රාවය

වියනොහැකි දෙයෙහි වියහැකිබව: සුළඟ ගිනි අරන්

වියනොහැකි දෙයෙහි වියහැකිබව: සුළඟ ගිනි අරන්

එරන්ද මහගමගේ

විමුක්ති ජය සුන්දරගේ සිනමා සෞන් දර්යය ‘සුළඟ එනු පිණිස’ට පසුව අපට ලාංකේය සිනමා ශාලාවල දැකගන්නට ලැබෙන්නේ ‘සුළඟ ගිනි අරන්’ චිත්‍රපටයත් සමඟ වීම තුළ තිබෙන ඓතිහාසික උත්ප්‍රාසය අපි පළමුවෙන් සලකුණු කරමු. දශකයකට මඳක් ඉක්මවූ පසුව බලාපොරොත්තු වූ ‘සුළඟ’ පැමිණ තිබෙන නමුත් එය පැමිණ තිබෙන්නේ අපගේ ගිමන් නිවන පවන් පොදක් සේ නොවනා බව ඔහු අපට කියයි. ‘සුළඟ’ පැමිණියත් එය පැමිණ තිබෙන්නේ බලාපොරොත්තු වූ ආකාරයටම නොවේ. දෙය පැමිණ තිබෙන්නේ එහි ප්‍රතිපක්ෂය සමගයි.
චිත්‍රපටියේ ආඛ්‍යානය සමඟ මෙය සම්බන්ධ වන ආකාරය වටහාගැනීමද අපට එතරම් අපහසු නොවේ. මෙම චිත්‍රපටයේදී ජයසුන්දර අපට ලබාදෙන්නේ හුදෙක් කතාවකට වඩා බාධාකරණය වූ කතාවකි. සිදුවීම් කිහිපයකි. තමන්ගේ සීමාව පරීක්ෂා කර බෞද්ධ භික්ෂුවක බවට පත්වන වෛද්‍යවරයෙකු, ශරීර අවයව අලෙවි කරන්නෙකු, ස්ත්‍රී දූෂකයෙකු ලෙසටත් වෛද්‍යවරයකු ලෙසත් ක්‍රියා කරන චරිතයක් විසින් අපට එම යථාර්ථය අභිමුඛ කරයි. සිනමාපටය ආරම්භ වන්නේම යම්කිසි ආකාරයකට ජයසුන්දරගේ ආත්මකථනයක් සමඟය. එහිදී ඔහු පවසන වැදගත්ම වචන කිහිපය මෙම චිත්‍රපටයේ කේන්ද්‍රීය අදහස ලෙසට අපට සැලකිය හැකිය. එනම් මරණය පිළිබඳ අදහසයි. ‘පුංචි කාලෙ ඉඳලා මරණය පිළිබඳ මට ලොකු බයක් තිබ්බා’ ලෙසට දිගහැරෙන එම අදහස් පද්ධතිය සමස්ත සිනමාපටයේම දෝලනය වේ. අප දැනටමත් දන්නා පරිදි ලාංකේය සිනමාවට රැඩිකල් අනේකත්වයක් ගැනත් දාර්ශනික කතිකාවන් නිර්මාණය කිරීම සඳහාත් විශාල කලාපයක් විවර කරදුන් සිනමාවක් ලෙසට ජයසුන්දරගේ සිනමාව හඳුන්වාදීම නිවැරදි වේ. ඒ අනුව මෙවර ඔහු සුළඟ ගිනි අරන් චිත්‍රපටයත් සමඟ යෝජනා කරන්නේ මරණය පිළිබඳව අප සාකච්ඡා කළ යුතු බවයි.
