Untitled-1

Untitled-1

ඉනිමගක් උඩ ගමක්


sanjeewa

කේ. සංජීව

ගම කිව්වාම මතකයට එන්නේ හැම දේකින්ම නොදියුණුයි කියන එක. ඇත්තටම අද ගම එහෙමද? නැහැ තමයි උත්තරය. නගරය පහසුකම්වලින් පිරිලා. හැබැයි ගම එතරම්ම සංස්කෘතිකව දුප්පත්. හරි කෙළින්ම කතාවට බහිමු.
නිදාන කතාව මේකයි. පහුගිය මාසෙක රාවය පාඨක හමුවක් සංවිධානය වුණා රත්නපුරේ පැල්මඩුල්ලේ. ඉතින් එතැනට ගියාම තමයි ආරංචිය ආවේ ‘උසාවිය නිහඬයි’ කියන චිත්‍රපටය නිවිතිගල දොළොස්වල කන්ද පිටකැලේ කියන ගමේ පෙන්වනවා කියලා. ඒ පන්සලක. අපිටත් ආරාධනයක් තිබුණා එන්න කියලා. ඉතින් මමත් යාළුවෙක් එක්ක ගියා මේ ගමට යන්න. රත්නපුරේ මගේ ගමට කිට්ටු ගමක් වුණාට මේ ගම, මම මීට කලින් ගිහින් තිබුණේ නැහැ. අම්මෝ කියලා හිතුණා මගක් යනකොට… හරිම දුෂ්කරයි. නුවරඑළිය වගේ සීතලයි. රක්වාන කඳු වළල්ලේ එක තුඩක පුංචි තැන්නක තමයි මේ ගම නවාතැන් අරගෙන ඉන්නේ.. නිවිතිගල ආසනේ උසම තැන තමයි මේ ගම. හැබැයි පළමු උත්සාහය අසාර්ථකයි. මුදුනට දුවගන්න මගේ බයිසිකලයට බැරිවුණා. අපි චිත්‍රපටය යකාට ගියාවේ කියලා ගම අතහැරලා ආයෙත් ගෙදර ආවා. ඊට පස්සේ මං කල්පනා කළේ මෙච්චර දුෂ්කර යන්න පාරක්වත් හරියට නැති ගමක මේක සංවිධානය කරපු එකා මොකාද, මේකට ඇත්තටම ගමේ මිනිස්සු ආවාද කියලා. සංවිධානය ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන්. ගමේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය හොඳයි. ඉතින් මම කල්පනා කළා මේ දුෂ්කර ගමට යන්න. ගිහින් මේ ජීවිත ගැන ලියන්න.

