රාවය

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (5)

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (5)

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 50 අතුරින් එකක් සේ සැලකෙන, ‘මධ්‍යම යුරෝපීය විශ්වවිද්‍යාලය’ නැමැති පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමෙන පනතක් මීට සති දෙකකට කලින් හංගේරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඊට එරෙහිව අසූ දහසකට අධික ජනතාවක් පසුගිය 13 වැනි දා එරට අගනුවර වන බුඩාපෙස්ට්හි විරෝධතා දැක්වූහ. හංගේරියාව යනු, අවුරුදු පනහක් තිස්සේ රාජ්‍ය-කේන්ද්‍රීය සමාජවාදී ක්‍රමය අත්හදා බලා අසාර්ථකත්වයට මුහුණදුන් රටකි. රාජ්‍යය යන ආයතනය මගින් කුදු මහත් මහජන අවකාශය ගිල ගැනීම ගැන ඔවුන්ට ඇත්තේ ඉතා නීරස සහ කටුක අතීතයකි. අද එරට බලයේ සිටින්නේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදී රජයකි. මහජන විරෝධය මධ්‍යයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වසා දැමීමට එවැනි රටක ජාතිවාදී දක්ෂිණාංශික රජයක් කැසකවද්දී, ලංකාවේ එම කාරියට වාමාංශික යැයි කියා ගන්නා පිරිස් අත ගසා තිබීම උත්ප්‍රාසාත්මක ය.
අධ්‍යාපනයේ ප්‍රශ්නය විසඳාලීමේ ප්‍රථම මාර්ගය වන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක් වසා දැමීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියති. ඊට ඔවුන් සපයන හේතු කැටි කොට ගත් විට සේ ය: වෛද්‍ය අධ්‍යාපනය සැපයිය යුත්තේ රජයෙන් පමණි. හෙවත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් නොතිබිය යුතුය. එහෙත් වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් තිබේ. එනිසා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කිරීම හෝ තිබෙන රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීම මගින් ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව මේ කියන විරෝධතාකරුවන්ගේ මූලික යෝජනාවයි. රජයට එවැන්නක් කිරීමේ ශක්තියක් තිබේද හෝ එවැන්නක් කිරීමේ උවමනාවක් තිබේද යන කාරණය මදකට පසෙකින් තබා, ඔවුන් ඉදිරිපත් කරන එම යෝජනාව නිවැරදි විසඳුම වශයෙන් අපි මොහොතකට පිළිගනිමු.
දැන් මගේ ප්‍රශ්නය මෙයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින පරිදි රජය සයිටම් ආයතනය වසා දමති යි අපි සිතමු. එහෙත් අර කියන පරිදි ඊට පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කිරීම හෝ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වැඩියෙන් වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීම හෝ රජය නොකරතියි ද අපි සිතමු. එසේ වුවහොත් හෙට සිට මේ වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ස්වකීය වර්ජන දිගටම කරගෙන යන්නේද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නම් ඒ පැනයට දිය හැක්කේ එක පිළිතුරක් පමණි. එනම්, ‘නැත’ යන්නයි. මන්ද යත්, තමන්ගේ දරුවන් උසස් පාසල්වලට දමා ගැනීම, තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම ආදිය ගැන මිස රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ කිසි ප්‍රශ්නයක් වෙනුවෙන් ඉතිහාසයේ කවරදාකවත් මේ සංගමය වැඩ වර්ජනය කොට ඇති බවක් අප අසා නැති බැවිනි. එහෙත් ඔවුන්ගේ තර්කය අනුව, සයිටම් ආයතනය වසා දැමීම අදාළ ප්‍රශ්නයට විසඳුමක් වන්නේ, ඊට අනුබද්ධිතව සහ ඊට සමගාමීව යෝජිත ඉතිරි වැඩපිළිවෙළත් (රජයේ වෛද්‍ය පීඨ වැඩි කිරීම හෝ පවතින වෛද්‍ය පීඨවලට වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම ආදිය) ක්‍රියාත්මක වන්නේ නම් පමණක් වන නිසා, සයිටම් වසා දැමීම පමණකින් අරගලය අතහැරීම මගින් ඔප්පු කොට පෙන්වන්නේ, වර්තමාන සයිටම් විරෝධය පසුපස අධ්‍යාපනික නොවන වෙනත් හේතු තිබිය හැකි බවයි.