මරණය පිළිබඳ සාකච්ඡාවේදී අපට මඟ හැර යා නොහැකි දැනුම් පද්ධතිය වන්නේ හඩෛගරියානු දර්ශනයේ මරණය පිළිබඳව ඇති විවරණයයි. ජයසුන්දර මෙහිදී දැන හෝ නොදැන සක්මන් කරන්නේ එම කලාපයේ බව අපගේ යෝජනාවයි. ලංකාවේ ප්‍රධාන කතිකාව තුළ මරණය පිළිබඳව ඇත්තේ ජීවවිද්‍යාත්මක සහ ආගමික අර්ථකථනයකි. එනම් මරණය වෛද්‍යවරයාට සහ ආගමික ශාස්තෘවරුන්ට විග්‍රහකිරීමට අයත් දෙයක්ය යන්නයි. එහෙත් විමුක්ති ජයසුන්දර ලංකාවේ ප්‍රථමවරට මරණය පිළිබඳව විකල්ප කියැවීමක අවශ්‍යතාව බැරෑරුම්ව අප ඉදිරිපිටට ගෙන එයි. අපගේ උනන්දුව වන්නේ මරණය යන්න ආගමෙන් සහ ජීවවිද්‍යාවෙන් බේරාගෙන විකල්ප කියැවීමකට ලක්කිරීමයි. සුළඟ ගිනි අරන් චිත්‍රපටය ඒ සඳහා සාධනීය වාහකයකි.
හඩෛගර්ට අනුව මරණය යන්න අපට ඉදිරිපිට-පැවැත්මක් ලෙසට ගෙන සාකච්ඡා කළ නොහැකි වේ. ඉදිරිපිට-පැවැත්මක් යනුවෙන් හඩෛගර් අදහස් කරන්නේ අප ඉදිරියේ පවත්නා, එසේ පවතිනවා කියා අපිට සිතෙන, විවිධ ‘වස්තූන්’වලටයි. ඒවා අපට පරීක්ෂා කර බැලිය හැකිය. ඒවා ගැන විවිධ දේ කිව හැකිය. මෙයට හේතුව වන්නේ ඒවා අපට අත්දැකිය හැකි වීමයි. එසේම මෙම චිත්‍රපටයේ මුල් රූපරාමු කිහිපයේම උත්සාහ කරන්නේ මරණය අත්දැකීමටය. එහෙත් එලෙස මරණය අත්විඳිය හැකි යමක් නොවන අතර එම උත්සාහයන්වලදී (එල්ලීම, හදවත් සැත්කම්, හෘදයාබාධ ) ආදි සියල්ල මරණය පිළිබඳ අත්දැකීම් නොවන්නේ ඒවායෙන් මරණය පසුකර යෑමට අපට නොහැකි නිසාය. යමක් අත්දැකීමක් වන්නේ අපට එය පසු කර යා හැකි නම්ය. මරණය සමස්තයක් ලෙසට පැමිණි විට මිනිසා ලෙස යමක් නොමැති වේ. නැතහොත් මිනිසාගේ ලෝකය තුළ පැවැත්ම අවසන් වේ. ඒ පිළිබඳව සිතා බැලිය හැකි එක් ආකාරයක් වන්නේ අනෙකාගේ මරණයයි. මෙම චිත්‍රපටයේ වෛද්‍යවරයා, ශිෂ්‍යයා කටයුතු කරන්නේ අනෙකාගේ මරණය සමඟයි. අනෙකාගේ මරණය තුළින් මිනිස් අවසානය එක් ආකාරයකට අපට වාස්තවිකව නිරීක්ෂණය කළ හැකිය. අනෙකාගේ මරණය යනු අනෙකාගේ පැවැත්මේ අවසානය ලෙස සිතිය හැකිය. එවිට අනෙකා තවදුරටත් ලෝකය තුළ පැවැත්මක් නොවේ. එහෙත් එමඟින් අපට නිරීක්ෂණය වන්නේ එය කිසිම ලෙසකට ලෝකය තුළ පැවැත්මක් නොවන බව නොවේ. එසේ වන්නේ එම මිනිසාගේ ශරීරය අප ඉදිරියේ දර්ශනය වීම නිසාය. ඉන් එම පැවැත්ම ඉදිරිපිට පැවැත්මක් වී ඇත. එහෙත් දැන් අප ඉදිරියේ ඇත්තේ නිශ්චිත පැවැත්මක් අවසන් වී ඒ වෙනුවට වෙනත් පැවැත්මක් බව අප අවබෝධ කරගත යුතුය. මෙම චිත්‍රපටයේදී ජයසුන්දර අපට පෙන්වන භික්ෂුව තරුණ භික්ෂුවට අදහස් පළකරයි. අවසානයේ අපට පෙනෙන්නේ භික්ෂුවගේ මියගිය ශරීරයයි.
