Monday, 21/8/2017 | 4:38 UTC+0
රාවය

මහින්දානන්ද, විදුර, වෙල්ගම ඉවතට

නිමල් අබේසිංහ /නිමල් බණ්ඩාර හේරත්

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි ආසන සංවිධායකවරුන්ගේ සංවිධායක තනතුරු නුදුරේදීම අහෝසි වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබලයෙක් රාවය කළ විමසුමකදී කීවේය.

ශ්‍රීලනිපය මහනුවර ගැටඹේදී පැවැත්වීමට නියමිත මැයි දින රැලිය සඳහා අනිවාර්යයෙන් සහභාගිවන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන්ට ලිපි මගින් දන්වා යවා ඇති බවත් ලිපියට අනුව සහභාගි නොවන්නන්ට සංවිධායක ධුරය අහෝසි වීමේ ඉරණමට මුහුණ දීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.
එමෙන්ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර අහෝසි කිරීමට මේ වන විටත් තීන්දුවක් ගෙන ඇති බවත් එය ක්‍රියාත්මක වීමද නුදුරේදීම සිදුවන බවත් ඔහු පැවසුවේය.
පසුගියදා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් නෙරපා හැරි විට එයට විරෝධය පා ඔහුගේ පුත් මධ්‍යම පළාත් සභා ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර මාතලේ දිස්ත්‍රික් සංවිධායක රෝහණ දිසානායකද සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට අමතරව පළාත් සභා මැති ඇමතිවරුන් සම්බන්ධයෙන්ද මැයි දිනයෙන් පසුව විනය තීන්දුවක් ගැනෙනු ඇති බවද ඔහු රාවයට වැඩිදුරටත් පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විදුර වික්‍රමනායක හා කුමාර වෙල්ගමගෙන් මේ පිළිබඳව විමසූ විට පැවසූවේ මහනුවර ගැටඹේ පැවැත්වෙන මැයි දිනයට අනිවාර්යයෙන් සහභාගි විය යුතු බවට තමන්ට තවමත් ලිපි ලැබී නැති බවයි. ලිපි ලැබුණද නොලැබුණද තමන් නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ ඒකමතික තීරණය ගෝල්ෆේස්හි පැවැත්වෙන මැයි රැලියට සහභාගිවීම බැවින් තමන් ඊට සහභාගි වන බවය.
මහින්දානන්ද අලුත්ගමගේ සංවිධායක ධුරය දරන නාවලපිටිය ආසන සංවිධායක ධුරය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවන අතර සංවිධායක ධුරයත් සමඟ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීමට නියමිත බවද වාර්තාවේ. එච්.ඒ. රණසිංහට පළාත් සභා මන්ත්‍රීධුරය පිරිනමන්නට යන්නේ ඔහුට වඩා මනාප ලබාගත් පස් දෙනකු එම ලැයිස්තුවේ ඊළඟට සිටින තත්ත්වය තුළදී වන අතර ඔහු පත් කිරීමට යන්නේ පළාත් සභා මන්ත්‍රී ජගත් විජේනායකගේ පුරප්පාඩුවටය.
මේ පිළිබඳ හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහගෙන් කළ විමසූමකදී පැවසුවේ කථාව සත්‍යයක් බවත් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණ යෝජනාවක් හා පක්‍ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යෝජනාවට අනුව මැයි මාසේ 10 වන දින පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පළාත් සභාවට යාමට සූදානම් බවත් මැයි පළමුවෙනි දින රැලියට සහභාගි වීමට පෙර තමන් නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායක ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපිය බාර ගැනීමට සූදානම් බවත්ය.■

About