රාවය

සාලාව දෙස ආපසු හැරී බලන්න

සාලාව  දෙස ආපසු  හැරී බලන්න

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ස්වාභාවික විපත් මෙන්ම ස්වා භාවික නොවන ඛේදවාචකයන් අතරට මීතොටමුල්ල ඛේද වාචකයත් එක් වෙද්දී සාලාව ඛේදවාචකයටත් දැන් වසරකට ආසන්නය. පසුගිය වසරේ ජුනි 05 වන දින කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ දැවැන්ත අවි ගබඩාව පුපුරා ගොස් අතිවිශාල ප්‍රදේශයක් හරහා පැතිර ගිය විනාශයෙන් වින්දිතයන් බවට පත් වූ බොහොමයකට අද වන විටත් සාධාරණයක් ඉටු නොවුණු බව ප්‍රදේශවාසීහු පවසති. සියල්ල යථා තත්ත්වයට පත් වන තුරු සාලාව ප්‍රදේශවාසීන් අත්හැර නොයන බවට යුද හමුදාව විසින් කළ ප්‍රකාශයන් ද මේ වන විට අසත්‍යයන් බවට පත්ව තිබෙන්නේ ඔවුන් ද අතරමග ඒ කටයුතු හැර ගොස් බොහෝ කල් ගත වූ බැවිනි. විනාශය සිදු වූ සැණින් යුද හමුදාව ඇතුළු රජය දුන් පොරොන්දු බොහොමයක් අද වන විට සිදුවීමෙන් විපතට පත් ජනතාවට කඩ වූ පොරොන්දු බවට පත්ව තිබේ.
“අපේ ගේ බැකෝ කරන්න වෙනවා කියලා මුලින්ම හමුදාවෙන් කිවුවා. අපි කීවා කමක් නැහැ, අපිට වන්දි එපා, ගේ හදලා දෙන්න කියලා. ඒ අය කීවා බිත්ති සම්පූර්ණයෙන්ම කඩන්න වෙනවා, ඒවා පස්සේ කඩලා හදලා දෙනවා, එතකන් තාවකාලිකව වහල ගහලා දෙන්නම් කියලා. කැඩුණු බිත්ති අතරට සිමෙන්ති දාලා පුරවලා ගේ ඉස්සරහ ටිකට විතරක් උළු දාලා ඒ කොටසේ ෆොටෝ අරන් බාගෙට කඩාපු බිත්තිත් එහෙමම තියෙද්දී කම්ප්ලීට් කියලා ලියලා දීලා ඒ අය ගියා. ගේ හැමතැනම කැඩිලා පුපුරලා නිසා අපි කූඩාරමේ මාස පහක් හිටියා. දුවගේ දරුවාත් තියාගෙන කූඩාරමේ ඉන්න බැරි නිසා පස්සේ සාලේයි කාමර දෙකකුයි ඉන්න පුළුවන් විධියට අපිම හදා ගත්තා. ඒත් වහින දවසට ගේ තෙමෙන්න ගත්තා. ආපහු අපිම වහලත් හැදෙව්වා. තව කාමර තුනයි, කුස්සියයි හදා ගන්න තියෙනවා. ඒත් මේකේ ඉන්නත් අපිට බයයි.” ඒ සාලාව මුරුතගම පදිංචි මානෙල් හඳපාන්ගොඩ මහත්මියයි.
ඔවුන්ගේ නිවසේ බිත්ති බොහෝ තැන්වලින් විනාශව ගොස්ය. එය බැකෝ කළ යුතු බව මුලින් ප්‍රකාශ කළත් පසුව යුද හමුදාව විසින් කැඩුණු බිත්ති සිමෙන්ති පුරවා ගොස්ය. එහෙත් ඒ බිත්ති ද සෑම තැනකම මෙන් පුපුරා ගොස්ය. ගෙබිම ද සෑම තැනම පුපුරා ගැලවී ගොස් ය. වහලේ ලී ද යාන්තමින් මෙන් අටවා උළු තබා ගොස් ඇති බවක් දක්නට ඇත. එතැනින් ඔවුන්ගේ කටයුතු නිමා වී තිබේ.