දැනුම යනු, උපරිමයෙන් අත්කර ගත යුතු, උපරිමයෙන් බෙදා හැරිය යුතු සහ උපරිමයෙන් භාවිතයට ගත යුතු දෙයකි. උපරිමයෙන් දැනුම අත්කර ගත්තත්, උපරිමයෙන් එය බෙදා හරින්නේ නැත්නම් හෝ උපරිමයෙන් එය භාවිතයට නොගන්නේ නම්, එය නිස්සාර දැනුමකි. විශේෂයෙන් විශ්වවිද්‍යාල වැනි උසස් ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ගැන කතා කරන විට, මේ කියන අත්කර ගැනීම, බෙදා හැරීම සහ භාවිතයට ගැනීම එක සේ වැදගත් වෙයි. පෞද්ගලික අධ්‍යාපනය, වෛද්‍ය වෘත්තිය සහ සයිටම් ආයතනය පිළිබඳ කතිකාව පුරා විවිධ වේශයෙන් සාකච්ඡාවට ගත යුත්තේ මේ කියන සාධක ත්‍රිත්වයේ අන්‍යොන්‍ය සබඳතාව මිස වෙන දෙයක් නොවේ. පහත සඳහන් ප්‍රවාදය ගැන සාකච්ඡාවට අවතීර්ණ වීමේදී මේ කරුණ විශේෂයෙන් සිහියේ තබා ගැනීම වටී.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය ‘වෙළඳ භාණ්ඩ’ නොවිය යුතුය යන මතයක් වාමවාදී කොටස් තුළ තිබේ. බැලූ බැල්මට එම අදහස ‘ප්‍රගතිශීලී’ ය. එසේම, ‘දේශපාලනික නිරවද්‍යභාවය’ යනුවෙන් ගැනෙන මිම්මටත් අගේට ගැළපෙන්නේය. වෙළඳ භාණ්ඩයක් යනු යම් මිලකින් නිශ්චය වන හුවමාරු වටිනාකමක් සහිත දෙයකි. වෙළඳ භාණ්ඩය යැයි ගැනෙන ප්‍රපංචය කෙරෙහි පවතින සැබෑ අප්‍රසාදයේ මූලය වන්නේ, නිෂ්පාදන වියදමකට අනුකූලව ඕනෑම භාණ්ඩයකට/සේවාවකට මිලක් අනිවාර්යයෙන් පැවරෙන්නේය යන කාරණය නොව, එසේ පැවරෙනු ලැබෙන මිල හේතුවෙන් යම් සමාජ කොටසක් එම පරිභෝජනයෙන් පලවා හරිනු ලැබීමට ඇති ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයයි. එසේ පලවා හැරෙන පරිභෝජනය මනුෂ්‍යයාගේ සහ සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් වන්නේ නම් එතැන අනිවාර්යයෙන්ම සමාජ අසාධාරණයක් ඇත්තේය. මේ නිසා එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ/සේවා සමාජයේ උපරිම තීරුවකට අත්කර ගත හැකි දෙයක් වශයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය වියදම රජයක් විසින් දැරිය යුතු බව පොදුවේ පිළිගැනේ. අධ්‍යාපනය සහ සෞඛ්‍යය, එසේ රජයක් විසින් නඩත්තු කළ යුතු යැයි විශ්වාස කරන අංශ දෙකකි. මොවුන්ගේ විරෝධය පැන නගින්නේ, ඒවා පවා ‘වෙළඳ භාණ්ඩ’ බවට පත්වීම නිසා ය.
