Monday, 21/8/2017 | 4:33 UTC+0
රාවය

වාහන ජාවාරමට සහන දෙන්න මුදල් අමාත්‍යාංශය වලිකන්නේ ඇයි?

ලසන්ත රුහුණගේ

වාහන ජාවාරමකට සහන ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයත් මුදල් අමාත්‍යවරයාත් ගන්නා උත්සාහයන් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී හෙළිදරව් කළෙමු. ඒ ‘වාහන ජාවාරමට සහන දෙන්න රවීගෙන් තවත් කැබිනට් පත්‍රිකාවක්’ යන 2017 පෙබරවාරි 05 දින මුල් පුවතක් වශයෙන් හා එදිනම ‘අධිකරණ තීන්දුවට පයින් ගසා වාහන ජාවාරමකට කැබිනට් අනුමැතිය’ යන ලිපියෙන් සහ 2017 පෙබරවාරි 12 දින පළවූ ‘වාහන ජාවාරමකට සහන දෙන්න උසාවියත්, පාර්ලිමේන්තුවත් අබිබවා ගිය ඇමති මණ්ඩලය’ යන ලිපියෙන් හා 2017 පෙබරවාරි 19 දින පළවූ ‘මිලියන 5630ක බදු කපා හැරීමට ජනපති එකඟද?’ යන ලිපියෙන්ය.
මෙම හෙළිදරව් කිරීම්වලදී අප පෙන්වා දුන් කරුණු වූයේ පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරනවායැ’යි කියනු ලබන මිනුවන්ගොඩ පිහිටි වෙහිකල්ස් ලංකා සමාගමේ එම කටයුතු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම, ඒ සඳහා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු නිරීක්ෂණ ඉදිරිපත් කිරීම, එම නිරීක්ෂණ හේතුවෙන් කැබිනට් අනුකමිටුවක් පත්කිරීම, කැබිනට් අනුකමිටුව නීතිපතිවරයාගෙන්ද මත ලබාගැනීම, නීතිපතිවරයා අධිකරණ නියෝග සඟවා වැරදි උපදෙස් ලබාදීම, ඒ අනුව කැබිනට් අනුකමිටුව අදාළ සමාගමට සහන දීමට අනුමැතිය ලබාදීම, ඊට අදාළ යැයි පවසමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම සමාගමේ වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් අටක් නිදහස් කිරීමට නියෝග කිරීම, ඊට ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරියකු විසින් අභියෝග කිරීම, රේගු විමර්ශන කණ්ඩායමක් විසින් ඉහත කී සමාගමේ නිෂ්පාදන බදු ගෙවා ලියාපදිංචි නොකරන ලද සුපිරි වාහන පනහකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම, මුදල් අමාත්‍යවරයා විසින් එම සමාගමට තවදුරටත් බදු සහන ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ආදියය.
නිෂ්පාදන බදු ගෙවා ලියාපදිංචි නොකරන ලද සුපිරි වාහන රේගු විමර්ශන කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර වලාන පොලිස් දූෂණ මර්දන ඒකකයද සමඟ ඒකාබද්ධව වන අතර එම අත්අඩංගුවට ගැනීම් සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුණි. එම නියෝගය අභියෝගයට ලක්කරමින් වෙහිකල්ස් ලංකා සමාගම අධිකරණයට කරුණු දන්වා තිබූ අතර ඒ පිළිබඳව පැවති මහේස්ත්‍රාත් අධිකරණ විභාගයේදී තීරණය කර තිබුණේ ශ්‍රී ලංකා රේගුවට එම වාහන සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ හැකියාව තිබෙන බවත්, එම පරීක්ෂණ හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව බහා තබන බවත්ය.
