තවත් ජනමත විචාරණයක්: තුර්කිය විනාශයේ මගට පිවිසෙයි

මනුවර්ණ සතිය

අාණ්ඩුවේ දේශ පාලකයන්ට මේ දිනවල ඇත්තේ ජනමත විචාරණ ෆෝබියාවක් හෙවත් භීතියකි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පවත්වන්නට සිදුවන්නේයැයි සිතමින් ඔවුහු වරින් වර බියට පත්වෙති. අලුත් ව්‍යවස්ථාව කල් පවතින එකක් වන්නට නම්, (තුනෙන් දෙකකින් කරන ව්‍යවස්ථා සංශෝධනයක් කවදා හරි තවත් තුනෙන් දෙකකින් වෙනස් කළ හැකිය.) ජනමත විචාරණයකට ඉදිරිපත් කොට ජනතා අනුමැතිය ලබාගත යුතුයැයි රටේ පුරවැසියන් කියන විට, එජාප-ශ්‍රීලනිප කියන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම අය හිතන්නේ මේ නම් තමන්ගේ ආණ්ඩුව වට්ටන්නට හදන කුමන්ත්‍රණයක් කියාය. ඒ නිසා ජනමත විචාරණයකට යායුතුයැයි කියන, ජනවාරි 8 වෙනසට දායකවූ හැමෝටම ආණ්ඩුවේ, විශේෂයෙන් ශ්‍රීලනිප පාර්ශ්වයේ අය දැන් කියන්නේ එන්ජීඕකාරයන් යැයි කියාය. එය එන්ජීඕ කුමන්ත්‍රණයක් යැයි කියාය. එහෙත්, ජනවාරි 8 වන විට පොදු අපේක්‍ෂකයකු සොයාගෙන දේශපාලන වෙනස ඇතිකිරීම සඳහා ඒ අයම (එන්ජීඕකාරයන්ම) කුමන්ත්‍රණය කරන විට මේ කියන ශ්‍රීලනිප දේශපාලකයන් හිටියේ මහින්දගේ යාවජීව විධායක ජනාධිපති ව්‍යාපෘතියේය.
අලුත් ව්‍යවස්ථාවක් ගැන ජනමත විචාරණයකට ඔවුන් බියවන්නේ තමන්ගේ ආණ්ඩුව ගැනම සිතාය. ජනවාරි 8 වැනිදායින් පසු හා අගෝස්තු 17 වැනිදායින් පසු තමන් ජනතා අප්‍රසාදයට පත්වී ඇති තරම ගැන හොඳින්ම දන්නා ආණ්ඩුවේ ඉහළ සිට පහළට වන සියලු දේශපාලන නායකයන් හිතන්නේ, තමන්ගේ අයහපත් කල්ක්‍රියාව ගැන ජනතා කෝපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිටින් ගොස් ජනමත විචාරණයකදී ව්‍යවස්ථාවත් සමඟම ආණ්ඩුවත් පරදීවියැයි කියාය. ඒ සිතුවිල්ලේද තර්කයක් තිබේ. ඩිලාන් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා දැනටමත් ඒ ගැන ප්‍රසිද්ධියේ පැහැදිලි කර තිබේ. ආණ්ඩුවට අවශ්‍ය බව පෙනෙන්නේ කිසිම විදියකින් ජනතා පරීක්‍ෂාවට ලක්නොවී පුළුවන් තරම් කාලයක් මේ විදියටම ඇදගෙන යන්නටය. එක පැත්තකින් පළාත් පාලන ආයතන ඡන්ද කල් දැමෙන්නේත්, සැප්තැම්බර යේදී විසිරැවෙන පළාත් සභාවල ඡන්ද කල් දැමීම ගැන සැලසුම් සකස් කෙරෙන්නේත් මේ තත්ත්වය නිසාය.
