දිළිඳුබවේ අභියෝගය

පන්නරය

යටගිය දවසේ ලෝකය අදට වඩා ඉතා යහපත් තැනක් වීයැයි කියමින් අතීතකාමයේ කිඳෙන පුද්ගලයෝ ලොව හැම රටකම පාහේ වෙසෙති. පරිසර දූෂණය, ඇති-නැති පරතරය ඉහළ යෑම සහ මිනිස් ශ්‍රමය දුහුවිලි බවට පත්වීම යනාදි මෙකී නොකී සියලු ව්‍යසනයන් ගෝලීයකරණය නිසා හටගත් බව මොවුහු පුනපුනා කියති. යම් පුද්ගලයෙකුගේ දෛනික ආහාර පරිභෝජනය ඇමරිකන් ඩොලර් 1.90 (රුපියල් 288.38)ට වඩා අඩු අගයක් ගන්නේ නම්, ඔහු අන්ත දිළිඳුභාවයන් පීඩා විඳින අයෙකු සේ සැලකේ. ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 1981දී ලොව ජනගනයෙන් 42%ක්ම අන්ත දුගියන් ලෙස දිවි ගෙවූහ. ආහාරපාන, පිරිසිදු ජලය, ඇඳුම් පැළඳුම් හා මුලික වෛද්‍ය පහසුකම් පවා එකල මේ අයට නොතිබුණි. 2016 වන විට ලෝක ජනගහන පර්යේෂණ ආයතනයේ විශ්ලේෂක හෝමි කරාස්ට අනුව, ගතවන හැම තත්පර 1.2කදීම එක් ලෝවැසියෙක් අන්ත දුගීභාවයෙන් මිදෙයි. අන්ත දිළිඳුබව පහත හෙළීම සඳහා ගෝලීය වෙළෙඳාම මහත් පිටුබලයක් සපයන වග හෙතෙම අවධාරණය කරයි.

අතීත අත්දැකීම්
1820දී එංගලන්ත ජනගහනයෙන් 40%ක්ම සිටියේ දිළිඳුබවේ රේඛාවට පහළින්ය. මෙම ප්‍රතිශතය 10%දක්වා අඩුකර ගැනීමට බි්‍රතාන්‍යයට හැකියාව ලැබුණේ 1920දීය. ඒ අනුව, සිය රටවැසියන්ගෙන් බහුතරයක් දුප්පත්කමෙන් මුදවාගැනීම සඳහා බි්‍රතාන්‍යය වැයකළ කාලය වසර 100කි. 1870දී ජපන් ජනගහනයෙන් 80%ක්ම අන්ත දිළින්දන් වූ අතර 1970 වනවිට තම සියලු පුරවැසියන් එම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩගැනීමට ජපන් රජය සමත් විය. ජපානය සිය දේශයෙන් අන්ත දුප්පත්කම පලවාහැරීමට ගත් කාලයෙන් භාගයකටත් වඩා අඩුවෙන් ගෙන, වත්මනෙහි චීනය හා ඉන්දුනීසියාව අදාළ කාර්යය ඉටුකරමින් සිටී. ගෝලීය වෙළෙඳපොළ වෙත නිදහසේ අවතීර්ණ වීම පිණිස චීනය හා ඉන්දියාව සිය දැඩි ආර්ථික ප්‍රතිපත්ති බෙහෙවින් ලිහිල් කළ පසු දෙරටේ පොදු ජනයාට අන්ත දුගීභාවයෙන් මිදීමේ හැකියාව උදාවිණි. 1987දී ඉන්දියානු පුරවැසියන්ගෙන් මිලියන 374ක්ම දුප්පතුන් වූ අතර 2011 වන විට එම සංඛ්‍යාව මිලියන 268 දක්වා පහත වැටුණි. 1987දී චීනයේ විසූ අන්ත දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන 660කි. 2013 වන විට චීනය මෙම සංඛ්‍යාව මිලියන 25 දක්වා අඩු කරගත්තේය. චීන හා ඉන්දියානු ආර්ථික වර්ධනය හේතුවෙන් දෙරටේ සිටි දුප්පතුන්, පොහොසතුන්, සාමාන්‍ය වෙළෙන්දන් සහ නගරවාසීන් යන මේ සියල්ලන්ගේ අතමිට සරුවිය. බොහෝ දෙනා සිතන්නේ චීනය දුප්පත්කම ජයගත්තේ සිය ලාභ ශ්‍රමය, කර්මාන්තශාලා ඔස්සේ යුරෝපා සහ ඇමරිකානු සමාගම්වලට මහා පරිමාණයෙන් අලෙවි කිරීම නිසා බවයි. එහෙත් සත්‍යය මෙය නොවේ. 