ප්‍රගීත් අතුරුදහන් කළ කතාව |පළමු පැහැර ගැනීම ගැන දුරකථන කතා සහ දෙවනවර පැහැර ගැනීමේ පසුබිම


prageeth

කේ.සංජීව

අගෝස්තු 27 දින මැදියම් රාත්‍රිය පසුවන කණිසමේදී ප්‍රගීත් මුල්වරට පැහැර ගනු ලැබිණ. ඒ සුදු වැන් රථයකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින්ය. පසුව වැරදීමක් වූණේ යැයි කියමින් 2009 අගෝස්තු 28 දින උදෑසන කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ගල් වළක් අසල ඔවුන් ප්‍රගීත් අතහැර දමන විට ප්‍රගීත්ට නැවත ජීවිතය හසුවී තිබුණි. එදින උදෑසන දෑස් රෙදි කඩකින් බඳිනු ලැබ කොරතොට ගල්වළ අසල ජීවිතය ගැන නැවත බලාපොරොත්තුවකින් සිටින ප්‍රගීත්ට ඒ බලාපොරොත්තුව විකසිතව තිබෙන්නේ තව ටික කලකට පමණක් බව දැනෙන්නට නැතුව ඇති. අපි මේ පළමු පැහැර ගැනීම පිළිබඳව පසුගිය සතියේ ලීවෙමු. එහිදී මෙම පැහැර ගැනීම සඳහා ඉත්තා ලෙස යුද හමුදා බුද්ධි අංශයේ ගිරිතලේ කේන්ද්‍රගත කණ්ඩායම භාවිත කළ හිටපු කොටි සාමාජිකයෙකු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් තවේන්ද්‍රන් නොහොත් මුරලි පිළිබඳවද, ඔහු තමන්ගේ ජීවිතය රැක ගනු වස් ප්‍රගීත් මුල්වරට හමුදා සාමාජිකයන්ට ප්‍රගීත්ටම අයත් හබරණ වත්තක දීම හඳුන්වාදීමේ කතාවද අපි පසුගිය සතියේ ලීවෙමු.
මේ සියලු තොරතුරු පසුපස එළවා ගොස් පොලිස් පරීක්‍ෂක කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වී තිබුණේ ප්‍රගීත් භාවිත කළ ජංගම දුරකථනයට අදාළ දිනය තුළදී ලැබුණු ඇමතුම් පිළිබඳවය. නවීන තාක්‍ෂණික ලෝකයේ අප අද ඉන්නේ කුමන ඉසව්වක දැයි සොයා ගැනීම, අප යන ගමන්බිමන්වල දිශානතිය සොයා ගැනීම අමාරු නැත. ඒ අප අත රැඳි ජංගම දුරකථනයට පැමිණෙන ඇමතුම් සහ එයින් නික්මෙන ඇමතුම් අප සිටින ඉසව්ව පරිගණකයක සුරක්‍ෂිත දත්තයන් බවට පත්කරන නිසා ය. ඒ අයුරෙන්ම ප්‍රගීත් ගියේ කොහේද, ඔහුට ඇමතුම් ලබා දුන්නේ කොහේ සිටද යනාදි තොරතුරු අදාළ දුරකථන සමාගම් දත්ත ගබඩාවල සුරක්‍ෂිතව තිබුණි. එම දත්තයන් නොපමාව තමන් සතුකර ගැනීම රහස් පොලිස් කණ්ඩායමේ ඊළඟ අරමුණ සහ ඉලක්කය විය. දුරකථන සමාගම්වලට අදාළ දත්තයන් තමන් වෙත ලබා දෙන්නයැයි නියෝගයක් නිකුත් කරන්න යැයි කියමින් රහස් පොලිසිය හෝමාගම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අධිකරණ නියෝගය නිකුත් විය. මෙම නියෝගවලට ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන ඉක්මන් සහ සාධනීය ප්‍රතිචාර දක්වන විට ඩයලොග් ආයතනය එම තොරතුරු ලබාදීම ප්‍රමාද කළ බවද දැනගන්නට ඇත. ඒ ඩයලොග් ආයතනය සහ පසුගිය ආණ්ඩුවේ ලොක්කන් අතර තිබූ බැඳියාවේ තරම නිසාද නැතහොත් ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික පහසුකම් ඔවුන්ට නොතිබුණ නිසාද යන්න පැහැදිලි නැත. වන්නට ඇත.