අප ඉදිරියේ පවත්නා මියගිය ශරීරය අපට මරණය නම් හැඟවුම ලබාදෙන අතර එය අපට පැවැත්ම හුවමාරුවකට වඩා වැඩි යමක් පවසයි. එසේ වන්නේ මියගිය ශරීර සමඟ අප ගනුදෙනු කරන්නේ වෙනත් වස්තූන් -ගස්, ගල්, නිවාස- සමඟ ගනුදෙනු කරන ආකාරයට නොවන නිසාය. එක්තරා ආකාරයකට මෙය වෛද්‍ය ශිෂ්‍යයාට අධ්‍යයන වස්තුවකි. මියගිය භික්ෂුව නිකම්ම ඉදිරිපිට වස්තුවක් නොවන අතර එය ජීවය අහිමිවී ගිය අජීවී පැවැත්මකි. එම නිසා එම පැවැත්මට දැන් ඇත්තේ වෙනත් උපයෝගීතාවකි. එක්තරා ආකාරයකට එය දැන් ගෞරවනීය වස්තුවකි. අපි එයට වතාවත් සිදුකරමු. අනෙක් ආකාරයට එහි අංග, අවයව වෙන වෙනම පරීක්ෂා කිරීමට යොදාගත හැකිය. වෙනත් වචනවලින් කියන්නේ නම් ජයසුන්දරගේ සිනමාපටයේ අවසානයේ මියයන භික්ෂුව ජීවත්ව සිටින මිනිසුන්ගේ ලෝකයෙන් උදුරා ඉවත්කළ පැවැත්මකි.
මෙම ආකාරයෙන් මිනිස් මරණය වෙත දිශානත වීම තුළින් අපට මඟහැරී යන්නේ ඔහු පිළිබඳව ඔහුගේ මරණය අත්විඳීමයි. ජයසුන්දර සිනමාව මඟින් මහන්සිවන නමුත් අපට කිසිදා ළඟාකරගත නොහැකි අන්තය වන්නේ මෙයයි. එනම් අනෙකා මරණය අත්දකින ආකාරය කුමක්ද කියා දැනගැනීමයි. මේ අනුව අනෙකාගේ මරණයෙන් තමන්ගේ මරණය හෝ අනෙකාගේ මරණය අත්දැකිය නොහැකි බව ගම්‍ය වේ. එය සද්භාවවේදීව කළ නොහැක්කකි. මා වෙනුවට වෙනත් කෙනෙකු නියෝජනය කිරීමේ ශක්‍යතාව අහිමිවී යයි. එහෙත් සිනමාවේ සදාතනික උත්සාහය එය බව ජයසුන්දර අප වෙත ගෙනඑයි. මගේ මරණය වෙනුවෙන් එසේ නියෝජනයක් කළ නොහැක. යම් විටෙක ජාත්‍යානුරාගය නිසා හෝ ආදරය නිසා කෙනෙකු වෙනුවෙන් මියයන බව අප අසා ඇතත් එම මරණයට පත් පුද්ගලයා නිසා එයට හේතු වූ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ නැත. එනම් මරණය එහි සාරය වශයෙන්ම මගේ වන්නකි. ජයසුන්දරගේ වෛද්‍යවරයා තමන් විසින්ම මියයාමට උත්සාහ කිරීමත් ඒ වෙනුවෙන් සූදානම් වීමත් අපට සිහිපත් කරන්නේ එයයි. එනම් මරණයට පත්වීම මගේ පැවැත්මේම කොටසකි. එය මගේය. වෙනත් අයකුගේ නොවන්නකි.
