Monday, 21/8/2017 | 4:37 UTC+0
රාවය

අභිවාහ්‍ය කලාව තුළ කලාකරුවාගේ උපකරණය ශරීරයයි | බන්දු මනම්පේරි

සුලෝචන වික්‍රමසිංහ

මොකක්ද මේ අභිවාහ්‍ය කලාව කියන්නේ?
අභිවාහ්‍ය කලාව කියන එක අපි අලුතින්ම පාවිච්චි කරන නාමකරණයක්. ඒකට අපි නිරූපණ කලාව කියලා තමයි මුලින් පාවිච්චි කළේ. එහෙත් මෙහි සාම්ප්‍රදායික වශයෙන් කෙරෙන නිරූපණයකට වඩා වෙනස් දෙයක් තියෙනවා. කලාකරුවාගේ ශරීරය කිසියම් ප්‍රකාශනයක් වෙනුවෙන් මහජන අවකාශයට හෝ කලාගාර අවකාශයට ප්‍රවේශ කොට ඔහු විශ්වාස කරන දේශපාලන අදහස් සහිත ඔහුගේ කලා නිෂ්පාදනය මුදාහැරීම තමයි එහිදී මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. වඩාත්ම වැදගත් දෙය කලාකරුවාගේ ශරීරය ප්‍රේක්ෂකයන් අභිමුඛයට පැමිණවීමයි. එහිදී නාට්‍යමය ස්වරූපයකුත් නැහැ. රංගනයකුත් නැහැ. ඒ සඳහා කලාකරුවා ඇඳුම් ආයිත්තම් පාවිච්චි කරන්නෙත් නැහැ. පුහුණුවීම් කරන්නේත් නැහැ. තමාගේ ශරීරය උපයෝගී කරගෙන එය ඉදිරිපත්කරන අවකාශය තේරුම් අරගෙන ඒ අවකාශයත් එක්ක කෙරෙන ක්ෂණික නිෂ්පාදනයන් හා හැඩ වෙනස්කිරීම් තමයි සිදුවෙන්නේ. එහෙත් ඔහු මූලික සූදානමක නොඉන්නවා නොවෙයි. එහෙත් එය තීරණය වෙන්නේ කලාකරුවා තම ප්‍රකාශනය මුදාහරින අවකාශයේ ස්වභාවය මතයි. තමන් විසින් මුදාහරිනු ලබන අභිවාහ්‍ය නිරූපණය අවකාශයේ ස්වභාවය මත තමන් කලින් සිතාසිටිය දෙයට වඩා වෙනස් දෙයක් වියහැකියි. මෙහිදී එම නිදහස කලාකරුවාට ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් හා සහභාගිවන්නන්ගේ සහභාගීත්වය මත එය තවදුරටත් පෝෂණය වෙනවා. එවිට ඔවුනුත් එම කෘතියේම කොටස්කරුවන් බවට පත්වෙනවා. ඒ නිසා බහුවිධ අර්ථ ඒ අවකාශය තුළම අලුත්වෙමින් නිෂ්පාදනය වෙනවා. සමහරවිටක අපේක්ෂිත නොවන සිදුවීම්ද සිදුවිය හැකියි. කලාකරුවා කරන දේ ප්‍රේක්ෂකයා දන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් විසින් කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා කලාකරුවා දන්නේත් නැහැ. මේ අවදානම එක්ක තමයි මේ කෘතිය එවෙලෙහිම නිෂ්පාදනය වෙන්නේ. මේක Performing Artවලින් වෙනස් වෙනවා. මෙය Performing Art එකක්. ‘අභි’ කියන්නේ ගැඹුරු අර්ථය කියන එකනේ. අභිධර්මය, අභිරූපණය, මේ හැම එකකම ගැඹුරක් තියෙනවනේ. ඒ වගේ අභිවාහ්‍ය කියන්නේ ගැඹුරින් වහනය වෙනවා කියන එක. ඒ අනුව එක්තරා ගැඹුරු අදහස් සමුදායක් එක්ක යම්කිසි දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය අදහස් සමුදායක් ප්‍රකාශන අවකාශයකට ගෙනෙන්න ශරීරය භාවිත කිරීම තමයි අභිවාහ්‍ය කලාව තුළ මූලික ලක්ෂණය ලෙස ඉස්මතු වෙන්නේ.