කෙලෙසක හෝ ප්‍රමාද වී ලැබෙන තොරතුරු නිසි ගවේෂණයකට අවසානයේදී ලක්විණි. එම තොරතුරු සහ ඒ ඒ දත්තයන්ගේ නිර්වද්‍යතාව තවදුරටත් තහවුරු කරගැනීමට රහස් පොලිසිය අදාළ පුද්ගලයන්ගේ සාක්‍ෂිද ලබාගෙන තිබුණි. ඒවා නිරන්තරව අධිකරණයට වාර්තා කිරීමටද ඔවුහු පියවර ගත්තෝය.
“මම 2009 අගෝස්තු මාසේ දවසක කෝප්‍රල් සුරේෂ්ගේ අධික්‍ෂණය යටතේ ප්‍රගීත්ට කතා කළා. කතා කරලා එම මිනිහාව හබරණට ගෙන්න ගත්තා. ඊට පස්සේ මේජර් සිරිවර්ධන, කෝප්‍රල් නාදන්, කෝප්‍රල් රංජි ඇතුළු කණ්ඩායමක් එක්ක ගිහින් මිනිහාව මුණගැහුණා. ඊළඟට කෝප්‍රල් නාදන් මම මගේ ඥාතියෙක් විදියට ප්‍රගීත්ට අඳුන්වලා දුන්නා.”
මුල්ම පැහැර ගැනීමට පැය කිහිපයකට කලින් ප්‍රගීත් මුණගැසෙන හැටි වාගේම, ඔහු අදාළ ස්ථානයට ගෙන්වා ගත් ආකාරය ප්‍රගීත් සමඟ මඩු දේවස්ථානයේදී මිතුරු වූ මුරලි විස්තර කරන්නේ එලෙසින්ය.
රහස් පොලිසිය මෙම කට උත්තරයට පසුව සොයාගෙන යන්නේ ඒ අවස්ථාව වන විට හමුදාවෙන් විශ්‍රාම ගොස් නිකවැරටියේ ජීවත්වන යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු සොයාගෙනය. ඔහු 2009 අගෝස්තු මාසයේ සිට කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ ගිරිතලේ හමුදා කඳවුර තුළ රැකියාව කළ පුද්ගලයෙක්ය. ඔහුද මෙම පැහැර ගැනීම පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය කරයි. ඒ අනුව මේ වන විට මෙම පැහැර ගැනීම් දෙකකට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයන් පිළිබඳව යම් තක්සේරුවක් යම් චිත්‍රයක් අදාළ රහස් පොලිස් කණ්ඩායමට ලැබෙන බව පෙනෙයි.
ඊළඟ ඉලක්කය මෙම සාක්‍ෂි යම් ක්‍රමවේදයක් තුළ සනාථ කරගැනීමය. එය චූදිතයන් අත්අඩංගුවට ගැනීමේදී ඉතාමත් වැදගත්වන අතරම මේ පුද්ගලයන් රණවිරුවන් ලෙස සැලකෙන නිසා එම ක්‍රියාවලියේ වැදගත්කම තවත් වැඩිය. රණවිරුවන් වැරදි නොකරන නිකැළැල් පිරිසිදු චරිතවත් පුද්ගලයන් බව ලාංකේය පොදු ජන සමාජයේ පිළිගැනීමයි. එම පිළිගැනීම තුළ මෙම අත්අඩංගුවට ගැනීම් නියමිත සාක්‍ෂි මත පදනම්ව නියමිත නිසි ක්‍රියාමාර්ගයටම සිදු වූවායැයි ජනතාවට පෙනී යා යුතුය. ඒ අනුව පොලිසිය නියමිත නිවැරදිම ක්‍රියාමාර්ග ගත්තා යැයි කිව හැකිය. එහෙත් දේශමාමක ජනතාවෝ කපටි දේශපාලකයන්ගේ පදයට රැවටී ඒ පරිශ්‍රමය අපතේ හැරියෝ නොයෙකුත් නොසන්සුන්තාවන් සමාජය තුළ නිර්මාණය කරමින් කොටි තස්ත්‍රවාදය විනාශ කිරීමට කැපවූ හමුදා රණවිරුවන් එන්ජීඕ නඩයේ ගොදුරු බවට පත් වී ඇතැයි කීවෝය.

