රාවය

කාගෙද මේ කුණු? මේ අපේම කුණු!

කාගෙද මේ කුණු? මේ අපේම කුණු!

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමේ අවුරුදු දින ඛේදවාචක යෙන් පැය කිහිපයක් ඇතුළත මා ෆේස්බුක් සටහනකින් කීවේ මෙයයි.
“මේ අපේ කුණු! අපෙන් එකතු කළ 100% දේශීය කුණු! මේ කුණු කන්දට දායක නොවූ නිවෙසක් කොළඹ හා තදාසන්න පෙදෙස්වල ඇත්ද?”
ඛේදවාදකයෙන් පසුව ක්‍ෂණික කසළ කළමනා කරණ විශේෂඥයන් රැසක් මතුව සිටින බව පෙනෙනවා. මා ඒ ගොඩට අයිති නැහැ. එහෙත් කසළ ජනනය කරන්නකු ලෙස මාත් ප්‍රශ්නයේ කොටස්කරුවෙක්. මේ අදහස් දැක්වීම ඒ කෝණයෙන්.
අපේ රටේ දැවෙන ප්‍රශ්න ගැන මහජන අවධානය යොමු වන්නේ බරපතළ සිදුවීමකින් හෝ ආපදාවකින් පසුව පමණයි. එහිදී මාධ්‍ය මෙන්ම සමාජයද ආවේගශීලීව ඒ ගැන කථාබහ කරනවා. ටික දිනක් යන තුරු ප්‍රශ්නය ගැන විග්‍රහයන්, දෝෂාරෝපණ හා යෝජිත විසඳුම් රැසක් මතු වනවා.
එහෙත් දළ වශයෙන් දෙසතියක් ගත වන විට බොහෝ දෙනකුට එය මතකයෙන් හා අවධානයෙන් ගිලිහී යනවා. ජීවන අරගලයක යෙදෙන අතරේ පොදු ප්‍රශ්න ගැන සැම දෙනාටම නිතිපතා සම්බන්ධ වීම අපහසුයි. එහෙත් අධික මහජන මුදලකින් නඩත්තු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන්ද මේ දෙසතියේ සීමාවෙන් ඔබ්බට ප්‍රශ්න ගැන සැබෑ උනන්දුවක් නොගෙන පැලැස්තර විසඳුම් හෝ බොරු පොරොන්දු දෙනවා නම් අප කුමක් කරන්නද?
මීතොටමුල්ල ඛේද වාචකයෙන් පසු ප්‍රදේශයේ ජනයාත් සෙසු මහජනයාත් පක්‍ෂ භේදයකින් තොරව මෙකී වගකීම් විරහිතව ක්‍රියා කරන දේශපාලකයන් හා නිලධාරීන් හෙළා දැක්කේ මේ නිසායි. මෑත කාලයේ මීරියබැද්ද (2014) හා අරණායක (2016) නායයෑම්වලට පසු රටේ නායකයන් හා නිලධාරීන් කළ ලොකු කථා අපට මතකයි!
මීතොටමුල්ල සංකේත වත් කරන්නේ සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්න විසඳීමට වත්මන් හා හිටපු රජයන් අසමත්වීමයි. එසේම නිසි ක්‍රමවේදයකින් හා තාක්‍ෂණයකින් කළමනා කරණය කරගත හැකි සංවර්ධන අභියෝගයන් උඩුදිවීමට ඉඩදීම නිසා උග්‍රවී, මිනී මරන ව්‍යසනයන් බවට කෙමෙන් පත්වීමයි.
එහෙත් මෙහි වගකීම තනිකර දේශපාලකයන්ට පවරා අපට නිදොස් වන්නට බැහැ. කසළ කළමනා කරණයට තාක්‍ෂණිකව උචිත විසඳුම් (උදා: සනීපාරක්‍ෂක කසළ රඳවන) යෝජනා කළ කිහිප අවස්ථාවකම ඒවාට එරෙහි වූ අන්තවාදී පරිසරවේදීන් මෙන්ම පටු දැක්මකින් යුක්තව උද්ඝෝෂණ කළ මහජනයාද කසළ ප්‍රශ්නය උග්‍ර කිරීමට දායක වුණා.