1980 දශකයේ සිට අධිතාක්‍ෂණය සිය මධ්‍යම හා කුඩා පරිමාණ ගොවිපළවල් වෙත ලබාදුන් චීනය, ඒවායේ ඉහළ ඵලදාවෙන් දුගීබව පලවාහැරීමට සමත්විය. විධිමත් අධ්‍යාපනය හරහා හැම ක්ෂේත්‍රයකම නියැලෙන ශ්‍රමිකයන් නව, ස්මාර්ට් තාක්‍ෂණයෙන් සන්නාහ සන්නද්ධ කිරීම, චීන ආර්ථික වෘද්ධියේ සැබෑ රහස වග ලෝක බැංකුවේ ආර්ථික විශ්ලේෂක කැරොලිනා සැන්චෙස් පවසයි.

අප්‍රිකාවේ තත්ත්වය
වත්මනෙහි ලොව අන්ත දුගී පුද්ගලයන්ගෙන් 4/5ක්ම දිවිගෙවන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ලොව අන්ත දුප්පතුන්ගෙන් අඩක්ම අයත්වන්නේ අප්‍රිකානු කලාපයටය. ගෝලීයකරණය හා අදාළ ආර්ථික වර්ධනයේ ජයග්‍රාහී කතාන්දර බොහොමයක් ආසියාවෙන් අසන්නට ලැබුණත් අප්‍රිකාවෙන් ඇසෙන්නේම දිළිඳුබවේ හා සාගින්නේ විලාපයයි. 1985 වසරෙහි චීනයට සහ ඉන්දුනීසියාවට සාපේක්‍ෂව නයිජීරියාවේ අන්ත දුගී බව පහළ මට්ටමක පැවතුණි. එහෙත් නයිජීරියානු ජනගනය 2015 වන විට මිලියන 188 ඉක්මවා ගිය හෙයින් ඉඩම් භුක්තිය හා සම්බන්ධ ආරාවුල් මුස්ලිම් එf`ඞ්ර ප්‍රජාව සහ ක්‍රිස්තියානි ගොවි ප්‍රජාව අතර හටගැනීම නොවැළැක්විය හැකි විය. බොකෝ හරාමි නමැති මුස්ලිම් ත්‍රස්තවාදී කල්ලිය අතින් 2009 සිට මේ දක්වා ඝාතනය වී ඇති නයිජිරියානුවන්ගේ සංඛ්‍යාව 17000කි. එහෙත් 2001 සිට 2016 තෙක් මුස්ලිම් -ක්‍රිස්තියානි ඉඩම් ආරාවුල් හේතුවෙන් මරණයට පත්ව තිබෙන ගණන 60,000 ඉක්මවයි. අන්ත දූෂිත හා දූර්වල නයිජීරියානු රජයට නීතියේ ආධිපත්‍යය රට තුළ මැනවින් ස්ථාපිත කිරීමට නොහැකි වී තිබෙන හෙයින්, ගෝත්‍රික කණ්ඩායම් එකිනෙකා මරාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. OECD දත්තවලට අනුව, අප්‍රිකාවේ රටවල් 36ක්ම විවිධ සිවිල් යුද්ධ නිසා අසමත් රාජ්‍යයන් බවට පරිවර්තනය වී තිබේ. දකුණු සූඩානයේ ජනපති සල්වා කීර් 2013 වසරේදී සිය ආණ්ඩුවේ උපජනාධිපති රීක් මචාර් ධුරයෙන් පහකිරීමත් සමඟ ඔහු (මචාර්) සන්නද්ධ කැරලිකාර කණ්ඩායමක් ගොඩනඟාගෙන ජනපතිට එරෙහිව සිවිල් යුද්ධයක් ඇරඹීය. මේ යුද්ධය හේතුවෙන් 2017 ආරම්භය වන විට දකුණු සූඩාන වැසියන් ලක්‍ෂ 3ක් මරණයට පත්වූ අතර මිලියන 6ක් ජනයා හාමතින් මරණාසන්නව සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දකුණු