Monday, 21/8/2017 | 4:39 UTC+0
රාවය

මීතොටමුල්ලේ කතාව ජනතා ඇසින්

තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි හේරත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේ අසාර්ථක බව නිසා අවසානයේදී කුණු කන්දක් ළඟ ස්වාමි පුරුෂයෝ, බිරින්දෑවරු, දියණියෝ, දරුවෝ මියගියෝය. කුණුකන්දේ පිපිරීමෙන් මියගිය සම්පූර්ණ මරණ ප්‍රමාණය හතළිහක් පමණ බව ගම්වාසීහු විශ්වාස කරති. මිනී තිස් දෙකක් සහ එක් අතක් හමුවී ඇත.
නුවන් බෝපගේ මහතා සහ මීතොටමුල්ලේ ජනතාව පවසන ආකාරයට ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙකු මීතොටමුල්ල වාසීන්ට කියා තිබුණු කතාවක් විය. ඒ එම අතිරේක ලේකම්වරයා හරහා ජනාධිපතිවරයාට ලිපියක් බාරදෙන්නට ගම්වාසීන් ගිය අවස්ථාවේදීය. අතිරේක ලේකම් කියා තිබුණේ “ලොක්කා මේකට අතදාන්න කැමති නෑ, හැමතැනම ගෑවෙන නිසා.” කියායි.

කීර්තිරත්න පෙරේරා
මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරාට කුණුකන්ද පිපිරීමෙන් සියල්ල අහිමිවිය. මුණුපුරා පමණක් ඉතිරිවිය. මේ ඔහු අප සමඟ කී කතාවෙන් කොටසකි. ඇතැම් සිදුවීම් අප මෙහි පළ නොකරන්නේ ඒවා තහවුරු කරගන්නට නොහැකි වුණු නිසාය.
“කොළඹ නගර සභාවේ කුණු දාන්න අරන් ටික කාලෙකට පස්සේ තමයි කුණුකන්දට ආසන්නයේ අපේ නිවෙස්වලට එහායින් තිබුණු නිවාස මුලින් පිපිරුවේ. මේක දැක්කාම තමයි අපට හිතුණේ මේකට එරෙහිවෙන්න ඕනෑ කියලා. එතකොට නීතිඥ නුවන් බෝපගේ එක්ක මම කැඳවුම්කරු විදියට සියලුදෙනාම එකතුවෙලා කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය බිහිකළා. දිගටම උද්ඝෝෂණ කළා විසඳුම් ලැබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ බලය නිසා කොහොමත් ඔවුන් කුණු දැම්මා.
දින සීය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සාකච්ඡාවකට ගියා. අපි ඒ වෙලාවේ එතුමාට කිව්වා කුණු දැමීම දැන්ම නතර කරන්න කියලා. ඒ වෙලාවේ අපට පොරොන්දුවක් වුණා හයමාසයක් යනකොට ඉවත් කරනවා කියලා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුවත්පත් නිවේදනයක් දැම්මා. කුණුවලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘතිවලට යෝජනා බාරගන්න. අපි දන්නා තරමින් ව්‍යාපෘති හැටක් විතර ආවා. ඒ යෝජනා හැටෙන් එකක්වත් ආරම්භ කරන්න කලින් නැවත මහ ඡන්දය ආවා. අපට විශ්වාසයක් තිබුණා ටෙන්ඩර් කෝල් කරලා තියෙන එකේ යමක් කරයි කියලා. අපි සෑහෙන්න කැපවෙලා එජාපයට වැඩකළා. පෝලින් බූත්වලත් වැඩකළා. අපේ අයගෙන් සීයට හැත්තෑවක් විතර ඔවුන්ට වැඩකළා. ආණ්ඩුව පිහිටෙව්වා. ඒකෙන් පස්සේ මොකක්ද වුණේ? අර ටෙන්ඩර් හැට අතරේ කඹ ඇදිල්ලක් ආවා. විවිධ අය තමන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් දෙන්න උත්සාහ කළා. විසඳුම් කල් ගියා. අපි දන්නා විදියට ඒ යෝජනා හැට අතරේ හොඳ යෝජනා තිබුණා. ඇතැම් සමාගම් කීවා ඒ වෙනකොටත් කුණුකන්ද සම්බන්ධයෙන් තිබුණු නඩුවලටත් මැදිහත් වෙනවා කියලා. ඔවුන් ඉල්ලුවේ ඉඩමක්, විදුලි බලය විදුලිබල මණ්ඩලයෙන් ගන්නා බවට සහතිකයක් හා ප්‍රමාණවත් කුණු විතරයි. ඔවුන් ආයෝජනය කරන බව කීවා. හැබැයි ඒ හැටම නැතිවුණා. හේතුව හංගන්න දෙයක් නෑ. දූෂණය හා වංචාව.