0774475523
මෙම දුරකථන අංකය ප්‍රගීත්ගේය. එය ඔහු පළමුවර පැහැරගෙන යනවිටත් භාවිතකරමින් සිටි දුරකථන අංකයයි. 2009 අගෝස්තු 27 වැනි දිනයේ සිට 2009 අගෝස්තු 28 වැනි දිනය දක්වා මෙම දුරකථනයට ලැබුණූ ඇමතුම් සහ මෙම දුරකථනය තුළින් නික්මුණු ඇමතුම් පිළිබඳව රහස් පොලිස් කණ්ඩායම දත්ත විශ්ලේෂණයක් කරලීය. ලැබුණු තොරතුරු විස්මිතය. ඒවා සාක්‍ෂිකරුවන් ලබාදුන් තොරතුරු බොහෝමයට ටක්කයටම ගැළපී තිබුණි.
මෙම දුරකථන දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵල ලෙස පරීක්‍ෂණ කණ්ඩායම සොයා ගන්නේ 2009 අගෝස්තු 27 වැනි දින උදෑසන 7.05.45 යන වේලාවේදී ප්‍රගීත් කොට්ටාව ප්‍රදේශයේ සිට ඇති බව ඒ කොට්ටාව ප්‍රදේශයේ ක්‍රියාත්මක ඩයලොග් සම්ප්‍රේෂණ කුලුන හරහා 0771038090 යන දුරකථන අංකයෙන් තත්පර 51ක ඇමතුමක් ලැබී ඇති බවය. ඊළඟට ප්‍රගීත්ගේ දුරකථනය යන්නේ කොහේද? එහි ගමන් මාර්ගය කෙබඳුද? ඒ අනුව ප්‍රගීත්ගේ දුරකථනය සමඟ පිළිවෙළින් සම්බන්ධවන සම්ප්‍රේෂණ කුලුනු වන්නේ 2009 අගෝස්තු 27 උදැසන 08.31.53 ගංගොඩවිල දකුණ , උදෑසන 09.44.34ට ග්‍රෑන්ඞ්පාස්, උදෑසන 10.00.32 ඔරුගොඩවත්ත, එදිනම දහවල් 12.50.36ට පස්යාල, එදිනම දහවල් 13.27.41ට පොල්ගහවෙළ ආදි ලෙස කොට්ටාවේ සිට හබරණ දක්වා ප්‍රගීත්ගේ දුරකථනය අදාළ දිනය තුළදී ගමන් කරයි. ඒ වදාකඩ, මකුලුගස් වැව, දඹුල්ල, ලූනාවදුව පසුකරමින්ය. මෙලෙස දුරකථන දත්ත විශ්ලේෂණය කරන පරීක්‍ෂණ කණ්ඩායම අධිකරණයට මේ පළමු පැහැර ගැනීම ගැන තොරතුරු වාර්තා කරමින් කියන්නේ අදාළ දිනය තුළදී දහවල් පැය 15.55 පමණ වනවිට ප්‍රගීත් හබරණ ප්‍රදේශයට පැමිණ ඇති බවය.
