Wednesday, 23/8/2017 | 8:07 UTC+0
රාවය

කුලය හා පුනරුදය II

වික්ටර් අයිවන්

පසුදින උදෙන්ම උදය කුමාර හා පුනරුදයට සම්බන්ධ තරුණ නීතිඥ මහතෙකු සමඟ විජය උඳුපිටියගේ මෝටර් රථයෙන් කෝන්වැව ගමට ගියෙමු. එක්තරා මංසන්ධියකදී අප ඒ ගමට රැගෙන යෑම පිණිස කෝන්වැව ගමේ නියෝජිතයෝ දෙදෙනෙක්ද අපට එකතු වූහ. ගමට යන්නට පෙර අධිකරණ නියෝගයකින් තහනම් කර තිබුණු ඉදිකිරීම් කිහිපයක් බලන්නට යෑමට ඒ දෙදෙනා යෝජනා කළෝය. ඒ අනුව පළමුවෙන්ම වහල දක්වා ගඩොලින් බඳින ලද කුඩා නිවසක් වෙත ගියෙමු.
එය ගමේ හමුදා සේවයේ නිරත පුද්ගලයෙකු විසින් මිලදී ගන්නා ලද සින්නක්කර ඉඩමක තනමින් තිබූ නිවසකි. හමුදා සේවය ගමේ තරුණ පරපුරේ ජනප්‍රිය රැකියා මාර්ගයක් වන බවද අසන්නට ලැබුණි. නඩුකාරයා විවෘත උසාවියේ කියා තිබෙන ආකාරයට නඩුව අවසන්වීමට අවුරුදු 20ක් තරම් කාලයක් ගතවිය හැකිය. ඉදිකිරීම් නතර කිරීම සඳහා ලබාදී තිබෙන තහනම් නියෝගය නඩුව අවසන් වන තෙක් බලපායි. ඒ දක්වා වහල මට්ටම දක්වා තනන ලද මෙම ගොඩනැගිල්ලද වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් ඉක්මනින් ගරා හැලෙන තත්ත්වයට පත්වී නිවස ඉදිකිරීම සඳහා කරන ලද ආයෝජනයන්ද ගඟේ මුහුදේ දැම්මා හා සමාන තත්ත්වයකට පත්වනු ඇත.

කෝන්වැව ගම
එම ගමේ මගපෙන්වන්නන් දෙදෙනාගෙන් අසන්නට ලැබුණු තොරතුරු අනුව හමුදා සේවය ඒ ගමේ ජනප්‍රිය රැකියා මාර්ගය වනවිට ඇඟලුම් සේවය හා මැදපෙරදිග රටවල ගෘහ සේවය එම ගමේ ජනප්‍රිය රැකියා මාර්ගය ලෙස සැලකිය හැකිය. පරම්පරාවෙන් එන දවුල් ගැසීමේ රැකියාවට අලුත් පරපුර කැමති නැත. පීඩිත කුලවල ජනයා අතර දුප්පතුන්ගේ අනුපාතිකය ඉහළ මට්ටමක පවතී. නූගත්කම තිබෙන්නේද ඉහළම මට්ටමකය. වගා කිරීමට ප්‍රමාණවත් තරම් ඉඩම් නැතිකම නිසා බොහෝ දෙනෙකුට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ කුලී වැඩ කිරීමෙනි.
අප බලන්නට ගිය තහනම් නියෝගයක් පනවා තිබූ දෙවැනි නිවස පොඩි නිවසක් නොව වැඩ අවසන් කළ ලස්සන ලොකු නිවසකි. ඒ නිවස අසල පාර අයිනේ ලස්සන කඩ කාමරයක්ද තිබුණි. නිවසේ හිමිකරු මැදිවියේ කෙනෙකු වූ අතර ඔහු නිවසේ ප්‍රධාන දොර හැර එහි ඇතුළත නරඹන්නටද අපට අවස්ථාවක් ලබා දුන්නේය. ගෙයි අභ්‍යන්තරයේද වැඩ අවසන් කොට හොඳ ගෘහ භාණ්ඩ ද තැන්පත් කර තිබුණි. කඩ කාමරය යොදාගෙන තිබුණේ ඇඹරුම්හලක් පවත්වාගෙන යෑම සඳහාය. ඇඹරුම්හලට අවශ්‍ය යන්ත්‍රසූත්‍රද එහි සවි කොට තිබුණි. නිවසට විදුලි බලය ලබාගෙන තිබුණේ නැතත් ඇඹරුම්හල සඳහා විදුලි බලය ලබාගෙන තිබුණි. මේ ගොඩනැගිලි දෙකේ සියලු ඉදිකිරීම් අවසන් කර තිබූ අතර පැමිණිලිකාර භික්ෂූන් වහන්සේට මෙම ඉඩමේ අයිතියක් තිබුණේ නම් සියලු ඉදිකිරීම් අවසන්වීමෙන් පසු තහනම් නියෝගයක් ලබාගත්තේ ඇයිද යන්න පැහැදිලි නැත.