අභිවාහ්‍ය කලාව තුළ කලාකරුවාගේ උපකරණය ශරීරයයි.
ඔව්. එහිදී ශරීරය කැන්වසයක් බවට පත්වෙනවා. ඒ වගේම ශරීරය ප්‍රකාශනයක් වෙනවා. ඒ නිසා එය අභිවාහ්‍ය කලාකරුවාගේ උපකරණයක් බවට පත්වෙනවා. ශරීරය තම ප්‍රකාශන මාධ්‍යය ලෙස යොදාගැනීම 60-70 දශකය තුළ යුරෝපීය රටවල් හරහා බිහිවන්නක්. අපි අත්විඳින හෝ අත්විඳපු දේශපාලන අවකාශය ප්‍රකාශ කරන්න මට චිත්‍රයෙන් හෝ මූර්තියෙන්වත් බැරිවෙන මොහොතක ඒක කරන්නේ කොහොමද කියලා හිතුවාම ඒ අවදානම ප්‍රකාශ කරන්න තියෙන හොඳම ප්‍රකාශන මාධ්‍යය තමයි මගේ ශරීරය කියන මූලික අදහස අභිවාහ්‍ය කලාකරුවා තුළ අදහසක් ලෙස නිර්මාණය වෙනවා. ඒ අනුව එය මුදාහරින්න සුදුසු අවකාශයක් ඔහු සොයා ගන්නවා. උදාහරණයක් ලෙස ජනාකීර්ණ බොරැල්ල හන්දිය හෝ පිටකොටුව ගන්න. මම එතැනට මූලික අදහසක් එක්ක යනවා. ඒ පරිසරය මත එම අවකාශය මට ඕනෑ ආකාරයට සකස් කරගන්න මම උපරිම උත්සාහයක යෙදෙනවා. එතැනදී ඇතිවන ස්වරූපයන් පිළිබඳ ලොකු හිතාගෙන යාමක් නැහැ. එය තීරණය වෙන්නේ එම පාරිසරික අවකාශය ස්වරූපය අනුවයි.
මෙය අන්තර් විෂයික මාධ්‍යයක්. මේක ඇතුළට එන්නේ දෘශ්‍ය කලා ප්‍රවේශයකින්. මනුෂ්‍යත්වයට පොදු කාරණා කියන්න, මිනිසුන්ට අපරිමිත ලෙස ආදරය කරන්න, දැනුම පිළිබඳ ගවේෂණය කරන්න, නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න, ලෝකය දිහා අලුත් විදියට බලන්න. මේ ඕනෑම කාරණයක් සඳහා මෙම කලාව ඉතා කදිමට ගැළපෙනවා. කලා කරුවාගේ අපරිමිත වූ නිදහස මේ තුළින් කිසිදු කොන්දේසියකින් තොරව වැඩිදියුණු වෙනවා. මෙය නාට්‍ය කලාව තුළවත්, නැටුම් කලාව තුළවත්, සංගීත කලාව තුළවත්, චිත්‍ර කලාව තුළවත් හිරවීමක් නැහැ. එහෙත් ඒ ලක්ෂණ වෙනත් මානයකින් යොදාගත හැකියි. ඒ නිසා අභිවාහ්‍ය කලාකරුවා විසින් නිර්මාණය කරන සංගීතයද, නැටුමද, චිත්‍රයද එහි සාම්ප්‍රදායික ස්වරූපයෙන් ඉස්මතුවෙන්නේ නැහැ. එයද කලාකරුවාගේ ශරීරය හා සම්බන්ධ ක්‍රියාවලියක් තුළ තමයි නිර්මාණය වෙන්නේ. අභිවාහ්‍ය කලාව ක්‍රියාත්මක වෙන්නේ එහි නියැලීම ඇසුරින්ම පමණයි. එම නියැලීම හරහා අභිවාහ්‍ය කලාකරුවා විසින් එක්තරා සුවිශේෂී මානසික හා භෞතික පරිසරයක් සකස් කරනවා. එය පොදු කාරණා හතරක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ.

ඒ මොනවාද?
