Monday, 21/8/2017 | 4:33 UTC+0
රාවය

මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව

මීතොටමුල්ල ඛේදවාචකය සියැසින් දැක වාර්තා කිරීමට මා එහි ගියේ 15දින දහවල්ය. විනාශයට පත් ජනයා විසූ පෙදෙස්ද, යුද හමුදාව මිහිදන්වූවන් සෙවීම් කරගෙන යන ඉසව්ද පැමිණිලි බාරගැනීමේ ස්ථානය වූ රාහුල විදුහලද හරහා මම ඇවිද්දෙමි.
ශිෂ්ට රටක මෙවැනි ඛේදවාචකයක් වූයේ නම් ප්‍රථමයෙන්ම ඉදිවන්නේ ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි. එවැනි ස්ථානයක් හෝ ප්‍රථමාධාර ලකුණක් හෝ මම ඇවිද ගිය මඟ නොදිටිමි. කිසිම තැනක සූදානමින් තැබූ ගිලන් රියක් නොදුටුවෙමි. කුණු කන්දට යටවී මියෑදුණු ජනයාගේ සිරුරු බැකෝ රථ යොදා ගොඩගනිමින් පැවැති මුත් එම සිරුරු හඳුනාගැනීම පිණිස තැබීමට වෙන්වූ පිරිසිදු කූඩාරමක්වත් නොවීය. සෙබළුන් විසින් ගෙනා ඒ සිරුරු තබන ලද්දේ මහමඟ අද්දරක බිමය. එම සිරුරු හඳුනාගැනීමට ඥාතීන්ගේ නම් කෑගසා අඬගසන ලද්දේද ගම්වැසියන් විසිනි. ඔවුහු එතැනම හඬා වැටුණාහ. මිනිස්සු ජංගම දුරකථන උස්සමින් ඒ දර්ශන වීඩියෝ ගතකළහ.
එමෙන්ම මෙවැනි ඛේදවාචකයක් වූ කල නිත්‍ය ලෙස එම ස්ථානයෙහි රැඳීසිටිමින් විපතෙහි ස්වභාවය සහ වර්ධනයන් රට මෙන්ම එමගින් රටෙහි පාලකයන්ද දැනුවත් කරන ජනමාධ්‍ය ආයතන කිසිවක්ද නොදුටුවෙමි. සනීපාරක්‍ෂක ස්වේච්ඡා සේවකයකු හෝ නොදිටිමි. ඔවුන්ට වතුර බෝතලයක් හෝ දෙන්නට කෙනෙකු සිටියේ නැත.
ශිෂ්ටත්වයද කුණු කන්දටම යටවී තිබුණි.
ඒ වන විට ඛේදවාචකයට පැය 24ක් ආසන්නවී තිබුණද ලෝකයේ කොතැනක හෝ බෝම්බ ප්‍රහාරයක් වූ සැණින් කනගාටුව ප්‍රකාශ කර යවන ජනපති හෝ අගමැති හෝ අදාළ ඇමැතිවරයකු හෝ සිය කනගාටුව මෙම ජනයා වෙත ප්‍රකාශ කර තිබුණේ නැත. ජනයාගේ වේදනාව කෝපයක් බවට වර්ධනය වී තිබුණි. ඒ කොතෙක්ද යත් යළි කුණු ලොරි රැගෙන පැමිණියහොත් ඒවායේ රියදුරන් පුළුස්සා මරන බවට අයෙක් ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.
දැන් අපට ඇසෙන්නේ කසළ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ හොඳම වැඩසටහන තමා සතුවූ බවට රාජපක්ෂගේ සිට ඉසුර දේවප්‍රිය හරහා චම්පික රණවක දක්වා කැරෙන ආඩාපාලිය.
මෙම කුණු කන්දෙන් ප්‍රදේශයට වන විනාශය පිළිබඳව 1990 ගණන් මැද භාගයෙහිදී අප පවත්වාගෙන ගිය යුක්තිය පුවත්පතෙහි ලිපි පෙළක්ම පළකළෙමු. එකල අපේ අවධාරණය වූයේ රාහුල විදුහලෙහි ඉගෙනුම ලබන දරුවනට මේ කුණු කන්ද නිසා වැළඳී ඇති රෝපීඩා සහ එහි ජනයාට විඳින්නට සිදුව තිබූ ගැහැටය. දැන් ඉන්පසු දශක දෙකක් ගතවී තිබේ.