පිටකැලේ
මේ ගම ජනාවාස වෙන්නේ දොළොස්වල කන්ද කියන ගමේ මිනිස්සුන්ගෙන්. දොළොස් වල කන්ද කියන්නේ පිටකැලේ ගමට අල්ලපු ගම. ගමට පිටින් තියෙන කැලේ තමයි පිට කැලේ වෙන්නේ. මේ කැලේට තමයි දොළොස්වල කන්දේ මිනිස්සු හේන් කරන්න ආවේ. කන්ද මුදුනේ තැන්නේ කුඹුරු විතරක් අක්කර 50ක් විතර තියෙනවා. ඒකෙන්ම මේ පිටකැලේ ගමේ තියෙන සශ්‍රීකත්වය ගැන හිතා ගන්න පුළුවන්. මේක ජනාවාස කළ දොළොස්වල කන්ද ගම ගත්තොත් ඒක නිවිතිගල දොළොස්වල ගමේ දොළොස්වල වලව්වේ නින්දගම. දොළොස්වල රටේ මහත්තයා සුද්දාගේ පාලන කාලේ මුල් කාර්තුවේ සපරගමුවේ වැදගත් චරිතයක්. මේ කඳු මුදුනට පහළින් තමයි කරවිට ගඟ ගලන්නේ. ඒ ගඟේ වළවල් දොළොසක් නිසා දොළොස් වළ දොළොස්වල වුණා කියලා ජන කතා කියනවා.
ඉතින් අපි ගමට ගියා. ඒ අඩි දෙක තුන ගැඹුරු වළවල් පීරගෙන. නැත්තන් ලොකු කළුගල් ගෙඩි උඩින් බයිසිකලය පන්න පන්න. මුලින්ම පන්සල හෙව්වා. වටේටම සාරසුබාවට නිල් දලු හිනැහෙන තේ වත්ත. මුලින්ම මුණගැහුණේ නාකුළුගමුවේ මහින්දවංශ හාමුදුරුවෝ.
“මම මේ ගමට මුලින්ම ආවේ 1997. එතකොට මට අවුරුදු 17යි. ඊට පස්සේ මම 98 අවුරුද්දේ මෙහෙන් යනවා අධ්‍යාපනයට. 2004 තමයි ස්ථිර පදිංචියට මේ පන්සලට වැඩම කරන්නේ.”
පිටකැලේ පන්සලේ හාමුදුරුවෝ පිටකැලේ ගැන කතාව පටන්ගත්තේ එහෙමයි. මේ හාමුදුරුවෝ මුල් වෙලා තමයි ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ගමේ ප්‍රදර්ශනය කරන්නේ. මෙවැනි දුෂ්කර ගමක ඒවගේ වැඩක් කරන්න ලොකු ශක්තියක් තියෙන්න ඕනෑ. හාමුදුරුවෝ ලොකු උත්සාහයක් ගන්නවා ආර්ථික ශක්තිය තියෙන මේ ගමට සංස්කෘතික පොහො සත්කම ගෙනෙන්න. ඒක ලොකු වැඩක්. මොකද මේ කාලේ හාමුදුරුවරු සාමාන්‍යයෙන් කරන්නේ ජාතිවාදය වගා කරන එක වගේ දේවල් ගොඩක්නේ.
“මේක ඉස්සර හරිම දුෂ්කර ගමක්. ගමට පාරක් තිබිලා නැහැ. මිනිස්සු ගමට ගොඩවෙලා තියෙන්නේ ඉනිමගකින්. පස්සේ ගල පසාරු කරලා කොන්ක්‍රීට් ගල් පඩි පේළියක් හදලා තියෙනවා. මේ ගම තියෙන්නේ කන්දක් මුදුනේ හින්දා නගින්න ඒ කාලේ පාරවල් තුනක් තිබිලා තියෙනවා. එක තැනක් තියෙනවා එතැන මහගිරිදඹේ වගෙයි. එතැන පඩි පෙළක් තියෙනවා ගල් පඩි 575ක් තියෙනවා. ඒක බැස්සාම කෙළින්ම හම්බවෙන්නේ ඉස්ටෝරු කඩය කියන තැන. මිනිස්සු දලු අරගෙන මෙතැනට බහින්න ඕනෑ. පොහොර ටික අරගෙන නගින්න ඕනෑ. ඊළඟට මේ ගෙවල් සේරම හැදුවේ මේ පාරවල් එන්න කලින්. එතකොට අවශ්‍ය සිමෙන්ති වැලි ගඩොල් සේරම කරේ තියාගෙන මේ පඩි 575 නැගලා තියෙනවා. මේ ගමේ ඉන්නේ හරි ශක්තිවන්ත මිනිස්සු. මේ මිනිස්සුන්ගේ උනන්දුව හින්දා අද මේ මිනිස්සු ආර්ථිකව හොඳ තැනක ඉන්නවා.”

සිමියොන් මාමාගේ කතාව
“මම දන්නා විදිහට 1980 වෙනකොට මේ කන්දේ හේන් කරන පවුල් 213ක් ඉඳලා තියෙනවා. ඒ දොළොස්වල කන්ද කියන මේ අල්ලපු ගමෙන් ඇවිත්. ඒක තමයි මේ ගමේ ආරම්භය. දොළොස්වල කන්ද කියන ගම නම් සුද්දෝ ලංකාවට එනකොටත් තිබුණා. මම මෙහේ ඉඩම් ඇල්ලුවේ 1970 අග. 1990 තමයි අපි ස්ථිර පදිංචියට මේ ගමට එන්නේ. මට දරුවන්ට දීලා දැන් තේ අක්කරයක් තියෙනවා. පොල් ගම්මිරිස් තියෙනවා. බුලත් තියෙනවා. ඉස්සර නම් කුඹුරුත් කළා. හැබැයි දැන් කරන්නේ නැහැ මේ ඌරන්ගෙන් බේරුමක් නැති නිසා.”
සිමියොන් මාමා කියන්නේ ජීවිතේට දුකම දීලා ජීවිතය දිනාගත්ත මනුස්සයෙක්. ගමේ හැම පොදු වැඩකටම බැහැලා කර ගහන මේ පුංචි මනුස්සයා මහ පොළොවත් එක්ක ඕනෑවට වැඩිය හැප්පිලාද කියලාත් මට හිතෙනවා. බුලත්විට අහුර කටේ එකොණමෙකොණ වෙනකොට තොල් රතු වෙනකොට හිනා සාගරයක් වෙරළේ නිතර නිතර හැපෙනකොට ලංකාව අස්සේ ගොවියාගේ හැඩරුව මතුවෙනවා.
“මට නින්ද යනවා හොරයි. මම උදේ 4 වෙනකොට ඇහැරිනවා. කහට ළිපට තියනවා. බොනවා. ඊළඟට තේ වත්තට යනවා. එළිකරනවා, දලු කඩනවා, ගම්මිරිස් වැල් සුද්ද කරනවා. අන්තිමට රාත්‍රී 9ට විතර නින්දට යනවා. අපිට මේ ගමට එන්න පාරක් තමයි නැත්තේ. අනික් හැම පහසුකමක්ම මේ ගමේ තියෙනවා. මේ ගමේ හැමෝටම හොඳ ආර්ථිකයක් තියෙනවා. ඒ අපි අපේ මහන්සියෙන් ගොඩනගා ගත්ත දේවල්. කිසිම ආණ්ඩුවක් උදවු කරලා නැහැ. අඩුම ගානේ අපිට මේ කන්දට එන්න පාර හදලා දුන්නේ නැහැ තවම හරියට.”
ගමට ලයිට් නම් ඇවිත්. පාර තඩි වළවල්වලින් ලස්සන වෙලා. ලොරිවලට විතරයි යන්න පුළුවන් හොඳට. අපි නරකට අමාරුවට බයික් එකෙන් ගියා. දේශගුණය කටුක වෙනකොට පාරවල් දුෂ්කර වෙනකොට මිනිස්සු සරු වෙනවාද කොහේද කියලා හිතෙනවා මේ දියුණුව දැක්කාම.