මෙම චිත්‍රපටයේ වෛද්‍යවරයාට සියල්ල හිමිය. සල්ලි, වාහන ආදි පරිභෝජනවාදයේ සියල්ල වෙනුවෙන් ඔහු ජීවත්වේ. අපටද අදාළ පරිදි ඔහු අසම්පූර්ණ පැවැත්මකි. කෙතරම් ස්ත්‍රී පහස ලැබූවද, සල්ලි ඉපයූවද, බලය, අධ්‍යාපනය ලැබූවද ඔහු අසම්පූර්ණ වේ. එසේ වන්නේ ඔහුගේ පැවැත්ම සම්පූර්ණ වන්නේ මරණය ලැබූ පසුව වන නිසාය. එය ඔහුගේ පැවැත්මේ අනාගත වියහැකිභාවයකි. ඒ අනුව එය තවමත් නැති පැවැත්මකි. එය මෙම චිත්‍රපටය තුළදී ඔහුට නොලැබේ. එසේ වන්නේ කෙතරම් අනතුරු වුවත්, ශරීරයම පිළිස්සී ගියද ඔහු මිය නොයාම නිසායි. එම අරුතින් භාවිතයට නැති – පැවැත්ම යනු භාවිතයට හැකි පැවැත්මේ දෝෂ සහිත මාදිලියකි. එහෙත් මෙහිදී අප අවසාන වශයෙන් වටහාගත යුත්තේ මරණය ලැබීමෙන් පසු මිනිසා සම්පූර්ණ වනවා නොව මිනිසා අහෝසිවී යන බවයි. මරණයත් සමඟ එම මිනිසා පෙර සිටි මිනිසා නොවන බව අප දැනටමත් දන්නා කරුණකි. ජයසුන්දරගේ සිනමා ශක්‍යතාව නිසා ඔහු මෙම අදහස එළවළු කිහිපයක රූපරාමු මඟින් අපට පැහැදිලි කරයි. එය අපට වාහකයක් කරගත හැකිය. එළවළු මේරීමේ වියහැකියාව ඒවායේ විභවතාවකි. එය පිටතින් පැමිණෙන්නක් නොවේ. කුඩා කාලයේ එම වියහැකියාව පවතින බව ජයසුන්දර අපට විස්තර කරයි. ඒවාට අපි විවිධ නම් භාවිත කරමු. ගෝවා ගස, ගෝවා මල්, ගෝවා කොළ ලෙස අපට නාමකරණය කළ හැක. එළවළු පූර්ණ ලෙස වැඩී පොළොවට පස් වේ. නැතහොත් කෑමට ගනී. එවිට එහි තිබූ -මේරීම- නම් අවසන් නොවූ කොටස් ද අවසන් වේ. මිනිසාට එසේ නොවන අතර මිනිස් අවසානයේදී සිදුවන්නේ විභවතාවන්ගේ අසම්පූර්ණ අවසන් වීමකි. සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ වෛද්‍යවරයාගේ සේවකයා අපට කියන්නේ එම පණිවුඩයයි. ඔහුට බොහෝ විභවතාවන් ඇත. එහෙත් ඒවා සිදුකරගන්නට අවස්ථාවක් නොමැත. යම් හෙයකින් ඔහු මියගියා නම් එම විභවතාවන් අසම්පූර්ණ ඒවාය. එම නිසා මරණය යනුම අසම්පූර්ණ විභවතාවයන් රාශියකි. වැස්ස නතර වූ බව අප පවසන්නේ අප ඉදිරිපිට වැස්ස නොමැති නිසාය. එහෙත් මිනිස් අවසානය අන් කිසිදු අවසානයක් සමඟ අපට සංසන්දනය කළ නොහැකි බව මේ අනුව අපට වටහාගත හැක. එසේ වන්නේ මරණය යනු ඉදිරිපිට -පැවැත්මක් හෝ භාවිතයට – හැකි පැවැත්මක් නොවන නිසාය. මෙම නිසා මරණයෙන් මිනිසා පරිපූර්ණ හෝ පරිසමාප්ත නොවන බව විය නොහැක්කකි.