2004 සුනාමි ව්‍යසනයට පසුදා එය ආවරණය කරන අතරම මඩකළපුවෙහි සහන සේවාවන්හි නියතුවූ අප දුටු තත්ත්වය සහ පසුගිය 15 දින මීතොටමුල්ලෙහි එක්තරා සමානකමක් තිබුණි. එනම් ආණ්ඩුවක් නොතිබීමයි. යුද හමුදාව හැරුණ විට මීතොටමුල්ලෙහි ආණ්ඩුවක් ඇති බවක් නොපෙනුණි. අඩුම වශයෙන් පනස් දෙනෙකු පමණවත් මියෑදී තිබූ බව එහි ජනයා හොඳින්ම දැනසිටියදී ආණ්ඩුව සහ ජනමාධ්‍ය මියගිය ගණන හයක්, හතක් යනාදි ලෙස දක්වමින් තිබුණි. ඛේදවාචකයෙහි බරපතළකම තේරුම් ගැනීමට ආණ්ඩුවට පැය 24කට වඩා ගතවිය. ඊට හේතුව වූයේ එම ජනයා පත්ව සිටි තත්ත්වය සම්බන්ධයෙන් සැබෑ චිත්‍රයක් ලබාගැනීමට ආණ්ඩුවට නොහැකි වීමයි. ආණ්ඩුව අන්ධවී තිබුණි. එයට මහජනයාගේ හැඟීම් සංවේදනය වන්නේ නැත.
මේ වනාහි අසමත් ආණ්ඩුවක සොහොන් ලකුණුය.
සමත් ආණ්ඩුවක් වී නම් එයට ලෙහෙසියෙන්ම කණු කන්ද විසින් ගිලගත් ජීවිත ගලවා ගන්නට අවස්ථාව තිබුණි. අඩුම ගණනේ දෝලාවෙන් දෙන කතා පයින්වත් ගමන් කරවන්නට හැකියාවක් වී නම් මේ ජීවිත විනාශ වන්නේ නැත.
මීතොටමුල්ල අප විසින්ම ඇතිකරගත් ඛේදවාචකයක් බවත් ඊට අප සැවොම වගකිවයුතු බවත් සැබෑය. එමෙන්ම අප අත්දැකීමෙන්ම දන්නා තවත් කාරණයක් වන්නේ නූතන ලෝකයෙහි මෙවැනි හදිසි ඛේදවාචකයන් ඇතිවීම අලුත් දෙයක් නොවන බවයි. ඛේදවාචකයන් ඇතිවීමට පෙර වැළැක්වීම ශිෂ්ටත්වයේ ලකුණය. එමෙන්ම එවැනි ඛේදවාචකයක් ඇතිවූ විට ඊට නිසි පිළියම් කිරීමද එම ශිෂ්ටත්වයේම ලකුණකි. ආණ්ඩු පවතින්නේ එවැනි තත්ත්වයන් වහාම නිසි පරිදි කළමනාකරණය කිරීමද පිණිසය.
ඛේදවාචකයෙන් දිනකට පසු එහි ගිය ඇමැති සාගල රත්නායක සහ දින හතරකට පසු එහි ගිය අගමැති වික්‍රමසිංහ හැරුණ විට ආණ්ඩුවේ වෙනත් කිසිදු ප්‍රධානියකු එම ජනයා හමුවීමට ගිය බවක් නොදිටිමි. ජනාධිපතිවරයාගේ කිසිදු නියෝජිතයකු එම ජනයා හමුවට නොගියේ මන්ද? යැවීමට තරම් කෙනෙකු නොසිටියේ නම් එයම කොතරම් අසමත්කමක්ද?