මෙහෙම වෙද්දී අපි නැවත වතාවක් 2015 දෙසැම්බර් 27 වැනිදා කුණු කන්දට එරෙහිව සටන් කළා. කොළොන්නාවේ නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත බස් එකක හෙංචයියෝ දාගෙන ආවා. බස් එකෙන් බැහැලා මම නැතිව තොපි කොහොමද මෙතැන උද්ඝෝෂණය කරන්නේ කියලා කෑගැහුවා. ඊට පස්සේ අපට ගැහුවා. ඇණ ගහපු ලීයකින් මගේ ඔළුවට ගැහුවා. ගුටි කාලා මගේ ඇඟිල්ල අදටත් ඇදයි. නුවන් බෝපගේ සහෝදරයාට මරන්න වගේ ගැහුවේ.
දවස් තුනක් හොස්පිට්ල් එකේ ඉඳලා මම ප්‍රවෘත්ති සාකච්ඡාවකට ගියේ. කිව්වා කුණුකන්දේ ස්වභාවය. කුණු දිරාපත්වෙද්දී මීතේන් වායුව හැදෙන බව කීවා. වායු ප්‍රතික්‍රියා කළාම ලොකු පිපිරීමක් ඇතිවෙනවා කියලා අපි කීවා. අපි විද්‍යාඥයෝ නෙවෙයි. හැබැයි අපි මේ ගැන දන්නා අය එක්ක සාකච්ඡා කරලා, සමීක්ෂණ කරලා ලබාගත්ත පුළුල් දැනුමක් තිබුණා. මම කිව්වා මේක කඩාගෙන වැටෙයි කියලා.
මේ අවුරුද්දේ සිද්ධිය වෙන්න දින කිහිපයකට කලින් ඉඳන් පොළොවේ පස් පුපුරනවා වගේ පෙනුණා. යම් එසවීමක් වගේ පොළොවේ වුණා. හැබැයි එකපාර වෙන විනාශයක් පෙනුණේ නෑ. කොහොමද වෙන්නේ කියලා තේරුණෙත් නැහැ. හැබැයි අපි බලධාරීන්ට කතාව කීවා. අප්‍රේල් එකොළොස්වෙනිදා නිවාස හිමි අයට සාකච්ඡාවකට එන්න කියලා මන්ත්‍රී මරික්කාර් දැනුම්දීලා තිබුණා. දොළහට නාගරික කොමසාරිස් එක්ක සාකච්ඡාවකට ගියා. අපට දැනගන්න ලැබුණා ඒ අතරේ අපේ ගෙවල්වලට කණ්ඩායමක් යවලා තිබුණා කියලා අපේ ගෙවල්වල අංක ගහන්න. අපි කිව්වා මේක එන්න එන්න වැඩිවෙනවා. අපේ ගෙවල්වල වටිනාකම ලැබුණොත් අපි ගෙවල්වලින් යනවා කියලා.