පරිසරවේදීන්ගේ අරමුණ යහපත් විය හැකියි. එහෙත් පටු දැක්මක් සහිතව සමහර පරිසරවේදීන් හැම යටිතල පහසුකමකටම පාහේ එරෙහි වීම කලක සිට පවතින ප්‍රවනතාවක්.
මේ අන්තවාදී පරිසරවේදීන් අප දැන්වත් අභියෝගයට ලක් කළ යුතුයි. හැම ගසක්, සතෙකු හා පරිසර පද්ධතියක්ම පිවිතුරුව පවත්වා ගන්නට අද කාලේ නොහැකි බව ඔවුන් හා සමාජයක් ලෙස අප ද පිළිගත යුතුයි. මිනිසුන්, ගැහැනුන් හා දරුවන් නිරපරාදේ මැරෙන්නට ඉඩ සලසා කරන පරිසර සංරක්‍ෂණයේ තේරුම කුමක්ද?
කසළ ප්‍රශ්නය සංකීර්ණයි. එයට සරල, සිල්ලර හා ඉක්මන් විසඳුම් නැහැ. අලුත්ම දත්ත විමර්ශනය කොට, තාක්‍ෂණිකව උචිත හා සමාජ විද්‍යාත්මකව පිළිගත හැකි ප්‍රවේශයන් හරහා කළමනාකරණ ප්‍රතිචාරයන් ගණනාවක් දීම අවශ්‍යයි.
එහිදී ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා නිලධාරීන්ගේ විවෘත බව, විනිවිද බව හා වගවීම තීරණාත්මක වනවා. මේ දක්වා කසළ ප්‍රශ්න විසඳන්නට ගත්/නොගත් පියවර නිසා මහජන විශ්වාසය දැඩි ලෙස පලුදු වී තිබෙනවා. ඒ නිසා විශ්වසනීය හා දිගු කාලීන විසඳුම් ගෙන ඒමේ අභියෝගයට රජයට, විද්වතුන්ට හා සිවිල් සංවිධාන දැන් මුහුණ දෙනවා.
මෙහිදී සංකල්පීය නිරවුල් බව ඉතා වැදගත්. ඒ සඳහා සිහිතබා ගත යුතු මූලික කරුණු කිහිපයක් මා හුවා දක්වන්නට කැමතියි.
පැරණි කාලේ තිබුණා යයි කියන සරල ජීවන රටාවලට ආපසු යන්නට, ඒවා ගැන රොමෑන්ටික් ලෙසින් කථා කරන පරිසරවේදීන්වත් කැමති වෙන්නේ නැහැ. යටගිය දවස ගැන නොව අද හා හෙට ගැන ප්‍රායෝගිකව සිතා ප්‍රතිචාර දැක්විය යුතුයි.
කාර්මික අපද්‍රව්‍ය නියාමනයට නීතිමය හා නියාමන රාමුවක් 1980 සිට මෙරට ක්‍රියාත්මක වනවා. අද උද්ගතව ඇති කසළ ප්‍රශ්නයේ ප්‍රභවය කර්මාන්තශාලා නොව නිවාස, කාර්යාල, රෝහල්, කඩ සාප්පු හා හෝටල් ආදියයි.
මේ කසළවලට පොදුවේ Municipal waste කියනවා. එයින් ජනිත වන අරුත නම් පළාත් පාලන ආයතන (මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා) මේ කසළ ඉවත ගෙන යෑමේ හා නැණවත්ව ඉවතලීමේ වගකීම දරන බවයි.
මෙරට පළාත් පාලන ආයතන 335ක් තිබෙනවා. නාගරික ප්‍රදේශවල තම ආයතනවලට තිබෙන කසළ පරිමාව අධිකයි. නාගරික ජන ඝනත්වය වැඩි නිසාත්, නාගරික පරිභෝජන රටා ඉහළ නිසාත්.