එහෙත් තහනම් නියෝගය නිසා මෙම නිවසේ හිමිකරුවා කොතරම් භීතියට පත්ව තිබෙනවාද කියතොත් ඔහු එම නිවසේ පදිංචිය පවා අත්හැර තිබුණි.
එම ගොඩනැගිලි දෙක තැනූ ඉඩම ඔහු මිලදී ගත් සින්නක්කර ඉඩමක් බව ඔහු අප සමඟ කීවේය. අප බලන්නට ගිය තහනම් කළ තවත් ඉඩමක ඉදිකර තිබුණේ අඩිතාලම හා කොන්ක්‍රීට් කණු පමණය.
ඉන්පසු අපි සියලුදෙනා කෝන්වැව ගමට ගියෙමු. ගමේ පසුබිම තේරුම් ගැනීම සඳහා අපට ගමේ ඇවිදීමට සිදුවිය. එහි වෙසෙන වැඩි පිරිසක් දුප්පත්කමේ පතුලේම ජීවත් වන අය ලෙස සැලකිය හැකිය. එහි තිබුණ ගෙවල් කිහිපයක් හැර අන් සියලු ගෙවල් පැරණි ගෙවල් ලෙස සැලකිය හැකිය. සමහර ගෙවල් හදා තිබුණේ පර්චස් තුන හතරක් තරම් වන කුඩා ඉඩම් කැබලිවලය. ඉතා කලාකුරකින් සාමාන්‍ය මට්ටමේ හොඳයැ’යි සැලකිය හැකි ගෙවල්ද තිබුණි. ඒ ගෙවල් අතර අවුරුදු 120ක් පැරණි මැටියෙන් තනන ලද කිසිදාක දකින්නට නැති හැඩතලවලින් යුතු ලස්සන අපූරු නිවසක්ද දක්නට ලැබුණි. ඔවුන්ගෙන් දැනගන්නට ලැබුණු ආකාරයට මුලදී මේ ගෙයි වහල සෙවිලි කර තිබී ඇත්තේ පිදුරුවලිනි. පසුව ටකරන් සෙවිලි කර තිබෙන අතර ටකරන්වල පැහැය අනුව ටකරන් සෙවිලි කරන්නට ඇත්තේද අවුරුදු 30-40කට ඉහතදීය. එම අපූරු නිවස ඇතුළට ගොස් එහි විශේෂ ස්වභාවයද දැකගැනීමේ අවස්ථාව අපට ලැබුණි. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුවිය යුතු සංරක්ෂණය කළ යුතු නිවසක් බව මගේ හැඟීම විය.

නැකත් කුලය
වැඩවසම් අර්ථයෙන් නැකති කුලයේ සාම්ප්‍රදායික වෘත්තිය වී තිබුණේ බෙර වාදනය, නැටීම, බලියාග පැවැත්වීම, නැකත් බැලීම හා රෙදි විවීම වැනි කාර්යයන්ය. ඔවුන් භුක්ති විඳි වැඩවසම් ඉඩම් හැඳින්වූයේ දවුල් පංගු වශයෙනි. රාජ්‍ය හා ආගමික උත්සවවලට පමණක් නොව මඟුල් තුලා හා ඉලව් වැනි පුද්ගලික උත්සවවලටද හේවිසි ගැසුවේ ඔවුන්ය. සිංහල හා යාපනේ දෙමළ කුල ක්‍රමය අනුව නැකත් කුලය සැලකෙනුයේ කුල ධුරාවලියේ පහළම තත්ත්වයක් හිමිකරගත් කුලයක් ලෙසය. වැඩවසම් අතීතයේදී මේ කුලයේ අයට කොණ්ඩය හෝ රැවුල වැවීම තහනම් විය.