තේ දලු කතා
“දැන් දලු කිලෝ එකක මිල රුපියල් 93ක් විතර වෙනවා. මේ මිලත් එක්ක පොහොර ගණන් ගියාට කමක් නැහැ. අනික පොහොර දැන් මේ දෙන ක්‍රමය අස්සේ දෙන්න වුණාට පස්සේ පොහොරවල ප්‍රමිතිය හොඳයි. මේ තේ දලු රස්සාව හින්දා හැම මනුස්සයාම රුපියල් 20,000කට වැඩිය මාසික ආදායමක් ගන්නවා. අපිට තියෙන එකම ප්‍රශ්නේ පාර. නිවිතිගල ටවුන් එකට මේ ගමේ ඉඳලා කිලෝමීටර් 11ක් යන්න ඕනෑ. අපේ දොළොස්වල කන්ද ඉස්කෝලේ වුණත් හොඳ මට්ටමක තියෙයි.”
සිමියොන් මාමා ආයෙත් ආයෙත් කියන්නේ පාර ගැනම තමයි. මේ මිනිස්සු මේ පාර හින්දා අපා දුකක් තමයි විඳින්නේ. මේ ගම්වල රෝන්දේ ගහලා ප්‍රශ්න පාර්ලිමේන්තු ගෙනෙන්න ඕනෑ කියලා ඇමතිවරු ප්‍රාඩෝ ජීප් ගත්තාට, එකෙක්වත් මේ පාරවල්වල ගිහිං නැහැ. ඒ හින්දා පිටකැලේ කියලා ගමක් තියෙනවාද කියාවත් දන්නවාද දන්නේ නැහැ.
කොහොම වුණත් මේ ගමේ පැරැන්නන්ගේ අධ්‍යාපනය ගැන උනන්දුව නැති තරම්. මීට එහාට ලෝකයක් තියෙනවාද, ඒක තමන්ට දරුවන්ට ඕනෑද වගේ අදහසක්වත් ඔවුන්ට නැහැ. උදේ රැයින් වත්තට යනවා. ගොම්මනේ ගෙටවෙනවා කියන දවසේ චර්යාවට සීමා වෙච්චි සරල පැවැත්මක් තමයි ඔවුන්ට තියෙන්නේ. සංස්කෘතික ජීවිතයකට කියලා තියෙන්නේ පන්සල් යන එක විතරයි. ‘උසාවිය නිහඬයි’ බැලුවද මාමා කියලා මම සිමියොන් මාමාගෙන් ඇහැව්වා. මිනිහාගේ මුහුණේ ඇඳුණේ සරදම් හිනාවක් විතරයි. ඊළඟට, අම්මෝ මහත්තයෝ අර හාමුදුරුවෝ ගෙනාපු පික්චර් එකද?… මේ ප්‍රතිචාරයත් එක්ක තමයි මට හාමුදුරුවන්ගේ මැදිහත් වීමේ වටිනාකම තේරුම් ගියේ.
“ඇත්තටම ගමේ හැමෝම මේ චිත්‍රපටිය බලන්න ආවා. මම කියපු නිසා. මමත් මේක කලින් බලලා තිබුණේ නැහැ. ළමයි ලොකු අය සේරම එකට බලපු නිසා සමහර දර්ශන ප්‍රශ්නකාරී වුණා. හැබැයි චිත්‍රපටියෙන් පස්සේ හොඳ සංවාදයකුත් කෙරුණා.” මේ කතාව හාමුදුරුවන්ගේ කටින් පිටවුණේ සිමියොන් මාමාගේ කතාවට ප්‍රතිචාරෙකට වගේ.