මෙම සිනමාපටයේ සියලු මිනිසුන් අතරින් වෛද්‍යවරයා මරණය වෙත දිශානත කළද සැබෑව වන්නේ අප සියලු දෙනා මරණය වෙත දිශානත වීම අනිවාර්ය වීමයි. එය පිළිස්සුණ වෛද්‍යවරයාට බිය වන තරුණියටත් වෙල් යායේ ඕමි බලන තරුණයන්ටත් එලෙසමය. එය අනාගත විය හැකියාවකි. එම නිසා එය හුදෙක් ජීවවිද්‍යාත්මක අවසන් වීමක් නොව ජීවිතයට අයත් වන්නාවූ ප්‍රපංචයකි. මෙම දිශානත වීම මඟින් ජීවිතය ඉදිරියට තල්ලු වේ. ජයසුන්දර වෛද්‍යවරයාගේ චරිතය ඔස්සේ අපට පෙන්වාදෙන්නේ එයයි. අපට මරණය පිළිබඳව ඇත්තේ බොහෝ විට ආගමික, භක්තිවාදී අදහස්ය. මෙම චිත්‍රපටය වැරදි මානයකට ගෙනයෑමට එවන් අදහස් පද්ධතියකට හැකිය. පල්ලිවල පූජකයන්, වෛද්‍යවරුන්, ඕමි බලන කොල්ලන් ආදි සියල්ල මරණයට දිශානත වී ඇත. මෙම ගුඪවාද විසින් මරණය පිළිබඳව දක්වන්නේ එය ආලෝකයක් දකින බව, පාවීම වැනි අදහස්ය. එහෙත් පාවීම, ආලෝකය ආදිය අපගේ ලෝකයේ අන්තර්ගතයන්ය. ඒ ගැන කිවහැක්කේ ජීවත්ව සිටින මිනිසුන්ටය. මරණය වියහැකිභාවයක්, අනාගත වියහැකිභාවයක් ලෙසට අර්ථකථනය කරගැනීම යනු මරණය ගැන දේවධාර්මික, ආගමික, ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක අර්ථ කථනවලට ප්‍රාථමික වූවකි. මෙම අනාගත විය හැකිභාවය යනු සම්පූර්ණ යෙන්ම අනෙකුන්ගෙන් තොර වූ වියහැකිභාවයකි. එය අතිපුද්ගල පැවැත්මේ වියහැකිභාවයකි. එම නිසා මරණයට ලෝකයේ කිසිවක් අවශ්‍ය නොවේ. මිනිසාට මරණය පසුකර යා නොහැක. ඒ අනුව මරණය යනු මිනිසාගේ පරම විය නොහැකිභාවයේ වියහැකිභාවයකි. මෙම නිසා ප්‍රධාන ලක්ෂණ තුනක් මරණය පිළිබඳව අපට විකල්ප ලෙස ලියන්නට සුළඟ ගිනි අරන් චිත්‍රපටය මඟ විවර කරයි. එනම් මරණය අතිපුද්ගල වන අතර එය නිරපේක්ෂ සහ පසුකර යා නොහැක්කකි.
මිනිසා සෑම විටම ඒ වන විටත් මරණයට පත්වීමේ හැකියාවෙන් යුක්තව ජීවත් වේ. එම නිසා මරණය යන්න එක්තරා ආකාරයකට අනිවාර්ය තාවකට වඩා වියහැකිභාවයක් ලෙසට අපි හඳුන්වා දෙමු. මිනිසාට මෙම තත්ත්වය අවබෝධ වන්නේ ආගමික ගුඪවාදයෙන් නොව තමන්ගේම පැවැත්ම පිළිබඳව සිතීම මඟින් බව ජයසුන්දරගේ සිනමාව අපට පැහැදිලි කරයි. එය තමන්ගේ නො පැවැත්මේ ඇති හැකියාවක් පිළිබඳව සිතීමකි. හඩෛගර්ට අනුව කාංසාව ්බංසැඑහ යනු එයයි. එය විසින් අපගේ පැවැත්ම අවසන් විය හැකි බවත්, එය අවසානය වෙත දිශානත වන බවත් අපට පහදා දෙනු ලබයි. මෙම චිත්‍රපටයේ පෙන්වා දෙනු ලබන පරිදිම අප මරණය දැකීම අපේක්ෂා නොකරයි. මිනිසුන්ගේ අවයව විකුණා ජීවත් වුවද මිනිසුන් මරණයට පත් වීම එතරම් සැලකිල්ලට නොගත්ත ද මෙහි අවයව වෙළෙන්දා කැළයේ දී මිනීවල කපන දර්ශනයේ දී ඉතාමත් බියට පත්වී ඇති බව අපට දක්නට ලැබේ. එනම් මරණය දැකීමේ නොහැකියාවයි. එය දරාගත නොහැකි දෙයකි. මෙලෙස මරණය බියගුල්ලන්ගේ ක්‍රියාවක් ලෙස කීමෙන් සිදුවන්නේ මරණයට බියවීම නවතාලීම නොව එවිට සිදුවන්නේ කාංසාව නවතාලීමයි. එහෙත් කාංසාව තුළින් මරණය අපට පසුකර යා නොහැක්කක් ලෙසට නිරාවරණය කරයි.
