කුලය හා පුනරුදය ගැන වැඩිදුරටත්


victor

වික්ටර් අයිවන්

යාපනේ තරුණ සංගමයේ ආරා ධනාවකට අනුව මහත්මා ගාන්ධි දින 13ක සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ 1927 නොවැම්බර් 18 වැනිදාය. ඩොනමෝර් කොමිසමේ සාමාජිකයන් ලංකාවට පැමිණියේද ඒ දිනයේදීමය. ගාන්ධි සමඟ ලංකාවට පැමිණි ඔහුගේ බිරිඳ හා ලේකම්වරයා ඇතුළු පිරිස කොළඹ ජැටියේදී පිළිගන්නා ලද්දේ එවකට කොළඹ නගරයේ කම්කරු නායකයාගේ තත්ත්වය හිමිකරගෙන සිටි ඒ.ඊ. ගුණසිංහය. ගාන්ධි ලංකාවේ ගත කළ දින 13දී කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවර, බදුල්ල, නුවරඑළිය, ගාල්ල, අක්මීමණ, යාපනය යන ප්‍රදේශවලට යමින් එම ප්‍රදේශවල සංවිධාන කර තිබූ උත්සව සභා අමතා කතා කළේය. ලංකා ජාතික සංගමයේ විධායක සභාවේ තීරණයක් අනුව ඔවුන් සංවිධානය කළ රැස්වීමක් නොවැම්බර් 22 වැනි දින කොළඹ පබ්ලික් හෝල් ශාලාවේදීද පවත්වන ලදි.

ගාන්ධිගේ උපදේශනය
තිබෙන වාර්තා අනුව ලංකා ජාතික සංගමය සංවිධානය කළ රැස්වීමේ මුලසුන හොබවන ලද්දේ එවකට ලංකා ජාතික සංගමයේ සභාපති වශයෙන් ක්‍රියා කළ ඊ.ඩබ්ලිව්. පෙරේරාය. ඒ හැර ගාන්ධිගේ කතාව ඇසීමට එම අවස්ථාවට සහභාගි වූ ලංකා ජාතික සංගමයේ නායකයන් කවුදැයි එම වාර්තාවල සඳහන්වන්නේ නැත. එහෙත් නිසැක වශයෙන්ම ලංකා ජාතික සංගමයේ නායකයන්ගෙන් වැඩි පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වන්නට ඇතැයි සිතිය හැකිය. බොහෝ විට ජේම්ස් පීරිස්, ඩී.බී. ජයතිලක, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, ටී.බී. ජායා, අරුණාචලම් මහදේව, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ජෝර්ජ් ඊ. ද සිල්වා, එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක වැනි ලංකා ජාතික සංගමයේ ප්‍රමුඛ නායකයන් එම සභාවට සහභාගි වන්නට ඇතැයි සිතිය හැකිය. මහත්මා ගාන්ධි එහිදී කරන ලද කතාවට ඇතුළත් වැදගත් කාරණා දෙකක් ගැන පමණක් මෙහි සඳහන් කරමි. එකක් ස්ත්‍රීන් ගැනය. අනෙක අපේ මාතෘකාවට අදාළ කුලය ගැනය. එහිදී ගාන්ධි නිදහස් ව්‍යාපාරයට කාන්තාවන් සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් කියා ඇත්තේ කාන්තාවන්ගේ සහභාගිත්වය නැතිව යන ඕනෑම ව්‍යාපාරයක් සැලකිය හැක්කේ තනි කකුලෙන් යන ව්‍යාපාරයක් ලෙස බවය. මහත්මා ගාන්ධිට අනුව ස්ත්‍රීන්ගේ සහභාගිත්වය වැදගත්වන්නේ ඉන් ලැබෙන ශක්තිය නිසා පමණක් නොව, ඒ මගින් පුරුෂයන්ට පිදෙන පිළිගැනීමට සමාන පිළිගැනීමක් ස්ත්‍රීන්ටද ලැබෙන නිසාය.