ආණ්ඩුවේ අයගේ ජනමත විචාරණ ෆෝබියාවට පොහොර දමන ජනමත විචාරණ තුනක් පසුගිය කාලයේ එංගලන්තයේ. කොලොම් බියාවේ හා ඉතාලියේ පැවැත්විණි.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රෙක්සිට් නම් හැඳින්වුණු වැඩපිළිවෙළ ගැන පැවැත්වුණු ජනමත විචාරණයෙන් පැරදුණු එංගලන්ත අගමැති ඬේවිඞ් කැමරන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. එහෙත් ආණ්ඩුව නොවැටිණි. අගමැති අනුප්‍රාප්තිකාව වුණු තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනගියාය. ආණ්ඩුව විසිරුවා හැර අලුත් ජනවරමක් පතන්නේද යන්න ගැන මාධ්‍ය විසින් ඇගෙන් විමසන ලද හැම මොහොතකම ඇය කීවේ, ශක්තිමත් ආණ්ඩුවක් ඇතිකරගන්නට තමා කැපවී සිටින බවත්, 2020න් මෙහා මීළඟ මහ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත්ය. එහෙත්, ඒ බව කියා කල් ඉක්ම යන්නට පෙරම, මේ සතියේ අඟහරුවාදා ඇය හදිසි මහ මැතිවරණයකට යන බව ඩවුනින් වීදියේ අංක 10 දරන නිවසේ දොරකඩ සිට කීවාය. බ්‍රෙක්සිට්ට විපක්‍ෂව සිටි හිටපු අගමැති කැමරන්ට පැරදී ගෙදර යන්නට සිදුවුණත්, බ්‍රෙක්සිට්ට පක්‍ෂව සිටි තෙරේසා මේ අගමැතිනියටද එතරම් හයියක් ආණ්ඩුව තුළ නැති බව එයින් පෙනෙයි.
දෙවැනි ජනමත විචාරණය පැවැත්වුණේ කොලොම්බියාවේය. ෆාක් ගරිල්ලන් සමඟ ආණ්ඩුව ඇතිකරගත් සාම ගිවිසුම ගැන පැවැති ජනමත විචාරණයේදී තුනී ඡන්ද වෙනසකින් සාම ගිවිසුම පරාජය කරන්නට කොලොම්බියානු ජනතාව පියවර ගත්හ. එයද ආණ්ඩුවේ පරාජයක් විය. තුන්වැනි ජනමත විචාරණය ඉතාලියේ පැවැත්වුණු අතර, ඉතාලි අගමැතිවරයාගේ පාර්ශ්වය එහිදී පරාජය ලැබීය. ඔහු පෙනී සිටියේ ප්‍රාදේශීය බලතල මධ්‍යයට කේන්ද්‍රගතවන වැඩ පිළිවෙළක් වෙනුවෙනි. ඉතාලි ජනතාව, ප්‍රාදේශීය බලතල මධ්‍යයට කේන්ද්‍රගත කරනවාට විරුද්ධව ඡන්දය දුන්හ.
මේ ජනමත විචාරණ තුනේදීම පොදු ගුණාකාරය හැටියට පෙනෙන්නේ පවතින ආණ්ඩුව පරාජය වීමය. එහෙත්, ඒ ඒ ජනමත විචාරණ කිසිම අතකින් එකිනෙකට සමාන වන්නේ නැත. ඒ මදිවාට ලංකාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතාබහට කිසිසේත්ම අදාළ වන්නේද නැත. එහෙත්, මේ ජනමත විචාරණ ගැන තම තම නැණ පමණින් වැරදියට කියවා ගත් ලංකාවේ ආණ්ඩුවේ දේශපාලකයන් හිතන්නේ, ඒ රටවල ආණ්ඩු පැරදුණු නිසා ලංකාවේ ආණ්ඩුවද පරදිනු ඇතැ’යි කියාය.
