රාවය

කුණු වී තිබෙන රාජ්‍ය පාලනයේ තරම

කුණු වී තිබෙන රාජ්‍ය පාලනයේ තරම

මහාචාර්ය සරත් විජේසූරිය

මීතොටමුල්ල කුණු කන්දෙන් පීඩා විඳි ජනතාව කාලයක් තිස්සේ තම දුක විවිධාකාරයෙන් ආණ්ඩු දෙකකට දන්වා සිටිය ද පලක් වූයේ නැත. කුණු කන්දෙන් බේරීමට මහ මඟට බැස විරෝධතා පළ කළ ද, ඒ ජනතාවට මාරයාගෙන් බේරීමට නොහැකි විය. කුණු කන්දේ ඛේදවාචකය සම්බන්ධව පසුගිය ආණ්ඩුව පමණක් නොව, වත්මන් ආණ්ඩුවත් කොන්දේසි රහිතව වග කිව යුතුය. පාලකයන් ජනතාවට අවධානය යොමු නොකළ බැවින් අවසන පාලකයන්ට රිදෙන්නට කුණු කන්දම කතා කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පීඩා විඳි ජනතාවක් කුණුවලට යට වී මිය යාම ගැන වත්මන් ආණ්ඩුව කම්පා වන්නේ නම් කුණු කඳුවලින් හරි හම්බ කරන දේශපාලනඥයන් සම්බන් ධව නිර්භීත තීරණ ගත යුතුය. මේ දේශපාලනඥයන් සිටින්නේ ප්‍රධාන පක්ෂ දෙක තුළය. මහජන නියෝජිතයන් මේ විනාශයෙන් සසල වූයේ නම්, ඒ බව ප්‍රායෝගිකව ද පෙන්විය යුතුය. සංකේතයක් වශයෙන් මාස තුනක වැටුප අවතැන්වූවන්ට පරිත්‍යාග කළ යුතුය. බල අරගලය උදෙසා කරන, මහජනතාවට පලක් නැති මහා මැයි දින රැලි හා රැස්වීම් යනාදි කටයුතු මේ වසරේ දී අත්හළ යුතුය. එජාපය හා ශ්‍රීලනිපය මේ තීන්දුව ගතහොත් ඒකාබද්ධය ඇතුළු අනෙක් පක්ෂවලට එය හොඳ පාඩමකි. මැයි රැලියක් කොහේ පැවැත්වුවත් අවසන් වන විට එකතු වන කුණු කන්දරාව ද අසාමාන්‍ය වේ. මෙවැනි පොඩි දෙයක්වත් කරන්නට ආණ්ඩුව අසමත් නම් ඉන් නැවත නැවතත් සනාථ වන්නේ කොයි කාටත් මහජනතාවගේ කතිරය විනා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නොවැදගත් බවයි.

කුණු සහ සල්ලි
ලංකාවේ කසල කළමණාකරණය කිරීමට රටවල් අටක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විශේෂඥ දැනුම ද ඇතිව ආයෝජන ව්‍යාපෘති කාලයක් තිස්සේ ඉදිරිපත් කර ඇති බව දැන ගන්නට තිබේ. ඒ සියල්ල සිදු නොවී තිබෙන්නේ අදාළ දේශපාලනඥයන් ඒ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දෙන්නට අසාමාන්‍ය අන්දමේ කොමිෂන් හෙවත් අල්ලස් ඉල්ලීම හේතුවෙනි. රටේ දැවෙන ප්‍රශ්නයක් විසඳීමට ලැබුණ අවස්ථාව නොසලකා තමන්ගේ සාක්කු පුරවා ගැනීම ගැන පමණක් සිතීමට තරම් තිරශ්චීන දේශපාලනඥයන් රටේ සිටීම මොන තරම් අවාසනාවක් ද?
කුණු කන්දෙන් හම්බ කර ගැනීමට කටයුතු කළ පුද්ගලයන් මේ වන විට හඳූනා ගෙන ඇත. මේ පුද්ගලයන් සම්බන්ධව නෛතික ක්‍රියා මාර්ගයක් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට ගත හැකිය. එහෙත් එවැනි නිර්භීත තීන්දුවකට අවතීර්ණ වීමට හයියක් ආණ්ඩුවට නැත. හිතු මතේ මහ දවල් හොරකම් කරන දූෂිත අමාත්‍යවරුන් කිහිප දෙනාගේ අමාත්‍යාංශ මාරු කිරීමටවත් මේ ආණ්ඩුවට හයියක් නැත. ඊට හේතුව දේශපාලන බල අරගලවලදී පිරිස් බලය කවුරුත් සපයා ගන්නේ මේ පුද්ගලයන් මාර්ගයෙනි. අපේ රටේ රාජ්‍ය පාලනය කුණු වී තිබෙන තරම තේරුම් ගැනීමට ඒ කාරණාවම ප්‍රමාණවත්ය.