නාගරික කොමසාරිස්වරයා කීවේ 15,000ක මාස කුලී මාස හයක එකවර දෙනවා කියලා. අපි ඒකට එකඟවුණේ නැහැ. අපි කීවේ අපට ඔප්පු තියෙනවා, ගෙවල්වල ගණන දෙන්න කියලා. ඒ වෙලාවෙ මරික්කාර් මන්ත්‍රීවරයා මැදිහත්වෙලා කිව්වා විසිපන්දාහකට වැඩි මුදලක් දෙන්න ඔහු කටයුතු කරන්නම්, හැබැයි අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැබිනට් මණ්ඩලය රැස්වෙනවා, එතකොට සාකච්ඡා කරලා දෙන්නම් කියලා. ඒ වෙද්දීත් ගෙවල් දෙකක් පුපුරලා තිබුණා. අපි ඒ දෙන්නාව නම්කරලා කිව්වා එයාලාට විතරක් හරි වහාම දෙන්න කියලා. හෙට එන්න, දෙන්නම් කිව්වා. හැබැයි මේ ව්‍යසනය වෙනකන් ඒ දෙන්නාටවත් මොනවත් දුන්නේ නැහැ. හැබැයි දැන් ප්‍රචාරයක් යවනවා එයාලා හැට දෙනෙකුට මුදල් ලෑස්ති කරලා චෙක් ලියලා තිබුණත් අපේ අය ගියේ නැහැ කියලා. ඒ බොරු.”

පිපිරීමට කලින්
ශාන්ත පෙරේරා කුණුකන්ද අසලම වාසය කරන්නෙකි. ඔවුන්ට කුණුකන්ද කඩා වැටෙන්නට පෙර අවදානම පෙනී තිබුණි.
“අප්‍රේල් අටවැනිදා විතර වෙනකොට පරිසරයේ වෙනසක් ඇතිවෙලා තිබුණේ. අඩි දෙකක් තුනක් වෙනකන් පොළොව ඉස්සිලා වගේ තියෙන බව පෙනුණා. කාණු පද්ධති බ්ලොක් වෙලා අපේ ඉඩම්වල වතුර බහින්නැති තත්ත්වයක් ඇතිවුණා. අපේ ගෙදරටත් වතුර දාන්න ගත්තා අට විතර ඉඳන්. නවය, දහය වගේ වැස්සක් ඇවිත් ගෙදර කාමර දෙකකටත් වතුර ආවා. අපට කෑම උයාගන්නවත් තත්ත්වයක් තිබුණේ නැහැ. ගිය පාර ගංවතුරෙන් පස්සේ අපේ ආර්ථිකය කඩාවැටිලා තිබුණේ. මම සුළු ව්‍යාපාරිකයෙක්. ගංවතුරෙන් අපේ සියලු දේපළ අහිමිවුණා. අඩි හතක් විතර දහම්පුරයට ගංවතුර ආවා. ඒ ගංවතුරට බහින්නවත් බෑ. ඒකෙන් කුණු වතුරක් ආවේ. දම්පාට වතුරක්. එදා ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන තියලා කිව්වා ලක්ෂ දහයක විස්සක වන්දි ලැබෙනවා කියලා. හැබැයි අපට ලැබුණේ දහදාහක් විතරයි. අපේ ව්‍යාපාරවලට වෙනම වන්දි ගෙවනවා කිව්වත් සතයක්වත් ලැබිලා නැහැ. මම ආපහු බිංදුවේ ඉඳන් බිස්නස් එක ගොඩගත්තා ගිය අවුරුද්ද තිස්සේ. ණයවෙලා තමයි වාහනේ ලීසිං එකෙන් බේරාගත්තේ. ගංවතුරට කුණුකන්දේ කුණුවතුර ගෑවුණ සියලු දේ ඉවත් කළා.