එහෙත් ලංකාවේ ව්‍යවස්ථා විවාදයට කිසියම් ආකාරයකින් විශාල සබඳකමක් පෙන්වන ජනමත විචාරණයක් පසුගිය අප්‍රේල් 16වැනිදා තුර්කියේ පැවැත්වුණේය. ඒ ජනමත විචාරණයෙන්, තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩෙගන්ගේ වුවමනාවට ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා සංශෝධනය ඡන්ද ප්‍රතිශතය සියයට 51.41ක් ලබා ජයගත්තේය. විරුද්ධව ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 48.95කි. වැදගත් කාරණය නම්, මේ ජනමත විචාරණ ජයග්‍රහණය හරහා තුර්කිය පාර්ලිමේන්තු පාලන ක්‍රමයේ සිට විධායක ජනාධිපති ක්‍රමයක් දක්වා පරිවර්තනය වන බවය.
තමා අතට විශාල බලතල ප්‍රමාණයක් එකතු කර ගැනීමේ මේ අදහස තුර්කි ජනාධිපති අර්ඩෙගන්ගේමය. ජනමත විචාරණය පැවැත්වුණේ රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදීය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නට සිදුවුණේ, 2016 ජුලි 15වැනිදා ජනාධිපති අර්ඩෙගන්ට එරෙහිව තුර්කියේ පැනනැගුණු හමුදා කුමන්ත්‍රණය නිසාය. කුමන්ත්‍රණය එළියට එද්දී අර්ඩෙගන් හිටියේ රටේ කොණක පිහිටි නිවාඩු නිකේතනයකය. කුමන් ත්‍රණය පරාජය විය. කුමන්ත්‍රණකාර හමුදා නිලධාරීන්ට අර්ඩෙගන්ගේ පාක්‍ෂිකයන් පාරවල් දිගේ පහරදී මරාදමන හැටි ඒ කාලයේ මාධ්‍යවල පළවිය. එදින 250ක් පමණ මියගියෝය. අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් තමාට පක්‍ෂව ඇතිවුණු සානුකම්පිත මහජන අනුමැතිය අර්ඩෙගන් ආයෝජනය කළේ, විධායක ජනාධිපති ධුරයක් ඇතිකර ගෙන තම බලය සිත්සේ තහවුරු කරගන්නටය. හරියට 2009 මැයි මාසයේ අවසන්වුණු යුද්ධය නිසා ලැබුණු ජනතා අනුමැතිය, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2010 ජනවාරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මෙන්ම 18 වැනි සංශෝධනය හරහා යාවජීව ලෙස ජනාධිපති ධුරයේ සිටීම සඳහා ආයෝජනය කළ විදියටමය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඒ වෙලාවේ වුවමනාව තිබුණේ එක්සත් ජාතීන් ඇතුළු බටහිර ජාතීන්ට විරුද්ධව කටයුතු කරන්නට තමාට තම රට තුළින් මහජන අනුමැතිය හිමිව ඇතැ’යි පෙන්වන්නටය. ඒ සඳහා බටහිර අධිරාජ්‍යවාදයක් ගැන, රටේ ස්වෛරීයත්වය ගිලගන්නට එන බටහිර ආක්‍රමණිකයන් ගැන ඇති තරම් බොරු රට තුළ මවාපාන ලදි. තුර්කි ජනාධිපති අර්ඩෙගන් පසුගිය කාලයේ වැඩ කළේද ඒ විදියටමය. 2016 හමුදා කුමන්ත්‍රණය අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමන්ගේ අතිජාත තුර්කි නායකත්වයට එරෙහිව සැලසුම්කරන ලද්දක් බව කී අර්ඩෙගන්, බටහිර ආධිපත්‍යයට යටත් නොවී සිටින්නට නම් තුර්කිය තුළ ශක්තිමත් පාලනයක් තිබිය යුතුයැයිද, බලවත් පාලකයකු සිටිය යුතුයැයිද කීවේය. ඔහුට අනුව ඒ ඔහුය. තමන් යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයට ‘එපා’යැයි කියන පිරිස අර්ඩෙගන් හැඳින්වූයේ, 2016 හමුදා කුමන්ත්‍රණය කරන්නට මුල්වුණ දේශද්‍රෝහී පිලේ අය හැටියටය. ලංකාවේ වගේම පාලකයා පැත්තේ සිටින විට දේශප්‍රේමීන් වීමත්, පාලකයාට එරෙහිව යන විට දේශද්‍රෝහීන් කිරීමත් තුර්කියටද පොදුය. ලංකාවේ රාජපක්‍ෂ ආණ්ඩුව ඡන්ද කළ විදියම අනුගමනය කරමින් අර්ඩෙගන්ද රජයේ සියලු සම්පත් හා පුද්ගලයන් ජනමත විචාරණයේදී තමන්ගේ මතය ජයග්‍රහණය කරවීම සඳහා යෙදවීය.