කුල ප්‍රශ්නයේදී ගාන්ධි ලංකාවෙන් නිදර්ශයට ගත්තේ රොඩී කුලයයි. කුල ධුරාවලිය තුළ රොඩී කුලය ලංකාවේ සිටි පහළම කුලය ලෙස සැලකේ. ඉන්දියාවේ අස්පර්ශනීය තත්ත්වයක් හිමි කරගත් ජනතාවක් සිටින බවත් ලංකාවේ ඒ තත්ත්වයේ සිටින ජනතාවගේ සංඛ්‍යාව විශාල නැතත් රොඩී කුලය උදාහරණයකට ගනිමින් එවැනි ජනතාවක් ලංකාවේද සිටින බව කියා සිටියේය. ලංකාව ලබාගන්නට යන නිදහස එවැනි ජනයා සිටින අසරණ තත්ත්වයෙන් ඒ සියලුදෙනා නිදහස් කරගැනීමට හේතු නොවේ නම් ඒ ලබන නිදහස සැබෑ නිදහසක් ලෙස සැලකිය නොහැකි බවද ගාන්ධි එහිදී කියා තිබේ.
මහත්මා ගාන්ධි සංකේතාත්මක ආකාරයකින් කියන ලද එම පණිවුඩය එම රැස්වීමට සහභාගි වූ ලංකා ජාතික සංගමයේ නායකයන් හොඳින් තේරුම් ගන්නට ඇතැයි සිතිය නොහැකිය. ගාන්ධි සංකේතාත්මක ආකාරයකින් ඔවුන්ට කීවේ ලබාගන්නට යන නිදහස සැබෑ නිදහසක් වීමට නම් කුලභේදය විසින් ඇති කර තිබෙන උස් පහත් භේදයද නැති කළ යුතු බවය. කුල ක්‍රමය අනුව පහත් කොට සැලකෙන සියලුදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතු බවය.
ඉන්දියානු නිදහස් ව්‍යාපාරය කුලභේදයට එරෙහිව විශාල මතවාදී ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. එවැනි දෙයක් ලංකාවේ සිදුවූයේ නැත. ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයන් නිදහස දැක්කේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයන් මෙන් පුළුල් අර්ථයකින් නොව පටු අර්ථයකිනි. ලංකාවේ නායකයන්ට අවශ්‍ය වූයේ බි්‍රතාන්‍යයන් අත තිබුණු දේශපාලන බලය තමන්ගේ අතට ගැනීම පමණය. ඉන්දියානු නායකයෝ ඊට වෙනස්ව බොහෝ දුර දැක්කෝය. බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වනවාට අතිරේකව නිදහස් අරගලය තුළ ජාතිය ගොඩනගා ගැනීම ඔවුන්ගේ අභිලාෂය වී තිබුණි.

පළමු මැතිවරණය හා කුලය
ලංකා ජාතික සංගමයේ බොහොමයක් නායකයෝ කුලභේදය කරට ගත් අය වූහ. අතරමැදි කුලවලට අයත් අය පවා පහළ කුලවල ජනයා පහත් කොට සලකන අය වූහ. සිංහල නායකයන් ධර්මපාලතුමාගේ ආභාසය ලැබූ අය වන විට දෙමළ නායකයන් ආරුමුගම් නාවලර්තුමාගේ ආභාසය ලැබූ අය වූහ. ධර්මපාලතුමා සිංහල කුල ක්‍රමය ඉවසුවේය. නාවලර්තුමා හින්දු කුල ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. ඕල්කට්ට සිංහල බෞද්ධ ව්‍යාපාරයේ නායකයා බවට පත්වීමට හැකිවූයේ ඒ තැන ගැනීමට සුදුසු අය සිංහල බෞද්ධයන් අතර නොසිටි නිසා නොව ඒ සියලුදෙනා කුලභේදයෙන් භේදභින්න වී සිටි තත්ත්වයක් තුළ කුලයක් නැති විදේශිකයෙකු හැර තමන් අතරින් නායකයකු තෝරා ගත හැකි තත්ත්වයක් නොපැවති නිසාය.