බ්‍රයිස් රයන්ට අනුව නැකති කුලයේ ජනයාගේ ගම් ගොඩවල් පිහිටා තිබෙන්නේ ගොවිගම කුලයේ ජනයාගේ ගමට ආසන්නයේම හෝ ඒ ගමේම කොටසක් වශයෙනි. 1824දී කොළඹ, ගාල්ල, තංගල්ල හා හලාවත යන දිස්ත්‍රික්ක හතරේ කුල සංගණනයක් කරන ලදි. ඒ අනුව මාතර හා තංගල්ල අවට ප්‍රදේශයේ නැකති කුලයේ ජනගහනය අනෙක් දිස්ත්‍රික්කවලට වඩා විශාල විය. එම වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ නැකති කුලයේ ජනගහනය 1974ක් වනවිට තංගල්ල දිස්ත්‍රික්කයේ නැකති කුලයේ ජනගහනය 2646ක් තරම් විශාල විය.
1949දී තංගල්ලේදී සිදුවූ බැනියන් කෝලාහලයක් පිළිබඳ කතාවක් බ්‍රයිස් රයන්ගේ පොතට ඇතුළත්ය. මෙම කෝලාහලයට හේතුවී තිබෙන්නේ නැකති කුලයේ දරුවන් 50කට ආසන්න පිරිසක් බැනියම් හැඳගෙන පාසල් යෑමය. ඒ ගැන උරණ වූ සමහර පිරිස් ඒ ළමුන්ට හිංසා කර තිබෙන අතර එය ඉවසාගත නොහැකිව නැකති කුලයේ ළමුන්ගේ මාපියන් කෝපය ප්‍රකාශ කරන ආකාරයට ප්‍රතිචාර දක්වා තිබෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දෙපිරිස අතර ලොකු ගැටුමක් ඇතිවී තිබේ. පසුදින ඒ සිද්ධිය පුවත්පත්වලද පළවී තිබේ.

ඉඩම් හිඟය
මෙම කුලය ඉඩම් නැතිකමේ ප්‍රශ්නය වැඩියෙන්ම බලපා තිබෙන කුලයක් ලෙසද සැලකිය හැකිය. ඔවුන් කෘෂිකර්මය ප්‍රධාන ජීවන මාර්ගයක් කරගත් ජනතාවක් නොවීම හා පැහැදිලිව නැති වෙනත් හේතු නිසා වැඩවසම් ක්‍රමයක් පැවති කාලයේදීත් ඔවුන්ට ලබාදෙන ඉඩම් පංගු වෙනත් කුලවලට දෙන ඉඩම් පංගුවලට වඩා කුඩා විය. මෙම කුඩා ඉඩම් පරම්පරා ගණනක් තිස්සේ බෙදීයෑම නිසා දැන් ඔවුන් අතර තිබෙන ඉඩම් හිඟය වෙනත් කුලවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. ඒ නිසා ඔවුන් අතර ගොවි කුලීකරුවන්ගේ අනුපාතිකය ඉහළම මට්ටමක පවතී. නූර්යාල්මන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේරුතැන්න ගම පිළිබඳව කර තිබෙන අධ්‍යයනයකට අනුව ඒ ගමේ නැකති කුලයේ පුද්ගලයන් 140 දෙනකු අතුරින් කවර මට්ටමක හෝ කුඹුරු ඉඩම් හිමිකමක් තිබී ඇත්තේ 14 දෙනෙකුට පමණය. අන් සියලු දෙනා කුඹුරු ගොවිතැනට සම්බන්ධ වී ඇත්තේ අඳ ගොවීන් වශයෙන් හෝ ගොවි කුලීකරුවන් වශයෙනි.