ඩෙංගු අවදානම මේ අවුරුද්දේ මුල ආවා. සිද්ධිය වෙන්න සති තුන හතරකට කලින් ඉස්සරහ ගෙදර ළමයෙක් නැතිවුණා. හත්වැනිදා හෝ අටවැනිදා ඩෙංගු සහ වතුර බහින්නැති තත්ත්වය ගැන කීවා, ආණ්ඩුවට යමක් කරන්න තිබුණා. දොළොස්වැනිදා වෙද්දී වතුර ගෙට දාලා නිසා ඉස්තෝප්පුවේ තමයි අපි හිටියේ. මේ නිසා දෙහිවල නෑදෑ ගෙදරකට මගේ ළමයිව යැව්වා. මම දොළොස්වැනිදාත් නාගරික කොමසාරිස්තුමාට කතාකළා. තත්ත්වය කීවා. අන්තිමේ අපිත් ගෙදරින් තාවකාලිකව යන්න හිතුවා. නෑදෑ ගෙදරකට ගියා. අපි ගෙදරින් ගියේ නැත්තං මගේ මිනියවත් දැන් ලැබිලා නෑ. එහෙනම් මගෙ පවුලම දැන් මළගෙයක්වත් නැතිව කුණුකන්දට යටවෙලා.”
ශාන්ත පවසන ආකාරයට කුණුකන්ද කඩාවැටෙන්නට කලින් සිට අනතුරේ සේයා පහළවී තිබුණත් සිදුවන්නට නියමිත කුමක්දැයි නිවැරදිව ගම්වාසීන්ට අවබෝධ වී නොමැත. එක් අතකින් ඔවුන්ද මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්නේ පළමුවැනි වතාවටයි. මින් ආපදා කළමනාකරණය ගැන පාඩමක් ඉගෙනගන්නේ නම් අප කළයුත්තේ කුඩා සලකුණුවල පවා භයානක පිපිරීමක ඉඩ ඇති බව අවබෝධ කරගැනීමයි. අනෙක ආණ්ඩුව පැත්තෙන් ලබාදෙන බව කී සුළු සහනවලට නිවසෙන් යෑමට ඔවුන් අකමැති වී තිබුණි. ප්‍රමාණවත් වන්දියක් ලැබුණා නම් ඔවුන් මේ දුර්ගන්ධය හමන ඉඩමෙන් ඉවත්වන්නට සූදානම්ව සිට ඇත.

නුවන් බෝපගේ
මීතොටමුල්ල ප්‍රදේශවාසීන්ට ඉවත් වන්නැයි කියා තියෙද්දී නොගිය නිසා අනතුර සිදුවුණු බව ආණ්ඩුව කරන ප්‍රකාශය ගැන නීතිඥ නුවන් බෝපගේ මෙසේ අදහස් දැක්වීය.
“අප්‍රේල් හත දුන්නා කියලා ලියුමක් පෙන්වනවා. ගෙවල් පුපුරන්න ගත්තේ දෙදාස් දහතුනේ. එච්චරකල් නොදුන්න ලියුමක් අවුරුදු සතියේ දෙයිද. නිලධාරීන් අවුරුදු සතියේ හොයාගන්නත් නැති බව අපි දන්නවා. ආණ්ඩුවට පුළුවන්ද හරියටම පෙන්වන්න අහවල් අහවල් අයට ලියුම් දුන්නා, මෙන්න ඒවායේ පිටපත් කියලා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් කළාලු. අත්සන් බාරගෙන ලියුම් දුන්නා කියනවා. අපි කියන්නේ ඒවා පෙන්වන්න. මේවා පසුව ගෙතූ පට්ටපල් බොරු. අපි ළඟ මරණ සහතික සහිත සාක්ෂි තියෙනවා තිහකට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු සහ විවිධ රෝග හැදිලා මියගිය අයගේ. ඒ වගේම බරපතළ ලෙස අසනීප වුණු අයගේ සාක්ෂි තියෙනවා. අපේ අදහස හතළිහක් කුණු කන්දෙන් මැරුණා. ඒ නිසා අපි කියන්නේ කුණුකන්ද කඩාවැටිලා නැතිවුණ ජීවිතත් එක්ක කාලයක් තිස්සේ කුණුකන්දේ බලපෑමෙන් සිදුවුණු සම්පූර්ණ මරණ සංඛ්‍යාව හැත්තෑවක්.”