අපි දැන් උදාහරණ කිහිපයක් ගනිමු. මුලින්ම අතීතයෙන් පටන් ගත්තොත්, ඉස්සර දිසාපාමොක් ඇදුරෙක් සිටියේලු. ඔහු නොමිලේ ඉගැන්නුවා පමණක් නොව, නේවාසිකව සිටි ශිෂ්‍යයන්ගේ වියදමත් දැරු බව කියැවේ. එපමණක් නොව, තමාගේ දියණිය දක්ෂතම ශිෂ්‍යයාට සරණපාවා දුන් බවත් සඳහන් ය. ඊට මෙහා, සුද්දන් එන්ට කලින් ගමේ තිබුණේ පිරිවෙන් ය. එහි සිටි භික්ෂූන් ශිල්පය දුන්නේ නොමිලේ ය. එම ගමේ වෙද මහතෙක් සිටියේය. ඔහු ප්‍රතිකාර කෙළේ නොමිලේ ය. එදා, අර පිරිවෙන් ගුරුවරයා දුන් අධ්‍යාපනයත්, වෙද මහතා කළ ප්‍රතිකාරත් මොන අර්ථයකින්වත් ‘වෙළඳ භාණ්ඩ’ නොවුණි. මන්ද යත්, ඒවාට මිලක් නොතිබුණු බැවිනි. ඊළඟට, එම පිරිවෙණින් සහ අර වෙද මහතාගෙන් උගත් ශිෂ්‍යයන්ද තමන්ගේ දැනුම පසුව ‘වෙළඳ භාණ්ඩයක්’ බවට පත්කොට වෙළඳපොළක වික්කේ නැත. පූර්ව-ධනේශ්වර ක්‍රමය තුළ පැවති ප්‍රාථමික පරමාදර්ශී සමාජය එබඳු ය.
ජනගහනය එක පිම්මේ වැඩුණු සහ ප්‍රාග්ධනයේ සමාජ තර්කණය පෙර නොවූ විරූ අයුරින් අධිනිශ්චය වූ වර්තමානයට අපි දැන් එමු. ඉස්සර මෙන් නොමිලේ උගැන්වීමට හෝ ප්‍රතිකාර කිරීමට අර කී ගුරුවරයාට හෝ වෛද්‍යවරයාට අද පුළුවන්කමක් නැත. අද රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා හෝ රජයේ පාසල් ගුරුවරයා හෝ රජයේ වෛද්‍යවරයා මාසය අවසානයේ පඩියක් ලබයි. එනම් ඔහු/ඇය තමන් දන්නා ශිල්පය මාසයේ කෑලිවලට ‘විකුණයි’. ඒ මිල ගෙවන්නේ ආණ්ඩුව ය. එසේ ආණ්ඩුව ගුරුවරයාගෙන් එම ශිල්පය මිලදී ගෙන ශිෂ්‍යයාට ‘නොමිලේ’ දෙයි. (අප අද නොමිලේ අධ්‍යාපනය හෙවත් නිදහස් අධ්‍යාපය යැයි කියන්නේ මේ ගනුදෙනුවට ය). අනතුරුව එම ශිෂ්‍යයා, ආණ්ඩුව විසින් (හෙවත් මහජනතාව විසින්) තමන්ට ‘නොමිලේ’ දෙන අර ශිල්පය, වෙළඳ පොළේ විකුණයි. ඒ වෙළඳපොළ, වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් නම් රෝහලක් විය හැකිය. ගුරුවරයෙකු සම්බන්ධයෙන් නම් පාසලක පංති කාමරයක් විය හැකිය. කෙසේ වෙතත්, රජයේ රෝහලක වෛද්‍යවරයෙකු කරන්නේ තමන් ලැබූ ශිල්පය මාසය අවසානයේ ලබන පඩියට ‘විකිණීම’ වන නිසා, පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරයා පමණක් ‘වෙළෙන්දෙකැ’යි කීම විකාරයකි. මේ ආකාරයෙන්, ගුරුවරුන්, ගණකාධිකාරීවරුන්, ලිපිකරුවන්, නීතිඥයන්, කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් පමණක් නොව, වඩුවන්, මේසන්වරුන්, විදුලි කාර්මිකයන් ආදි ඕනෑම කෙනෙකු කරන්නේ, තමන් නොමිලේ උගත් ශිල්ප ශාස්ත්‍රයක් යම් මිලකට විකිණීමකි. රාජ්‍ය අංශයේද, පෞද්ගලික අංශයේද යන්න මත මොන විදිහකින්වත් එම ‘විකිණීමේ’ මූලික ස්වභාවය වෙනස් වන්නේ නැත. ඔවුන් සියල්ලන්ම වෙළෙන්දන් ය.