පළමු කාරණය තමයි කාලය. චිත්‍ර කලාවේදී කාලය තීරණාත්මක සාධකයක් ලෙස ගන්න බැරිවෙන්න පුළුවන්. දෙවැනි කාරණය තමයි අවකාශය. එය කලාගාර අවකාශය වෙන්න පුළුවන්. එහෙම නැතිනම් විවෘත මහජන අවකාශය වෙන්න පුළුවන්. තුන්වන කාරණය තමයි දේහය. චිත්‍රවල මාධ්‍යය තෙල් සායම්. මූර්තියක මාධ්‍යය මැටි. අභිවාහ්‍ය කලාවේ ප්‍රධානතම මාධ්‍ය තමයි කලාකරුවාගේ දේහය. හතරවන කාරණය තමයි අභිවාහ්‍ය කලාකරුවා හා සහභාගික ප්‍රේක්ෂකයා අතර ඇති සම්බන්ධය.
අභිවාහ්‍ය කලාව රඳාපවතින්නේ එය තුළ නිරතවෙන අයගේ ඇඟ ඇතුළේ තියෙන කැකෑරෙන ගතිය නිසා. එහෙත් අපි කියන කරන දේ දැකලා ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒත් ඒ හරහා සංවාදයක් ගොඩනැගෙන බව අපට දැන් දැන් ප්‍රත්‍යක්ෂයි. අභිවාහ්‍ය කලාව හරහා ලෝකය තුළ විවිධ කතිකාවන් සංවාදයන් ගොඩනැගෙමින් පවතිනවා. රට ඇතුළෙ තියෙන සමාජ, දේශ, සංස්කෘතික කාරණාවන් මෙන්ම මනුෂ්‍යත්වයට පොදු කාරණා ගැන කතාකරන්න එයට ඉතා වැඩි හැකියාවක් තියෙනවා. ආදරය පිළිබඳව තියෙන පරහිතකාමීත්වය ප්‍රකාශ කරන්න අපිට තියෙන හොඳම මාධ්‍යය මේකයි. එය එතරම් පැහැදිලිව චිත්‍රයකින් කරන්න පුළුවන්කමක් නැහැ. අපි තිස්අවුරුදු යුද්ධයකින් විවිධ බැටකෑ අය. අපි විඳි ඒ කටුක අත්දැකීම් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉදිරිපත් කිරීමට මෙවැනි විවෘත අවකාශයක මිස වෙන කිසිවකින් කරන්න බැහැ. ඒ වගේම එය කලාකරුවාගේ ශරීරය හරහා මිස වෙනත් බාහිර සැරසිලිවලින් මෙතරම් සාර්ථකව කරන්න බැහැ. ඒත් මේ හැම දෙයක්ම වෙන්නේ දෘශ්‍ය කලා සන්දර්භයක බව අමතක කළයුතු නැහැ. අභිවාහ්‍ය කලාව තුළදී ප්‍රේක්ෂකයා ඒ මොහොතේම කලාකරුවාව කියවන්න පටන්ගන්නවා. ඒ මොහොතේදීම ඔහු අර්ථ නිෂ්පාදනය කරගන්නවා. ඒ අර්ථ නිෂ්පාදනය එකිනෙකාගේ දෘශ්‍යමය හා මානසික සීමාවන් මත එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට වැරදි මාර්ගයක වුවත් ගමන් කරන්න පුළුවන්. කොහොමහරි ප්‍රේක්ෂකයා හෝ සහභාගිවන්නා ඒ හරහා නැවත නැවත හිතන්නට පටන්ගැනීම කියන කාරණය ඉතා වැදගත්. අභිවාහ්‍ය කලාකරුවා අලුත් දේ එකතු කරමින් ඒ වගේම ඉවත්කරමින් විශාල අරගලයක යෙදෙන්නෙක්.