ඊළඟට ඔහුගේ නැවත කොළඹ පැමිණීම ගැන දුරකථන දත්තයන් කියන්නේ කුමක්ද? දුරකථන දත්ත අපට පවසන්නේ සවස 16.56 පමණ වනවිට ප්‍රගීත් නැවත කොළඹ පැමිණීමට දිගම්පතන ප්‍රදේශයෙන් පිටවී ඇති බවයි.
ඊළඟට පරීක්‍ෂණ කණ්ඩායම සොයා බලන්නේ ප්‍රගීත්ගේ පළමු පැහැර ගැනීමට අදාළ චූදිතයන්ගේ දුරකථන ගමන් කළ දිශානතිය කුමක්ද කියායි. එම දුරකථන දත්තයන් කියන්නේ මුලින් ප්‍රගීත්ගේ දුරකථනය කොළඹ කොට්ටාවේ සිට හබරණ ප්‍රදේශයට ගිය අයුරින්ම චූදිතයන්ගේ දුරකථනයන් ගිරිතලේ අවට සිට ක්‍රියාත්මක වීම ආරම්භ කරමින් හබරණ ප්‍රදේශයට ද ඉන් අනතුරුව ප්‍රගීත්ගේ පසුපස කොළඹටද පැමිණි ඇති බවය. ඒ අනුව අපට නිගමනය කරන්නට හැකිවන්නේ කුමක්ද? මුරලිගේ සාක්‍ෂියට අදාළ කරුණ මෙම නිගමනය තුළින් තහවුරු වෙයි. ඒ අනුව එවක මේජර්වරයෙකු වන ප්‍රබෝධ සිරිවර්ධන, කෝප්‍රල් නාදන්, කෝප්‍රල් රංජි ඇතුළු කණ්ඩායම ප්‍රගීත් පළමුවරට මුණ ගැසීම සඳහා හබරණ ප්‍රදේශයට පැමිණි කතාව මෙම දුරකථන දත්ත විශ්ලේෂණයන් තුළින් තහවුරුවන අතරම මේ හමුවීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන් ප්‍රගීත් පසුපස කොළඹ පැමිණ ඇති බවද නිශ්චිත ස්ථානයකදී ඔහුව පැහැරගෙන ඇති බවද තහවුරු වෙයි.
මෙම පැහැර ගැනීම් දෙකටම අදාළ චුදිතයන් බොහෝ දෙනෙකුට මේ අතීතය මේ වන විට අමතකව ගොස් ඇත. ඔවුන් රහස් පොලිසිය හමුවේ කර තිබෙන ප්‍රකාශවලින් ඒ බව සනාථ වෙයි. එවැනි තත්ත්වයන් තුළ ඔවුන් එවකදී භාවිත කළ දුරකථනයන් ප්‍රගීත් වෙනුවෙන් කතාකිරීම ඉතාමත් වැදගත්වන අතර එහි වැදගත්කම තවදුරටත් ඉහළ යන්නේ මෙම පරීක්‍ෂණ ක්‍රියාවලිය නතර කර දැමීමට සහ එයට නොයෙකුත් බාධාවන් එල්ල කිරීමට යුද හමුදාව පියවර ගැනීමත් සමඟය.