අර්ඩෙගන්ගේ ජය ග්‍රහණය, තුර්කියේ විරුද්ධ පක්‍ෂ දුටුවේ ‘ඡන්දයෙන් තෝරාගත් ආඥා දායකත්වයක්’ කරා යෑමක් ලෙසය. නැතහොත්, ‘ප්‍රජාතාන්ත්‍රික සියදිවි නසාගැනීමක්’ හැටියටය. එසේ කියන්නට හේතුවුණු කාරණා තිබේ. පෙර කී විදියට, මේ ජනමත විචාරණයෙන් පසුව, අර්ඩෙගන් රටේ විධායක ජනාධිපතිවරයා වනු ඇත. පාර්ලිමේන්තුවත්, අධිකරණ යත් ඒ විධායක ජනාධිපතිවරයා යටතට වැටෙනු ඇත. බලතල බෙදීම පිළිබඳ මූලධර්ම කුණු කුඩයට විසිවී රටේ සියලුම පාලන ආයතන එක් තනි පුද්ගලයකුගේ අත්තනෝ මතික පාලනයකට යටත් කරනු ඇත. හරියටම ලංකාවේදී වගේය.
ව්‍යවස්ථාවට අදාළ සංශෝධන 18ක් සඳහා ජනමත විචාරණය පැවැත්විණි. ඒ අනුව ඇතිකෙරෙන විධායක ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාද ආණ්ඩුවේ නායකයාද වෙයි. කැබිනට් මණ්ඩලය මෙතෙක් පාවිච්චි කළ විධායක බලය දැන් ජනාධිපති අතට සම්පූර්ණයෙන්ම හිමිය. ඔහුට කැබිනට් මණ්ඩලය හා උපජනාධිපතිවරයා පත් කිරීමට මෙන්ම ඇමතිවරුන් හා උපජනාධිපති ධුරයෙන් පහකිරීමට බලයද හිමිය. ජනාධිපතිවරයාට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සලකා බැලීමට ලක්නොවන විධායක නියෝග නිකුත් කළ හැකිය. ඉහළ අධිකරණ විනිසුරුවරුන් හා අභිචෝදකයන් (ලංකාවේ නම් නීතිපති ආදි) පත්කිරීමේ බලයද තනිවම ජනාධිපති සතුවෙයි. ඒ ජනාධිපතිවරයාට පක්‍ෂ සාමාජිකයකුද විය හැකිය.
ලංකාවේ 1978 ව්‍යවස්ථාව උපදින කොටම, ඇන්ඇම් පෙරේරා ඇතුළු විද්වතුන් එයින් විය හැකි හානිය ගැන අනාවැකි කිව්වා සේ, තුර්කියේ සමහර දේශපාලකයෝද විද්වත්තුද අර්ඩෙගන්ගේ ව්‍යවස්ථා සංශෝධනය රට අගාධයකට ගෙනයනු ඇතැ’යි අනාවැකි කියති. විධායක ජනාධිපති යටතේ පාර්ලිමේන්තුව බලරහිත රූකඩයක් බවට පත්වනු ඇතැ’යි කියන ඔවුහු විධායකයට හා අධිකරණයට හිමිවයන්නේද ඒ ඉරණමම බව කියති. සමහරුන් කියන්නේ අර්ඩෙගන් තුර්කිය ‘සුල්තාන් රාජ්‍යයක්’ බවට පත්කරන්නට යන බවයි. සුල්තාන් රාජ්‍යයක පාලනයද, නීතියද, බලයද සුල්තාන්වරයාය. මිනිස් නිදහස තිබෙන්නේ සුල්තාන්වරයාට වුවමනා විදියට, ප්‍රමාණයටය.