සූඩානයේ වයස අවුරුදු 5ට පහළ දරුවන් 250000ක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අතර ආණ්ඩුවේ හමුදා, දෙස් හා විදෙස් සහන සේවකයන් විසින් මේ අසරණ ළමයින්ට පිහිටුවීමට දරන සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් සිටිති. දකුණු සූඩාන රජයේ සොල්දාදුවන් විසින් මේ වන විට සහන සේවකයන් 79ක් පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. දකුණු සුඩාන සරණාගතයන්ට මානුෂික සහන සැලසීම පිණිස ආහාර සහ බෙහෙත් සපයන සංවිධාන විසින් පෝරම 17ක් පිරවිය යුතුය. ළමයින්ට ආහාර ඇඳුම් හා පානීය ජලය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් උත්සාහයන් 967ක් ප්‍රතික්ෂේප කිරීමට දකුණු සූඩාන ආණ්ඩුව ක්‍රියාකළේය. යේමනයේ තත්ත්වයද මීට නොදෙවෙනිය. යේමන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකක් එරට හමුදාවේ කොටස් ද රැගෙන 2015 සිට අද දක්වා සිදුකරගෙන යන සිවිල් යුද්ධය, 2017 මාර්තු මාසය වන විට යේමන් වැසියන් 16200කගේ ජීවිත බිලිගෙන ඇත. මේ තත්ත්වය හේතුවෙන් මිලියන 10ක් ඉක්මවන යේමන ජනතාව වතුර, ආහාර, විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් නොමැතිව අනාථව සිටින අතර එරට ළමයින් 850,000ක් දැඩි කුසගින්න නිසා මරණය අබියසට පැමිණ සිටිති. අප්‍රිකාවේ පාලකයන් මොන තරම් අඥානද කිවහොත් 1984 දී හටගත් ඉතියෝපියානු නියගයෙන් දසදහස් ගණන් ඉතියෝපියානුවන් මියයද්දී, විදේශ සහනාධාර මත බදු ගසා ඉපැයූ ආදායම, මාක්ස්වාදයේ ජයග්‍රහණය සැමරීමේ උළෙලකට වියදම් කිරීමට එරට පාලකයෝ පියවර ගත්හ.

උතුරු සිරියාව
2016 අගෝස්තු මාසයේදී උතුරු සිරියාවේ නගරයක් වන මන්බිජ් වෙත කුර්දි හමුදා කඩාවැටුණේ එතෙක් එය අත්පත් කරගෙන සිටි අයිඑස් ත්‍රස්තවාදීන්ට එලවඑලවා පහරදෙමිනි. අයිඑස් ත්‍රස්තයන්ගේ පීඩක නීති රෙගුලාසිවලින් හෙම්බත්ව සිටි මන්බිජ් නගරවාසීහු කුර්දි සොල්දාදුවන් දැක ඔල්වරසන් නැගූහ. කාන්තාවෝ තම කළු පැහැති හිස් ආවරණ ගලවා ඒවා ප්‍රසිද්ධ මංමාවත් අබියස ගිනිතැබූහ. අයිඑස් ත්‍රස්තවාදීන්ගේ අණට අනුව යටි රැවුල් වවාගෙ සිටි පුරුෂයෝ වහාම ඒවා කපාදැමූහ. එහෙත් අයිඑස් ග්‍රහණයෙන් නිදහස්වීමේ මෙකී සතුට වැඩි වේලාවක් භුක්ති විඳීමට මන්බිජ් වැසියන්ට නොහැකි විය. මන්ද, අයිඑස් ත්‍රස්තයන් මන්බිජ් නගරය හැරගොස් ඇත්තේ එහි හැම තැනකම ඉතා සියුම් ආකාරයට බෝම්බ අටවමිනි. මන්බිජ් නගරය මුදාගෙන දින 10ක් නික්ම