මගේ පෞද්ගලික නිරීක්ෂණය වන්නේ අසාමාන්‍ය ලෙස ඝන කසල පරිසරයට එකතු වීමට පටන් ගන්නේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව බවයි. විවෘත ආර්ථිකය නොතිබුණ කාලයේ කඬේකට ගිය විට අපට බඩු ඔතා දුන්නේ කඩදාසිවලය. බඩු දාගෙන එන්නට සිමෙන්ති මලුවලින් සකස් කළ ප්‍රමාණ කිහිපයක කවර සෑම කඬේකම අලෙවියට තිබුණි. ගමනක් බිමනක් යන විට යමක් රැගෙන යාමට බ්‍රවුන් පේපර් කඩදාසිවලින් සකස් කළ කවර වර්ග කිහිපයක් සෑම කඬේකම අලෙවියට තිබුණි. ලන්ච් ෂීට් එදා නොතිබුණි. එහෙත් ලන්ච් ෂීට් පැමිණීමෙන් කෙසෙල් කොළේ බත් මුල් එතීම ක්‍රමයෙන් අඩු විය. පැණි බීම වර්ග ගණනාවක් එකල තිබුණේ නැත. බහුලව තිබුණේ අලියා බීමය. ඒවා වීදුරුවලින් තැනූ බෝතල්වලය වෙළඳ පළට නිකුත් කළේ. මළ ගෙදරක් අවසන් වුණ පසුව මිනී පෙට්ටි සාප්පුවෙන් ගෙනා බඩු ටික ආපසු භාර දෙන අන්දමට අලියා බීම ගෙනා බීම කේස් ටික ආපසු භාරදීම ද එකල තිබුණ වැදගත් කටයුත්තකි.
විවෘත ආර්ථිකය සමඟින් කෘත්‍රිම ආහාර පාන සහ බීම වර්ග කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කාටත් මහා පරිමාණයෙන් වෙළඳ පළට ආවේය. එය එසේවීම අනිවාර්ය තත්වයකි. විවිධ කෘත්‍රිම කෑම බීම රට තුළ නිෂ්පාදනය වීමත්, මහා පරිමාණයෙන් ආනයනය කිරීමත් නිසා පරිසරයට එකතු වන කසල ප්‍රමාණය අසාමාන්‍ය වේගයකින් වැඩි විය. ඉන් වැඩි ප්‍රමාණයක් ඝන කසලය. විවෘත ආර්ථිකය සමඟින් ලංකාවේ ආයෝජන කලාප බිහි විය. කර්මාන්ත ශාලා රට පුරා බිහි විය. ඒ සඳහා විදුලි බලය සහ ජලය පෙරට වඩා විශාල වශයෙන් අවශ්‍ය විය. ඒ ප්‍රශ්නය විසඳීමට ගත යුතු පියවර අවශ්‍ය වේගයෙන් ගත් බව පැහැදිලිය. විවිධ ජල විදුලිබල යෝජනා ක්‍රම ගණනාවක් සාර්ථකව නිම කොට විදුලිය ප්‍රශ්නය යම් අන්දමකට කළමනාකරණය කර ගත් බව පැහැදිලි කරුණකි. පානීය ජල ප්‍රශ්නය ද කළමනාකරණය කර ගත් බව පැහැදිලි කාරණයකි. ඒ කිසි අවස්ථාවක පරිසරයට එකතු වෙන ඝන කසල ජන ජීවිතයට කරන බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය විiාත්මක ක්‍රමවේද ගැන නිර්මාණශීලී සැලසුම් කිසිම ආණ්ඩුවකට තිබුණේ නැත. ඒ වූ කලී රාජ්‍ය පාලනයේ අඥාන තත්වයකි.