එසේ නම්, ‘වෙළඳ භාණ්ඩකරණය’ යන ගර්හාත්මක යෙදුමෙන් හඳුන්වන මේ මහා පාප කර්මය කුමක්ද? භාණ්ඩයකට මිලක් තිබීම, එම භාණ්ඩය විකිණීම සහ මිලදී ගැනීම පාපයක් නම්, අප සියල්ලන්ම නොම්මර එකේ පව්කාරයන් ය. ආර්ථික වශයෙන්, දේශපාලනික සහ සමාජයීය වශයෙන් සියල්ලට මිලක් තිබීමෙහි වරදක් නැත. වරද ඇත්තේ මිලෙහි හෝ වෙළඳ භාණ්ඩයෙහි නොව, අසාධාරණ මිලක් සහ ප්‍රමිතියක් නැති වෙළඳ භාණ්ඩයෙහි ය. උදාහරණයක් වශයෙන්, ගුරුවරයා වෙළෙන්දෙකු වුවත්, වෛද්‍යවරයා වෙළෙන්දෙකු වුවත්, ඔහුගේ සේවයට ප්‍රමිතියක් නැත්නම්, වරද ඇත්තේ එතැනයි. එසේම, සයිටම් විද්‍යාලයේ ප්‍රමිතියක් නැත්නම්, කළ යුතුව ඇත්තේ එම ප්‍රමිතිය ඇති කිරීම මිස එය වසා දැමීම නොවේ. සයිටම් අයිතිකරුවා අනිසි ලාභ ලබයි නම් කළ යුතුව ඇත්තේ, අනිසි ලාබ ලැබිය හැකි ඔහුගේ ඒකාධිකාරය බිඳලන තවත් සයිටම් ආයතන හත අටක්වත් රටේ ඇති කිරීමයි.
අවසාන වශයෙන්, මේ තර්ක ක්‍රමය ඔස්සේ ගිය විට, මනුෂ්‍යත්වයටත් මිලක් තිබිය යුතුද, මනුෂ්‍යත්වයත් වෙළඳ භාණ්ඩයක් විය යුතුද යනුවෙන් කෙනෙකු පෙරලා මගෙන් ප්‍රශ්න කළ හැකිය. එය අප දැන් කතා කරන විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෛද්‍ය වෘත්තිය සහ වෙළඳපොල පිළිබඳ ප්‍රශ්නයට එපිටින් පිහිටි සාරධාර්මික තලයට ගැනෙන පැනයකි. කෙසේ වෙතත්, ඒ ප්‍රශ්නයේ පැහැදිලි අරුතක් ඇති බව මම පිළිගනිමි. එහෙත් බොහෝ දෙනා මේ ප්‍රශ්නය මතු කරන්නේ, තමන් තුළ නැති මානවවාදයක් පිටට පෙන්වීම සඳහාම බවත් මා දැක තිබේ. (දහස් ගණන් මිනිසුන් ඝාතනය කරද්දී ‘රට වෙනුවෙන්’ හෝ ‘ජාතිය වෙනුවෙන්’ එම ඝාතන උත්කර්ෂවත් කළ බොහෝ අයත් ඒ අතර සිටිත්). ඔවුන්ට පිළිතුරු දිය යුතු නැතත්, එම සාධාරණ පැනය වෙනත් දාර්ශනික තලයක සාකච්ඡාවට ගත යුතු බව අවිවාදිත ය.■ (ඉතිරිය ඉදිරියට)