දෙවන පැහැර ගැනීමේ පසුබිම
2010 වර්ෂය යනු ලංකාවට තීරණාත්මක වූ වර්ෂයකි. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ජනාධිපති ධුර කාලය එම වර්ෂයට අදාළව පැවති ජනාධිපතිවරණයේදී ආරම්භ වීම නිසාය. 2010 ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. ඒ අනුව තරගය පැවතියේ යුද්ධය නිමා කළ නායකයා සහ යුද්ධය නිමාකරන්නට කැපවූ යුද නායකයා අතරය. එය තියුණු තරගයක් විය. ඒ තරගයේදී ප්‍රගීත් එක්නැලිගොඩ ජනරාල් සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණයට උදව් දෙමින් සිටියේය. බොහෝ විට එහිදී ඔහු ප්‍රචාරණ අංශයෙන් කැපීපෙනෙන වැඩ කොටසක් කරමින් සිටි පුද්ගලයෙක් විය. ජනරාල් සරත් ෆොන්සේකාගේ යුද ජයග්‍රහණය පිළිබඳ වූ වාර්තා චිත්‍රපටියේ සිට රාජපක්‍ෂ පවුල් ගස දක්වා විශාල ප්‍රචාරණ මෙහෙයුමක කොටස්කරුවෙකු වූ ඔහු සමාජය හඳුනාගන්නේ එම ප්‍රචාරණ ජාලයේ ප්‍රබලයෙකු ලෙසය. රාජපක්‍ෂ පවුල් ගස කෘතිය මෙන්ම විරිදු කැසට් පටයද ඔහුගේම නිර්මාණ බව සමාජයේ මෙන්ම බුද්ධි අංශවලද අදහස විය. අප පළමු ලිපියේදී හෙළිකළ කරුණුවලට අදාළව ඔහුගේ යාළුවන්ගේ සාක්‍ෂි සම්පිණ්ඩනයන් කියන කතාවද එයමය.
මේ සියලු කතා මෙලෙස සිද්ධ වන විට 2010 ජනවාරි 24 වැනි දින රාත්‍රියේදී ප්‍රගීත් දෙවන වරට අතුරුදන් වෙයි. එහිදී ඔහු පළමුවර මෙන් ගල්වළක් අසලදී ජීවිතය සොයා යන්නේ නැත.

රණ්බණ්ඩාගේ සාක්‍ෂිය
‘මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් සිටියා. දවසක් මගේ රාජකාරි දුරකථනයට කෝල් එක ගත්ත සර් (ෂම්මි කුමාරරත්න) කෝ මුරලි ඉන්නවාද මුරලිට දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මම මුරලිට ෆෝන් එක දුන්නා. මුරලි කතා කරලා ඉවර වුණාට පස්සේ මම ආයෙත් ෆෝන් එක ගත්තා. ඒ වෙලාවේ සර් කිව්වේ මම මුරලිට වැඩක් කිව්වා ඒකා ලේකම්තුමාගේ වැඩක්. ඒක අද අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෑ. ඒක මුරලිත් එක්ක කතා කරලා කරන්න කියලා. ඊළඟට මුරලි මට කිව්වා අද නාදන් (කෝප්‍රල්) කොළඹ යනවා නාදන්ට ප්‍රගීත් එක්නැලිගොඩ මුණ ගස්සන්න කියලා. ඒක ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙසක් කියලාත් කිව්වා. ඒ වෙලාවේ මම ඇහැව්වා කොහොමද එහෙම මුණගස්වන්නේ කියලා. ඒ වෙලාවේ තමයි මුරලි කිව්වේ මේජර් ප්‍රබෝධ සිරිවර්ධනත් එක්ක කණ්ඩායමක් ගිහින් ප්‍රගීත්ව හබරණදී මුණගැසුණ වෙලාවේදී නාදන් තමන්ගේ නැදෑයෙක් කියලා ප්‍රගීත්ව මුණගැස්සුවා කියලා.’
ප්‍රගීත් දෙවනවර පැහැරගෙන යෑමේ කතාව පටන් ගන්නේ මෙලෙසින්ය. ඇත්තටම මේ පැහැර ගැනීමට නිශ්චිත හේතුවක් තිබෙන්නේද? එය කුමක්ද? එයට හේතුව ඔහු සරත් ෆොන්සේකාගේ මැතිවරණ ජය පතා වැඩ කිරීමද? නැත්නම් යුද්ධය පැවති අවධියේදී යුද හමුදාව රසායනික අවි ප්‍රහාරයන් එල්ල කළ බවට ඔහු ළඟ සාක්‍ෂි තිබූ නිසාද? මේ සියලු දේ පිළිබඳව සහ දෙවනවර ඔහු පැහැරගෙන යෑම පිළිබඳව ලබන සතියේදී කියවමු.■