රාවය

ගාන්ධිගේ අවසන් උපවාසය

ගාන්ධිගේ අවසන් උපවාසය

ආරියරත්න සුබසිංහ ආරච්චිගේ

මහත්මා සිය අවසන් උප වාසය කළේ පකිස්තානය වෙනුවෙනි.
රුපියල් බිලියන 4ක මූල්‍ය තැන්පතුවක් දෙරට බෙදන අවස්ථාව වෙද්දී ඉන්දියානු භාණ්ඩාගාරය සතුව තිබිණ. භූමි ප්‍රමාණයත්, ජනගහනයත්, අදාල වෙනත් සාධකත් ආදි වශයෙන්වූ දත්ත අනුව, එයින් රුපියල් මිලියන 550ක් පකිස්තානයට අයත්විය යුතු බවට තක්සේරු විය. එයින් මිලියන 200ක් වහාම ගෙවන ලදි.
‘මේ මුදල දුන්නොත් ජින්නා ඒ මුදලින් අවි මිලදී ගෙන, අප සමඟ යුද වදින්නට ඉඩ තිබෙනවා’යි කියමින් නේරු හා පටේල් ඉතිරි මිලියන 350 ගෙවීම හිතාමතාම පැහැර හැරියහ.
මහත්මා සිය අවසන් උපවාසය කළේ සිය රට හා පකිස්තානය අතර තිබූ ඒ එකඟතා ගිවිසුම අගමැති ශ්‍රී නේරු ප්‍රමුඛ රජය විසින් අමුඅමුවේම උල්ලංඝනය කිරීමට එරෙහිවය.
ඉන්දියාවේ මෙම වංචනික ක්‍රියාව සිය බිළිඳු අසල්වැසියාගේ ගෙළ තොටිල්ලේදීම හිරකර මරාදැමීමට ගත් ප්‍රයත්නයක් බවට මතයක් ලෝක ප්‍රජාව තුළ පැතිරී යමින් තිබිණ. ‘මේක ඉන්දියාවේ හොඳ නමට ලොකුම කැළලක්. මේ වැඬේ නිසා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපි තුට්ටු දෙකට වැටෙනවා, අප ආදර්ශමත් රටක් බව පෙන්විය යුතුයි’ ගාන්ධි මුල සිටම කීවේය. කිසිවෙක් ඒ කියුම් කනකට ගත්තේ නැත.
අධිරාජයාගේ මස්සිනා, ප්‍රතිරාජ මවුන්ට්බැටන් සාමි නැවත කරළියට ආවේ ඒ අවස්ථාවේදීය. ඒ වෙද්දී ඔහු ඉන්දියාවේ ජනාධිපති වී සිටියේය. නිදහස ලැබීමත් සමඟ ටික කාලයකට සිය රටේ ජනාධිපතිකම භාරගෙන රටක් ලෙස නැගීසිටීම සඳහා උදවුකරන ලෙස නේරු ප්‍රමුඛ ජාතික නායකයන් මවුන්ට් බැටන්ගෙන් ඉල්ලාසිටීමේ ප්‍රතිඵලයකි, ඒ.
ගාන්ධි බලන්නට පැමිණ ඔහු සමඟ සෑහෙන වෙලාවක් කටුකුටු ගගා සිටි ඔහු රජයක් විසින් තවත් රජයකට ගෙවිය යුතු මුදල් මෙසේ නොගෙවා සිටීම ජාත්‍යන්තර වංචාවක් බව පෙන්වා දුන්නේය.
‘ඔව්. මට තේරෙනවා. ප්‍රසිද්ධියේ ගිවිසුමකට ආ රජයකට ආපහු හැරෙන්න බෑ. ඉන්දියාව පසුගිය කාලය තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඇතිකරගෙන ඇති ප්‍රතිරූපය රැකගත යුතුයි. තව වැරදි වැඩක් වෙනවා. ඒ තමයි පකිස්තානෙ පැත්තෙ ඉඳලා ආ හින්දු අය මෙහෙ ඉන්න මුස්ලිම් අයගේ ගෙවල්, මුස්ලිම් පල්ලි ආදියෙ පදිංචිකාරයො එලවා දමලා බලෙන් අත්පත් කරගෙන පදිංචිවෙලා ඉන්න එක. මේ දෙකම වැරදියි’.