“පස්සේ කියනවා එයාලා හදන්නේ නෑ, වන්දි අරන් අපි හදාගන්න ඕනෑ කියලා. බලන් ඉඳලා බැරිම තැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් වන්දිය ගත්තා. පන්ලක්ෂ හතළිස්දාහක් තිබුණා. තව අතිනුත් වියදම් කරලා තමයි ගෙයින් භාගයක් හදා ගත්තේ. ඒත් අනිත් ටික හදාගන්න විධියක් නැහැ. ගෙයි තිබුණු බඩුවලින් කොටසක් තාමත් කූඩාරමේ. ගේ හදාගන්නකම් ගේ ඇතුළේ ඉන්නත් බයයි. මගේ මහත්තයාත් අංසභාගෙ හැදිලා.”
අවි ගබඩාව පුපුරා ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් කෙසේ හෝ දිවි බේරා ගත්තද ඉන් පසු දිනක එක් පුද්ගලයෙකු මිය යන්නේ විනාශ වූ තම ව්‍යාපාරික ස්ථානයේ සුන්බුන් ඉවත් කරමින් සිටිය දී එහි බිත්තියක් ඇඟ මතට කඩා වැටීමකිනි. දැන් විනාශය සිදුව අවසන්ය, බොහෝ කල්ය. එහෙත් ඊට මැදිවූ මිනිසුන්ගේ ජීවිත දැන දැනම තවමත් අවදානමකය. ඒ ගැන සොයා බැලීමට කිසිවෙක් හෝ සියල්ල යථා තත්ත්වයට පත් වන තෙක් අත්නොහරින බවට ප්‍රකාශයන් කළ කිසිවෙක් හෝ අද එහි නැත.
රෝහල පාරේ පදිංචිව සිටි එල්. එම් රේණුකා මහත්මිය පවසන්නේ මෙවන් කතාවකි.
“අපි කලියෙන් අවුරුදු අටක්ම හිටියේ ලෑලි ගේක. පස්සේ මහත්තයා රට ගිහින් එවපු සල්ලියි ලෝන්වලිනුයි මම මේ ගේ හදලා මාස දෙකයි දවස් විසිපහයි වුණේ මේ විනාශය සිද්ධ වුණා. දුව එක්ක හැමදාම කූඩාරමේ ඉන්නත් බැරි නිසා දැන් 8000ක් කුලී ගෙවලා වෙන තැනක ඉන්නවා. ගේ ළඟම මම කඩයක් කළා. ඒ ආදායම් මාර්ගත් ඔක්කෝම නතර වුණා. එකම ලිපිනය තියෙන්නේ කියලා ගෙටයි කඬේටයි දෙකටම වන්දිය ආවේ එක්ලක්ෂ හයදාහයි. ඒකේ වැඩ කුලී විධියට දාලා තිබුණේ 5000යි. මගේ ගේ ඔක්කෝම කැඩිලා. ඒ මුදලින් ගේ හදන්නත් බැහැ. හමුදාවෙන් හැදුවේත් නැහැ. අපිට වුණු අසාධාරණය හැමතැනටම කොච්චර කීවත් විසඳුණේ නැහැ. අපි මානව හිමිකම් එකටත් පැමිණිලි කළා. අපිට හැමදාම මෙහෙම ඉන්නත් බැහැ. එක්කෝ අපිට ගේ හදලා දෙන්න, නැත්නම් සාධාරණ තක්සේරුවක් කරන්න කියලායි මම ඉල්ලන්නේ”
පිපිරීමෙන් පසු ඇතැම් නිවාස තිබූ තත්ත්වයට වඩා හොඳින් ඉදි වූ බවත් ඇතැම් අය අන්ත අසරණ බවට පත්ව සිටින බවටත් ප්‍රදේශවාසීහු පවසති. තමන්ට සිදුව තිබෙන අලාභහානීන් පිළිබඳ කරන ලද තක්සේරු සාධාරණ නොවන බවට ඔවුහු චෝදනා කරති. ඒ අතර “සමහර අයට නම් මේකෙන් ස්වීප් ඇදුණා” යැයි පවසන අය ද සාලාවේ සිටිති. කෙසේ නමුත් බොහෝ දෙනා තුළ තම නිවාස සහ දේපොළ වෙනුවෙන් කරන ලද තක්සේරු පිළිබඳ පැහැදීමක් නැත.