රටක ටිකෙන් ටික ආදායම් ඉහළ යන විට, නාගරික ප්‍රදේශ පුළුල් වන විට නිවෙස්වල ඝන අපද්‍රව්‍ය ජනනය වීමද වැඩි වනවා. එවැනි කසළ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ දෙකෙහිම නිතිපතා ජනනය වෙතත් ඉවතලීම වඩාත් අභියෝගාත්මක වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලයි.
2015 දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නිවාස හා කාර්යාලවල දිනකට සාමාන්‍යයෙන් ඝන අපද්‍රව්‍ය ටොන් 6,500-7,000ක් පමණ ජනනය වුණා. (කර්මාන්තශාලා අපද්‍රව්‍ය නොවෙයි.) ඒක පුද්ගල කසළ ජනනය කිරීමට දිනකට ග්‍රෑම් 400 සිට කිලෝග්‍රෑම් 1 දක්වා පරාසයක තිබෙනවා.
රටේ කසළවලින් අඩකටත් වඩා (58.5%) බිහි වන්නේ බස්නාහිර පළාතෙන්. එහෙත් අනෙක් පළාත්වල කසළ ජනනය වීමද වැඩිවෙමින් තිබෙනවා.
රටේ සමස්ත ඝන අපද්‍රව්‍යවලින් භාගයක් (එනම් දිනකට මෙටි්‍රක් ටොන් 3,500) පමණ තමයි පළාත් පාලන ආයතනවලින් එකතු කරනු ලබන්නේ. එයද හැම බල ප්‍රදේශයේම එකසේ කාර්යක්‍ෂමව කැරෙන්නේ නැහැ.
එකතු කරන කුණුවලට කුමක් කරනවාද යන ප්‍රශ්නයද හැම පළාත් පාලන ආයතනයක්ම මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය වසරකට 1.1%ක් වන අතර කසළ ජනනය ඊට වැඩි වේගයකින් (එනම් වසරකට 1.2-2.0%) වර්ධනය වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.
බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම 2015දී කළ විග්‍රහයකට අනුව කසළ කළමනාකරණය කිරීම හදිසි ප්‍රමුඛතාවක් වන්නේ මේ නිසායි.
මෙරට කසළවල අන්තර්ගතය කෙසේද? මීට දශක දෙක තුනකට පෙර නම් 80-90%ක් පමණ තිබුණේ සොබාවිකව ඉක්මනින් දිරා යන ද්‍රව්‍යයි. එහෙත් අලුත් සංඛ්‍යාලේඛනවලට අනුව කෙටි කාලීනව සොබාවිකව දිරා යන දේ (short term bio-degradable) දැන් තිබෙන්නේ 57%ක් පමණයි.
දිගු කාලීනව දිරන ද්‍රව්‍ය 5%ක් තිබෙන අතර ඉතිරිය ලී, කඩදාසි, වීදුරු, ලෝහමය ද්‍රව්‍ය, රෙදි හා ප්ලාස්ටික්/ පොලිතීන් ආදියෙන් සමන්විතයි. දැනට සාපේක්‍ෂව කුඩා ප්‍රමාණයක් තිබෙන විද්‍යුත් අපද්‍රව්‍ය (electronic waste) ඉදිරියේ පරිමාවෙන් වැඩි වනු ඇති. මේවායේ අහිතකර හා විස විය හැකි ලෝහ හා සංයෝග අඩංගු බැවින් නිසි ලෙස බැහැර කිරීම ඉතා වැදගත්.
හැම පළාත් පාලන ආයතනයටම තම බල ප්‍රදේශයේ එකතුවන කසළ එහිදීම ඉවතලීමට නොහැකියි. මේ නිසා ඔවුන් අතර සම්බන්ධීකරණයක්, එකඟත්වයක් හා පළාත් සභා හෝ මධ්‍යම රජය මට්ටමින් අධීක්‍ෂණයක් ද අවශ්‍යයි.
