රණවිරුවන් කියා කිසිවෙක් නැත


janaranjana

කේඩබ්ලිව් ජනරංජන

අැතැමුන් කියන විදියට අද අප ජීවත්වන්නේ ‘රණවිරුවන් හින්දා’ය. අපි ‘රණවිරුවන්ට ණය ගැති’ය. රණවිරුවන්ට විරුද්ධව කතාකරන හැමෝම දේශද්‍රෝහියෝය. මේ නම් අවඥාවෙන් බැහැර කළ යුතු ප්‍රවාදයකි.
පළමුව කිව යුත්තේ අපට අනුව ‘රණවිරුවන්’ කියා කිසිවෙකු නැති බවය. ඒ අප එදා යුද්ධය ප්‍රතික්‍ෂෙප කළ, අදත් හෙටත් යුද්ධය ප්‍රතික්‍ෂෙප කරන නිසාය. දේශපාලන හේතුවක් මත රජයට එරෙහිව අවි ඔසොවන්නන් සමූල ඝාතනය කර පරාජය කරන්නට රජයට නෛසර්ගික හා ශුද්ධවූ අයිතියක් ඇතැයි අප පිළිගන්නේ නැත. රජයට එරෙහිව සහේතුකව සමාජයෙන් පැනනගින භීෂණයට එරෙහිව ප්‍රතිභීෂණයක් ඇතිකරන්නට රජයකට අවසරයක් නැත. ඒ නිසා සිරිමා ආණ්ඩුව 71 කැරැල්ලත්, ප්‍රේමදාස ආණ්ඩුව 88-89 කැරැල්ලත්, රාජපක්‍ෂ ආණ්ඩුව එල්ටීටීඊ කැරැල්ලත් මර්දනය කළ ආකාරය සාධාරණ නැත. අසාධාරණ ලෙස ඒ කැරලි මර්දනය කරන්නට ඒ ඒ කාලයේදී යොදවන ලද රජයේ හමුදාවල කිසිවෙක් එනිසා කුමන ආකාරයෙන්වත් අපට ඊනියා රණවිරුවෝ නොවෙති. අප කිසි දිනෙක ඡන්දය ඉල්ලන්ට බලාපොරොත්තු නොවන නිසා ලංකාවේ රණවිරුවන්යැයි කිසිවකු නැති බව පැහැදිලිව හා ප්‍රසිද්ධියේ කියන්නට අපට හැකිය.
රාජපක්‍ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද මෙහෙයුම කරගෙන ගියේ සිංහල ජාතිකත්ව පදනමකිනි. ගෝඨාභය රාජපක්‍ෂ සමස්තයක් හැටියට නිර්මාණය කළ යුද මතවාදය වුණේ, ‘අපේ රටෙන් කෑල්ලක් කඩාගන්නට හදන දෙමළ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මානුෂික මෙහෙයුම’ යන්නය. සිංහල බෞද්ධ මනස තුළට ඒ දෙමළ විරෝධී අදහස හෙමින් සීරුවේ නමුත් සාර්ථකව කාවද්දන්නට මහින්ද රාජපක්‍ෂටත්, ගෝඨාභයටත්, ඔවුන් වටා සිටි ඉතා දක්‍ෂ වෙළෙඳ දැන්වීම්කාරයන්ටත් හැකිවිය. ඒ අනුව යුද්ධයට යන සොල්දාදුවන් ‘රණවිරුවා’ යනුවෙන්ද ‘අපෙන් එකෙකි මේ මිනිසා’ යනුවෙන්ද, උත්කර්ෂයට නංවන ලදි. එහි ‘අප’ යනු දෙමළ ජනතාවවත් මුස්ලිම් ජනතාවවත් නොවෙති. සිංහලයෝය. වයඹ, දකුණ, උතුරුමැද, සබරගමුව වැනි පළාත්වලින් හමුදාවලට බැඳුණු සිංහල බෞද්ධ පීඩිත තරුණයන්ගේ දෑස් ගිනිකන වට්ටවන ලද්දේ මේ ව්‍යාජ රණවිරු රැස්වළල්ලෙනි. ඔවුහු යුද්ධයට ගියෝ රටෙන් කෑල්ලක් කඩාගන්නට හදන දෙමළුනට ඉඩ නොදී රට බේරාගෙන එන්නටය.