වන්දි
විනාශයට පත්වූ නිවාස සහ අධිඅවදානම් නිවාසවල වෙසෙන්නන්ට ප්‍රධාන විකල්ප තුනක් ලැබී ඇත. ඉන් කැමැති පුද්ගලයන්ට සාලමුල්ලේ මහල් නිවාස සංකීර්ණයේ නිවාස ලබාගත හැකි අතර එම නිවාස ලබන්නට අකැමති පිරිසකට රුපියල් පණස්දාහක නිවාස කුලී ලබාදෙන බව පවසා ඇත. ඊට අමතරව කොළොන්නාව ගබඩා සංකීර්ණයක තාවකාලිකව නවාතැන් පහසුකම්ද රජය විසින් සපයන බව පවසා ඇත. එහෙත් ලිපිය ලියැවෙන මොහොත වනවිටත් ටෙරන්ස් විදුහලේ සිටි අවතැන්වූවන් ගබඩා සංකීර්ණයට යෑමට අකැමැත්ත පළකර තිබුණි.
මේ අතර සියලු නිවාසවල වටිනාකම තක්සේරු කරන බව ආණ්ඩුව කියා තිබේ. ඒ අනුව මහල් නිවාස ලබාගත් යම් අයෙකුට ලක්ෂ හතළිහක් වන මහල් නිවාසයේ ඇස්තමේන්තු වටිනාකමට වැඩි වටිනාකමක් හිමි නම් ඒ අමතර මුදල ගෙවනු ලැබේ. තක්සේරු වටිනාකම මහල් නිවාසයට වඩා අඩු නම් වන්දියක් හිමි නොවේ. මහල් නිවාස නොගත් අයට සම්පූර්ණ තක්සේරු වටිනාකම හිමිවේ.
කීර්තිරත්න, ශාන්ත, මාලා ඇතුළු අප සමඟ කතාබහ කළ දහම්පුරවාසීන් පැවසුවේ ලබාදෙන බව පැවසූ රුපියල් පණස්දාහේ මාසික කුලිය ලබාගන්නට කැමැත්ත පළකර ඇති බවයි. එසේ වුණත් කුඩා නිවාසවල සිටි බොහෝදෙනෙකු මහල් නිවාස ලබාගැනීමට කැමැත්ත පළකර තිබුණි. ආණ්ඩුවෙන් සංදර්ශනයක් පවත්වා කිහිපදෙනෙකුට ඒ නිවාසවල යතුරු ලබාදුන්නත් ඇතැම් අයට නිවාස ලැබී තිබුණේ නැත. ඉදිරියේදී ඒවා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය. අප සමඟ කතාබහ කළ ප්‍රියදර්ශනී පැවසුවේ තමන් ඇතුළු කුලී නිවාසවල සිටි බොහෝදෙනෙකු සිටින බවත් ඔවුනට ලබාදෙන වන්දි පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කිරීම වැදගත් බවත්ය. දැනට ඔවුන්ට සිදුව ඇත්තේ කොළොන්නාව ගබඩාවේ පදිංචියට යෑමටයි.

නාය ගියේ කොහොමද?
කුණුකන්ද කඩාවැටීම සහ තම පවුලට එයට යටවුණු ආකාරය කීර්තිරත්න පෙරේරා මහතා මෙසේ විස්තර කළේය.