‘මං මාරාන්තික උපවාසයක් පටන්ගන්නවා. මෙච්චර දවසක් රට වෙනුවෙන් උපවාස කළ මම මෙදාපාර අල්ලපු රට වෙනුවෙන් උපවාසයක් කරනවා. කොන්දේසි දෙකක් උඩ. එක, පකිස්තාන රජයට අයත් මුදල ඉන්දියාව වහාම ගෙවිය යුතුයි. දෙක, බලහත්කාරෙන් අත්පත් කරගෙන ඉන්න මුස්ලිම් පල්ලි සහ ගෙවල් ඒවායේ හිමිකරුවන්ට වහාම ආපසු භාරදිය යුතුයි. ඔව්. එක්කෝ සාධාරණය ඉෂ්ට උණාවේ. නැත්නං ගාන්ධි මැරුණාවේ!’.
උපවාසය ඇරඹුණේ 1948 ජනවාරි 13 වැනි අඟහරුවාදා, ඒ වෙද්දී මහත්මා නැවතී සිටි, නව දිල්ලියේ බිර්ලා මන්දිර අංගණයේදීය. එදින උදෑසන යාඤා මෙහෙය ඇරඔුණේ ඔහු අතිශයින් ප්‍රියකළ ක්‍රිස්තියානි ගීතිකාවකිනි. ගීය ගැයුවේ වෛi සුසිලා නායර්ය.
උදය කාලය පුරාවට ඔහු මිමිණුවේ ‘දෙවියන්ගේ මාවත විවර වන්නේ වීරයන් සඳහා මිස බයගුල්ලන් සඳහා නොවේ’ යන භගවත් ගීතා පාඨයයි. පෙරවරු 10.30ට ඔහු පාතරාසය ගත්තේය. චපාති දෙකක්, ඇපල් ගෙඩියක්, මුදවාපු එළුකිරි අවුන්ස 16ක් සහ දොඩම් බික් 4ක් ඊට ඇතුළත් විය.
පෙරවරු 11.55ට උපවාසය ආරම්භ විය. මනු සහ අභා යන මිණිබිරියන්, ලේකම් පියර්ලාල් නායර්, වෛi සුසිලා නායර් හා අගමැති ජවහර්ලාල් නේරු ඒ අවස්ථාවට සහභාගි වූහ. ඔහු සිටියේ ලොකු සතුටකිනි. එය සාධාරණය වෙනුවෙන් නැගීසිටින කා තුළ වුව ඇති වන නිරාමිස ප්‍රීතිය විය යුතුය.
උපවාසය අත්හැරීමට නම් පෙර කී කොන්දේසි දෙකම පූර්ණ වශයෙන්ම ඉටුවිය යුතු බව ප්‍රචාරය කර තිබිණ.
මහත්මා තවත් මාරාන්තික උපවාසයක් පටන්ගත් බව ඇසූ ලෝකය හෙල්ලුම් කා ගියේය. ‘පව් අසරණ මනුස්සයා. දෙවියන් වහන්සේ ඒ වයසක මනුස්සයාට ඔය හැටි දුක් දෙන්නේ මොකද මන්දා?’යි කී කටවල් සංඛ්‍යාව සුළුපටු නොවේ. එහෙත් බහුතර හින්දු ජනතාව හිතුවේ වෙන විදිහකටය. ඔවුන් ඒ උපවාසයේ කොන්දේසිවලට සවන් දුන්නේ බුරබුරා නැගුණු කේන්තියකිනි.
