Untitled-1

Untitled-1

ගහ කොළ සහ දයාසිරි


dayasiri

ඒ. වික්‍රමසුරිය

සුගතදාස ක්‍රීඩාං ගණයේ ධාවන පථය ගැන මරණ පරීක්‍ෂණ කොතෙක් කළද තවමත් එයට අදාළ පුද්ගලයන්ට එරෙහිව ගත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොවීය. එය ස්වාභාවික මරණයක් නොවන බව එයට දායක වූ අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාද කියූ කල ඉන් පසුව එයට විසඳුම් ලබා දෙනවා යැයි කී නවීන් දිසානායකටද කළ හැකි කිසිවක් නොවීය. ඔහුගේ ක්‍රීඩා ඇමති ධුරය කෙටි දුර තරගයකට සීමා විය. ඉන්පසු ආ දයාසිරි ජයසේකර කාටත් නොහැකි වූ දෙය තමා කළා යැයි අවුරුදු දෙකකට කිට්ටු කාලයක් පාරම් බෑවද තවමත් සුගතදාස පිටිය එලෙසමය.
විවිධ හේතු මත පිටිය හැදීම කල්ගතව ඇතැයි සිතිය හැකි මුත් එය විනාශයක් කළ ගහකොළ සමාගමට එරෙහිව තවමත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නේ ඇයි? තමා නීතිඥයකු බව සිහි කළ දයාසිරි කීවේ තමා සමඟ සෙල්ලං කළ නොහැකි බවත් තමා මේ සමාගමට විරුද්ධව නඩු දමන බවත්ය. එහෙව් කී ඔහු තවමත් ගහ කොළට මුවා වෙමින් අපට සෙල්ලං පෙන්වමින් සිටී.
ගහකොළ සමාගම අදාළ ව්‍යාපෘතියට මිලියන 113ක් වියදම් කළ බව පැවසීය. ඊට අමතරව ගහකොළ ලෑන්ඞ්ස්කේප් සමාගමට මිලියන 22ක් ගෙවන්නට ඇති බවද මාධ්‍ය වාර්තා කළේය. මේ මුදල නොගෙන බවට අලුත්ගමගේ චණ්ඩි පාට් ද දැමීය. එහෙත් ඇස් පනාපිටම කිසිදු සුදුසුකමක් නැති මේ ගහකොළ සමාගම කළ විනාශයට අදටත් කිසිවක් සිදු නොවේ. දයාසිරි ජයසේකර මාධ්‍ය සංදර්ශන පවත්වා නඩු දාන බවට මාධ්‍යයට ප්‍රකාශ කළද අදටත් ඒ ගැන උනන්දුවක් නැත.
ගහකොළ සමාගමේ ලොක්කන්ටද රාජපක්‍ෂ කාලේ හරි සද්දයට කතා කළ හැකි විය. අලුත්ගමගේ මේ ගනුදෙනුවේ රස රහස් දන්නා නිසා එදා ගහකොළ සමාගම අලුත්ගමගේ පරණ කාසියක් බවට පත්කොට අදහස් ප්‍රකාශ කළා මතකය.
ඔවුන් මාධ්‍යයට පැමිණ කීවේ මෙම ධාවන පථය එලුවේ තරගවලටම විනා පුහුණුවීම්වලට නොවන බවය. ධාවන පථය පුහුණුවීමට යොදාගත නොහැකි නම් එම ධාවන පථය කුමකටද?
එසේ කියා ගහකොළ සමාගම නිකංම සිටියේ නැත. ඉතිරි මිලියන විසිදෙක ගෙවන්නේ නම් ධාවන පථය නැවත සකස් කරදිය හැකි බවය. එසේ නම් අර සා විශාල හානියක් මිලියන විසි දෙකකින් සකස් කළ හැකිද? මෙතරම් චණ්ඩි පාට් ගහකොළ සමාගමට දැමිය හැකිවූයේ එකල අලුත්ගමගේ ගහකොළවලට යටවූ නිසාය. සුගතදාස පිට්ටනිය නිසා අනෙක් බොහෝ දේ එකල යට ගියේය. ලක්‍ෂ පනස් අටක් වියදම් කොට හැදූ සුගතදාස ක්‍රීඩාංගණයේ ගේට්ටුව ක්‍රියාත්මක වී ඇත්තේද ටික දිනකි.
ඒ සියලු වංචාවන් සිදුවද්දී යහපාලන මහත්වරුන් කළේ පිට්ටනියේ කඩතොලු තැන් අතගාමින් මාධ්‍යයට පින්තූර එවීමය.
දැන් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට මේවාට එරෙහිව නිසි පරීක්‍ෂණයක් කොට අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත හැකිය. එහෙත් ඔහු තවමත් නොකරන්නේ එයය. ඒ දේවල් නොකොට තමා නීතිඥයකු යැයි මැතිරීම විකාරය. ගහකොළ සමාගම කළේ ජාතික අපරාධයකි. ජාතික ධනය විනාශ කිරීමකි. මේ පිටුපස හිටපු ක්‍රීඩා ඇමැත්තෙක්ද සිටී. ඒ නිසාම ගහකොළ සමාගම මේ ප්‍රශ්නවලින් අපූරුවට ලිස්සා ගියේය. රාජපක්‍ෂ පාලන සමයේ කළ වංචාවලට යහපාලන සමයේත් පවතින්නට ඉඩ හැර කරබාගෙන සිටීම ගැටලු සහගතය. ගහකොළ සමාගම මේ කොළ කඩා පාන්නේ කාටද? මහජනයාට නොවේද?
ක්‍රීඩාවේ ආශ්චර්යන් මවන දයාසිරිට තවම අයන්න ආයන්න කියා ගන්නට බැරිය. මන්ද මෙරට ඇති ප්‍රධානතම සහ දැනට ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයේ අඩුපාඩු හදා ගත නොහැකිය. එහෙත් කතාව රට පුරාම ක්‍රීඩංගණ හදන්නය.■