“අපි හිතුවේ කන්ද නායයයි කියලා. හැබැයි නොහිතපු විදියට පොළොව ඉරිතලලා ගොඩනැඟිලි ඉහලට එසවුණු එක වුණේ. ඔය සිද්ධිය වෙද්දී ගෙවල්වල පිපිරීම් සලකුණු එක්ක අනතුරක සේයා අපි දැක්ක නිසා යන්න ලෑස්තිවෙමින් හිටියේ. කුණුකන්ද කඩාවැටුණා නම් දුවලා බේරෙන්න තිබුණා. අපි එළියට යන්න හැදුවේ. බිරිඳ රෑට අඳින ඇඳුම ඇඳගෙන හිටිය නිසා ගෙට ගිහිල්ලා රාත්‍රියට අඳින ඇඳුම වෙනස්කළා. අපි ගෙදරින් එළියට ගිය ගමන්ම ගෙදර පිටිපස්සේ තාප්පය කඩාගෙන වැටුණා. බාගයකට වඩා යද්දී එකපාරම පාර ඉස්සරහින් ඉරිතලලා පාර පිපිරුවා. අපට දුවන්න තැනක් හිතාගන්න බැරිවුණා. හැම පැත්තෙන්ම පුපුරනවා. ගෙවල් කිහිපයක් එකපාරම අඩි හතළිහක් විතර උඩට ගියා. හැමතැනම දූවිල්ලෙන් වැහුණා. ඉන් පස්සේ මම දැක්කා කුණුකන්දේ විශාල කොටසක් පහළට ගියා. දූවිල්ල පහවෙද්දී මම දැක්කා බිරිඳගේ ඉනෙන් පහළ කොන්ක්‍රීට් ගොඩක්. ඒ වෙලාවේ තරුණ පිරිසක් දුවගෙන ආවා. බිරිඳගේ ඇඟට යටින් මිණිපිරිය යටවෙලා හිටියා. දුවගේ කට වැහෙන විදියට පස්, වතුර තිබුණේ. දෙකයි ගාණකට මේක වුණේ. රෑ නවයහමාරට තමයි හමුදාව ඇවිල්ලා මගේ බිරිඳගේ සිරුර බේරාගත්තේ. මිණිපිරීගෙයි, බෑණාගෙයි ශරීර විතරයි දෙවැනි දවස වෙද්දී ගත්තේ. දවස් හයකට පස්සේ බැකෝ එකකට පැටලිලා මගේ එකම දුවගේ සිරුර ගොඩ ආවා. හිස නැති කඳක් ආවේ.”
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර පවසා තිබුණේ කුණුකන්ද යට තිබුණු දුර්වල පාෂාණ තට්ටුවක් නිවාස තිබුණු පැත්තට ගිලාබැස ඇති බවයි. ඒ අනුව කුණුකන්ද ඉහළට එසවී තිබුණි. මේ පිළිබඳ සංඥා කලින් දැකගන්නට ලැබී තිබුණත් පළමු අත්දැකීම නිසා ප්‍රදේශවාසීන්ට තත්ත්වය අවබෝධ කරගන්නට නොහැකි වී ඇත. වගුරුබිමක කුණුකන්ද තිබුණු නිසා පොළොව මට්ටමේ සිට අඩි දහයකට වැඩි ප්‍රමාණයක් ඇතුළට යනතුරු දුර්වල පාෂාණ තට්ටුව තිබී ඇතැයි ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය කපිල දහනායක පවසන්නේ වගුරුබිමේ තිබුණු ඇළ මාර්ගය කැඩීයෑම මේ නායයෑමේ තත්ත්වය ඇතිවීමට හේතුවක් වන්නට ඇති බවයි. පස් ස්ථරයේ දුර්වලතාවට අමතරව දිරාගොස් කොම්පෝස්ට් බවට පත්ව තිබුණු කුණු සහ ඒ මත ඇතිවුණු මීතේන් වායුව ඇළ මාර්ගය කඩායෑමෙන් පසුව පස් ස්ථරයට කුණු දරාගැනීමට නොහැකි වන්නට ඇති බවත් මහාචාර්යවරයා පෙන්වාදෙයි. එක් අතකින් එතැන තිබුණු වැඩියෙන් විනාශ වූ නිවාසවල අත්තිවාරම් දුර්වල වන්නට ඇති බව ඔහු පෙන්වාදෙන අතර මීට පෙර කුණුකන්ද පවත්වාගෙන යද්දී මේ තත්ත්වය ගැන නිසි පරීක්ෂණයක් නොකිරීම නිසා මෙය කඩාවැටෙන තුරු දැනගන්නට නොහැකිවීමේ ඉඩ ඇති බව ඔහු පවසයි.■

About