විශේෂයෙන් රට බෙදද්දී පකිස්තානය පැත්තේ සිට ආ හින්දු සරණාගතයන්ට ඒ දෙවන කොන්දේසිය වහකදුරු වැනි විය. මහත්මා ඔවුන්ට එදිරිව එවැනි ඉල්ලීමක් කරතැයි ඔවුන්ට සිතාගන්නට වත් බැරි විය. ජීවිත කාලයක් තිස්සේ හරිහම්බ කරගත් ගේදොර සියල්ල ඔවුන්ට එක රැයින් අහිමි වී තිබිණ. පණත්, උස්සාගෙන එන්නට හැකි තරමක් ඇඳුම් හා මිලමුදල්, කණකර ටිකත් පමණක් අරගෙන පාරට බසින්නට ඔවුන්ට සිදුවිය. එතැන් සිට ඉන්දියාව කරා එන මහා සරණාගත පෙළපාළියට එක්වී හැතපුම් සියගණන් දෙපයින් ගාටන්නටද සිදුවිය. අනුන්ට අත නොපා, සිය සවියෙන් ජීවිකාවක් කරකියා ගෙන, හිස කෙළින් තබාගෙන ජීවත්වූ දහස් ගණන් මිනිස්සු, තමන්ගේ කිසි වරදක් නැතිව එක රැයක් ඇතුළත සරණාගතයන් බවට පත්වූහ. නා කියා,
පිරිසිදුවී, සැනසිල්ලේ වාඩිවී, දෙවියන්ට ස්තුතිකරන පාඨයක් කියා ආහාර ගනිමින් සිටි මිනිස්සු ඊළඟ වේල හිඟාකන තැනට පත්වූහ. එයින් සියල්ල අවසන් වුණේද නැත. දෙරට බෙදූ සිරිල් රැඞ්ක්ළීෆ් සීමාව කරා එන තෙක්ම වරින්වර මැර හමුදා ඔවුන් වෙත කඩාපැන, කපාකොටා රන්රිදී, මිලමුදල් කොල්ලකෑහ. බොහෝවිට එසේ කඩාපැන්නේ නව පකිස්තානයේ අවිගත් හමුදාය. ඒ සරණාගත පෙළපාළියට එක්වී සිටි කිසිම යුවතියකට සිය කන්‍යාභාවය හෝ කිසිම කාන්තාවකට සිය පතිවත හෝ රැකගන්නට බැරිවන තරමට ස්ත්‍රී දූෂණය නැවත නැවතත් සිදුවිය. කාන්තාවන්, යුවතියන් කීදහසක් තමන් වෛර කරන සල්ලාලයන් නිසා ගැබ්ගත්තාද යන්න ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලට හසු නොවීය. ළමා ළපටි, මහලු අම්මලා තාත්තලා දහස් ගණන් ඒ මහ දුර යාගන්නට බැරිව මරු වැළඳගෙන මේ ආත්මයේ කරදර කෙළවරක් කරගත්හ.
ඔවුන්ගේ කරදර ඉන්දියාව පැත්තට ආවත් කෙළවර වුණේ නැත. නවතින්නේ කොහේද? ඒ මහ දැවැන්ත රටේ ඒ කොණෙන් මේ කොණට ආ ඔවුන්ට නවතින්නට දන්නා කියන තැන්, නෑදෑ හිතවතුන් නොවීය. හින්දු ජාතියේ උන්නතිය වෙනුවෙන් වීදි බැස, මුස්ලිමුන් කැතිගාන්නට අය ඕනෑ තරම් සිටියත් අනාථවී ආ මේ හින්දූන්ට බත්වේලක් දෙන්නට, රෑ නිදාගන්නට ඉස්තෝප්පු කෑල්ලක් දෙන්නට කිසිවෙක් නොවූහ. එයත් හරියට ආගම වෙනුවෙන් පණදෙන්නට යන අය ආගමේ කියා ඇති හැටියට ජීවිතය ගෙනයන්නේ නැතිවා වාගේමය.
ඒ මහා සෙනඟ වෙනුවෙන් කළ යුතු දේ වහා කරන්නට උවමනාවක් අගමැති නේරුලාට, උප අගමැති පටේල්ලාටද නොවීය. ‘අර හිටපු හැටියට පකිස්තානෙ පැත්තෙ ඉඳලා මැරුං කෑව නං දාහෙං සම්පතයි’ කියා සරණාගතයන්ට දහස්වර සිතිණ.
ඉතින් ඔවුහු මුසලිමුන්ගේ ගෙවල් හා මුසලිම් පල්ලි අල්ලාගෙන ඒවායේ පදිංචිවූහ. ජාත්‍යාල වීරයන් සමඟ එක්වී, ‘ගාන්ධි මැරුණාවේ’යි කියා කෑගසමින් උපවාසය පැවති බිර්ලා මන්දිරය වටේ පෙළපාළි ගියහ.