“අපේ ගේ සම්පූර්ණෙන්ම පිච්චුණා. ළමයින්ගේ උප්පැන්න සහතිකයක්වත් ඉතිරි වුණේ නෑ. ඔප්පු, ප්ලෑන් මොනවත්ම ඉතිරි වුණේ නෑ. ලොකු පුතා ගිය අගෝස්තුවල උසස් පෙළ ලියන්නයි හිටියේ, එයාගේ එක පොතක්වත් ඉතිරි වුණේ නෑ. මුලින් පොරොන්දු වුණා විශේෂ සේවාවක් ගෙනල්ලා හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ලියකියවිලි හදලා දෙනවා කියලා. ඒ කිසිම දෙයක් වුණේ නෑ. අපි පෞද්ගලිකව ගිහින් පුළුවන් විධියට අවශ්‍යම ඒවා හදා ගත්තා. මම ලෙඩෙක්, මගේ ක්ලිනික් පොත් ඔක්කෝමත් පිච්චුණා. දියවැඩියා, ප්‍රෙෂර් වගේ රෝග තියන අය ඔක්කෝටම එහෙමයි. ඒ අයට කීවා විශේෂ සායනයක් තියනවා කියලා. ඒ කිසිම දෙයක් වුණේ නෑ.” ඒ සාලාව යුද හමුදා කදවුර ඉදිරිපිට නිවසක පදිංචි ජේ.පී නයනා නිලන්ති මහත්මිය යි.
පිපිරීම සිදුවී මාසයකට පසු සීතාවක ප්‍රාදේශීය ලේකම්වරයා අප සමඟ ද පැවසුවේ විනාශ වූ ලියකියවිලි නැවත සකස් කිරීම සදහා පසුගිය වසරේ අගෝස්තු මාසයේ පමණ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි. එහෙත් විනාශයට වසරක් ගතවීමට ආසන්නව ඇතත් එවන් සේවාවක් ද සාලාවේ ක්‍රියාත්මක වූයේ නැත.
“මගේ හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. යුද හමුදා කදවුරේ සේවය කරන පිටත ඉන්න අයට කෑම සැපයුවේත් මම. පිපිරීමෙන් පස්සේත් මාස දෙකක් විතර මම ඒ අයට කෑම දුන්නා. ඒත් පස්සේ අපි උද්ඝෝෂණ කරනවා, කළු කොඩි අදිනවා කියලා කෑම ගන්න එක ඒ අය නතර කළා. රුපියල් 50000 දීමනාව මාස 3ක් ලැබුණා. ඒක මාස 6ක් දක්වා දීර්ඝ කරනවා කියලා රජය කීවත් ඒවා වුණේ නෑ. සාලාව නගරයේ කුලියට වෙළෙඳ ස්ථාන ලබාගෙන ව්‍යාපාර පවත්වාගෙන යන අයට තාවකාලික කඩ 35ක් හදලා දෙනවා කීවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ වෙනුවෙන් මුදල් පාස් කර තිබුණත් ඒවා සිදු වුණේත් නෑ. මම දැන් හෝටලය ආපහු පටන් අරන් දවස් දෙකයි. කඩ හිමියෝ මේවා අලුතෙන් හදලා දුන්න නිසා දැන් කුලියත් වැඩි කරලා. මාස දහයක්ම ව්‍යාපාරය නතර වෙලායි තිබුණේ. ඒ පාඩුව පියවන්න බැහැ. අඩු තරමේ හදලා දෙනවා කියලා පොරොන්දු වුණු ව්‍යාපාරික ස්ථානයවත් අපට කඩිනමින් හදලා දෙන්න කියලායි අපි ඉල්ලන්නේ” සාලාව යුද හමුදා කදවුර ආසන්නයේ හෝටලයක් පවත්වාගෙන යන සංජීව ජයසූරිය එලෙස පවසන්නේය.
මේ වන විට සාලාව යුද හමුදා කදවුරෙන් බිම් කොටසක් ව්‍යාපාරිකයන් සඳහා ඉදිකිරීමට නියමිත වෙළඳ සංකීර්ණය ඇතුළු සාලාව නව නගර සැලැස්මට වෙන් කර තිබුණ ද එහි ඇති විනාශව ගිය ගොඩනැගිලි මිස තවමත් ඉදිකිරීම් ආරම්භව නැත. යුද හමුදා කඳවුරට අනෙක් පසින් අත්පත් කරගත් කොටසේ කඳවුරේ නව ඉදිකිරීම් මේ වන විට සිදුවෙමින් පවතී.