කාලිංග ටියුඩර් සිල්වා විසින් පහත හේවාහැට වැලිවිට නමැති ගම අළලා කර තිබෙන අධ්‍යයනයකට අනුව එම ගමේ නිවැසියන් 200ක් අතුරින් නිවැසියන් 161ක්ම නැකති කුලයට අයත්ය. ගමේ මුළු ජනගහනය 1228ක් වන විට ඉන් 1009ක්ම නැකති කුලයේය. එම ගමේ අක්කර 73ක් තරම් වූ මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 45කම අයිතිය තිබී ඇත්තේ ගොවිගම කුලයේ පවුල් තුනකට අයත් පුද්ගලයන්ටය. පවුල් සියයට 59කටම ඉඩම් තිබී නැති අතර ඉඩම් නැති අයගෙන් ලොකුම පංගුව සකස් වී තිබී ඇත්තේ නැකති කුලයෙනි. ඒ ගමේ නැකති කුලයේ අය අතර ගොවි කුලීකරුවන්ගේ අනුපාතිකය සියයට 27ක් විය. කාලිංග ටියුඩර් සිල්වා එහි දක්වා තිබෙන ආකාරයට ඉඩම් නැති නැකති කුලයේ සියලුම දෙනා පාහේ ගොවි කුලයෙන් යැපෙන අඳ ගොවියෝ වූහ. ඒ සියලුදෙනා ගොවි කුලයේ ඉඩම් හිමියන් බැහැ දැකීම, ඔවුන්ගේ ගෘහ සේවකයන් ලෙස කටයුතු කිරීම ඔවුන්ට සාම්ප්‍රදායිකව සේවා සපයන්නන් ලෙස ක්‍රියා කිරීම හා ඒ සියලු දේට අතිරේකව ගොවි කුලයට ගෞරවය සැපයීම ඒ ගමේ නැකති කුලයේ අයට පැවරී තිබුණු වගකීමක් වූ බව කාලිංග ටියුඩර් සිල්වාගේ මතය වී තිබේ.
බොහෝ පීඩිත කුලවල අයට තමන්ගේ කුලය පෙන්නුම් කරන වාසගමක් තිබෙනවාට අතිරේකව සමහර ප්‍රදේශවලදී හාස්‍යය උපදවන පුද්ගල නම්ද දැකිය හැකිය. දරුවකු ඉපදුණු විට ඒ දරුවාට පුද්ගල නම් දෙන්නේ මාපියන්ය. මාපියන් මොනම හේතුවක් නිසාවත් තමන්ගේ දරුවන්ට හාස්‍යයට හේතුවන නම් තබනු ඇතැයි සිතිය නොහැකිය. වැලිවිට ගමේ නැකති කුලයේ සමහර පිරිමින්ට තිබුණේ හාස්‍ය උපදවන පිරිමි නම්ය. (සොබනා, සොබනී, පිනා, පිනී, සයනී වැනි) මෙම අධ්‍යයනය තුළ සමාජ විද්‍යාඥයා එම අධ්‍යයනයේදී එය එසේ වූයේ කෙසේද කියාද සොයා බලා තිබුණි. ගම්මුලාදෑනි ක්‍රමයක් තිබුණු කාලයේදී වංශවත් ගම්මුලාදෑනියා උපත් ලියාපදිංචි කිරීමේදී නැකති කුලයේ මාපියන් ඔවුන්ගේ දරුවන්ට ඔවුන් කියන නම් වෙනුවට ගම්මුලාදෑනියා ඔහුට කැමති නම් ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබේ. ඔවුන්ට හාස්‍යයට හේතුවන නම් ලැබී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නිදහසේ සීමා
1948දී ලබාගත් නිදහස නැකති කුලය වැනි පීඩිත කුලවලට ජනයාට ඔවුන්ගේ ජීවිතවල ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවී නැත. එසේ නැතහොත් ඔවුන්ට අහිමිකර තිබූ මනුෂ්‍ය ගෞරවය ඔවුන්ට හිමිකර දුන්නේ නැත.