සීමිත ඡන්ද ක්‍රමයක් යටතේ 1911 පැවති ලාංකික උගත් නියෝජිතයාගේ ආසනය සඳහා පැවති තරගය කුල කණ්ඩායම් දෙකක් අතර කෙරෙන මහා තරගයක් බවට පත්විය. එම මැතිවරණයට එවකට ලංකාවේ සිටි ලොකුම ධනපතියා ලෙස සැලකිය හැකි චාල්ස් ද සොයිසාගේ බෑණා කෙනෙකු වූ දොස්තර මාකස් ප්‍රනාන්දු නාමයෝජනා ඉදිරිපත් කළ විට ගොවිගම කුලයේ සමහර ධනවතුන්ගේ මතය වූයේ එවැනි උසස් තනතුරකට කරාව කුලයේ කෙනෙකුට පත්වීමට ඉඩ නොදිය යුතුය කියාය. ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය ලබාදී තිබුණේ අධ්‍යාපනයට හා ධනයට බර තබන ක්‍රමයක් යටතේ වීම නිසා සිංහල ගොවිගම අපේක්ෂකයෙකු තරග බිමට ගෙන මාකස් ප්‍රනාන්දු පරාජය කළ නොහැකි බව ඔවුහු දැන සිටියහ. ඒ අරමුණ ඉටුකරගත හැක්කේ සිංහල ගොවිගම ඡන්දවලට අතිරේකව දෙමළ ඡන්දද ලබාගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පමණක් බව තේරුම් ගත් හෙක්ටර් ජයවර්ධන (ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා) දකුණු ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් තරග බිමට ගෙන ආවේය. පොන්නම්බලම් රාමනාදන්ගේ රැස්වීම් අමතා කතා කළ හෙක්ටර් ජයවර්ධන එහිදී දොස්තර මාකස් ප්‍රනාන්දුගේ පහත් ජන්මය ගැන කතා කළ බව ජේ.ආර්. ජයවර්ධනගේ චරිතාපදානය ලියූ මහාචාර්ය කේ.එම්. ද සිල්වා එම චරිතාපදානයේ සඳහන් කර තිබේ.
මෙම මැතිවරණයේදී ඡන්ද බලය තිබූ දෙමළ ජනයා හා සිංහල ගොවිගම ජනයා එක පොදියට රාමනාදන්ට පක්ෂව ඡන්ද පාවිච්චි කිරීම නිසා රාමනාදන්ට දොස්තර මාකස් ප්‍රනාන්දු පහසුවෙන් පරාජය කළ හැකිවිය. එසේම එම ඡන්දය කරාව කුලයේ ජනයා අතර ලොකු සිත් අමනාපයක් ඇති කිරීමටද හේතුවිය. කරාව කුලයේ ධනවතුන් අතර දෙමළ විරෝධී නැඹුරුවක් ඇති කිරීමට එම ඡන්දය බලපෑවේය. ඔවුන්ට පොන්නම්බලම් රාමනාදන් පෙනුණේ ගොවිගම ධනවතුන් තම කුලයට අපහාසයක් ඇති කිරීම සඳහා යොදා ගත් පුද්ගලයෙකු ලෙසය.

කුලභේදය හා වර්ග භේදය
ලංකා ජාතික සංගමයට එකතු වී සිටි දෙමළ නායකයන්ගෙන් වැඩි පිරිසක් එම සංගමය අතහැර යෑමට බලපෑවේ ලංකා ජාතික සංගමය යාපනේ සංගමයට පොරොන්දු වී තිබූ ආකාරයට කොළඹ නගරය සඳහා වෙන්කර තිබූ ආසන දෙකෙන් එකක් පොන්නම්බලම් අරුණාචලම්ට නොදී ජේම්ස් පීරිස්ට තරග කරන්නට ඉඩහැරීම නිසාය. එම අවාසනාවන්ත තත්ත්වය කෙරෙහිද 1911 මැතිවරණය සේ ම ඊට පෙර කරාව කුලයේ ජනයාට බලපාන ආකාරයට පොන්නම්බලම් රාමනාදන් කර තිබූ ප්‍රසිද්ධ ප්‍රකාශයත් බලපෑවේය. ලංකා ජාතික සංගමය ආරම්භ කෙරුණු කාලයේදී එම සංගමයේ පිළිගත් නායකයාව සිටියේ පොන්නම්බලම් අරුණාචලම්ය. ඔහු පොන්නම්බලම් රාමනාදන්ගේ සහෝදරයාය. ගොවිගම කුලය ලංකාවේ උසස්ම කුලය ලෙස සලකා කරාව කුලය ඊට වඩා පහත් කුලයක් ලෙස සලකා ක්‍රියාකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරීම සඳහා කරාව කුලයේ උගතකු වූ ජී.