ඒ ඝෝෂාව මහත්මාට ඇසිණ. ඒ කිසිවකින් සැළුණේ ඒ මිනිසා නොවේ. ‘සවන් නොදේ නම් ඔබට ඔවුන්, යන්න පෙරට තනි පංගලමේ, යන්න පෙරට තනි පංගලමේ’ යන තාගෝර් ගීතය ගයමින් ඔහු කුසගිනි මැරුවේය.
ඒ අසහාය නායකයා පිළිබඳව හද කකියවන හැඟීම් මුලින්ම ගලාආවේ එදිරිවාදී රටවූ පකිස්තානයෙනි. ලාහෝරයේ සිට ආ විදුලි පුවතක මෙසේ සඳහන් විය. ‘අප රටේ හැම පුරවැසියෙකුටම දැන් තිබෙන්නේ එකම අපේක්ෂාවකි. ඒ ගාන්ධි තුමන්ගේ ජීවිතය බේරාගැනීමට සහාය වන්නේ කෙසේද කියා දැනගැනීමයි.’
‘ඒ මුදල් පකිස්තානයට දුන්නොත් ඔවුන් ඒකෙං ආයුධ අරං අපටම ගහවි’ යි මහත්මා බැහැදුටු පටේල් කියා සිටියේය.
ඔහු දෙස සෑහෙන වෙලාවක් බලා සිටි මහත්මා අවසානයේ මෙසේ කියාසිටියේය.
‘ඔබ මා මෙතෙක් කල් දැන සිටි පටේල් නෙවෙයි’.
උපවාසය ආරම්භයේ සිටම වෛi සුසිලා නායර් බලාපොරොත්තුව සිටි තත්ත්වය ඇය සිතුවාට වඩා බොහෝ කල් ඇතිව ආවේය. ජනවාරි 15 වෙද්දී මහත්මාගේ මූත්‍රවල ඇසිටෝන් හා ඇසිටික් අම්ලය ඇති බව පරීක්ෂණවලින් ඔප්පුවිය. එය සිරුරේ ඇති මේදය සහ පිෂ්ඨජනක ධාතු ඉවර වී, මාංශජනක ධාතු දියවීම පටන්ගෙන ඇති බවට සාක්ෂියකි. එනම්, ඇඟ මස් දියවීමයි.
නොකා නොබී දුක් විඳින්නට සිදු වුණත් අන්තිම තත්පරය දක්වා අසරණ පරාණකාරයාගේ ජීවිතය පවත්වා ගත හැකි වන විදියට නිර්මාණයවුණු මහ පුදුම දෙයකි මිනිස් සිරුර. මිනිස් සමාජය එකාට එකා නැතිව කාකොටා ගන්නා තත්ත්වයකට කවදා හෝ පත්වන බව ආරම්භයේදීම මැවුම්කාරයා දැනසිටි සෙයකි. වේල් ගණන් ආහාර නැතිව සිටිද්දී මුලින්ම වන්නේ ඇඟේ තැනතැන ඇති තෙල් තට්ටු දියවී, ඒවායේ ගැබ්වී ඇති ශක්තිය උරාගෙන ජීවිතය පවත්වා ගැනීමයි. කෙට්ටු වීම, ඇඟ රැළි වැටීම, දැඩි ශීතල දරා සිටින්නට බැරි වීමාදිය සිදු වුණත් ඒ මේදය දියවීමෙන් සිරුරට ඒ හැටි හානියක් නැත. හානිය පටන් ගන්නේ මේද තට්ටු දියවීමෙන් අනතුරුවයි. ඒ ඇඟ මස් දියවීමයි. මහත්මා දැන් සිටි න්නේ එතැනයි. එනම්, ඇඟ මස් දියවී යන තත්ත්වයේය.