ජීවත්වීමේ නිදහස
නිදහසේ ජීවත්වීමට සෑම මනුෂ්‍යයෙකුට අවශ්‍ය වන්නේ පිරිසුදු වාතයයි. අප කුඩා කාලයේ අපේ ගමේ තිබුණ කුඩා වන රොදක් තුළ මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙකු ජීවත් විය. ඔහු නිරුවතින් සිටින බවට පැතිරී ගිය කට කතාව නිසා ඔහුට කිසිවක් දෙන්නට කිසිවෙකු මේ වන රොදට ගියේ නැත. මේ පුද්ගලයා මේ වන රොදට කොහේ හෝ සිට පැමිණ අවුරුදු තුනක් පමණ ජීවත් වී මරණයට පත් විය. ඔහුගේ සිරුර භූමදානය කළේ ග්‍රාම නිලධාරියාගේ උපදෙස් මත ගම්වැසියන්ය. මේ පුද්ගලයා අවුරුදු තුනක් ජීවත්වීම සඳහා ආහාර පාන සොයා ගත්තේ කෙසේ ද යන්න කුඩා දරුවන් වූ අපට තිබුණ ගැටලුවකි. ඔහුගේ සිරුර භූමදාන කිරීමෙන් පසුව වැඩිහිටියන් සමඟ කතා බහක නිරතව සිටි ග්‍රාම නිලධාරී තැන පැවසුවේ මෙවැන්නකි.
“කාට වුණත් හුස්ම ගන්න පුළුවන් තැනක කිසිම කෑමක් නැතුව පණ රැක ගන්න පුළුවන්. හුස්ම ගන්න බාධාවක් නැත්නම්, බොන්න වතුර ටික තියෙනවා නම් තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේ මනුස්සයා පිස්සෙක් කිව්වට ඇවිත් වැටුණෙ ගහ කොළ තියෙන තැනකනෙ. කන්ඩ පුළුවන් ජාති කොච්චර නං තියෙනවා ද ඔය වන රොදේ….”
මේ පුවත සිහි කරමින් මා කල්පනා කළේ කණු කන්ද අවට ජීවත් වූ ජනතාවට කුණු කන්ද කඩා වැටීමට පෙර ගත කිරීමට සිදු වුණ ජීවිතය ගැනයි. නිදහසේ සන්තෝසයෙන් හුස්ම ගන්නට ඔවුන්ට සොබා දහමෙන් උරුම කර දී තිබුණ අයිතිය අහිමි විය. අහිමි වූවා නොව එය අහිමි කළේය.
සැබවින්ම මේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සියලු මහජන නියෝජිතයන් පක්ෂ පාට භේදයකින් තොරව සාමූහිකව ප්‍රබල හඬක් අඛණ්ඩව නැඟුවා නම් ආණ්ඩුවට නිහඬව සිටින්නට නොහැකිය. මහජන නියෝජිතයන් ඒ යුතුකම හා වගකීම ඉටු කළේ නැත. ඇතැම් මහජන නියෝජිතයන්ට කුණු කන්ද අවශ්‍ය විය. තවත් පිරිසක් නිහඬව සිටියහ. තවත් උදවිය තම දේශපාලන ප්‍රතිරූපය උදෙසා කුණු කන්ද ඉවහල් කර ගත් බව ද නොරහසකි. තතු කෙසේ වුව කුණු කන්ද කඩා වැටුණේ මහජන නියෝජිතයන් සාමූහිකව නැගිය යුතුව තිබුණ හඬ නැඟීමටය. ඒ නිසා මහජන නියෝජිතයෝ සහ රටේ පාලකයෝ කුණු කන්දෙන් පීඩාවට පත් ජනතාවගෙන් පමණක් නොව සියලු පුරවැසියන්ගේ fදා්ෂා රෝපණයට ලක් වී සිටිති.
කුණු කන්ද කඩා වැටීම දඩමීමා කරගෙන ඒකාබද්ධ විපක්ෂය ද වෙර දරන්නේ පල්වල ඉහගෙන කෑමටය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වූ නිසා කුණු කන්දේ ප්‍රශ්නය විසඳන්නට නොහැකි වුණ ඒකාබද්ධ විපක්ෂය රෙදි ඇඳගෙන කියන අන්දම ජුගුප්සාජනකය. මේ කුණු කන්දේ නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ බව වසන් කිරීමට දරන උත්සාහය ද පිළිකුල් සහගතය. කොළඹ ලස්සණ කිරීමට උත්සාහ කළ ගෝඨාභය පරිසරය ආරක්ෂා කිරීමට දැක්මක් නොතිබුණ කෙනෙකි. කොළඹ දිස්ත්‍රික්කය තුළ මහා කුණු කන්දක් නිර්මාණය වන්නට ඉඩ හැරියා මිස කසල කළමනා කරණයට ගෝඨාභය රාජපක්ෂ සිය ඒකාධිපති හස්තය ඉවහල් කර ගත්තේ නැත. කුණු කන්ද කඩා වැටී විපතට පත් වුණ ජනතාවගේ ප්‍රශ්නය ඇසින් දැක විසඳුම් ලබා දෙන්නට බැරි වුණ කවුරුත් දේශපාලන වාසි ලබා ගැනීමට කටවල් අරින්නේ තමන් පරමාදර්ශී රාජ්‍ය පාලනයක් සිදු කළා යයි සිතාගෙන මෙනි. ලංකාවේ රාජ්‍ය පාලනය මොන තරම් කුණු වී තිබෙන්නක් ද?

