Untitled-1

Untitled-1

ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධයේ ගැටුම්


leed

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු බාධාවකින් තොරව මේ වනවිට ඉදිරියට යමින් පවතින තත්ත්වය තුළ ඒ පිළිබඳ ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයන් අතර බෙදීමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන නව ව්‍යවස්ථාව සම්බන්ධ මෙහෙයුම් කමිටු රැස්වීම්වලට සක්‍රීයව සහභාගි වෙමින් සිටින අතර ඊට ප්‍රතිවිරුද්ධ මතයන් දරමින් විමල් වීරවංශ ප්‍රමුඛ පිරිසක් නව ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවලින් ඒකාබද්ධ විපක්‍ෂය ඈත් වී එයට සම්පූර්ණ විරෝධය පළ කළ යුතු බවට අදහස් දක්වා තිබේ.
වාසුදේව නානායක්කාර ඇතුළු තවත් කණ්ඩායමක් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් වසා ඇත්තේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ සිය අදහස් වෙනම වාර්තාවක් ලෙස මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ යුතු බවය. ජනමත විචාරණයකදී ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව පෙන්වා එයට විරෝධය දක්වමින් ජනමත විචාරණය පරාජය කළ යුතු බවත්ය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂවරුන් මෙතෙක් ඒ පිළිබඳ ස්ථීර අදහසක් දක්වා නොමැති බව වාර්තා වෙයි. මීට පෙර නව ව්‍යස්ථාව සම්බන්ධ අනුකමිටුවල සාමාජිකයන් ලෙස පත් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සක්‍රියව එම කටයුතුවලට දායකත්වය දුන් අතර බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා මූල්‍ය කටයුතු පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්‍ෂ ඇතුළු මන්ත්‍රීවරු අනුකමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළෝය.
එම අනුකමිටු වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්‍ෂය අනුකමිටුවලින් ඉවත් වන බවත්, නව අදහස් අනුකමිටු වාර්තාවලින් නොසලකා හැර ඇති බවත් පවසා තිබුණි. ඒ අනුව මෙහෙයුම් කමිටුව විසින් ඒකාබද්ධ විපක්‍ෂයට තමන්ගේ අදහස් වෙනම ඉදිරිපත් කරන ලෙස නිල වශයෙන් දන්වා තිබුණු අතර ඒකාබද්ධ විපක්‍ෂය අදහස් ඉදිරිපත් කළේ නැත.■