ඒත් තාම මෙය අපට ආගන්තුකයි
1960 ගණන්වල පමණ යුගයක සිට ඇරඹුණායැ’යි කියන්න පුළුවන් අභිවාහ්‍ය කලාව, ආසියානු කලාපයේ රටවල්ද ඇතුළුව ලොව පුරා ප්‍රචලිත වී ඇති බහුලව භාවිත වන කලා ආකාරයක් වුණත් ලංකාව තුළ එය තවමත් ප්‍රමාණවත් ලෙස මුල් බැසගෙන නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල තුළවත් අභිවාහ්‍ය කලාවක් තවමත් විෂයයක් හැටියට උගන්වන්නේත් නැහැ. ඒත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ සම්බන්ධව දැඩි උනන්දුවක් තියෙනවා. ඔවුන්ගේ උපාධි නිබන්ධන සඳහා මෙම විෂය පිළිබඳ අධ්‍යයනය කරන අවස්ථාද තියෙනවා. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකාව තුළ අභිවාහ්‍ය කලාව පිළිබඳ න්‍යායික හා කතිකා ඒ වගේම අත්හදා බැලීම සිදුවන එකම, එසේ නැත්නම් ප්‍රධානම ස්ථානය තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකමුතුව පමණයි.
1992දී ජගත් වීරසිංහගේ ‘කාංසාව’ චිත්‍ර ප්‍රදර්ශනය තමයි මෙහි මූලිකම අඩිතාලම සකස් කරන්නේ. 1994දී ජී.ආර්. කොන්ස්ටන්ටයින් ‘බිඳුණු තල් ගස’ කියලා වැඩසටහනක් කරනවා. එහිදී තල් ගසක් ඇඳපු චිත්‍රයක් පුච්චලා දානවා. පත්තු කරන පහන විදියට පාවිච්චි කරන්නේ පිස් පෝච්චියක්. කලා කරුවන්ගේ ශරීරය පාවිච්චි කරලා කළ පළමු වැඩසටහන තමයි ‘බිඳුණු තල් ගස.’ ඊට පස්සේ 2001 වෙනකම් එවැනි Performing Art එකක් ලංකාවේ වෙන්නේ නැහැ. 2001දී මම ලුනුගඟ කලා කඳවුරකදී සමාජ ලිංගිකත්වය පිළිබඳ කොන්ස්ටන්ටයින් එක්ක වැඩක් කරනවා. එතැන් පටන්Art Link Programme එක හරහා එවැනි දේ දිගින් දිගටම මං අතින් Perform වෙනවා. 2003දී ජනනි කුරේ ජ්ටැ කියන performance එක කරනවා. ඒ අනුව 2015 අභිවාහ්‍ය කලා වේදිකාව නිර්මාණය වන තෙක්ම හිටියේ ජගත් වීරසිංහ, කොන්ස්ටන්ටයින්, ජනනි හා මම විතරයි. ඊට පස්සේ අනුෂා ප්‍රියන්ති, ඉසුරු කුමාරසිංහ, කුමාරි කුමාරගමගේ, කසුන් හිතේන්ද්‍ර, ජේක් ඔ’ලෝෆ් සහ ලොහාන් ගුණවර්ධන රෙඞ් ඩොට් කලාගාරය හරහා මෙරට කලාකරුවන් ලෙස Perform කළා.
2001 වසරේදී අභිවාහ්‍ය කලාව කරළියට ගෙන ආ මුල්ම තීර්ථ ජාත්‍යන්තර කලාකඳවුර ලංකාවේ පැවැත්වුණා. ඊටපස්සේ 2011දී. ලලිත් මානගේ හා මම මුල්වෙලා විකල්ප නාට්‍ය පසුබිමකින් පැමිණෙන ඉන්දීය ජාතික ජර්නබ් මුකර්ජිගේ මූලිකත්වයෙන් කලා වැඩමුළුවක් සංවිධානය කළා. එහිදී අභිවාහ්‍ය කලාව යනු කුමක්ද යන පැනය අවධානයට ලක් කළා. 2015දී ආරම්භ වුණු තීර්ථ අභිවාහ්‍ය කලා වේදිකාව තමයි දැනට ලංකාවේ ඇති අභිවාහ්‍ය කලාවේ ප්‍රවර්ධනය සඳහා වෙන්වූ ප්‍රධාන පර්යේෂණ හා සෛද්ධාන්තික මෙන්ම දෙස් විදෙස් දැනුම් හුවමාරු සිදුවන කතිකාමය අවකාශය. එය නර්තනය, නාට්‍ය ආදි අනෙක් ප්‍රාසංගික කලාවන්ගේ අඩවියෙහි ඇතුළත් නොකොට, අභිවාහ්‍ය කලාව ප්‍රධාන වශයෙන්ම දෘශ්‍ය කලා අඩවියක ස්ථානගත කළා. 2016දී දේශීය මෙන්ම විදේශීය කලාකරුවන්ගේ සහභාගිත් වයෙන් ජාත්‍යන්තර අභිවාහ්‍ය වැඩමුළුවක් පැවැත්වූවා. මෙවැනි ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා එය අපට තාම ආගන්තුක ස්වරූපයක් පෙන්නුම් කරනවා. එහෙත් එහි කැපී පෙනෙන වර්ධනයක් මෙන්ම අභිවාහ්‍ය කලාව වෙනුවෙන් ඉදිරිපත්වීමට අපේක්ෂිත බොහෝ තරුණ තරුණියන් අප වටා එක්වී සිටිනවා.