ඒ අනුව එම විමර්ශනයේදී සිදුවී තිබුණේ නිෂ්පාදන බදු නොගෙවූ වෙහිකල්ස් ලංකා සමාගමේ සුපිරි වාහන 54ක් ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන කණ්ඩායම විසින් හඳුනා ගැනීමත්, එම වාහනවලට මුද්‍රා තැබීමත්, ඉන් වාහන 26ක් රේගුව භාරයට ගැනීමත්ය. තවදුරටත් නිෂ්පාදන බදු නොගෙවූ වාහන සොයා මෙහෙයුම් දියත් කිරීමත්ය. මේ විමර්ශන කටයුතු කිසිවක් සඳහා ශ්‍රී ලංකා රේගුවේ ඉහළ නිලධාරීන්ගේ සහායක් රේගු විමර්ශකයන්ට ලැබී නොතිබූ අතර විමර්ශන අඩාල කිරීමේ වක්‍ර නියෝග හා බලපෑම් පමණක් ලැබී තිබුණි. ඊට හේතුවී තිබුණේ වෙහිකල්ස් ලංකා හිමිකරුට ශ්‍රී ලංකා රේගුවේ ඉහළ නිලධාරීන් සමඟද, මුදල් අමාත්‍යවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟද, කැබිනට් මණ්ඩල සාමාජිකයන් සමඟද තිබෙන ඉහළ දැනහැඳුනුම්කම්ය.
මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබුණේ විමර්ශනයකට භාජනය වෙමින් පවතින මෙම සුපිරි වාහන විමර්ශනය අවසන්වීමට ප්‍රථම මුදාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය සාකච්ඡා පවත්වමින් තිබීමය. ඊට අදාළ එක් සාකච්ඡාවක් පැවැත්වී තිබුණේ මුදල් අමාත්‍යාංශයේදී අප්‍රේල් 12 වැනිදාය. එම සාකච්ඡාව සඳහා රේගු විමර්ශන නිලධාරීන් ඇතුළු ඊට අදාළ නිලධාරීන් පිරිසකටද, වෙහිකල්ස් ලංකා සමාගමේ හිමිකරුටද මුදල් අමාත්‍යාංශය ආරාධනා කර තිබී ඇත. ඒ පිළිබඳව කරන ලද විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග පැවසුවේ එය මෙම සිද්ධියේ නීතිමය පසුබිම විග්‍රහ කර ගැනීම සඳහා පැවැත්වූ සාකච්ඡාවක් බවය. (ඔහු සමඟ කළ සාකච්ඡාව වෙනම පළකර ඇත.)
මුදල් අමාත්‍යාංශය මේ ආකාරයේ සාකච්ඡා පවත්වමින් සිටින්නේ රේගු විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදෙන ලෙසට වෙහිකල්ස් ලංකා සමාගමේ හිමිකරුට කළ දැනුම්දීම ඔහු මගහරිමින් සිටින තත්ත්වය තුළදී වීම විශේෂය. අනෙක් අතට එසේ ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින ඔහුට ශ්‍රී ලංකා රේගුව සුපුරුදු තැනක් බවටද පත්වී ඇති බව පෙනෙන්නේ එම සාකච්ඡාවට පෙර දින එනම් අප්‍රේල් 11 දින රේගුවේ නිෂ්පාදන බදු අංශයේ නිෂ්පාදන බදු නිලධාරී ආර්.එම්.ඒ.ඩී. රත්නායකගේ කාර්යාලයට ගොස් කර ඇති තර්ජනයෙනි. එහිදී වෙහිකල්ස් ලංකා සමාගමේ හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වා තමාට හා රේගු විමර්ශනයේ යෙදෙන විජේකෝන්, ඥානරාජ් හා මලලසේකර යන අයට මරණ තර්ජන එල්ල කළ බව එම රත්නායක නමැති නිලධාරියා රේගුවේ නිෂ්පාදන බදු අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකාවට ලිඛිතව පැමිණිලි කර ඇත. එසේම එම නිලධාරියා එම ලිඛිත පැමිණිල්ලෙන් වැඩබලන අධ්‍යක්ෂිකාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඔහු ඇතුළු අනෙකුත් රේගු නිලධාරීනුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත් තර්ජනයට ලක් නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. පසුව මෙම තර්ජනය කිරීමට අදාළව විජේකෝන් නමැති නිලධාරියා කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහිදී පුදුමයකට මෙන් පොලිසිය උත්සාහ කර ඇත්තේ එම පැමිණිල්ල සමථ මණ්ඩලයට ඉදිරිපත් කර තර්ජනයේ සැර බාලකිරීමටය.