මේද හෝ තෙල් මන්ද බවට පත් වී ඇඟේ තැන් තැන්වල තැන්පත් වන්නේ ජීවත් වන්නට නොව බඩජහරිකමට කන කෑමයි. මහත්මා කෑම ගත්තේ කුරුල්ලෙකු කන තරමටය, යන්තම් ජීවිතය ගෙන යන්නට ඇති මදි වන තරමටය. ඔහු සිටියේ ‘වැඩිපුර කන කෑම ටික දුගී දුප්පතුන්ගෙන් උදුරා ගත් කෑමකි’ යන තැනය. මේද තට්ටු ඒ කෝටු ඇඟේ තිබ්බේම නැති තරම්ය. ඉතින් උපවාසය අරඹා පැය 24ක් යන්නටත් පෙර ඇඟ මස් දිය වීම පටන් ගැනුණි. මරණීය ක්‍රියාවලිය ආරම්භ වී තිබේ.
උපවාසය අරඹා දෙදිනක් ගත වෙන්නටත් පෙර මහත්මා එළොව යන මාවතේ අධිවේගී කොටසේ මුල හරියට ඇතුල් වී සිටී.
තව අනතුරක් වෙනමම තිබිණ. පසුගිය පැය 24 තුළ ජලය අවුන්ස 68ක් පානය කර ඇතත්, ඔහු පිට කර ඇත්තේ මූත්‍රා අවුන්ස 28ක් පමණි. හේතුව පැහැදිලිය. වකුගඩු හරි හැටියට ක්‍රියාත්මක වන්නේ නැත ! තත්ත්වය අතිශයින්ම බරපතලය !!
ඒ සියළු විද්‍යාත්මක කරුණු පැහැදිළි කර දී, අවසන උපවාසය නවත්වන ලෙස වෛද්‍ය සුසිලා නායර් ඉල්ලා සිටියාය. ඒ අවස්ථාවේ මහත්මා ඇගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.
‘ඔබේ විiාව ඔක්කොම දේවල් දන්නවාද සුසිලා?’
කතාව එතනින්ම අවසන් විය.
ඉන්දීය ජනමතය වෙනස් වුණේ ඉබි ගමණිනි. කෙසේ වෙතත් එය ස්ථිරවම වෙනස් විය. උපවාසයෙන් තෙවන දිනයේදී ජනතාවගේ හැසිරීම් රටාවේ වෙනසක් දැක ගත හැකි විය. ජනවාර්ගික සමගිය පතන පෙළපාළි එක දෙකක් වීදි සංචාරය කළේය.
ඉතා සතුටුදායක ආරංචියක් බ්‍රහස්පතින්දා ලැබිණ. රුපියල් මිලියන 350 මුදල පකිස්තානයට වහාම ගෙවන ලෙස රජය භාණ්ඩාගාරයට දැන්වූ බවයි, ඒ. සරණාගතයන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම් ආරම්භ විය. මුස්ළිමුන්ගේ දේපළ සහ පල්ලි ආපසු භාර දීමද වහ වහා සිදු විය.
අවසානයේ පැය 121කුත් විනාඩි 30කට පසු සියළුම ඉල්ලීම් දිනා ගැනීමෙන් උපවාසය ජය ගති.
අගමැති ශ්‍රී නේරු හා මුස්ලිම් නායක මවුලානා අසාඞ් එක්ව දොඩම් යුෂ වීදුරුවක් දුර්වල මහල්ලාගේ දෙතොළට ලං කළහ. පැය තුනකට පසු එතුමෝ එළුකිරි අවුන්ස අටක් ආහාරයට ගත්තේය.
‘ගාන්ධි ජී සින්දාබාද්’, ‘භාරත් දේශ් සින්දාබාද්’, ‘පාකිස්තාන් සින්දාබාද්’ යන ජය ඝෝෂා දසත පැතිර ගියේය. දොඩම් බික් පිරූ පිඟන් අතින් ගෙන කාන්තාවෝ සිය ආධ්‍යාත්මික නායකයා දකින්නට පෙරහැරින් ආහ.
යන්තම් ඇඟට සවි ආ වහා සිය චරකය ළඟට ගෙන්වා ගත් ගාන්ධි එය කරකවන්නට පටන් ගත්තේ මෙසේ කියමිනි.
‘මං කෑම කන්න පටන් ගත්තා. ඒ නිසා මම දැං වැඩ කළ යුතුයි. වැඩ නොකර ගන්නා ආහාරය කොල්ලකෑමකි’.■