අභිවාහ්‍ය කලාව කොතරම් දුරට කලාත්මකද?
කලාවේ නිර්වචන යුගයෙන් යුගයට වෙනස්වෙනවා. එහෙම වෙන්නේ ඒ ඒ යුගවල විවිධ කලාකරුවන් විසින් අත්හදා බලනු ලබන නව නිර්මාණ නිසායි. සම්මත අදහස් දෙදරුම්කෑමකට ලක්කිරීම තමයි හොඳ කලාව ඇතුළේ හැමදාම සිද්ධවෙන්නේ. එවිට එතෙක් තිබුණු නිර්වචන හා භාවිතාවන් යල්පැන ගිය ස්වභාවයකට පත්වෙනවා. විවිධත්වය තුළ වෙනස්කම භාරගැනීමට අපට සිදුවෙනවා. එය කලාවට පමණක් නෙමෙයි හැම අංශයකටම පොදුයි. සමලිංගිකත්වය අප භාරගත යුතුයි. මෙවැනි විවිධ වෙනස්කම් අප වටා සිදුවෙනවා. ඒවායින් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපිට බැහැ. එහෙම මිදෙන්න ඕනෑත් නැහැ. කලාව අප භාරගත යුත්තේ එවැනි සන්දර්භයක මිස වියුක්ත සන්දර්භයක නෙවෙයි. අභිවාහ්‍ය කලාව නිර්මාණය වෙන්නේ අද්වෙයිතික සන්දර්භයක් ඇතුළේ. ඒ නිසා එය ලිඛිත පඨිත සන්දර්භයක් ඇතුළේ නිර්මාණය වන දෙයක්. එහෙත් මෙය යන්නේ කීපදෙනෙකු අතරට පමණක් වෙන්න පුළුවන්. ඒ පිරිස තමයි සමාජ වෙනසකට මුල පුරන්නේ. අභිවාහ්‍ය කලාකරුවා සමකාලීන අදහස්වලින් සන්නද්ධ වූ කෙනෙක්. ඒ වගේම ඔහු භාවිත කරන්නේ සමකාලීන භාණ්ඩ. ඒ වාගේම තමයි සමකාලීන අවකාශය. තමා ජීවත්වන පරිසරය තුළ තමාගේ කලාකෘතිය සංස්කරණය කරගන්නේ කොහොමද කියන එක අභිවාහ්‍ය කලාකරුවා මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්. සමහර අවස්ථාවලදී ඔහු හෝ ඇය ශාරීරික වශයෙන් අවදානමකට ලක්වෙනවා. පුද්ගලික අවදානමකට ලක්වෙනවා. සංස්කෘතික වටාපිටාව කළමනාකරණය කරගන්න වෙනවා.