රාජ්‍ය පාලනය
අද වන විට රට පුරා පුරවැසියන් ආණ්ඩුවට අභියෝග කරන තත්වයක් දක්නට ලැබේ. අධිකරණ තීන්දු ලබාගෙන කසල බැහැර කිරීමට යන වාහන ජනතාව ආපසු හරවා යැවීමට පියවර ගන්නා තත්වයක් ඇත. මේ විරෝධතාවලින් සංඥා කරන්නේ කසල ගොඩ ගැසීමට විරෝධයම නොවේ. ආණ්ඩුව ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ඉටු නොකිරීම සම්බන්ධයෙන් තිබෙන සාධාරණ වේදනාව ද මේ විරෝධයන් තුළ පවතී.
සමාජ මාධ්‍ය ජාලවල කුණු කන්දෙන් සිදුවුණ විපත ගැන සසල වුණ පුද්ගලයන්ගෙන් බහුතරය චෝදනා කරන්නේ සියලුම දේශපාලන පක්ෂවලටය. එක සටහනක වූයේ ලංකාවේ කුණු කසල බැහැර කිරීමට හොඳම ස්ථානය දියවන්නාව බවයි. තවත් සටහනක තිබුණේ කුණු කසල ගොඩ ගසා පාර්ලිමේන්තුව යට කර දැමිය හැකි නම් රටට ඉන් යහපතක් සිදු වන බවයි. සියලුම දේශපාලනඥයන් රට වැසියන් රවටා ඇත යන්න පමණක් නොව, කිසිම දේශපාලනඥයෙකු විශ්වාස කළ නොහැකි බව පමණක් නොව, දේශපාලනඥයන් කෙරේ පවතින සාධාරණ කෝපය ද මේ සටහන්වලින් ගම්‍ය වන්නේය. රටක පාලකයන් ජනතාවගේ පිළිකුලට මේ අන්දමට භාජනය වීම තරම් තවත් ඛේදයක් කොයින් ද? මේ කෝපය පුපුරා යන්නේ නොසිතූ විරූ ලෙස කුණු කන්ද පිපිරූ ලෙසින්මය. එහි සැකයක් නැත.
දිගින් දිගටම දක්නට ලැබෙන්නේ විශාල ව්‍යසනයක් සිදු වුණ පසුව, ජීවිත ගණනාවක් අහිමිවීමෙන් අනතුරුව පාලකයන් කලබල වන සොබාවයකි. එසේ වුව හෝ තිර සර විසඳුමකට පාලකයන් එළඹෙන්නේ නැත. මින් ගම්‍ය වන්නේ රටේ රාජ්‍ය පාලනය වඳ පීදී තිබෙන බවක් නොවේ ද?

ජනතාවගේ ඛේදය
දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනයේ නිමග්නව සිටි මහින්ද රාජපක්ෂ ඇතැම් සංකීර්ණ ප්‍රශ්න අරභයා අද කතා කරන්නේ තමන් රාජ්‍ය පාලනයේ නිරතව නොසිටි විලාසයකිනි. රාජ්‍ය බලය ගිලිහීයාමෙන් නන්නත් තාරව සිටින ඇතමුන් කල්පනා කරන්නේ රාජ්‍ය බලය යළි ලබා ගැනීමට ජනතාව අබිමුවට ගෝඨාභය රාජපක්ෂ පෙරටු කරගෙන යා යුතු බවය. ගෝඨාභය රාජපක්ෂ අවසාන විග්‍රහයේ දී සේවය කළේ කාට ද? ඔහුගේ මනසේ තිබුණේ සුපිරි පැළැන්තියකි. සාමාන්‍ය ජනතාව ගැන ඔහු අතිශයින් අසංවේදී පුද්ගලයෙකි. ඔහු කොළඹ නගර සීමාව ලස්සණ කිරීමට, කුණු කසල ඉවත් කිරීමට පියවර ගත්තේ හමුදා පාලකයෙකු ලෙසිනි. ඔහු ඒ කිසිවක් කළේ නීති ගරුක නිලධාරියෙකු ලෙස නම් නොවේ. ඔහු මීතොටමුල්ලට කුණු ගෙන යන්නට සහාය ලබා ගත්තේ හිත මිතුරු දුමින්ද සිල්වාගෙනි. දුමින්ද සාධකය උවමනාවෙන් විමසා බැලිය යුතු අතිශයින් වැදගත් කාරණාවකි.