දෙවනුව, මේ ඊනියා රණවිරුවන් හමුදාවට බඳවාගැනීමටත්, හමුදාවේ රඳවා තබාගැනීමටත් දිය හැකි උපරිම වරප්‍රසාද හා ගෙවීම් කරන ලදි. සාමාන්‍ය හමුදා සේවයට අදාළ ඉහළම වැටුප්වලට අමතරව ක්‍රියාන්විත රාජකාරි සඳහා විශේෂ දීමනාද ඇතුළු විවිධාකාර දීමනා දෙන ලදි. හමුදා සෙබළුන්ට හා නිලධාරීන්ට අනෙක් පහසුකම් උපරිම ලෙස ලබාදෙන ලදි. පෝලිමේ නොසිට හමුදා සෙබළුන්ට මගී ප්‍රවාහන බස්රථවලට ගොඩවිය හැකි වන විට තමන්ගේම වාහනය හමුදාවට දී, හමුදාව හරහා යළිත් තමන්ගේ හා පවුලේ ගමන්බිමන්වලට එය ලබාගෙන ඒ සඳහා රජයෙන් කුලී වාරිකයක්ද ලබාගැනීමට හමුදා නිලධාරීන්ට හැකිවිය. හමුදා නිලධාරීන්ගේ දරුවන්ට සෑම රජයේ පාසලකම පළමුවැනි පන්තියට ළමුන් දමාගැනීමට රණවිරු පංගුවක් හිමිවිය. ඉහල නිලධාරීන්ගේ දරුවන්ට රටේ ප්‍රමුඛ පාසල් හිමිවිය. හමුදා පවුල්වල දරුවන් සඳහාම වෙනම ආරක්‍ෂක සේවා විද්‍යාල පිහිටුවන ලදි. ඒ විදුහල් රටේ අනෙක් කිසිම සාමාන්‍ය විදුහලකට නැති සියලුම සුඛෝපභෝගී පහසුකම්වලින් මුල සිටම සැදුම් ලද්දේය. මැරෙන හමුදා සෙබළුන්ගේ වැටුප ඔහුගේ බිරිඳට, දෙමාපියන්ට ජීවිතාන්තය දක්වාම ගෙවන ලදි. යුදබිමේදී මියගිය තරුණ සොල්දාදුවන්ගේ බිරිඳට ලැබෙන යාවජීව වැටුප අහිමි වන නිසා, සැමියාගේ මරණයෙන් පසුවත් වෙනත් විවාහයක් නොකරගෙන ජීවත්වන තරුණ වැන්දඹුවන් පිරිස සැලකිය යුතු තරමට විශාලය.
එහෙත් මේ ඊනියා රණවිරුවන් කළේද රස්සාවකි. කිසිවෙක් හුදෙක් රට දැය බේරාගැනීම සඳහා ජීවිතය පූජාකිරීමේ වුවමනාවෙන් නිස්සරණාධ්‍යාශයෙන් හමුදාවලට එනම් රස්සාවට බැඳුණේ නැත. එක්කෝ පෙර කී ආකාරයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වීරත්වයට ආසාවෙනි. නැතිනම්, කිසිදු ඉහළ අධ්‍යාපන සුදුසුකමක් නැතිව ලබාගත හැකි ඉතා හොඳ මට්ටමේ වැටුප් හා අනෙක් වරප්‍රසාද හිමි, විශ්‍රාම වැටුපක්ද හිමි රැකියාවකට බැඳීමේ වුවමනාවෙනි. ඒ සමඟ තමන්ගේ මරණයෙන් පසු වුවද පවුලේ අනෙකුන්ට ලැබෙන වරප්‍රසාද හා සහන සලකා බලාය.