ඒ. ධර්මරත්න 1890දී Kara- Goi Contest නමින් පොත් පිංචක් ලියා පළ කළේය. එයින් අපේක්ෂා කළේ කරාව කුලයේ ක්ෂත්‍රිය ජන්මය උසස් තරාතිරම හා ගොවිගම කුලයේ ක්‍ෂුද්‍ර ජන්මය හා පහත් තරාතිරම ඔප්පු කිරීමය. මේ පොත් පිංච නිර්නාමිකව පළකෙරෙන පත්‍රිකා මගින් කෙරෙන ලොකු හා උණුසුම් කුල විවාදයක් ඇති කිරීමට හේතුවිය. ධර්මරත්න සිය පොත් පිංච ආරම්භ කර තිබුණේ පොන්නම්බලම් අරුණාචලම් සිංහල සමාජයේදී ගොවි කුලයත්, දෙමළ සමාජයේදී වෙල්ලාල කුලයත් උසස් හා ප්‍රමුඛ බව කියන ප්‍රසිද්ධ ප්‍රකාශයකිනි. ඉන් පෙනෙන්නේ ඒ කාලයේ සිටම කරාව කුලයේ උගතුන් අතර අරුණාචලම් කෙරෙහි විරෝධයක් තිබුණු බවය.
1911 මැතිවරණයේදී ගොවිගම කුලයේ ධනවතුන් රාමනාදන් ප්‍රයෝජනයට ගනිමින් කරාව කුලය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය අපහාසාත්මක මැතිවරණ වැඩසටහන අරුණාචලම්ගේ විරෝධයට හේතුවූ බවක් පෙනෙන්නට නැත. එම තත්ත්වය කරාව උගතුන් අතර අරුණාචලම් කෙරෙහි ඇති කරගෙන තිබුණු විරෝධය උග්‍ර කරන සාධකයක් ලෙස ක්‍රියා කරන්නට ඇත. කරාව කුලය කෙරෙහි පොන්නම්බලම් සොහොයුරන් දෙදෙනා කර තිබුණු අපහාසයන් ජේම්ස් පීරිස් කෙරෙහිද බලපා තිබුණා විය හැකිය. ජේම්ස් පීරිස්ට මෙම අසුනට තරග කොට තේරීපත්වීමේ ආශාවක් තිබෙන්නට ඇතත්, තම කුලයට අපහාස කළ අරුණාචලම්ගෙන් පළිගැනීමේ ආශාවක්ද තිබෙන්නට ඇත. ඔහු ඒ වනවිට ලංකා ජාතික සංගමයේ සභාපතිවරයා වීම හේතු කොට ඔහු අරුණාචලම් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්තියට විරුද්ධවීමේ හැකියාවක් ලංකා ජාතික සංගමයටද නොතිබෙන්නට ඇත.
කරාව කුලයේ උගතුන් හා පොන්නම්බලම් සොයුරන් අතර ඇතිවූ ගැටුමෙන් සමාජ විද්‍යා අර්ථයෙන් උගත හැකි ලොකුම පාඩම වනුයේ කුලභේදය වර්ගභේදය පෝෂණය කරන විට පෙරළා වර්ගභේදය කුලභේදය පෝෂණය කරන බවය. කරාව කුලයේ උගතුන් දෙමළ විරෝධී අස්ථානයකට තල්ලු කිරීමට පොන්නම්බලම් සොහොයුරන් දෙදෙනාගේ කුලවාදය බලපෑවේය. ඒ සමඟ වර්ග අතර සමඟියක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි පොන්නම්බලම් අරුණාචලම් වැනි පුද්ගලයෙකු දෙමළ වර්ගවාදී අස්ථානයකට තල්ලු කිරීමට ජේම්ස් පීරිස් වැනි කරාව කුලයේ උගතුන් ඔහු කෙරෙහි දක්වන ලද ප්‍රතිචාර බලපෑවේය. ඉන්ද පෙනෙන්නේ කුලභේදය වර්ගභේදය පෝෂණය කරන බව හා අනෙක් අතට වර්ගභේදය කුලභේදය පෝෂණය කරන බවය. මෙය ලංකාවේ සමාජ විද්‍යාඥයන්ගේ දකින්නට අසමත්ව තිබෙන දෙයක් ලෙසද සැලකිය හැකිය.
