ඩයන් එනවා වැටෙන්න ගහයි


sport

ටිරන් කුමාර බංගගමආරච්චි

ඔ්නෑම පිළුණු අහරක් රස බොජුනක් සේ වළඳන්නට මාධ්‍ය රුසියෝය. එවන් පිළුණු කතා බොහෝමයක් මේ දිනවල රස කතා ලෙස කරළියට පැමිණ ඇත.
බොක්සිං ක්‍රීඩාව සහ ඩයන් ගෝමස්ගේ පැමිණිමත් එවැනි පිළුණු ඇල්මැරුණු කතාවකි.
අදාළ පාර්ශ්වවලින්ම දෙන කතා අදාළ ලෙස එළීම මේ දිනවල අපුරුවට සිදුවේ. ඒ අතර මතු කරන ප්‍රධාන කරුණ නම් මේ දිනවල බොක්සිං ක්‍රීඩාව දරුණු කඩාවැටීමකට ලක්වී ඇති අතර එය ගොඩගත හැකි නම් ඒ සමත්කම ඇත්තේ ඩයන්ට පමණක් බවය.
බොක්සිං ඉතිහාසය සැබැවින්ම ස්වර්ණමය යුගයක තිබූ බව ඉතිහාසය පිරික්සීමේදී හෙළි වන්නේ පනහ දශකය තරම් ඈතට ගත්තද ඔලිම්පික් තරග වදින මට්ටමේ ක්‍රීඩකයන් අප සතු වූ නිසාය. එකල ජාත්‍යන්තරයට ගිය ප්‍රධාන ක්‍රීඩාවක් ලෙස බොක්සිං පැවැතුණි. එවන් අතීතයක් පැවති බොක්සිං ක්‍රීඩාව ඩයන් ගෝමස් නිසාම අමුතු පිබිදීමක් ලැබුණැයි කීම විකාරය.
ඩයන් ගෝමස් මහතා නිසාද බොක්සිං ක්‍රීඩාවේ කතාබහක් ඇති වූ මුත් එය ඇති වනවාට වඩා ඇති කළ කතාබහකි. බොක්සිං ක්‍රීඩකයන්ට තම සේවා ස්ථානයේ බොක්සිං නවාතැනක් ඉදිකළ ඩයන් පිටපළාත්වල වෙසෙන දක්‍ෂ බොක්සිං ක්‍රීඩකයන් තම වහළ යටට ගෙන වහලුන් ලෙස ගොඩනගන ක්‍රමවේදයක් එකල පැවතුණි. එකල බොක්සිං යනු සීමා සහිත විය. එනම් මාස් හෝල්ඩින් සතු වූවක්ම විය. මෙය නරක පූර්වාදර්ශයක් බව අප එකල පුනපුනා ලියන විට ඩයන් ප්‍රමුඛ බොක්සිං පාලනයට එය වහකදුරු විය. තමන්ම තමන්ගේ පම්පෝරිය ඇදබාමින් ඔලිම්පික් පදක්කමක් බොක්සිං ක්‍රීඩාව හරහා මෙරටට ලබාදෙන බවට අනුරුද්ධ නමැති ක්‍රීඩකයාගේ විසල් පුවරු රට පුරා ප්‍රදර්ශනය කරමින් අමුතු ජෝගියක් නැටූ ඩයන් පසුව මංජු වන්නිආරච්චි ලවා ඔලිම්පික් පදක්කම් සොරාගන්නට මානබැලීය. එයින් මෙයින් සිදුවූයේ මංජු උමතුවීම පමණි. ඒ නිසා සිදු වූ නරක ප්‍රතිඵල අපි දන්නා මුත් නොලියා සිටිමු. එවන් උමතුවක් හැර ඩයන් බොක්සිංවලට අනාගතයක් නිර්මාණය නොකළේය.