සුද්දන්ගේ විජිතය
දොළොස්වල කන්ද පිටකැලේ මේ ගම් දෙක වටේටම තියෙන්නේ සුද්දෝ හදපු තේ වතු. ඒ වගේම ඒ නිසාම මේ සිංහල ගම් දෙක වටේටම හරි හරියට තියෙන්නේ දෙමළ ගම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ සුද්දාට තිබුණු මේ තේ වතු දැන් අයිති අගලවත්ත වතු සමාගමට. නුවරඑළියේ වගේ දේශගුණයක් තියෙන මෙහේ මාස 10ක්ම වැස්ස. ඒ නිසා තේ දලුවලට කියාපු පැත්ත.
“මේ ගල් පඩි පේළියට අමතරව දොළොස්වල කන්දට බහින්න එනසාල් කපොල්ලෙන් පාරක් තියෙනවා. අනික් පාර තමයි ඉස්සර ඉනිමගක් තියලා දොළොස්වල කන්දේ පුවක් වත්තෙන් පිටකැලේට නැගපු මේ පාර.”
හාමුදුරුවෝ ඉනිමග තිබ්බ කපොල්ලට අපිව එක්කරගෙන ආවා. දැන් තියෙන්නේ මහා කළු ගල් සරීරේ විදගෙන ඇතුළට බැහැපු කොන්ක්‍රීට්. පහළ බලන්න බැරි තරම් ප්‍රපාතය. මං කල්පනා කළා මේ මිනිස්සු ගෙවල් හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා.
මේ ගමට පහළ ගල් ගිගිරියානක් තියෙනවා. ඒකට කියන්නේ ස්ත්‍රීපුරය කියලා. බිසෝවරු 500ක් එක්ක වළගම්බා රජ්ජුරුවෝ මේ ස්ත්‍රීපුරයේ හැංගිලා හිටියා කියලා තමයි ගමේ කතාව. ඊළඟට ඒ ගල් ගුහාව අස්සෙන් ගුහාවක් ගැන කතාවක්. වළගම්බා රජ්ජුරුවෝ බිසෝවරියන් එක්ක දියකෙළියට කරවිට ගඟට ගිහිං තියෙන්නේ ඒ ගුහාවෙන් තමයි. කොහොම හරි මේ වගේ ඉතිහාසයක් අරගෙන ජීවත් වෙන මේ ගම්මානයේ මිනිස්සු අතීත හේවා පරපුරකින් පැවත එනවා කියලා තමයි කතාවට කියන්නේ. දොළොස්වල වලව්වේ නින්දගමක් වුණ මේ ගම මිනිසුන් ගැන ඒ කතාව නිවැරදි වෙන්න පුළුවන්. පුවක්ගස්වත්තගේ, පොල්ගස්වත්තගේ, තියඹරා වත්තගේ, බුත්කන්දලාගේ, හල්වතුරලාගේ වගේ වගවාසගම් තියෙන ජන සමූහයක් තමයි මේ පිටකැලේට පිට දීගෙන ඉන්නේ. කොහොමෙන් කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නේ වළවල් පිරිච්ච මේ දඟර පාර ඉක්මනින් හදලා මේ ගම නිවිතිගල හරි කරවිට හරි නගර එක්ක ගැට ගහන්න ඕනෑ කියන එක. එහෙම වුණොත් විතරයි පොළොවත් එක්ක මෙච්චර හැපෙන මේ ජීවිතවලට නියම ජීවිතයක් හමුවෙන්නේ. සල්ලි අතේ හොඳට ගැවසෙන මේ මිනිස්සුන්ගේ ජීවිතය අස්සට ලෝකයේ දියුණු සංස්කෘතිය එන්නත් කරන්න පුළුවන් පාර හදලා ප්‍රවාහනය දියුණු කළොත් විතරයි. ඇත්තටම මේ ගමට හැම දෙයක්ම තියෙනවා. හැබැයි පාරක් නැහැ. අලුත් පාරක් කියන්නේ අලුත් ලෝකයක් කියන එකට.■