කුණු ගැන සන්සුන් ව සිතමු


kathu

කුණු ගැන වාද විවාද තවමත් අවසන් වී නැත. කුණු පිළිබඳ කතාබහේ දී බොහෝ පාර්ශ්වවලින් බොහෝ විට ප්‍රදර්ශනය වුණේ කවරකුට හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ඇති කැමැත්තයි. තමා නොවී වෙන කවුරුන් හෝ කුණු විපත්තියේ වගඋත්තරකරුවා කර ගන්නට ඒ හැම කෙනෙකු ම අඩු වැඩි වශයෙන් උත්සාහ ගනු පෙනිණ.
කුණු ප්‍රශ්නය අනුන්ගේ ප්‍රශ්නයක් නොවන බවත්, හැම පුද්ගලයකු ම කුණු ප්‍රශ්නයට අඩු වැඩි වශයෙන් වග කිව යුතු බවත්, දැන් ඕනෑවටත් වඩා කතා කොට තිබේ. කොළඹ කුණු අපට එපා කියන්නවුන් ම කොළඹ කුණුවලට හැමදා ම දායක වන බව දැන් සංඛ්‍යා ලේඛන සහිතව ම ඔප්පු වී තිබේ.
කුණු ප්‍රශ්නය හැම ආණ්ඩුවක ම අසමත්භාවය, සියලු දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ අසමත්භාවය මෙන් ම රටේ මහජනතාවගේ අසමත්භාවය ද පැහැදිලි ව පෙන්නුම් කළ අවස්ථාවක් හැටියට තේරුම් නොගත්තොත් අප යන්නේ අඳුරට ය. එනිසා, කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ ද අප ම ය. අවාසනාවකට, එවැනි ප්‍රවේශයකින් ප්‍රශ්නයට එළැඹෙනවා වෙනුවට ආත්ම පාරිශුද්ධ ප්‍රවේශයකින් ප්‍රශ්නයට එළැඹුණු බොහෝ අය, කුරුසියට තබා ඇන ගැසීමට හැකි කිසිවකු සොයමින් දහඅතේ ගියෝ ය.
විවේචන හා උද්ඝෝෂණ කළ බොහෝ දෙනකු සිය විවේචන ඇරඹුවේ කුණු ප්‍රශ්නය ‘උද්ගත වන්නට පෙර’ කාලයක මේ මොහොත් රට තිබෙනවායැ’යි උපකල්පනය කරමින් බව පෙනේ. කොළඹින් පිට ස්ථාන තෝරා ගැනීම, ඒවායේ ජීවත්වන්නවුන් ඉවත් කිරීම, කසළ රඳවන හෝ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර හෝ ස්ථානගත කිරීම, ධනවාදයෙන් හා පරිභෝජනවාදයෙන් සමාජය මුදා ගැනීම වැනි සියලු දේ ඒ විවේචනවල පිළිවෙළට ම වුණා නම් අද මේ ප්‍රශ්නය ඇති වන්නේ ද නැත. එහෙත්, ප්‍රශ්නය ඇති වී බොහෝ දුරක් ඇදී ගොස් තිබේ. අප කැමති වුණත්, නැතත්, මේ මොහොත වන විටත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව දිනපතා කුණු ටොන් දහසකට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරති. ඒවා පළාත් පාලන ආයතනයේ ට්‍රැක්ටරයට භාර දී අත සෝදා ගනිති. මෙය එක් ප්‍රාදේශීය සභාවක කුණු ප්‍රතිචක්‍රීයකරණ කෝණයෙන් බැලිය නොහැකි තරම් වන අතිවිශාල හා සංකීර්ණ ප්‍රශ්නයකි. ප්‍රතිචක්‍රීයකරණය කළත්, බලශක්තිය නිපදවුවත්, පොහොර නිපදවුවත්, ඒ ක්‍රියාවලිය සිදු වන තුරු මේ අතිවිශාල කුණු ගොඩ කොහේ හෝ රඳවා තබා ගැනීමට අවශ්‍ය වෙයි. හුදෙක් ට්‍රැක්ටරයකින් ගෙනැවිත් කෙළින් ම ප්‍රතිචක්‍රීයකරණයට යැවිය තරම් ක්‍රියාවලිය සරල නැති නිසා ය.
මීතොටමුල්ල ව්‍යසනයත් සමඟ ඇති වූ ‘කොළඹ කුණු’ විරෝධය නිසා දිනපතා එකතු වන කුණු බැහැර ලන්නට තැන් නැති විය. දොම්පේ ඉතා ම දියුණු හා කිසි ම හානියක් නැති කුණු රඳවනයට දිනකට කුණු ටොන් අනූවක් භාර ගත හැකි ව තිබිය දී පවා, කුණු දැමීමට පළාතේ අමනෝඥ මිනිස්සුත්, අවස්ථාවාදී දේශපාලකයෝත් බාධා කළහ. ඒකල ජාඇළ දී එවැනි අවස්ථාවාදීන් අතරට පල්ලියේ ස්වාමිවරු ද එකතු වූහ. කරදියානේ දී ජවිපෙ දේශපාලකයන් මෙන් ම කරදියාන කුණු රඳවනය නිර්මාණය කළ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලකයා ද මහජනයාට පිටුපසින් එක පෙළට සිටියේ ය. කුණු බැහැර ලීම අපහසු විය. මේ තත්ත්වය නිසා එකතු කළ නොහැකි කුණු මාර්ග දෙපස ගොඩ ගැසෙන්නට විය. ඔරුගොඩවත්තේ මිනිස්සු ඉන් පසු කළෝ, එකතු නොකළ කුණු පාර අවහිර වන ලෙස පාරට ඇද දැමීම ය. මේ ප්‍රශ්නය දිහා සන්සුන් සිතින් බලන්නට හා කලබල වන මහජනතාවට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට පන්සලත්, පල්ලියත්, දේශපාලකයෝත්, බුද්ධිමත්හුත් අසමත් වූහ. අධිකරණ නියෝග ගැනීම, අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍ර නිකුත් කිරීම වැනි දේවලට ආණ්ඩුව යොමු වන්නේ මේ සියල්ලේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැටියට ය.
ඛේදවාචකයකින් පසු ව වුණත්, දැන් සන්සුන් ව මේ ප්‍රශ්නය ගැනත්, එය විසඳා ගත හැකි ප්‍රශස්ත මාදිලි ගැනත් සිතන්නට අවස්ථාව පැමිණ තිබේ. ආණ්ඩුවත්, දේශපාලකයනුත්, රාජ්‍ය නිලධාරීනුත්, මහජනතාවත් එය තමන්ගේ ම අභියෝගයක් හැටියට බාර ගන්නට සූදානම් ද?■