උදාහරණයක් ලෙස කටුකම්බිවලින් හදාගත් ඔසරියක් ඇඳගෙන ජනනි කුරේ බොරැල්ල මංසන්ධියේ ඇවිදගෙන යනවා. එවිට අර ඉහත සඳහන් හැම අවදානමකටම ඇයට මුහුණ දෙන්න වෙනවා. ඒත් එය දකින අපි ගැහැනියෙක් තමයි මේ ඇවිදින්නේ කියන තැන ඉඳලා කියවන්න පටන්ගන්නවා. කටුකම්බි සාරියක් නිසා ළංවෙන්න බැහැ. ඇඟේ ඇනෙනවා. පීඩාකාරී බව හා එහි ඇති දේ සම්බන්ධව අපි එකින් එකට කියවන්න පටන්ගන්නවා. ශරීරයත් එක්කම සැන්දෑව, අවකාශය, අඳුර මේ හැම දෙයක්ම ඇයගේ ශරීරය සමඟම විවිධ අර්ථ නිෂ්පාදනය කරනවා. කලාකාරිනියක් විසින් මෙය කරන නිසා එතැන ඉඳන් අපි හිතන්න පෙළඹෙනවා. මෙන්න මේ හිතීමේ අවකාශය තුළ මිනිසා පටු සීමාවලින් ඉවත්වෙනවා. කලාවේ මුඛ්‍ය පරමාර්ථයත් එයයි. සංකේත සංකේතාර්ථ ඇසුරින් කලාකරුවා සිදුකරන නිෂ්පාදනය තමයි මෙහි වඩා වැදගත් වෙන්නේ. මෙය අනිකුත් කලාවන්ගෙන් වෙනස් වූ එහෙත් අන්තර්විෂයික වූ සුවිශේෂ ගුණාංග සහිත මාධ්‍යයක්.

2017 තීර්ථ, අභිවාහ්‍ය කලා වේදිකාවේ තේමාව වුණේ ‘ශබ්දය හරහා අතික්‍රමණය(න්)’ යන්නයි.
ශබ්දය අතිවිශාල දාර්ශනික අවධානයකට ලක්වෙමින් තියෙනවා. ශබ්දය අතික්‍රමණය නොකර අතික්‍රමණය කරයි කියන කොටම එතැන තියෙන්නේ පැටලිලි සහගත ප්‍රකාශනයක්. ශබ්දය කියන්නේ ජීවියෙක් නෙමෙයි. එය සවිඥානක නැහැ අතික්‍රමණය ගැන. එහෙම නැතත් අපි විසින් දන්න සීමාවල් ටිකක් එය අතික්‍රමණය කරනවා. ඒ සීමාවල් මොනවද යන්න අපි කතාකරනවා. ඇස් දෙක වහලා රූප වළක්වා ගන්න පුළුවන් වුණත් ශබ්ද වළක්වන්න එහෙම ලෙහෙසි නැහැ. විශාල ශබ්දවලට අපේ තියෙන අවධානය ඉතා වැඩියි. සියුම් ශබ්දවලට අපේ අවධානය අඩුයි. මේවා තේරුම්ගන්නේ කොහොමද කියලා තමයි music matters හරහා අපි උත්සාහ කළේ. ඔවුන් තමන්ගේ සංගීත භාණ්ඩ උපයෝගී කරගනිමින් විටෙක ඉතා විශාල ශබ්ද නගමින්ද විටෙක ඉතා සියුම් ශබ්ද නගමින්ද කොළඹ නගර මධ්‍යයෙත් කලාගාර අවකාශයෙන් ශබ්දය කියන එක තේරුම්ගන්න උත්සාහ කළා. ඒ අනුව දෘශ්‍ය කලා සන්දර්භයක් සහිත මේ අන්තර්විෂයික අභිවාහ්‍ය කලාව ඇතුළේ ශබ්දය පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමුවුණා. ඒ නිසා විශාල රසවත් බවක් මෙන්ම වින්දනීය අවකාශයක් ඒ හරහා ගොඩනැගුණා.■
උදාහරණයක් ලෙස කටුකම්බිවලින් හදාගත් ඔසරියක් ඇඳගෙන ජනනි කුරේ බොරැල්ල මංසන්ධියේ ඇවිදගෙන යනවා. එවිට අර ඉහත සඳහන් හැම අවදානමකටම ඇයට මුහුණ දෙන්න වෙනවා. ඒත් එය දකින අපි ගැහැනියෙක් තමයි මේ ඇවිදින්නේ කියන තැන ඉඳලා කියවන්න පටන්ගන්නවා. කටුකම්බි සාරියක් නිසා ළංවෙන්න බැහැ. ඇඟේ ඇනෙනවා. පීඩාකාරී බව හා එහි ඇති දේ සම්බන්ධව අපි එකින් එකට කියවන්න පටන්ගන්නවා. ශරීරයත් එක්කම සැන්දෑව, අවකාශය, අඳුර මේ හැම දෙයක්ම ඇයගේ ශරීරය සමඟම විවිධ අර්ථ නිෂ්පාදනය කරනවා. කලාකාරිනියක් විසින් මෙය කරන නිසා එතැන ඉඳන් අපි හිතන්න පෙළඹෙනවා. මෙන්න මේ හිතීමේ අවකාශය තුළ මිනිසා පටු සීමාවලින් ඉවත්වෙනවා. කලාවේ මුඛ්‍ය පරමාර්ථයත් එයයි. සංකේත සංකේතාර්ථ ඇසුරින් කලාකරුවා සිදුකරන නිෂ්පාදනය තමයි මෙහි වඩා වැදගත් වෙන්නේ. මෙය අනිකුත් කලාවන්ගෙන් වෙනස් වූ එහෙත් අන්තර්විෂයික වූ සුවිශේෂ ගුණාංග සහිත මාධ්‍යයක්.