සියලු කසළවලින් කොම්පෝස්ට් කාබනික පොහොර නිපදවන්නට බැහැ. රසායන විද්‍යාඥ හා ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය සුජාතා ගමගේ මෑත දිනවල පොදු අවකාශයේ අවධාරණය කළේ අපේ කසළවල සංයුතිය හරි හැටි හඳුනාගෙන එය කළමනා කරණයට විවිධාකාර විසඳුම් ගණනාවක් ගත යුතු බවයි.
එනම් කොම්පෝස්ට් කළ හැකි ජෛවීය අපද්‍රව්‍ය එසේ කරන අතර, වීදුරු, ලෝහ හා කඩදාසි ආදි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කළ හැකියි. මේ කිසිවක් කළ නොහැකි අපද්‍රව්‍ය සනීපාරක්‍ෂක කසළ රඳවන ස්ථානවල (sanitary landfills) තැන්පත් කළ යුතුයි.
“ප්‍රතිචක්‍රීකරණය හා සනීපාරක්‍ෂක කසළ රඳවනයන් යන දෙකේ සංකලනයේ අවශ්‍යතාව තේරුම් ගන්නේ නැතිව රඳවනවලට එරෙහි වුණු අයද මීතොටමුල්ල මරණවලට වගකිව යුතුයි” ආචාර්ය සුජාතා ගමගේ ට්විටර් පණිවුඩයකින් අප්‍රේල් 16දා ප්‍රකාශ කළා.
සනීපාරක්‍ෂක රඳවන වලින් භූගත ජලයට, අවට වාතයට හෝ පරිසරයට කසළ කාන්දුවීම තාක්‍ෂණිකව වළක්වනවා. මෙවන් රඳවනයක් දැනටමත් දොම්පේ ඉදිකර ඇත්තේ කොරියන් ආධාරවලින්. තවත් රඳවන හතරක් යාපනය, හික්කඩුව, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල 2020 වන විට ඉදිකිරීමට නියමිතයි.
එහෙත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් ධර්මසිරි මේ සතියේ ටෙලිවිෂන් සංවාදයකදී හෙළි කළේ දිනපතා ටොන් 90ක් ලද හැකි දොම්පේ රඳවනයට ලැබෙන්නේ ටොන් 10ක් පමණ කසළ බවයි. හේතුව පිට පළාත්වලින් දොම්පේට කසළ ගෙන ඒමට ප්‍රදේශවාසීන් විරුද්ධ වීමයි.
“කොළඹ කුණු අපට එපා” නම් කොළඹින් බැහැර ප්‍රජාවන් නිතර යොදා ගන්නා උද්ඝෝෂණ පාඨයද නිවැරදි නැහැ. කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවැසියන් සංඛ්‍යාව ලක්‍ෂ හතක් පමණ වනවා. එහෙත් වැඩ කරන දිනවල ලක්‍ෂ 10-15 අතර ජන සංඛ්‍යාවක් රාජකාරි, ව්‍යාපාරික හා අධ්‍යාපනික වැඩට එහි එනවා.
මේ අයගේ කෑම බීම හරහා ජනනය වන කසළ එකතු වන්නේත් කොළඹ කසළ ගොඩටමයි. රට වටේ ජනයා ඉතිරි කර යන කසළ හුදෙක් ‘කොළඹ කුණු’ යැයි ලේබල් කිරීම මුසාවක් හා මුලාවක්.
කසළ කොටසක් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා තව කොටසක් සනීපාරක්‍ෂක රඳවනවල තැන්පත් කිරීමට අමතරව නිසි තාක්‍ෂණය හරහා දහනය කිරීමද (incineration)කළ හැකියි. කසළ දහනයෙන් විදුලබලය ජනනය කිරීමේ තාක්‍ෂණය බොහෝ රටවල යොදා ගන්නවා.