කුල ක්‍රමය අනුව සිංහල හා දෙමළ සමාජයේ නිසි පිළිගැනීමක් නැති පුද්ගලයන් තමන්ගේ වර්ගය තුළ පිළිගැනීමක් ලබාගැනීම සඳහා දෙමළ විරෝධී හෝ සිංහල විරෝධී වන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය. විජේවීරගේ කැරලි දෙක තුළම ඉන්දියානු විරෝධී අන්තර්ගතයකට අතිරේකව සියුම් දෙමළ විරෝධී අන්තර්ගතයත් තිබුණා සේ ම ඉතා බලවත් පීඩිත කුල සංරචකයක්ද තිබුණේය. ප්‍රභාකරන්ගේ කැරැල්ල තුළද සිංහල විරෝධී අන්තර්ගතයකට අතිරේකව බලවත් පීඩිත කුල සංරචකයක්ද තිබුණි. විජේවීරගේ කැරැල්ල තුළ තිබුණු පීඩිත කුල සංරචකය දෙමළ විරෝධී වර්ගවාදය පෝෂණය කළා සේ ම ප්‍රභාකරන්ගේ කැරැල්ල තුළ තිබුණු පීඩිත කුල සංරචකය සිංහල විරෝධී වර්ගවාදය පෝෂණය කළේය.

නිදහසේ සීමා
මහත්මා ගාන්ධි ලංකා ජාතික සංගමයේ නායකයන්ට කියා දෙන්නට උත්සාහ කළ ආකාරයට ලබාගන්නා නිදහස රටේ පීඩිත කුලවලට අයත් ජනයාටද නිදහස ලබාදෙන ක්‍රියාදාමයක් වී නම් සිංහල දකුණේවත් දෙමළ උතුරේවත් මේ ආකාරයේ ලේ වැගිරීම් ඇති නොවන්නට ඉඩ තිබුණි. එහෙත් ලංකාව ලබාගත් නිදහස පීඩිත තත්ත්වයක සිටි සුළු වර්ගවලට හෝ සිංහල හා දෙමළ සමාජයේ පීඩිත කුලවලට හෝ නිදහස ලබාදෙන ක්‍රියාදාමයක් නොවීය. ලබාගත් නිදහස සුළු වර්ගවලට හෝ පීඩිත කුලවලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ක්‍රියාදාමයක්ද නොවීය. ඒ නිසා පසු කලෙක වර්ගය ප්‍රසිද්ධියේ කැරලි ගසන බලවේගයක් ලෙස ක්‍රියාකරන විට කුලය සැඟවී කැරලි ගසන බලවේගයක් ලෙස ක්‍රියා කළේය.
මා මේ රචනයේදී කුල සාධකයට වැඩි බරක් තබන ලද්දේ වර්ග සාධකය තේරුම් ගැනීම පහසු වුවත් කුල සාධකය තේරුම් ගැනීම ඊට වඩා දුෂ්කර නිසාය. වර්ග සාධකය සටන් කරන්නේ එළිපිට ප්‍රසිද්ධියේය. එහෙත් කුල සාධකය සටන් කරන්නේ සැඟවී අප්‍රසිද්ධියේය. වර්ග සාධකය තේරුම් ගන්නවාට වඩා කුල සාධකය තේරුම් ගැනීම දුෂ්කර වන්නේද ඒ නිසාය.
ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන් (Bryce Rayan) ගේ Caste in Modern Ceylon නමැති ග්‍රන්ථයේ (මෙම කෘතියෙහි සිංහල පරිවර්තනයක් ගොඩගේ සමාගම විසින් 2015දී පළකර තිබෙන අතර පොතේ පරිවර්තකයා වන්නේ චන්ද්‍ර ශ්‍රී රණසිංහය.) එන වැදගත් නිරීක්ෂණයක් මෙසේය. එහි රයන් කියා තිබෙන ආකාරයට දහවන සියවසේ අවසානයේ පටන් 1925 දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැනනැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතරය.