2017 තීර්ථ, අභිවාහ්‍ය කලා වේදිකාවේ තේමාව වුණේ ‘ශබ්දය හරහා අතික්‍රමණය(න්)’ යන්නයි.
ශබ්දය අතිවිශාල දාර්ශනික අවධානයකට ලක්වෙමින් තියෙනවා. ශබ්දය අතික්‍රමණය නොකර අතික්‍රමණය කරයි කියන කොටම එතැන තියෙන්නේ පැටලිලි සහගත ප්‍රකාශනයක්. ශබ්දය කියන්නේ ජීවියෙක් නෙමෙයි. එය සවිඥානක නැහැ අතික්‍රමණය ගැන. එහෙම නැතත් අපි විසින් දන්න සීමාවල් ටිකක් එය අතික්‍රමණය කරනවා. ඒ සීමාවල් මොනවද යන්න අපි කතාකරනවා. ඇස් දෙක වහලා රූප වළක්වා ගන්න පුළුවන් වුණත් ශබ්ද වළක්වන්න එහෙම ලෙහෙසි නැහැ. විශාල ශබ්දවලට අපේ තියෙන අවධානය ඉතා වැඩියි. සියුම් ශබ්දවලට අපේ අවධානය අඩුයි. මේවා තේරුම්ගන්නේ කොහොමද කියලා තමයි පමිසජ ප්එඑැරි හරහා අපි උත්සාහ කළේ. ඔවුන් තමන්ගේ සංගීත භාණ්ඩ උපයෝගී කරගනිමින් විටෙක ඉතා විශාල ශබ්ද නගමින්ද විටෙක ඉතා සියුම් ශබ්ද නගමින්ද කොළඹ නගර මධ්‍යයෙත් කලාගාර අවකාශයෙන් ශබ්දය කියන එක තේරුම්ගන්න උත්සාහ කළා. ඒ අනුව දෘශ්‍ය කලා සන්දර්භයක් සහිත මේ අන්තර්විෂයික අභිවාහ්‍ය කලාව ඇතුළේ ශබ්දය පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමුවුණා. ඒ නිසා විශාල රසවත් බවක් මෙන්ම වින්දනීය අවකාශයක් ඒ හරහා ගොඩනැගුණා.■හරහා අපි උත්සාහ කළේ. ඔවුන් තමන්ගේ සංගීත භාණ්ඩ උපයෝගී කරගනිමින් විටෙක ඉතා විශාල ශබ්ද නගමින්ද විටෙක ඉතා සියුම් ශබ්ද නගමින්ද කොළඹ නගර මධ්‍යයෙත් කලාගාර අවකාශයෙන් ශබ්දය කියන එක තේරුම්ගන්න උත්සාහ කළා. ඒ අනුව දෘශ්‍ය කලා සන්දර්භයක් සහිත මේ අන්තර්විෂයික අභිවාහ්‍ය කලාව ඇතුළේ ශබ්දය පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමුවුණා. ඒ නිසා විශාල රසවත් බවක් මෙන්ම වින්දනීය අවකාශයක් ඒ හරහා ගොඩනැගුණා.■

About