සියලු අවමගුල් උත්සව රජයේ වියදමින් පවත්වන බව කියා ආණ්ඩුවේ වියදමින් ලබාදෙන ලද මෘතදේහ බහාලූ පෙට්ටි ඉතා බාල වර්ගයේ ඒවා වූ අතර ඒවා කඩාවැටීම වැළැක්වීමට ලණුවලින් ගැට ගසන්නට සිදුව තිබුණි. දැන් එම පෙට්ටි සැපයීම බාරව සිටි නිලධාරීන් කියන්නේ අලුත් අවුරුද්දට මිනීපෙට්ටි සාප්පු වසා තිබූ බැවින් එම බාල පෙට්ටි මිලදීගැනීමට සිදුවූ බවයි. මුදල් තිබියදීත් ශිෂ්ට ලෙස මළසිරුරු භූමිදානය පිණිස පෙට්ටි ලබාගැනීමට බැරි ආණ්ඩුවක්!
මීටත් වඩා අසමත්බවක්?
අනතුරුව ආණ්ඩුව කියා තිබුණේ මියගිය අයෙකුට ලක්‍ෂය බැගින් වන්දි ගෙවන බවය. එනම් තිස් දෙනකුට ලක්ෂ තිහකි. නමුත් එම ජනයා ලක්‍ෂයේ වන්දිය ප්‍රතික්ෂේප කළෝය.
මෙම ඛේදවාචකයට දෙසතියකට පෙර වාර්තාවූයේ ජනාධිපතිවරයාට එකක් ලක්ෂ 300ක් වටිනා වෙඩි නොවදින වාහන දෙකක් ගෙන්වා ඇති බවයි. තවත් ඇමැතිවරයකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍රය ලක්‍ෂ 210කට අළෙවි කළ බවටද වාර්තාවක් පළ විය. එජාප උපනායකයකු වන සරත් පොන්සේකා ගෙන්වාගත් වාහනයේ වටිනාකම ලක්‍ෂ 600ක් බව වාර්තා විය. කෘෂිකර්ම අමාත්‍යාංශයට යැයි අගමැති උපදෙසින් බදු ගත් එනමුත් තවමත් පාවිච්චියට ගත නොහැකි සබීතා පෙරේරාට අයත් රාජගිරියේ ඩීපීජේ ටවර් නම් ගොඩනැඟිල්ලට දැන් මාස 12ක් පුරා මසකට රුපියල් ලක්ෂ 201 බැගින් බදු ගෙවා ඇත්තේද මිනිස් ජීවිත 30ක් ලක්ෂ 30කට මිල කළ මේ ආණ්ඩුවමය.
කොතරම් අසංවේදී ආණ්ඩුවක්ද?
ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ජාවකින් පසු 18වන දින මුදල් අමාත්‍යාංශය කියා සිටියේ විනාශ වූ නිවාස වෙනුවෙන් උපරිමය ලක්ෂ 25කට යටත්ව වන්දි මුදල් ලබාදෙන බවයි. ඉන් දෙදිනකට පසු අපදා කළමනාකරණ අමාත්‍යවරයා කියාසිටියේ නිවාස වන්දි සඳහා සීමාවක් පනවා නැති බවත් තක්සේරු වටිනාකම අනුව වන්දි මුදල් තීරණය කරන බවත්ය. කව්ද හරි කියා දන්නේ කව්ද?
මීතොටමුල්ලෙහි සංචාරයකට ගිය අගමැති වික්‍රමසිංහ සිය පිරිවර සියක් දෙනා මැද තමන් පමණක් මුව සහ නාස් ආවාරණයක් පැළඳ සිටින ඡයාරූපය මෙම ඛේදවාචකය සහ ආණ්ඩුවේ අසමත් බව පෙන්වන අපූරු සංකේතයක් වැන්න. ආණ්ඩුව ජනයාට හෝ ජනයාගේ ප්‍රශ්නවලට සංවේදී නැත. එය දැනටමත් දේශපාලන බලය නමැති එක්ටැම්ගෙයි ජීවත්වන්නට පටන්ගෙන තිබේ.
වැළැක්විය හැකිව තිබූ මීතොටමුල්ල ඛේදවාචකය මෙන්ම ඉන් පැනනැඟුණු ජනතා වෛරයද ආණ්ඩුවට අනතුරු හැඟවීමේ සංඥාවකි. මහත්වරුනි, දැන්වත් එක්ටැම් ගෙයින් බැස මහ පොළවට එන්න!