තමන් රස්සාව කළයුත්තේ යුද පිටියේ බව රස්සාවට එන විටම ඒ සියල්ලෝ දැනගෙන සිටියහ. තමන්ට ඇත්තේ එල්ටීටීඊ සාමාජිකයන් සමග නවීන ආයුධ ඇතිව සටන්කිරීමට බවද, යුද බිමේදී විවිධාකාර ආපදාවන්ට ලක්වීමට මෙන්ම සමහර විට ජීවිතය නැතිවීමට පවා හොඳටම ඉඩ ඇති බවද ඔවුහු හොඳින් දැනසිටියහ. ඒ නිසා ඒ වෙලාවේ හමුදාවලට එකතුවුණේ මරෙන්නට වුණත් කැමති අයය. මැරෙන්නට, තුවාල ලබන්නට හා හමුදා සේවයේ පීඩනය දරාගන්නට අකමැති අය හමුදාවලට බැඳුණේද නැත. බැඳුණත් ඉක්මනින්ම හමුදා සේවය අත්හැර පැනගියෝය.
ඒ අර්ථයෙන් ගත් කල රණබිමේදී දිවි දීම යනු පූජා පැවැත්විය යුතු දෙයක් නොවේ. මහමුහුදේ රළු බව දැනගෙනම මසුන් මැරීම සඳහා යන ධීවරයන් මුහුදේදී මියගියහොත් කිසිවකු ඔවුන් වීරත්වයට නගා පුද පූජා තබන්නේ නැත. මාළු අනුභව කරන්නන් ඔවුන්ට ණය ගැති බව කිසිවකු කියන්නේද නැත. ඔවුන් වීරයන් විය හැකි නමුත් ඒ පවුලේ සමීපතමයන්ට පමණක්ය. එහෙත්, හමුදා සාමාජිකයන් රණවිරුවන් බවට ඉහළින් තබන්නට වුවමනාවෙන්ම ඉදිරිපත්වුණු කොටසක් සිටියහ. ඒ, මේ පිරිස තම ඡන්ද බැංකුව හැටියට පාවිච්චි කළ මහින්ද රාජපක්‍ෂ වැනි බල ලෝභී දේශපාලකයෝය. ඊළඟ ඡන්දයේදී රණවිරු ඡන්දත්, රණවිරුවන් ගැන භක්තිමත් අයගේ ඡන්දත් තමන්ගේ ඡන්ද පෙට්ටිවලට දාගන්නට සැලසුම් කළ මේ දේශපාලකයෝ නැති රණවිරුවකු මවා පා රටේ සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දූහ. අවසානයේ සිදුවුණේ රටේ අහිංසක තරුණ ජීවිත විනාශකොට ලබාගත් ඡන්ද ටික රාජපක්‍ෂ පවුලට හා ඔවුන්ගේ ජාවාරම්කාර හෙංචයියන්ට සල්ලි හා රජසැප බවට පත්වීමය. මේ ටික තේරුම් ගන්නට බැරි දුක්-පත් ‘අවංක රණවිරුවෝ’ තවමත් තමන්ගේ (නැති) වීරත්වයක් නගාසිටුවන්නට වෙහෙස වෙති.
රණවිරුවන් යුද බිමේ ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරද්දී අනෙක් අය ඒසී කාමරවල සුවසේ ආරක්‍ෂිතව සිටි බවද ඒ නිසා කටුක යුද බිමේ සිටි රණවිරුවන් උත්තරීතර බවද අසන්නට ලැබෙන තවත් අමූලික ප්‍රවාදයකි. සෙබළුන්ට යුද්ධ කිරීමට තිබුණේ යුද පිටියේ බව හැබෑය. එහෙත්, ඔවුන් යුද්ධ කරද්දී ඒසී ඇති හෝ නැති හෝ කාමරවල තම දෛනික රාජකාරි කළ යුතු අයත්, යුද පිටියට හෝ මහපාරට බැස එහි සිට තම රාජකාරි කළ යුතුද? එසේ කළ හැකිද? ඒ ඒ රස්සාවල ක්‍ෂෙත්‍රය තීරණය වන්නේ රස්සාවේ විෂය අනුවය. රස්සාවේ ගති සොබාව නිසා රණවිරුවන් ඉස්සෙන්නේ වත් අනෙක් අය පහත් වන්නේවත් නැත.