පූර්ව නූතන වැඩවසම් යුගයේදී කුල ක්‍රමය ශ්‍රම විභජනය සඳහා යොදා ගැනුණු සංවිධාන ක්‍රමයක් වූ අතර එය සමහර කුලවලට අයත් මිනිසුන්ගේ මනුෂ්‍ය ගෞරවය අහිමි කරන පීඩාකාරී ක්‍රමයක් වුවද එය ජන්ම උරුමයෙන් තමන්ට ලැබුණු දෙයක් ලෙස සලකා එකල මිනිසුන් එය ඉවසාගෙන සිටියා මිස ඊට එරෙහිව නැගිටීම් ඇතිවූයේ නැත. එහෙත් වර්ගය පූර්ව නූතන යුගයේ නොතිබුණු නූතන යුගයේ ඇතිවූ අලුත් දෙයක් විය. පූර්ව නූතන යුගයේදී අභ්‍යන්තර හා බාහිර යුද්ධ තිබුණද ඒවා කවර ආකාරයකින්වත් වර්ගවාදී යුද්ධ ලෙස සැලකිය නොහැකිය. පූර්ව නූතන යුගයේදී ජාතිය යන්නෙන් අදහස් වූයේ කුලය මිස වර්ගය නොවේ. වර්ගය හැඳින්වීමට ජාතිය යන පදය යොදා ගැනීම සිදුවන්නේ නූතන යුගයේදීය. ලංකාවේ සිංහල වර්ගය මුල් කරගත් චින්තනයක් සේ ම දමිළ වර්ගය මුල් කරගත් චින්තනයක් ඇතිවීම ආරම්භවන්නේද නූතන යුගයේය. අනගාරික ධර්මපාල සිංහල වර්ගවාදයේ ආරම්භක චින්තකයා ලෙස සැලකිය හැකිවා සේ ආරුමුගම් නාවලර් ලංකාවේ දෙමළ වර්ගවාදයේ ආරම්භක චින්තකයා ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ නම් ආගමික පුනර්ජීවන ව්‍යාපාරවලින් පසුව බලවත් නිදහස් ව්‍යාපාරයක් පැන නැගි අතර ඉන්දියානු මිනිසුන්ට ඔවුන්ගේ ජාතික දෘෂ්ටිය තනන්නා ලෙස ක්‍රියා කළේද නිදහස් ව්‍යාපාරයයි.
ලංකාවේ බලවත් නිදහස් ව්‍යාපාරයක් නොතිබීම නිසා ලංකාවේ මිනිසුන්ගේ ජාතික දෘෂ්ටිය තනන්නා ලෙස ක්‍රියා කළේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය මිස නිදහස් ව්‍යාපාරය නොවේ. ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය හා ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය අතරද පැහැදිලිව හඳුනාගත හැකි ලොකු වෙනසක් තිබුණි. ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ හින්දු හා මුස්ලිම් ආගමික නායකයන් තමන් අදහන ආගම උසස් කොට සලකා අන් ආගම්වලට පහරදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඔවුන් පෙනී සිටියේ ආගම් අතර සහජීවනයක් වෙනුවෙනි. අනෙක් අතට ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයන් තමන්ගේ ආගමික ඇදහිලිවල තිබෙන පසුගාමී දේවලට පහර දුන්නේය. කුලභේදය, සති පූජාව වැනි යල් පැනගිය දේවල් බලවත් ලෙස විවේචනයට ලක් කළේය.
එහෙත් ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරවලට එවැනි ඉදිරිගාමී දැක්මක් තිබුණේ නැත. එය තමන් අදහන ආගම පමණක් උසස් කොට සලකා අන් ආගම්වලට එරෙහිව පහරදෙන හා වෛරය වපුරන ව්‍යාපාරයක් විය. ඒවා කුලභේදය වැනි පසුගාමී දේවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් විය.