දුමින්ද සිල්වාගේ දේශපාලනයට පසුබිම් කර ගත්තේ අඩු අදායම්ලාභී හා අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවයි. ඔහු කළේ ඒ ජනතාව එදිනෙදා සතුටු කිරීමය. ඒ ජනතාවගේ ජන ජීවිතය වෙනස් කිරීමට ඔහු කිසිසේත් සූදානම් වූයේ නැත. ඒ සමාජ තීරුව අහිමිවුවහොත් ඔහුට දේශපාලන චරිතයක් ද නැත. ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වා මාර්ගයෙන් ඒ සමාජ තීරුව හීලෑ කර ගැනීමට පියවර ගත්තේය. අනෙක් පැත්තෙන් ඒ සමාජ තීරුව මර්ධනය කිරීමට පියවර ගත්තේය. ඔහු දේශපාලනඥයෙකු නොවන බැවින් මේ සමාජ තීරුව ඔහුට වැදගත් නැත. මීතොටමුල්ලට කුණු ගෙනැවිත් දැමීම පුළුල් කළේ ඔහුට මේ සමාජ තීරුවට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බැවිනි. ඔහුට යහපත් පරිසරයක් කොළඹ දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කිරීමේ දර්ශනයක් තිබුණේ නම්, වැඩ පටන් ගත යුතුව තිබුණේ අඩු ආදායම්ලාභී, අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවගේ වාසභූමි ගැටලුව නිරාකරණය කිරීමෙනි. ඔහු එය නොකළේ හේතු දෙකක් නිසාය. එකක් දුමින්ද සිල්වාට දේශපාලනය කිරීමට හා ඔහුගේ සුප්‍රකට ව්‍යාපාරයට අඩු ආදායම්ලාභී හා අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවගේ වාසභූමි වෙනස් කොට ඔවුන්ට හොඳ ජීවන තත්වයක් ලබා දීම අහිතකර බැවිනි. අනෙක් කාරණාව වන්නේ පීඩිත පන්තිය ජීවත්විය යුතු ජන සංඝයක් ලෙස ඔහු කල්පනා නොකිරීමය. සියල්ල වෙනුවෙන් අදාළ ඔහුගේ ක්‍රමය වූයේ තමන්ට අභිමත අන්දමට අවනත නොවන සියලු දෙනා තව දුරටත් ජීවත් විය යුතු නැත යන්නය. අභාග්‍යය වන්නේ දීර්ඝ කාලයක් දේශපාලනයේ නිමග්න ශ්‍රීලනිපයේ ඇතැම් ජ්‍යෙෂඨ නායකයන් බලය අල්ලා ගැනීමට ගෝඨාභය පෙරටු කර ගත යුතුය, ඔහු පක්ෂයේ ඉහළට එසවිය යුතුය, යන මතයේ පිහිටා කටයුතු කිරීමය. රාජ්‍ය පාලනය තුළ ජනතාවට හිමි තැන මේ මානසිකත්වයෙන් මනාව ගම්‍ය වන්නේය.
මීතොටමුල්ල කුණු කන්දෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තා නම් වහාම කළයුතු කටයුතු දෙකක් ඇත. පළමු වැන්න රට තුළ දැනටමත් යම් මටට්මකින් තිබෙන කසල කළමනාකරණ ව්‍යාපෘති, විශේෂඥයන් ලවා අධ්‍යයනය කොට ඒවා ප්‍රාදේශීය වශයෙන් විධිමත්ව ගොඩ නැඟීිමය. දෙවැන්න දියුණු රටවලින් ඉදිරිපත් කර තිබෙන කසල කළමණාකාරණය හා සම්බන්ධ හොඳම ව්‍යාපෘති කිහිපයක් ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ ග්‍රහණයෙන් මුදවා කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමය. මේ ආණ්ඩුව අවම වශයෙන් කුණු ප්‍රශ්නය හෝ විසඳීමට සමත් වේ දැයි අපි බලා සිටිමු.■