මිනිසුන් උත්සාහ කරන්නේ මෙය වලක්වාලීමටයි. එය සිනමාපටයේ අවසාන ජවනිකාවෙන් පෙන්නුම් කරයි. මරණය පිළිබඳ සාකච්ඡාව මඟ හරින්නට මිනිස්සු උනන්දු වෙති. එහෙත් ජයසුන්දර අපට සුළඟ ගිනි අරන් ඔස්සේ මරණය සාකච්ඡා කළ යුතු බැරෑරුම් ප්‍රශ්නයක් බව නැවත නැවත මතක් කරයි. දෛනික ජීවිතයේදී මහජනයා අපට ලබාදෙන පණිවුඩය වන්නේ අපගේ මරණය නියත බවත්
හැමෝම මැරෙන බවත්ය. මෙම නියත බව නම් අදහසින් සිදුවන්නේ අපව මරණය පිළිබඳව සිතීමෙන් ඈත් කිරීමයි. මෙම නියත බව යනු අප පවතින එක් ආකාරයකි. එහිදී අප ජීවත්වන්නේ මරණය පිළිබඳව සැකකරන්නකු ලෙස නොවන අතර අප ජීවත්වන්නේ සැක නොකරන්නකු ලෙසයි. අන් සියල්ල සේම අප මියයෑම ද සිදුවේ යන්න ලෝකයේ දෙන ලද්දකි. මරණය යන්න ධර්මතාවක් බව පසක් කිරීමෙන් සමාජය විසින් අප මරණය ගැන සිතීමෙන් ඈත්කොට තබා ඇත. මරණය යන්න තවත් ලෙසකට අපගේ දෙන ලද ලෝකය සමඟ ගැළපෙන්නක් නොවේ. මිනිසුන් මියගිය පසු ඔවුන් සමඟ ඇසුරු කළ නොහැකි බව අපි දනිමු. අපි නියතයක් ලෙස මියයෑම දනිමු. එහෙත් එය සාධනය කළ හැක්කක් නොවේ. අප සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේදී මරණයෙන් පලායනු ලැබේ. එය අනාගතයේ අවිනිශ්චිත දිනයක් දක්වා කල්දමයි. එම නිසා මරණය යනු අප ඉදිරිපිට ඇති පුටු මෙන් ඉදිරිපිට පැවැත්මක් නොවන අතර එය භාවිතයට හැකි පැවැත්මක්ද නොවේ. ඒ අනුව මෙම චිත්‍රපටය ජයසුන්දරගේ නොපැවැත්මට ඇති හැකියාව වූ කලි ඔහුගේ පැවැත්මේ අතිමූලික කොන්දේසියයි. අපගේ අවසාන වියහැකියාව මත අනෙකුත් සියලු වියහැකියාවන් රඳා පවතී. මරණය නම් නිරපේක්ෂ වියහැකියාව මඟින් අභියෝග කරන්නේ මිනිසුන් නම් දෙය නිර්මාණය කළ මෙම ස්වකීයත්වයටයි. මා යනු කවුද? යන්න සමාජයෙන් දී තිබෙන පහසු සරල අර්ථකථනය ප්‍රශ්න කිරීමට අපට බල කරන්නේ මරණය නම් වියහැකියාවයි. මේ අනුව ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් සිනමාපටය විසින් සිදුකරන්නේ මෙම අනාගත වියහැකියාව පිළිබඳව රූපපෙළක් ප්‍රතිනිර්මාණය කිරීමයි. එහිදී ඔහුගේ ආස්ථානය වඩාත් වැදගත් වන්නේ ඔහු මරණය පිළිබඳව දරන අදහස ආගමික ගුඪවාදය සහ ජීව විද්‍යාත්මක සීමාකම් අතික්‍රමණය කිරීම නිසායි. ඒ අනුව විමුක්ති ජයසුන්දර විසින් සිදුකර ඇත්තේ, හඩෛගර්ගේ ජනප්‍රිය තිසීසය මගින් අපට කියා දුන්, මරණයේ පරම වියනොහැකිභාවයේ විය හැකිභාවය අප ඉදිරියට ප්‍රක්ෂේපණය කිරීමයි. එම නිසා සිනමාව ඉදිරිපිට විමුක්ති ජයසුන්දරට මරණයට බිය වීමට අවශ්‍ය නැත.■