1948 නිදහස ලැබෙන අවස්ථාව වනවිට වැඩවසම් ඉඩම් භුක්තියක් සහිත විහාර දේවාලගම් සතුව අක්කර ලක්ෂ ගණනක ඉඩම් තිබුණි. ඒවාහි ප්‍රවේණිදාසයන් ලෙස සේවය කරන විශාල ජනතාවක් සිටියේය. ලැබූ නිදහස අර්ථවත් නිදහසක් වී නම් විහාර දේවාල ගම්වල ප්‍රවේණිදාස තත්ත්වයක ජීවත් වූ ජනතාව එම වැඩවසම් සේවාවන්ගෙන් නිදහස් කළ යුතුව තිබුණි. ඔවුන්ට ප්‍රමාණවත් තරම් ඉඩම් ලබාදී ඔවුන්ගේ සේවාවන් මුදලට ලබාගත යුතු සේවාවන් බවට පත් කළ යුතුව තිබුණි. මෙම වැඩවසම් ඉඩම් ක්‍රමයද ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබුණි. එය අද දක්වාම සිදුවී නැතිවා පමණක් නොව වැඩවසම් සේවාවල නිරත ජනයා භුක්ති විඳි ඉඩම් සේ ම විහාර ගම් අවට ජීවත් වන ජනයාගේ ඉඩම්ද සටකපට ලෙස අත්පත් කරගන්නා ක්‍රියාදාමයන්ද ඇතැම් විහාර ගම්වල ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැකිය හැකිය. මහියංගණය හා පාතදුම්බර ඊට දැක්විය හැකි නිදසුන් ලෙස සැලකිය හැකිය.
විහාර ගම්වල හා දේවාලගම්වල වැඩවසම් සේවාවන්හි නිරත පුද්ගලයන්ට දිවි ගෙවන්නට සිදුවී තිබෙන අධම හා ශෝචනීය තත්ත්වය පිළිබඳව තොරතුරු රැසක් 1951 උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාවට හා විහාර දේවාලගම්වල හා නින්දගම්වල ඉඩම් භුක්තිය පිළිබඳ ඉඩම් කොමිසමේ වාර්තාවට ඇතුළත්ය.
කුලභේදයට එරෙහිව ගන්නා වැදගත් හා ප්‍රධාන පියවරක් වශයෙන් විහාර දේවාලගම්වල ක්‍රියාත්මක වන වැඩවසම් සේවා ක්‍රමය අවලංගු කරන ලෙස උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාව රජයට යෝජනා කළේය. එහි එම සේවා ක්‍රමය ක්‍රියාත්මක වූ අධම ස්වරූපය එම කොමිෂන් සභා වාර්තාවේ විස්තර කර තිබුණේ මෙසේය.
“ඉටුකළ යුතු ඇතැම් සේවාවන්හි ස්වභාවය හා ඒවා ඉටු කළ අන්දම අධම ස්වරූපයක් දැරීය. මහනුවර පෙරහැරේ රන්දෝලි ගෙනයෑම උදාහරණයක් සේ දක්වමින් සාක්ෂිකරුවෝ එය විස්තර කළහ. රන්දෝලිය හොණ්ඩර ගණනක් බරය. මහනුවර සියලුම වීථි ඔස්සේ මිනිසුන් හතරදෙනෙකු විසින් එය ඔසවාගෙන යා යුතුය. පෙරහැර පවත්නා සෑම රාත්‍රියකම හැම රන්දෝලියක්ම පිටුපසින් ස්ත්‍රීන් දෙදෙනෙකු යායුතු විය. මේ සේවය ඉටුකරන කාලපරිච්ඡේදයේදී මුකවාඩම් බැඳගෙන සිටිය යුතුවූ නිසා මිනිස්සු තවත් දුක් ගැහැට වින්දහ. දේවාලවල හා මාලිගාවේ යම් යම් කටයුතු හා සේවා ඉටුකිරීමට බදුකාරයන් බැඳී සිටි බව සඳහන් කරන ලදි. කිල්ලකට හේතුවේයැ’යි පැවති විශ්වාසය නිසා මොවුන්ට තමන්ගේම කිට්ටු ඥාතිවරයෙකු මළ විට මිනිය භූමදානය සඳහා ඔසවාගෙන යෑම පවා තහනම් වූ බව පැවසුණි. සමහර සේවා ඉටුකිරීමේදී විශේෂ ඇඳුම් ඇඳිය යුතු බවද සඳහන් විණ. නුවර පෙරහැරේ කොඩි සේසත් හා පන්දම් ඔසවා ගෙන ගිය පුද්ගලයන්ට උඩුකය වැසීම තහනම් වූ බව සාක්ෂිකරුවෝ නිදසුන් වශයෙන් දැක්වූහ. තවද උඩුකය වැසීමට තැත් කළහොත් සේවය කිරීමට ඉඩ නොදෙන ලද අතර එය නියමිත රාජකාරි පැහැර හැරීමක් ලෙස සලකා පසුව නඩු පවරන ලදි.