ලංකාවේ බලවත් නිදහස් ව්‍යාපාරයක් නොවීම නිසා ලංකාවේ ජනතාවට දෘෂ්ටිය ලබාදෙන්නා ලෙස ක්‍රියා කළේද ආගමික පුනර්ජීවන ව්‍යාපාරයයි. සිංහල ජාතික නායකයන් සියලුදෙනාම පාහේ අනගාරික ධර්මපාලතුමාගේ ගෝලයන් ලෙස සැලකිය හැකි අතර දෙමළ ජාතික නායකයන් සියලුදෙනාම පාහේ ආරුමුගම් නාවලර්ගේ ගෝලයන් ලෙස සැලකිය හැකිය. ඔවුන් කිසිවෙකුට ජාතිය ගොඩනගා ගනිමින් ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය ඉදිරි දැක්මක් නොතිබුණි. ඔවුන් සියලුදෙනාම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට වර්ග භේදයෙන් කුල භේදයෙන් හා ආගම් භේදයෙන් ඔළු අවුල් කරගත් අය වූහ.

බුල්ඩෝසර් පාලනය
නිදහස ලැබීමෙන් පසු පාලන බලයට පත් ඔවුන් රට පාලනය කළේ පීඩිත කුලවල හා සුළු වර්ගයන්ට අයත් ජනයාගේද පීඩිත කුලවලට අයත් ජනයාගේ මනුෂ්‍ය අයිතිවාසිකම් හා මනුෂ්‍ය ගෞරවය චප්ප කරගෙන ඉදිරියට යන බුල්ඩෝසර පාලනයක් ලෙසය. නිදහස ලැබුණු වහාම සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව උඩරට ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන් තවත් අවුරුදු 8කට පසුව දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කරන ලද්දේ ඔවුන්ගේ මනුෂ්‍ය ගෞරවයද අහිමි කෙරෙන ආකාරයටය. තමන්ට අහිමි කරනු ලැබූ භාෂා අයිතිවාසිකම් සාමකාමී අරගල මගින් දිනාගැනීමට දරන ලද හැම උත්සාහයක්ම සිත්පිත් නැති ආකාරයට මර්දනය කළේය. අවසානයේ 83 කළු ජූලිය ඔවුන්ට තර්කානුකූල ලෙස කල්පනා කිරිමට තිබෙන හැකියාව අහිමි කොට බුද්ධියෙන් වෙනුවට ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ඔවුන් තල්ලු කළේය. ඔවුන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් වෙනම රාජ්‍යයක් දිනාගැනීමට උත්සාහ කරන තැනකට තල්ලු විය. ලංකාවේ දෙමළ ජනතාව පතුලක් නැති මහා අගාධයකට ඇද දැමීමට හේතුවූ එම අරගලය පරාජය කිරීමට වසර 25ක් තරම් දීර්ඝ කාලයක් ගතවිය. සියල්ල අවසන් වනවිට රටම සුන්බුන්වලින් පිරුණු ලොකු සොහොන් බිමක් බවට පත්ව තිබුණි. එහිදීද ජයග්‍රාහකයා තමන් ලැබූ ජයග්‍රහණය ගැන සීමාන්තික ලෙස උදම් අනන තැනකට ගියා මිස තමන් විසින් පරාජය කරන ලද්දේ විදේශ ආක්‍රමණිකයකු නොව තම රටේම ජනවර්ගයක් වන බව හා ඒ නිසා එම ජනවර්ගයට පමණක් නොව පොදුවේ රටටද සිදුවී තිබුණු විනාශය තේරුම් ගැනීමට අසමත් විය.
ඇතිවූ එම විනාශකාරී සිද්ධිදාමයෙන් පසුව පවා පාලක පක්ෂය තමන්ට හුරුපුරුදු බුල්ඩෝසර් ප්‍රතිපත්තිය අත්හැරියේ නැත. මුස්ලිම්වරුන්ටද පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය විය. මුස්ලිම්වරුන් වෙසෙන දර්ගා නගරය ඉලක්ක කොට මහා පහරක් එල්ල කොට මහා විනාශයක් ඇති කළේය.