සනීපාරක්‍ෂක රඳවන යන්, දහන පහසුකම් ආදියට ඉහළ ආයෝජනයක් අවශ්‍ය නිසා තනි තනි පළාත්පාලන ආයතනවලට එය කළ නොහැකියි. එසේම එබඳු පහසුකම් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරවීමට අවශ්‍ය අවම කසළ පරිමාව තනි බල ප්‍රදේශවලින් එකතු කිරීමටද අපහසුයි. මේ නිසා පළාත් පාලන ආයතන සමෝධානිත කසළ කළමනාකරණ පියවර ගත යුතුව තිබෙනවා.
කසළවලට බිය වීමට අවශ්‍ය නැහැ. කසළ පාරිසරික හා සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නිරාවරණය වූ විටයි. එසේ වීමට නොදී නිසි ලෙස ආවරණය කොට, රඳවා ගෙන කසළවලින් සම්පත් හා බලශක්තිය උකහා ගැනීමේ තාක්‍ෂණයන් බොහෝ තිබෙනවා. ඒවා අප වැනි දියුණුවන ආසියානු රටවල දැනටමත් භාවිත වනවා.
කසළ නිසි ලෙස කළමනාකරණය කිරීමට විද්‍යාත්මක දැනුම ඇති ලාංකික විද්වතුන් සිටිනවා. අපට මේ දක්වා නොතිබුණේ දේශපාලන හා පරිපාලනමය නායකත්වයයි.
තායිලන්තයේ බැං කොක් නුවර පිහිටි ආසියානු තාක්‍ෂණික ආයතනය (AIT) නම් කලාපීය සරසවියේ පරිසරය, සම්පත් හා සංවර්ධනය පිළිබඳ පීඨාධිපතිවරයා ලාංකික සම්භවය ඇති මහාචාර්ය සී. විශ්වනාදන්. පාරිසරික ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් ඇති ඔහු කියන්නේ අද ලෝකයේ කසළ මාහැඟි සම්පතක් බවයි.
සනීපාරක්‍ෂක කසළ රඳවනයන්ටත් වඩා දියුණු වූ කසළ කළමනාකරණ ක්‍රමෝපායන් දැන් තිබෙනවා. මේ ක්‍ෂේත්‍රයේ නවතම පෙරමුණු ගැන නිරන්තර අවදියෙන් සිටීම අවශ්‍ය බව ඔහු කියනවා.
“හැබැයි එක කසළ ප්‍රශ්නයක් විසඳන විට තවත් පාරිසරික හෝ සෞඛ්‍ය ප්‍රශ්න එයින් ඇති වෙන්නට ඉඩ නොදිය යුතුයි. එක් ප්‍රදේශයක කසළ තවත් ප්‍රදේශයකට ඔහේ ගෙන ගොස් දැමීම විසඳුමක් නොවෙයි. ශ්‍රී ලංකා දූපතටම පොදු කසළ කළමනාකරණ දැක්මක්, ප්‍රතිපත්තියක් හා පෙළගැසීමක් අවශ්‍යයි.” මහාචාර්ය විශ්වනාදන් කියනවා.
මේ සඳහාතාක්‍ෂණික උපදෙස් දීමට AITදී පැහැදී සිටිනවා. අපට තිබෙන්නේ දැනුමේ හිඟයකට වඩා ප්‍රතිපත්තිමය නිරවුල් බව නැතිකම හා දේශපාලන නායකත්වයේ අඩුපාඩුයි.
මීතොටමුල්ල ඛේද වාචකයෙන් කම්පාවට පත් ලක් සමාජයටද විශාල වගකීමක් තිබෙනවා. අපේ කුණු, නිවසෙන් බැහැර කරන විටම ජෛවීය හා වෙනත් අපද්‍රව්‍ය ලෙසට තෝරා බැහැර කළ විට කසළ කළමනාකරණය පහසු වනවා. මෙසේ කරන්න යයි නාගරික පළාත් පාලන ආයතන මෑතක පටන් ඉල්ලා සිටියත් මහජන ප්‍රතිචාර තවමත් හරිහැටි ලැබී නැහැ.
කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අප කාගේත් සාමූහික වගකීමක්.■