පහත පළවනුයේ නින්දගම් විහාර දේවාලගම්වල සේවාවන් පිළිබඳව ඉඩම් කොමිෂන් සභා වාර්තාවෙන් උපුටා ගත් කොටස් දෙකකි.
“නිලකාරයන් ඔවුන්ගේ සේවා උද්යෝගීමත් ලෙස කරන්නේ බුද්ධ ගෞරවය හා ආගමික භක්තිය නිසාත් අනෙක් අතට ඔවුන්ගේ සේවය නැවැත්වුවහොත් ඔවුන්ට ස්වභාව ධර්මය ඉක්මවූ බලවේගයන්ගේ මාර්ගයෙන් විනාශය පැමිණෙනු ඇතැයි යන බිය නිසාය. එහෙත් මෙම සේවා භුක්ති ක්‍රමයට ඔවුන් තුටු පහටු වී සිටින බවක් පෙනෙන්නට නැත. මේ ක්‍රමයට විරුද්ධව ඔවුන්ගේ පැමිණිලි රාශියක් තිබුණි. ඔවුන්ගේ ආගමික භක්තිය නොතිබෙන්නට හා ආගමික සේවාවන් ඉටු කිරීමට ඇති දැඩි අභිරුචිය නොතිබෙන්නට ඔවුන්ගේ දුක්ගැනවිලි කියා වඩාත් හඬ නගනු ඇති බවට සාක්ෂි තිබුණි.”
“ඉඩම්වල වෙසෙන නිලකාරයන් වැඩි දෙනෙකුට ඇත්තේ මූලින්ම ඔවුන්ගේ පංගුවට අයත්ව තිබූ ඉතා කුඩා කොටසකි. නිත්‍ය ලෙසම හේන් ඉඩම් විකුණා ඇත. කොටස්කරුවන්ගේ වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුඹුරු සහ මිනිසුන් පදිංචි වී සිටින වතුද සුළු කැබලිවලට බෙදී පිරිහී ගොස්ය. සමහර අවස්ථාවලදී මෙම කැබලි කිරීම කොතරම් අස්වාභාවික ලෙස කොටස් කර තිබේදැයි කිවහොත් වැපිරීම කරන්නට සිදුවී තිබෙන්නේ තට්ටු මාරු පදනමක් මතය. එක් එක් කොටස්කරුවකුට කුඹුරු වැපිරීමට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු කිහිපයකට එක් වරකි. ඒ අතරතුර කාලයේදී වෙන රැකියාවක් සොයා ගැනීමට නිතැතින්ම සිදුවෙතත් ඔහුට එය නිතර සොයාගත නොහැකිය.”
ප්‍රධාන කොට නැකති කුලයේ ජනයාගේ සේ ම වැඩවසම් ඉඩම් භුක්ති ක්‍රමයක් ක්‍රියාත්මක වන විහාර දේවාලගම්වල නිලකාරයන්ගේ පසුබිම් විස්තර කීමට මට අවශ්‍ය වූයේ කෝන්වැව ප්‍රශ්නය සේම ලංකාවේ කුල ප්‍රශ්නය තේරුම් ගැනීමට ඒ පසුබිම් දැනුම අත්‍යවශ්‍ය වන නිසාය.