2006 වසරේ සිට බොක්සිං පරිපාලනයට පැමිණි ඩයන් අද වන තුරුම එහි පරිපාලනය තුළ රැඳීසිටී. ඒ කාලය අතරතුර ආ ගිය සභාපතිවරුන් යනු ඩයන්ම තැබූ රූකඩ චරිතය. එහි සැබෑ පාලකයා ඩයන් විය. මෙය අද ඩයන් පැමිණ බොක්සිං ක්‍රීඩාව ගොඩගන්නැයි ලියන ලියනමහත්තයලා නොදැන සිටීම කනගාටුවකි.
ලබන මස නව වැනිදා පැවැත්වීමට නියමිත බොක්සිං නිලවරණයේදී ඩයන් නිතරගයෙන් පත්වීමට නියමිතය. අලුත්ගමගේ ගෙනා පනත් සංශෝධනයත් සමඟ සිව්වසරක නීතිය කරලියට ඒමත් සමඟ බොහෝ අය එළියට විසිවුණේ සිව්වසරකට වඩා ඒ සියල්ලන්ම මේ සංගම් අතහැර එල්ලී සිටීම නිසාවෙනි. අද සුදු පිරුවට ඇඳ එන මහත්හොරුන් එදා සංගම්වලින් අහකට වූයේ වෙන කළ නොහැකි දෙයක් නැති නිසාය. ඒ අහකට වී නිකං නොසිට ඔවුන් කළේ රූකඩ ඒ පුටුවල ඉන්දවා තීරය පිටුපස සිට තම භූමිකාව රඟ දැක්වීමය.
වත්මන් ක්‍රීඩා ඇමති යටතේ සිව්වසරක වගන්තිය අහක්වන විට නැවත පැරණි හොරුන් සියල්ලම කරලියට පැමිණ ඇත. දැන් ක්‍රීඩාව අධිවේගයෙන් දියුණු වෙනු ඇත. මේ මුසා ලියන්නේ ඔවුන් ලවාමය.
ඩයන්ගේ ආයතනික වපසරියට කොටු වූ බොක්සිං ක්‍රීඩාව ඔහු පසකට වූ කල ඇල්මැරුණු ස්වරූපයක් ගත්තේ මාධ්‍යය සංදර්ශනද ඇනහිටි නිසාය. කියුබානු පුහුණුකරුවෙකු පවා එකල ගෙන්වා තිබුණි. ඔහු 2015 වන තෙක් මෙරට රැඳුණේය. මේ වනවිටත් උපසභාපතිවරයෙකු මෙන්ම වැඩබලන සභාපතිවරයා වන ඩයන් මේ බොක්සිං විප්ලවය මෙකල ඇති නොකළේ මන්ද? නැවත කරලියට එන්නේයැයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වනුයේ ඔහුගේ බිඳවැටුණු ප්‍රතිරූපයට හුළං ගැසීමට විනා බොක්සිං ක්‍රීඩාවට අමුතු සැලකිලි ලබාදෙනු පිණිස නොවේය.
මෙවර ඩයන් ගෝමස් නැවත බොක්සිං පරිපාලනය සියතට ගන්නවායැ’යි ලියන අය නොදන්නා හෝ සඟවන දේ නම් 2006 සිට මෙය තවමත් ඩයන්ගේ බුදලය බවය. ෆුට්බෝල්, ක්‍රිකට් මෙන්ම මෙයද ඩයන් සතු බවය.
මීට පෙර ඩයන් නියම අඩිතාලමක් දැම්මේ නම් බොක්සිං ක්‍රීඩාව අද වන විට බංකොලොත් වන්නේ නැත. එම සංගමයේ එදා සිට අද දක්වා දසවසරටත් වැඩි කාලයක් සිටින අතර නිල නොවන අයුරින් ආගිය සියලු දෙනාගේ නිල අණකරුවා වූයේද ඔහුමය. අද දවසත් එහි භාරකාරයා ඔහුය. එසේනම් එතෙක් කරගත නොහැකි බොක්සිං සංවර්ධනය දැන් කරනුයේ කෙසේද? මේ නම් මහින්ද රාජපක්‍ෂ පන්නයේ කතාය. පිළුණු කතාය.■