රාවය

මීතොටමුල්ලේ මරණවලට යුක්තිය ඉටු වන්නට නම්

මීතොටමුල්ලේ මරණවලට යුක්තිය ඉටු වන්නට නම්

මීතොටමුල්ල ගැන පැවැති උද්ඝෝෂණ, රැස්වීම්, සාකච්ඡා, විරෝධතා, වර්ජන, සංවාද රැසක් මේ වන විට අවසන් ය. එහෙත්, එහි පොළව යට මේ වනතුරුත් සොයාගත නොහැකි මිනිසුන් නිර්ප්‍රාණී ව ගුලි වී සිටිනු ඇත.
මීතොටමුල්ල යළි යළිත් කියා දෙන්නේ අප රාජ්‍යයක්, ජන සමාජයක් හැටියට කුමන තරමක් අසමත් ද යන්න ය. මිනිසුන් ජීවත්වන තැනක අවිධිමත් ලෙස මහා කුණු කන්දක් ගොඩ ගැසූ අපි, ඒ කුණු කන්දට යට වී ඒ මිනිසුන් මිය යන තෙක් ම ඒ වරද කරමින් සිටියෙමු. මිනිසුන් තිස් ගණනක් මිය ගොස් නිවාස විශාල ප්‍රමාණයක් බිම්බත් වූ කල මහා වාදයක් පටන් ගැනිණි. ඒ, ‘විනාශයට වගකිව යුත්තේ අප නොවේ, අනුන්යැ’යි කියන්නට ය.
ඕනෑ ම දේශපාලන පක්‍ෂයකට කසළ ගොඩක් වුණත් ගොදුරු බිමක් කරගත හැකි ය යන්න ද මීතොටමුල්ල ඛේදවාචකයෙන් නැවතත් අපට තහවුරු කර ගත හැකි විය. එජාපය, ශ්‍රීලනිපය ආදි මහා පක්‍ෂවල සිට පෙරටුගාමීන්ගේ පක්‍ෂය දක්වා වූ සියලු පක්‍ෂ අඩුවැඩි වශයෙන් මීතොටමුල්ල ඛේදවාචකය තමන්ගේ දේශපාලන තුරුම්පුවක් හැටියට පාවිච්චි කළහ.
අවුරුදු නවයක් තිස්සේ කුණු කන්ද පවත්වාගෙන ගිය පෙර ආණ්ඩුවටත්, අවුරුදු දෙකක් තිස්සේ කුණු කන්ද පවත්වාගෙන ගිය මේ ආණ්ඩුවටත්, මිනිස් ජීවිත තිස් ගණනක් හා නිවාස සිය ගණනක් වැළලෙන තුරු නිසි විසඳුමක් සොයා ගන්නට නොහැකි විය. පරණ ආණ්ඩුවේ අය දැන් මීතොටමුල්ල දෙස බලන්නේ ඊයේ ඉපැදුණු බිලිඳුන් මෙන් නැවුම් විදියට ය.
මේ ඛේදවාචකය, මිනිසා විසින් නිර්මාණය කරන ලද්දකි. මිනිසායැ’යි කියන විට අපි සියල්ලෝ ම ඊට ඇතුළත් වෙමු. මීතොටමුල්ලේ තිබුණේ කොළඹ කුණු නොවේ. රටේ හැමෝගේ ම කුණු ය. කොළඹ පදිංචි ජනගහනය ලක්‍ෂ හතකට ආසන්න වන විට කොළඹට දෛනික ව පැමිණ ආපසු යන පිරිස දස ලක්‍ෂයක් පමණ වෙතැයි කියති. ඒ අය අතර මීතොටමුල්ලේ, දොම්පේ, කරදියානේ මෙන් ම රටේ හැම කොණක ම වාසය කරන මිනිසුන් වන බවට සැකයක් නැත. තමන්ගේ අතේ තිබෙන කුණු ටික කසළ ගොඩකට දැමූ පසු අපේ වගකීම අහවරයැ’යි සිතන අපි ඉතිරි ටික කවුරුන් හෝ ඉටු කර දිය යුතුයැ’යි සිතමු. එහෙත්, එය එසේ සිදු නොවේ. රට පාලනය කරන්නේ ද, නගර සභාවේ සිටින්නේ ද, කුණු කන්ද මුදල් උපයන මාර්ගයක් බවට පත් කර ගන්නේ ද අප වැනි ම මිනිසුන් ම හෝ, අප විසින් පත්කරන ලද නියෝජිතයන් ම හෝ වන බැවිනි. මීතොටමුල්ලේ සිදුවුණේ අප සියල්ලන් ම අපේ වගකීම හරි හැටි ඉටු නොකිරීමේ තර්කානුකූල ප්‍රතිඵලයකි.
කුණු කඳු ගොඩ ගැසෙන්නේ තමන්ගේ දායකත්වයෙන් ද බව නොසිතන මිනිස්සු, කොළඹ කුණු අපට එපායැ’යි ජනප්‍රිය සටන්පාඨ සහිත අන්ධ විරෝධතාවල නියැළෙති. ඉතාම නවීන මූලධර්ම අනුව පිහිටුවා ඇති දොම්පේ කසළ රඳවනයට දිනකට කසළ ටොන් අනූවක් පමණ කිසිම අවුලක් නැති ව භාර ගත හැකි ව තිබිය දී දැනට ඊට ලැබෙන්නේ දිනකට ටොන් පහක පමණ ප්‍රමාණයකි. ටොන් අනූවක් දක්වා කොළඹ නගර සභාවේ කසළ එහි ගෙනයන්නට හදන විට ප්‍රදේශවාසීහු එවැනි අන්ධ විරෝධතාවක් දැක්වූහ. ඒ පැත්තේ අන්ධ දේශපාලකයෝ ද සිටියෝ මිනිසුන්ගේ පිටිපස්සෙන් මිස ඉස්සරහින් නොවේ. ඉතින් ප්‍රශ්නය එක තැන පල් වෙයි.
කසළ කළමනාකරණය යනු ඕනෑ ම රටක දී බරපතළ ප්‍රශ්නයකි. ඒ සඳහා බහුවිධ පිළියම් යොදා ගත යුතු ය. සමහර පිළියම් ආර්ථික වශයෙන් ආකර්ෂණීය නොවේ. ඒ පිළියම් සකස් කළ යුත්තේ, ප්‍රශ්නය පිළිබඳ මනා තක්සේරුවක් සහිත ව ය. ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සැලැස්ම පිළියෙල කොට ක්‍රියාවට නැංවීම ය. මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව වත්, ආණ්ඩුව තමන්ගේ වගකීම ගැන නැවතත් අලුතෙන් සිතා බලා නිසි කසළ කළමනාකරණයක් ඇති කර ගැනීම සඳහා පියවර ගත යුතු ය. වැළලී ගිය මිනිස් ජීවිත හා දේපළවලට අර්ථයක් ලැබෙන්නේ එසේ වුවහොත් පමණ ය.■