දැන් අපට යළි කෝන්වැව ප්‍රශ්නයට යා හැකිය. ගමේ කළ සංචාරයෙන් පසුව ඒ ගමේ තිබුණු හොඳම නිවසට එක් රැස්වී ගම මුහුණ දී තිබුණු ප්‍රශ්නය ගැන දීර්ඝ වශයෙන් කතා කළෙමු. අපට මගපෙන්වීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාට අතිරේකව ගමේ තවත් අටදෙනෙක හෝ නව දෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ. කෝන්වැව ගමේ සියලු පවුල් වගඋත්තරකරුවන් කරමින් ඒ සියලුදෙනාට එරෙහිව නඩු පැවරීමක් කර තිබෙනුයේ පෝයමළු පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති මැඩියාවේ පියරතන හිමියන් විසිනි. ඒ හිමිනම මේ සියලුදෙනාට එරෙහිව නඩු පවරා තිබෙන බව පෙනෙන්නේ පන්සල් ඉඩමේ බලහත්කාරයෙන් පදිංචි වී සිටින පිරිසක් ලෙස සලකා ඔවුන් ඉවත් කරවා ගැනීමේ අරමුණ සඳහාය. මේ ගමේ පදිංචිකරුවන් පරම්පරා ගණනක් තිස්සේ මේ ඉඩම්වල පදිංචි වී සිටින පිරිසක් බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය. නඩු පැවරීම සඳහා යොදාගෙන තිබෙන නිමිත්ත සේ ම නඩුව පවත්වාගෙන ගොස් තිබෙන ආකාරය සේ ම දිසා විනිසුරුවරයා නිකුත් කර තිබෙන තහනම් නියෝගයද බැලූ බැල්මට ඇති කරන්නේ බලවත් සැකයකි.
දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල අධිකරණයේ සේවය කරන සමහර විනිසුරුවරුන් හා සමහර පන්සල්වල ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා අතර සමීප සම්බන්ධයක් පවතී. කලක් ලෙනින් රත්නායකද මහව දිසා අධිකරණයේ වැඩ කළේය. ඒ කාලයේදී ලෙනින් රත්නායක නැටූ අවලස්සන නැටිල්ල ගැන අපි දනිමු. එහිදී ඒ කලාපයේ සමහර ප්‍රකට භික්ෂූන් වහන්සේලා ලෙනින් රත්නායකගේ ආරක්ෂාව සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටියෝය. එම භික්ෂූන් වහන්සේලා මෙම නඩුකාරයා ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රසිද්ධ උද්ඝෝෂණවල පවා නිරත වූහ. උන්වහන්සේලා නිකුත් කළ ප්‍රසිද්ධ පුවත්පත් නිවේදනයක් මගින් මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයා හඳුන්වන ලද්දේ පින්බර යුග පුරුෂයෙකු වශයෙනි. කෝන්වැව ප්‍රශ්නයේදීද නඩුකාරයා හා පැමිණිලිකාරයා අන්තර් සම්බන්ධයක් තිබුණා විය හැකිය.
කෝන්වැව ගමේ මිනිස්සුන්ට බලවත් අසාධාරණයක් සිදුවී තිබෙන බව පැහැදිලිය. නඩුව විභාග කොට අවසන් නැතත් මේ නඩුව අවසන්වීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති අතර එම දීර්ඝ කාලය තුළ මේ අසරණ මිනිස්සුන්ට ජීවත් වන්නට සිදුවනු ඇත්තේ අවිනිශ්චිතභාවය කර තබාගෙනය. මේ ගමේ වැසියන් වැඩි පිරිසකට ඔවුන් භුක්ති විඳින ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු තිබෙන බව අසන්නට ලැබුණි. එසේ නොවී ඔවුන් සියලුදෙනා මෙම විහාරයේ නිල පංගුකාරයන් වුවද ඔවුන් එම ඉඩම්වලින් පලවා හැරීමේ නෛතික බලයක් විහාරාධිපතිට නැත. විහාර දේවාලගම් පනත ඉතා බලවත් නීතියක් ලෙස සමහර නීතිඥයෝ පවා සලකති. එය පනතක් පමණය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට වඩා බලවත්ය. සාමාන්‍ය මිනිසකු අවුරුදු 15ක් 20ක් භුක්ති විඳි ඉඩමක් භුක්තියට සවිවේ නම් එම ප්‍රතිපත්තිය නිලකාරයන්ටද වලංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක පුද්ගලයෙකුට හිමිවන හිමිකමක් තවත් පුද්ගලයෙකුට අහිමි කළ නොහැකිය. භුක්තියට සවිවන නීතිය වැඩවසම් නිලකාරයන්ටද අදාළය. ඒ අර්ථයෙන් විහාර දේවාලගම් පනතේ එන සමහර විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.■