සෙබළුන් මුලින් එකඟ වුණු පරිදි යුද පිටියේ රස්සාව කරද්දී, රටේ අනෙක් අය තමන්ගේ රස්සාව සිය කාර්යාලවලදී, වැඩබිම්වලදී කළහ. හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ඉහළ තලයේ වැටුප්, වෙනත් දීමනා, වරප්‍රසාද ලබාදීම සඳහා ආණ්ඩුව මුදල් හෙව්වේ, මේ වැඩකරන ජනතාව ගෙවන බදුවලිනි. ඒ නිසා යුද බිමේ නොසිටියත්, රටේ පොදු මහජනතාව යුද බිමට අවශ්‍ය දායකත්වය, රටේ බදු ගෙවීමෙන්, නොඅඩුව කර තිබේ. එකම ක්‍රියාවලියකදී වුණත් එකිනෙකාට හිමි කාර්යභාරය එකිනෙකින් වෙනස්ය. වෙනස් කාර්යභාරයන් නිසා කවුරුත් උස් හෝ පහත් හෝ වන්නේ නැත.
කොළඹ හිටි අය බෝම්බවලින් බේරුණේ රණවිරුවන්ගේ කැපවීම නිසා බැවින් අප රණවිරුවන්ට ණයගැතියැ’යිද සමහරු කියති. බැංකුවක් මංකොල්ල කන්නට ආයුධ සන්නද්ධව කඩා පනින සොරකු වැළැක්විය යුත්තේ බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන්ය. ඔය ඔවුන්ගේ රස්සාවයි. ඒ රස්සාව තෝරාගන්නා විට ඔවුහු තමන්ගේ අවදානම් කාර්යභාරය දනිති. ආයුධ සන්නද්ධ සොරකු ඇතුළුවන විට එය වළක්වන්නට ගොස් ආරක්‍ෂක නිලධාරියකු මළහොත්, ඔහුගේ වැළැක්වීම නිසා ගනුදෙනුකාරයන්ගේ ජීවිත ආරක්‍ෂා වන බව ඇත්ත නමුත් බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවන් හෝ සේවකයන් හෝ ඔහුට ණයගැති නැත. ඔහු මියගියේ රාජකාරියේ අනිවාර්ය අවදානමක් හැටියට නිසාය. සොරකු ඇතුළු වන විට අනෙක් සියල්ලන්ටම පෙර වැසිකිළියක සැඟවුණි නම් ඒ ආරක්‍ෂක නිලධාරියා තම රාජකාරිය පැහැර හැරීමේ වරදට වරදකරු වන්නේය. ඊනියා රණවිරුවන් සම්බන්ධයෙන්ද ඒ තත්ත්වය එසේමය.
රණවිරුවන් රණවිරුවන් යැයි කියමින් පපුවට අත්ගසා ගන්නා අය කරන්නේ බොරු රඟපෑමකි. ඔවුන් රණවිරුවන් උස්සා තබන්නේ, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් නිසා ගොඩනැගී තිබෙන ඡන්ද බැංකුව දෙස ඇස ගසාගෙනය. ඒ ඡන්ද ටික තමන්ගේ ගොඩට වැටී තමන්ට රජ වන්නට ලැබෙන හැටි ගැන මේ දේශපාලකයෝ ගණන් හදාගෙන සිටිති. ඒ නිසා රණවිරු ව්‍යාජය පවත්වාගෙන යන්නට අවශව ඇත්තේ ඔවුන්ටත් ඔවුන්ගේ අන්තේවාසිකයන්ටත් මිස අන් කිසිවකුට නොවේ. අප ඔවුන්ගේ කුමන්ත්‍රණවලට හසුවිය යුතු නැත.■