සාලාව එක්සත් වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ සභාපති එස්.එච්. හේමන්ත සාලාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පත්ව තිබෙන තත්ත්වය මෙලෙස පහදයි.
“සාලාව ව්‍යාපාරික යන්ගේ ජීවනෝපායන් නැතිවෙලා මාස එකොළහකට ආසන්නයි. ඒ අයට ගෙවල්වලට වෙලා ඉන්න සිද්දවුණා. සාලාව නගරයේ ව්‍යාපාරිකයන් 54 දෙනාටම භාණ්ඩ තක්සේරු ලැබුණත් ඒවා කිසිසේත්ම සාධාරණ තක්සේරු නෙමෙයි. තක්සේරුවෙන් අඩක් අමුඅමුවේ කප්පාදු කළා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර නැවත පටන් ගන්න පුළුවන්කමක් නැහැ. මුදල් ඇමතිතුමා කීවා මේ පීඩනයට පත් වුණු මිනිස්සු වෙනුවෙන් නිවැරදිව මේ ක්‍රියාදාමය කර දෙන්න කියලා. ඒ නමුත් රාජ්‍ය නිලධාරීන් එය නිවැරදිව සිදු කළේ නැහැ. ව්‍යාපාරිකයන්ට තවත් හොරු වගේ ගෙවල්වලට වෙලා ඉන්න බැහැ, ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා සති දෙකක් ඇතුළත සාධාරණයක් නොවුණොත් අපි ගරු අධිකරණය දක්වාම යනවා. එතැනිනුත් අපට සාධාරණයක් නොවෙනවා නම් අපි ජිනීවා මානව හිමිකම් දක්වාම යන්න ලෑස්තියි.”
සාලාව පිපිරීමෙන් අසාධාරණයට පත් ජනතාව විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ කරන ලද පැමිණිල්ල විභාගයෙන් පසු දෙසතියක් තුළ අභියාචනා මණ්ඩලයක් පිහිටුවුව ද එය තවම ක්‍රියාත්මක නොවන බව ද හේමන්ත මහතා පවසයි. ව්‍යාපාරිකයන් සඳහා භාණ්ඩ තක්සේරු සිදු කළ ක්‍රමවේදය තොරතුරු පනත හරහා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට සාලාව ව්‍යාපාරික ප්‍රජාව සූදානම්ව සිටින බවත් ඒ මගින් ද තමන්ට සාධාරණයක් නොවේ නම් අධිකරණය හමුවට තම ගැටලු රැගෙන යන බව ඔහු ප්‍රකාශ කරයි.
සාලාව ප්‍රදේශයේ ගැටලු සම්බන්ධව සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රදේශීය ලේකම්වරයා ලෙස පත්ව සිටින අමල් එදිරිසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඔහු වෙත එවැනි ලොකු ගැටලු ඉදිරිපත් නොවූ බවකි. තවත් කොටසක් ගෙවීමට නියමිත වන්දි මුදල් මේ වන විටත් ගෙවීම සිදුවන බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය. විනාශ වූ ලියකියවිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජංගම සේවාව පිළිබඳව සොයා බලන බවද ඔහු ප්‍රකාශ කළේය.
“අපිට මේ කළ දේ මීතොටමුල්ලටත් කරන්න එපා, ඒ අයටත් සාධාරණයක් ඉටු කරන්න” ඒ සාලාවේ බොහෝ දෙනා පැවසූ වදනකි. සාලාවේ මිනිසුන්ට ඇඳිවත පමණක් ඉතිරි කරමින් කුණු කන්දක් නාය ගියේ නැත, පස් කන්දක් නාය ගියේ ද නැත. ඔවුහු බිහිසුණු යුද්ධයකට මැදි වූයේ ද නැත. කෙසේ වූවා දැයි නොදන්නා දැවැන්ත අවි ආයුධ ගබඩාවක පුපුරා යෑමකට ඔවුන් සතු ගේ දොර, ව්‍යාපාර ඇතුළු බොහෝ දේ මැදිව අළු බවට පත් විය. ගැටලුව නම් එම සිදුවීමට වසරකට ආසන්නව තිබුණ ද ඔවුන්ට සැනසීමක් නම් තවම ළගා වී නොතිබීමය, ඔවුන් මැදි වූ අවුල් ජාලාවෙන් තවමත් බැට කමින් සිටීමය. ■