිහතරෙන් වෙනසක් කරන්න බැහැ කියලා පිළිගැනීම නිසා.

එහෙත් ලංකාවේ රජය ඇතැම් අවස්ථාවල පෙන්වන්නේ ඔවුන් අවංක මැදිහත්වීමක් නොකරන බව නේද?
මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ රජයේ තියෙන දේශපාලන වුවමනාව මත. නායකයන්ගේ අධිෂ්ඨානය මත. ජාත්‍යන්තරය පිළිගන්නවා ඔඩුදුවන ජාතිවාදය පිළිබඳව. ඔවුන් බලාගෙන සිටිනවා මේ නායකයන් දෙදෙනා තමන්ගේ පදනම්වල විශ්වාසය නැති කරගනීදෝ කියලා. කෙසේ වෙතත් පළවැනි අවුරුද්දේ වියයුතු සංශෝධන කරනොගැනීම පිළිබඳව තමයි කළකිරීමක් තියෙන්නේ. මේ ආණ්ඩුවත් කිසිවක් නොකරාවිද යන කාරණය සැලකිල්ලට ගනිමින් ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ලෝකය ඉදිරියේ ලංකාව ඉතාම ආදරණීය රටක් විදියට පිළිගැනෙනවා. ඔවුන් සියලුදෙනාම අපේ පරිසරය ගැන, සුනාමියෙන් හිස ඔසවපු විදිය ගැන දන්නවා. ඉන්දියන් සාගරයේ අවට කලාපීය බලවතුන් තුන්දෙනෙකුගේ මත භේදයන් ගැන ඔවුන් දන්නවා. පකිස්ථානය, චීනය සහ ඉන්දියාව අතර කාරණා ගැන දන්නවා.

බටහිර න්‍යාය පත්‍රය සහ එයට එරෙහිව නැඟී සිටින චීන කඳවුරේ ජාත්‍යන්තර දේශපාලනයට අපි මැදිවෙලාද?
අපි දන්නවා බටහිර රටවල් කඳවුරක් විදියට ශක්තිමත්. ඔවුන්ගේ න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. හැබැයි න්‍යාය පත්‍ර තියෙන්නේ බටහිරට විතරක් නෙවෙයි. ඇත්තටම නරක ජාත්‍යන්තර බලපෑම තියෙන්නේ චීනයෙන්. ලංකාවේ ගැටුම් මවමින් දේශපාලන විරෝධතාවන් ඇතිවීමෙන් අස්ථාවර භාවයක් මවන්නේ චීනය. චීනය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. ලංකාව තවත් ඇෆ්ගනිස්ථානයක් වෙන වාට චීනය කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් විදියට ලංකාව කොන් වීම චීනය වගේ රටවලට වාසියි. අපි තේරුම් ගන්න ඕනෑ මේක ජාත්‍යන්තර බල කඳවුරු දෙකක් අතර ගැටුමක්. අපි කාටවත් යටවෙන්න ඕනෑ නැහැ. අපි පෙන්වන්න ඕනෑ අපි මානව හිමිකම් රකින රටක් කියලා. ඒකේ කිසි වැරැද්දක් නැහැ.

ජිනීවාවල සම්මත වුණ, අවුරුදු දෙකක් කල් ඉල්ලූ යෝජනාවේ ඇත්තටම තියෙන්නේ මොනවාද?
පළමුවැනි දේ තමයි සත්‍යය සොයන්න කියන එක. දෙවැනි එක හානිපූරණයක් කරන්න කියලා. තුන්වැනි එක තමයි යම් අපරාධයකට කෙනෙක් සම්බන්ධ වෙලා නම් අධිකරණ ක්‍රියාවක් ගන්න කියලා. හතරවැනි එක තමයි නැවත එවැනි තත්ත්වයක් ඇතිනොවෙන්න කටයුතු කරන්න කියලා. මම කීවේ ඒකයි. හොල්මනක් වගේ, රකුසෙක් වගේ රාජ්‍ය තන්ත්‍රය තුළ මේක තිබුණා. ඉතින් තවම ඒක තියෙනවා. ඉතින් ඒක වළක්වන්න නීති ඇතිකරන්න ඕනෑ. ඒක කවුරුවත් පටවපු එකක් නෙවෙයි. ඒවා යෝජනා. වෙනස මේක යෝජනාවක් හැටියට කලින් ආණ්ඩුව පිළිනොගැනීමත්, දැන් ආණ්ඩුව පිළිගැනීමත්. අපි මේ කතාකරන්නේ අපරාධයන් ගැන. දෙපාර්ශ්වයක් අතර ගැටුම් ඇතිවීම වෙනම කාරණාවක්. අපි කතාකරන්නේ අහිංසක සිවිල් වැසියන් ගැන. අහිංසක තරුණයන් ගැන.

මේක ලංකාවට එරෙහි යෝජනාව කියලයි සාමාන්‍යයෙන් අපේ මාධ්‍ය හඳුන්වන්නේ. මේක ඇත්තටම ලංකාවට එරෙහි යෝජනාවක්ද?
මේක ලංකාවට එරෙහි යෝජනාවක් වෙන්නේ කොහොමද. ලංකාවේ සිදුවුණ අපරාධ පිළිබඳ සොයා බලන්න ලංකාවේ ආයතන ක්‍රියා නොකිරීම උඩ පියවර ගන්න කියලා කරන ඉල්ලීමක්. ඇත්තටම ලංකාවේ ජනතාව අතරට ජිනීවාවලට ආ යෝජනාව පරිවර්තනය කරලා බෙදාහරින්න ඕනෑ. එතැනින් තේරෙනවා ඒක යෝජනාවක් විතරයි කියලා. ඉතින් අපි ලංකාව කියලා කියන්නේ කාටද, බලයේ ඉන්න ආණ්ඩුවටද, නැත්නම් රටේ ජනතාවටද. මහින්ද රාජපක්ෂලා අපරාධයක් කරලා නැත්නම් කියන්න ඕනෑ සාක්ෂි විමසලා අපරාධයක් වුණේ නැහැ කියලා. ඔවුන්ගේ දේශද්‍රෝහී ජනතා විරෝධී වැඩ ගැන ප්‍රශ්න කරද්දී එහෙම අහන අම්මලාට දේශද්‍රෝහීන් කියනවාද.■