රාවය

ක්‍රිකට් ප්‍රේක්‍ෂකාගාරයටත් රිංගු සයිටම් රැල්ල

ක්‍රිකට් ප්‍රේක්‍ෂකාගාරයටත් රිංගු සයිටම් රැල්ල

ජගත් ප්‍රේමචන්ද්‍ර

සයිටම් විරෝධී රැල්ල ක්‍රිකට් පිටිය ද ආක්‍රමණය කර තිබෙනු නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පළමු විස්සයි/20 තරගයේ දී දුටුවෙමු. ඔවුන් තම විරෝධයට දී තිබුණේ නිර්මාණාත්මක තත්ත්වයකි. එසේ ම මේ වෙනුවෙන් කාලයක සිට සැලසුම් කර තිබෙනු ද දැකගත හැකි විණි. මේ වෙනුවෙන් වියදම් කෙරුණු මුදල ද සු`ඵපටු විය නොහැක.
සයිටම් රැල්ල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කිරීම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එතරම් තදබල ලෙස දැනෙන්නට නැත. ඒ එතැන වෙනදා දකින විරෝධතා ගතියක් නොතිබු නිසාවෙනි. එමෙන් ම ඊට සහභාගිවූවන්ගේ මුහුණු දෙස බැලූව ද ඔවුන් වෙතින් වෙනදා දකින ආවේගශීලීත්වය හෝ රෞද්‍ර බවක් ද නොදුටුවෙමු. සැබෑ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සේ ම සයිටම් විරෝධීන් ද සෑම විටක ම ක්‍රිකට් ක්‍රීඩකයන් සවිබල ගන්වනු දුටුවෙමු. අපි ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයෙන් සෑම විටක ම දුටුවේ උද්යෝගීමත් තරුණ පරම්පරාවකි. ඊට තුති පුදමු.
මේ නිහඬ විරෝධය පෑමට ඔවුන් සවිධානය වන්නේ ජාත්‍යන්තරයේ අවධානය තමන් වෙත නතු කර ගැනීමට යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා දුටුවා මතක ය. ඒ මත දැක්වීම කෙරෙහි අපි විවාද නොකරමු. එහෙත් මේ රැල්ල මින් ඉදිරියට ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට හෝ වෙනත් ක්‍රීඩාවක් පැවැත්වෙන ප්‍රේක්ෂකගාරයට ද නොයා යුතුයැයි සැබෑ ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ මතයයි.
සයිටම් ප්‍රශ්නය ක්‍රිකට් ප්‍රේක්ෂකගාරයට ගෙන ඒම ම නරක පූර්වාදර්ශයකි. මේ හරහා තව තවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේ දී නිර්මාණය විය හැකි ය. අප ජාත්‍යන්තරය ඉදිරියේ ඉතා ම සාමකාමී ප්‍රේක්ෂක පිරිසකි. ඒ සහතිකය ලැබුණේ කාලයක් සිට අප ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පිටියේ දැක්වූ නිහතමානී උද්යෝගයන් හේතුවෙනි. අද ලෝකයක් දැන සිටින පපර බෑන්ඞ් නාදයන් නිර්මාතෘන් අප ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ය. ඔවුන්ට ලෝකයක් ආදරය කරන්නේ මේ මතින් ගනු ලබන අහිංසක ආස්වාදයන් කෙරෙහි අවධානය යොමු කරමිනි. ලෝකයේ බහුතරයක් වූ ක්‍රිකට් විචාරකයෝ මේ ආස්වාදයට ගරු කරති. ආශීර්වාද කරති. ඉදිරිය කෙසේ වේදැයි ඇත්තේ කුකුසකි. ඇති වූ තත්ත්වය පළමු තරගයේ දී ඉතා සාමකාමී වූව ද මින් ඉදිරියට කෙසේ වේදැයි පූර්ව නිගමනවලට අපට එළැඹිය නොහැකි. ඇතැම් විට අප අනුමාන කරන දේ සිදුවීමට සේ ම සිදු නොවීමටත් ඉඩ තිබේ. එහෙත් අහඹු ලෙසින් හෝ මේ වෙතින් අනර්ථයක් වුවහොත් යන මතයේ සිට ය මේ ලිපිය අකුරු කෙරෙන්නේ.
සයිටම් විරෝධීන්ට තම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑමට අමුතුවෙන් ක්‍රිකට් පිටිය තෝරාගත යුතු නැත. මු`ඵ ලෝකය ම අන්තර්ජාලය මගින් නිරාවරණය වූ අවධියක ඔවුන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑමේ අමුතු අරගලයක් කුමකට ද? මේ තත්ත්වය වත් වටහා ගැනීමට නොහැකි පිරිසක් ද මේ තුළ සංවිධානය ගත ව ඇත්තේ.
මේ අරගලකරුවන් සෑම විටක ම සිදු කරන්නේ තමන්ගේ ප්‍රශ්න අනුන්ගේ ද ප්‍රශ්නයක් සේ හුවා දක්වමින් සෑම අයෙකු ම තමන්ගේ ගොඩට එකතු කර ගැනීමට කරනු ලබන නිහීන උත්සාහයකි. වෛද්‍යවරුන්, හෙදියන් රෝගීන් ඇපයට තබා උද්ඝෝෂණය කරද්දී බස් වර්ජනවල දී ඇපයට තැබෙන්නේ මගී ජනතාව ය. දැන් පෙනෙන අයුරින් නිර්මාණය වෙමින් පවතින්නේ ක්‍රීඩාවන් ද ඇපයට තැබෙන තත්ත්වයක විලිරුදාවකි.
ක්‍රිකට් පිටියේ වේවා, වෙනත් ක්‍රීඩාවක් පැවැතෙද්දී වේවා මේ තත්ත්වයේ වහා වෙනස් වීමක් අත්‍යවශ්‍ය ය. එය බාලගිරි දෝෂය සේ බලා සිටින විසඳුමක් නොවිය යුතු ය. දෙකයි පනහේ දේශපාලනඥයෝ විසින් එදා හොඳයි අද නරකයි න්‍යායෙන් සංවිධානය ගත කෙරෙන මේ නාඩගම් ක්‍රිකට් පිටියට ගෙන ඒම සදාචාරාත්මක ද? ඊට තව දුරටත් ඉඩ දිය යුතු ද?
මේ ප්‍රශ්නයේ දී ඉතා ඉක්මනින් විසඳුම් සෙවිය යුතු ය. එසේ නොමැතිව නිහඬව සිටින්නේ නම් හෙට අනිද්දා පැවැත්වෙන බක්මහ උළෙලවල දී ද මේ අරගලකරුවන් දැකීමට හැකි වනු ඇත. එපමණක් නොවේ ඇතැම් විට ගමක පැවැත්වෙන ඉලව්ගෙදරත්, ඇට්හෝම් එකත් මේ අරගලකරුවන් ආක්‍රමණය කරනු ඇත. ■