මාගේ මෙම රචනයේ අරමුණ වූයේ වර්ග ප්‍රශ්නය විග්‍රහ කිරීම නොව ඒ හා එකට බැඳුණු කුල ප්‍රශ්නය විග්‍රහ කිරීමය. මට ඒ ගැන නැවත ලිවීමට අවශ්‍ය වූයේ පුනරුද ශාඛා ගොඩනැගීම සඳහා වයඹ පළාතට ගිය ගමනකදී කුල පීඩනයට අදාළව අසන්නට ලැබුණු හා පසුව දකින්නට ලැබුණු අනුවේදනීය අත්දැකීමක් නිසාය.
මා මීට පෙර දඹුල්ලට ගිය අවස්ථාවකදී එම සාකච්ඡා සභාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ නමකගෙන් නැකත් කුලයේ ගමක ගම්වාසීන්ට නාමධාරී පන්සලකින් සිදුවී තිබෙන බලවත් අසාධාරණයක් ගැන අසන්නට ලැබුණි. අසන්නට ලැබුණු තොරතුරු අනුව ඒ ගම පිහිටා තිබෙන්නේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේය. ගමේ නම කෝන් වැවය. එය නැකත් කුලයේ ගමක් වන අතර ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 120කි. මේ ගමේ අහිංසක මිනිසුන් පරම්පරා හතරකට වැඩි කාලයක් ජීවත් වී තිබෙන්නේ මේ ගමේය. මේ ගම්වාසීන් ඔවුන් භුක්ති විඳින ඉඩම්වලින් පලවා හැර ඔවුන් භුක්ති විඳින ඉඩම් එම පන්සල සතුකර ගැනීමේ වැඩසටහන් එම පන්සලේ අධිපති ස්වාමීන් වහන්සේ ක්‍රියාවට නගා ඇති බව අසන්නට ලැබුණි. මට ඒ ගැන කරුණු කී භික්ෂූන් වහන්සේ ඒ ගැන කතා කළේ බලවත් කම්පනයකින් හා කනගාටුවකින් යුතුවය.
ඒ ගැන කරුණු සොයා බැලීමක් කිරීමට මට අවශ්‍ය වූ අතර යථා තත්ත්වය දැනගැනීම සඳහා 7 වැනිදා මහව පැවැත්වෙන සාකච්ඡාවට එම ගමේ නියෝජිතයන් කිහිපදෙනෙකු සහභාගි කරවන ලෙස මම පොල්පිතිගම උදය කුමාර හරහා එම ගම්වාසීන් වෙත දැනුම්දීමක් කළෙමි. මහව පැවති සාකච්ඡා සභාව උණුසුම් හා උද්යෝගිමත් සාකච්ඡා සභාවක් වූ අතර එහි කැඳවුම්කරුවන් ලෙස ක්‍රියා කර තිබුණේ ගණිත ගුරුවරයෙකු වූ සෙනරත් බණ්ඩාර හා කලක් රාවයේ සේවය කර තිබූ උපාධිධාරියෙකු වූ ශ්‍යාමන් චතුරංග විසිනි. සවස 4.00ට පමණ ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූයේ රාත්‍රී 7.20ට පමණය. එම සාකච්ඡා සභාවට කෝන්වැව ගමෙන් නියෝජිතයන් සිව්දෙනකු එවා තිබුණු අතර ඔවුන් එම සාකච්ඡා සභාවේදී ඔවුන්ගේ ප්‍රශ්නය කෙටියෙන් විස්තර කරන ලදි. එම නඩුවට පෙනී සිටින නීතිඥවරියක්ද සාකච්ඡා සභාවට සහභාගි විය. කෝන්වැව ගමෙන් පැමිණි නියෝජිතයන් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රශ්නය නිරාකරණය කරදීම සඳහා පුනරුද ව්‍යාපාරය ප්‍රබල මැදිහත්වීමක් කරන බව මා කියා සිටි විට සාකච්ඡා සභාවට සහභාගි වූ සියලුදෙනා අත්පොළොසන් දුන්නෝය. එම ප්‍රතිචාරයෙන් මට පෙනුණේ කුලභේදයෙන් තොරව ඒ අසරණ මිනිසුන්ට යුක්තිය ඉටුවනවා දකින්නට ඒ සියලුදෙනාට අවශ්‍ය වී තිබෙන බවය.■
(ඉතිරි කොටස
ලබන සතියේ)