යාමට ප්‍රථම එහි සාමාන්‍ය වැසියෝ 29දෙනෙක් අයිඑස් බෝම්බ උගුල්වලට හසුව මියගියහ. ඉරාකයේ හා සිරියාවේ අයිඑස් ත්‍රස්තයන් විසින් අතැර ගිය හැම නගරයක්ම වත්මනෙහි බෝම්බ උගුල් සපිරි මරණීය භූමි බවට පරිවර්තනය වී තිබේ. නිවෙස්, පාසල්, පල්ලි හා ආරෝග්‍යශාලා ද බෝම්බ ඇතිරූ ස්ථාන ලෙස නම් කොට ඇත. පාන්ගෙඩිවල, තේ පෝච්චිවල, ශීතකරණවල මෙන්ම පරිගණකවලද මෙකී උගුල් අටවා ඇති හෙයින් තත්ත්වය ඉතා භයංකරය. යුද්ධය අහවර වුවද තව වසර ගණනාවකට සිය සාමාන්‍ය ජීවිතය ඇරඹීමට සාමාන්‍ය වැසියන්ට ඉඩ නොලැබෙනු ඇත්තේ මෙකී සියුම් බෝම්බ උගුල් ඉවත් කිරීමට ඩොලර් මිලියන ගණනාවක් සහ බොහෝ කාලයක් වැය කළ යුතු හෙයිනි. MAa නමැති බෝම්බ ඉවත් කිරීමේ බි්‍රතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ 2016 ඔත්තෝබර් මාසයේ සිට මේ දක්වා මෝසුල් නුවර අසල පිහිටි එක් ගමකින් බෝම්බ උගුල් 1000ක් පමණ ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළ බවයි. සිරියාව හා ඉරාකය අවට අයිඑස් ත්‍රස්තයන් විසින් බෝම්බ ලක්‍ෂයක් පමණ අටවා ඇති බව MAa ප්‍රධාන විධායක නිලධාරීනි ජේන් කොකින් පවසයි. පුපුරා නොගිය බෝම්බ සිරියානු කලාපයෙන් ඉවත්කිරීම පිණිස තව වසර 30ක් වත් ගතවනු ඇතැයි ඇය අවධාරණය කරයි. අප්‍රිකානු, සිරියානු සංග්‍රාම හේතුවෙන් අධ්‍යාපනය කඩාකප්පල් කරගත් සරණාගත දරුවන් මිලියන 75ක් පමණ වත්මනෙහි ලොව පුරා විසිර සිටින හෙයින් එය දිළිඳුබව ඉහළ දමන සාධකයක් සේ ක්‍රියාකරනු ඇත. ආගමික හා ජාතිවාදී ගෝත්‍රික සටන්වලින් මිනිසුන් මුදාගත හැක්කේ ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් තිළිණ කිරීම මගින් පමණි.

අන්තවාදය
ගෝලීයකරණය හරහා රට රටවල අන්තර් – සංස්කෘතික සබඳතා ශක්තිමත් වී ජාතීන් අතර සහජීවනය ගොඩනැඟෙන බැව් අද බොහෝ ලෝක නායකයන්ට අමතකව තිබීම කනගාටුවට කරුණකි. එංගලන්තයේ තෙරේසා මේ හා ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලීය වෙළෙඳ ගිවිසුම්වලින් ඉවත්වන විට චීනය, ඕස්ටේ්‍රලියාව, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, සිංගප්පුරුව, පේරු රට හා ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට මෑතකදී එළැඹුණි. දිළිඳු බවේ රේඛාවෙන් ඉහළම සිට පුරවැසියන් එසැවිය හැක්කේ අන්තවාදී, දේශප්‍රේමී බලවේගවලට නොව සමස්ත ලෝකය සමඟ නිදහසේ ගනුදෙනු කිරීමට කැමති විශ්වීය ගුණයෙන් හෙබි ජන කණ්ඩායම්වලට බව මෙහි අවධාරණය කිරීම වටී.■