කොහොම වුණත්, විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගත යුතුයැයි කියන ලංකාවේ පිරිසට තුර්කි ජනමත විචාරණයෙන් අලුත් ශක්තියක් ලැබෙනු ඇත. ‘ඔබතුමා විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන්නට නොයා යුතුයි. දැන් ලෝකය යන්නේ විධායක ජනාධිපති ක්‍රමය පැත්තට. තුර්කිය ඒ සඳහා හොඳම උදා හරණයයැ’යි ඒ අය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිට්ටුවී කියනු ඇත.
එහෙත්, දීර්ඝ දේශපාලන පළපුරුද්දක් ඇති ජනාධිපතිතුමාට පෙනී යා යුත්තේ, ලංකාව 1978දී සිටි තත්ත්වයේ අද තුර්කිය සිටින බවය. විධායක ජනාධිපති ක්‍රමය කෙතරම් අත්තනෝමතික, ආඥා දායක හා බිහිසුණු පාලන ක්‍රමයක්දැයි තේරුම් ගන්නට ලංකාවට දශක හතරක් ගතවිය. (ඒ බව තවමත් නොතේරුණු අයද සිටිති.) විධායක ජනාධිපති ක්‍රමය ඇතිකැරුණු 1978 අවුරුද්ද වන විට එහි බිහිසුණු බව ගැන කී දේශපාලන අනාවැකි, ඒ කී දේවල්වලටත් වැඩියෙන් අපි අද වන විට අත්විඳ ඇත්තෙමු. තුර්කිය, ඒ ගමන පටන්ගත්තා විතරය. සමහර විට දශක ගණනකින් පසු ඔවුන් විධායක ජනාධිපති ක්‍රමයේ බිහිසුණු බව තේරුම් ගන්නා විට සමහර විට ලංකාවේ ජනතාව ගෙව්වාටත් වඩා හැම අතින්ම විශාල වන්දියක් ගෙවා තිබෙන්නට පිළිවන.
ලංකාව සිටින්නේ තුර්කියේ අත්දැකීමට වඩා අවුරුදු 40ක් පමණ ඉදිරියෙනි. ඒ අවුරුදු හතළිහ තුළ අප ලබාගත් දැනුම අත්දැකීම කෙළවර වන්නේ, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය’ යන දේශපාලන අධිෂ්ඨානයෙනි. ලංකාවට දැන් පැමිණ ඇත්තේ පාඩම්වලින් ඉගෙනගත් දේ ක්‍රියාවට නැංවීමේ අවස්ථාවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට මුළුමනින්ම එකඟය. 2015 ජනවාරි 8 වන විට ඔහු සිටි ස්ථාවරයේම තවමත් නොසැලී සිටියි. තවත් ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නට ඔහුගේ සූදානමක් නැත. ශ්‍රීලනිපය කුමක් කීවත් ජනාධිපති සිරිසේන සිය ස්ථාවරය වෙනස් කරනු ඇතැයිද, ශ්‍රීලනිප වුවමනාවන්ට ජනාධිපති යටවනු ඇතැයිද සිතිය නොහැකිය. ජනවාරි 8 ගිවිසුමෙන් මහජනතාව සමඟ බැඳී සිටින්නේ ශ්‍රීලනිපය නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ඒ නිසා, අලුත් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා වන ජනතාවගේ ව්‍යාපාරය එක්රොක් විය යුත්තේත් ඉදිරියට යායුත්තේත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වට කරගෙනය.■