මුදල් අමාත්‍යාංශයේ එකී අප්‍රේල් 12 දින සාකච්ඡාවට පෙර වෙහිකල්ස් ලංකා සිද්ධිය සම්බන්ධයෙන් අර්නස්ට් සිල්වා මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාර්තු 17 වැනිදා සාකච්ඡාවක් කැඳවා ඇති අතර එය පවත්වා ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම්ගේ ප්‍රධානත්වයෙනි. මේ සාකච්ඡාවේදීද වෙහිකල්ස් ලංකා සමාගමට පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමට ඉඩදීම පාරිසරික නීතිරීති අනුව කිරීමට ඉඩදිය නොහැකි බව පාරිසරික ආයතනවල නියෝජිතයන් විසින් පෙන්වාදී ඇති අතර ඒ අනුව තවදුරටත් එම කරුණ ගැන සාකච්ඡා පැවැත්වීමට හැකියාවක් නැතැයි තීරණය වී ඇත. අප්‍රේල් 12 වැනිදා මුදල් අමාත්‍යාංශය නැවත සාකච්ඡාවක් පවත්වා ඇත්තේ එවැනි තත්ත්වයක් තිබියදීය.
මෙම සාකච්ඡා කෙසේ හෝ ඉදිරියට ගෙනගොස් වෙහිකල්ස් ලංකා සමාගමට පමණක් විශේෂ වන ආකාරයේ රටේ නීතියට පටහැනි සහන ලබාදීමේ නොසිඳෙන කැමැත්තක් වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංගට මෙන්ම තවත් නිලධාරීන්ටද අද ඊයේ සිට නොව අතීතයේ සිටම තිබූ බව ඒ පිළිබඳව ඇති ලිපි ලේඛන සාක්ෂි දරයි.
ආචාර්ය සමරතුංග මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වෙළෙඳ තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් සිටියදී වෙහිකල්ස් ලංකා සමාගම වෙනුවෙන් විශේෂයක් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන්නේ එම සමාගමේ වාහන අමතර කොටස් මුදාහැරීමේදී රඳවා ගන්නා ඇපකරය 60%ක බැංකු ඇපකරයක් වශයෙන් හා 40%ක ආයතනික ඇපකරයක් වශයෙන් සංශෝධනය කරන ලෙසය. ඉන්පසු එය තවදුරටත් ලිහිල් කරමින් ආචාර්ය සමරතුංග රේගුවට දැනුම් දෙන්නේ එම ඇපකරය 25%ක බැංකු ඇපකරයක් වශයෙන් හා 75%ක ආයතනික ඇපකරයක් වශයෙන් සංශෝධනය කරන ලෙසය. ඊටත් පසු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වන ආචාර්ය එන්. ගුණවර්ධන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දෙන්නේ එම ඇපකරය 100%ක්ම ආයතනික ඇපකරයක් වශයෙන් එම සහනය උපරිම කරන ලෙසය. තවද ආචාර්ය සමරතුංග මෙම වෙහිකල්ස් ලංකා වාහන අමතර කොටස් සම්බන්ධයෙන් අංක 331/04 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් යොදා වාහන එකලස් කිරීමේ ක්‍රියාවලියේදී රජයට පාඩුවක් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා වශයෙන් (මුදල් අමාත්‍යාංයේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන්) ඇසූ ප්‍රශ්නය වෙනුවට වෙනත් පිළිතුරක් ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නේ අලුත් වාහන අමතර කොටස් සඳහා ද භාවිත කළ වාහන අමතර කොටස් සඳහා ද එකම අගයක තීරු බද්දක් අය කරන බැවින් රජයට පාඩුවක් සිදුනොවන බවය. එහිදී ආචාර්ය සමරතුංගගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසන් කරන්නේ මේ භාවිත කළ අමතර කොටස් ගෙන්වා වාහනයක් එකලස් කරන බව හා වාහනයක් සඳහා තීරු බද්දට අමතරව නිෂ්පාදන බදු ඇතුළු අනෙකුත් බදු අයවිය යුතුය යන සත්‍යයය.
මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ වෙහිකල්ස් ලංකා සමාගමේ මෙම වාහන ජාවාරම සඳහා පවතින නීතිරීතිවලට පිටින් සහන ලබාදීම සඳහා දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතීතයේ සිටම මහත් වෙර වෑයමක් දරා ඇති බවය. වත්මන් සිදුවීම්වලින් පෙනෙන්නේ යහපාලනය යැයි කියන වත්මන් පාලනය යටතේද එහි වෙනසක් ඇතිවී නැති බවය. විශේෂයෙන්ම පරීක්ෂණයක් අතරතුර එම පරීක්ෂණයට අදාළ භාණ්ඩ හෙවත් නිෂ්පාදන බදු නොගෙවූ නීති විරෝධී සුපිරි වාහන මුදාහැරීමට උත්සාහ කිරීම නම් වූ නීතියේ ආධිපත්‍යය නොසැලකා පසුගිය රාජපක්ෂ පාලන යුගයේ මෙන් කටයුතු සිදුකිරීමට තවමත් උත්සාහ කිරීමක්ය. ඊට රටකරවන දේශපාලනඥයන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් දොහොත් මුදුන් දී ආශිර්වාද අනුග්‍රහය ලබාදීම යහපාලනය දැයි යළි යළිත් අපට ඇසීමට සිදුවනු ඇත.■

රැස්වීම කැඳෙව්වේ ඇමතිතුමායි
ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
ලේකම්, මුදල් අමාත්‍යාංශය
වෙහිකල්ස් ලංකා සමාගමේ වාහන පිළිබඳව රේගුව පරීක්ෂණයක් පවත්වාගෙන යද්දී එම වාහන නිදහස් කිරීම සඳහා එම සමාගමේ අයත් රේගුවේ නිලධාරීනුත් ගෙනැල්ලා ඔබ රැස්වීම් පවත්වමින් සිටින්නේ ඇයි?
මම නෙමේ ඇමතිතුමා තමයි රැස්වීම කැඳවා තිබුණේ. රැස්වීමේ අරමුණ වූයේ මෙම සිද්ධියේ නීතිමය පදනම පැහැදිලි කරගැනීමයි. ඒ අනුව තීරණයකට ආවා. නීතිපතිවරයාට දන්වලා ඒ ගැන පැහැදිලි කිරීමක් කරගැනීමට.
එහෙත් මෙම වාහන පිළිබඳව අධිකරණයේ නඩුවක් තිබෙනවා. රේගුවේ පරීක්ෂණයක් සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී එම වාහන නිදහස් කිරීම සඳහා සාකච්ඡා පවත්වන්න පුළුවන්ද?
එම සමාගමේ කන්ටේනර් අටක් මුදාහැරීමට තීරණයක් ගත්තත් ඒක වූයේ නැහැ. එම තීරණය අනුව එම සමාගම විසිනුත් ඔවුන්ගේ නඩු ඉල්ලා අස්කර ගත්තා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. නීතිමය බාධා තියෙනවා. මේක පැටලිලි ගොඩක්. ඒවා පැහැදිලි කරගන්න තමයි නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවේ.
සාකච්ඡාව සඳහා සමාගමේ හිමිකරු හර්ෂ ද සිල්වාත් ආවා නේද?
එයාට එන්න කියලා තිබුණා.
පාවිච්චි කළ මෙම වාහන සඳහා පාරිසරික කරුණු අනුව අවසර දිය නොහැකි බවට ජනාධිපතිවරයාට ලැබුණු කරුණු දැක්වීමකුත් සාකච්ඡාවට ඉදිරිපත් වුණා නේද?
පටලැවිලි ගොඩාක් තියෙනවා. පාරිසරික ප්‍රශ්න, බදු ප්‍රශ්න, නීතිමය ප්‍රශ්න, අධිකරණ නියෝග ආදිය ගැන. අපි නීතිඥයන් නොවන නිසා තමයි නීතිපතිවරයාගේ උපදෙස් ගන්න එම රැස්වීමේදී තීරණය වූයේ. එම අදහසින් එම රැස්වීම අවසන් වුණා. එතැනින් පසු මම රට ආවට පසු රැස්වීම් තිබුණාද කියලා මම දන්නේ නැහැ.■