ළමා මනස කේන්ද්‍ර කොටගත් ෆින්ලන්ත අධ්‍යාපනය


finland

පන්නරය

ඇම රි කා නු ජා ති ක ග ණි ත ගුරුවරියක වන කෙලී ඬේ වෙත ෆුල්බ්‍රයිට් අධ්‍යාපන පර්යේෂණ පැවරුමක් පිරිනැමුණේ 2014 වසරේ ජනවාරි මාසයේදීය. ඒ අනුව, ෆින්ලන්තය වෙත ගොස් එරට අධ්‍යාපන ක්‍රමය හැදෑරීම සඳහා වසරක කාලයක් එහි ගතකොට අවසානයේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු විය. ‘හැල්මේ නොදුවා, හෙමි හෙමින් හොඳ අධ්‍යාපනයක් ලැබීම’ යන මාතෘකාව යටතේ 2015දී කෙලී ඬේ විසින් පළකරන ලද පත්‍රිකාව ඔස්සේ ඇඟේ හඬට අපි මෙතැන් සිට සවන් යොමුකරමු.
“7වැනි ශ්‍රේණියට ගණිත විෂය උගන්වන ගුරුවරියක ලෙස 2014දී මා ෆින්ලන්තය බලා ගියේ එරටෙන් එක්කරගන්නා ඇත්දැකීම් අපේ ඇමරිකානු විෂය නිර්දේශයට එක්කොට, ළමයින්ට වැඩි වැඩියෙන් ගණිත ගැටලු ක්‍ෂණිකව විසඳීමේ කුසලතාව ලබාදීමේ අරමුණු පෙරදැරි කොටගෙනයි. වසර මැද වන විට පළමු ශ්‍රේණියේ ළමයාට දෙවෙනි ශ්‍රේණියේ ගණන් හැදීමට දක්‍ෂතාවක් පිරිනැමීම අපේ යුතුකම හා වගකීම යැයි හැම ඇමරිකානු ගුරුවරයෙකුම සිතන වග මා අත්දැකීමෙන් දන්නවා.

ළමයින් නොමරා මැරීම
පාසලට ඇතුළත් වූ පළමුවන දිනයේ සිට පංතියේ හා ගෙදරවැඩ හැකි තරම් පවරා, දරුවා අතිදක්‍ෂයකු කිරීම පිණිස ඔහු/ඇය මත විශාල පීඩනයක් යෙදවීම ඇමරිකානු අධ්‍යාපනයේ පරිචයයි. වාර විභාග, මාසික පැවරුම් යනාදියේ දත්ත මැනවින් විශ්ලේෂණය කොට අතිදක්‍ෂ, දක්‍ෂ සහ දුර්වල ළමයින් කවුරුන්දැයි සොයාගැනීමට ඇමරිකානු ගුරුවරුන් මෙන්ම මාපියන්ද මහත් උනන්දුවක් දක්වනවා. ඉනික්බිති දුර්වල ළමුන්ට අමතර පංති ඔස්සේ තවතවත් වැඩ පවරනු ලබනවා. වැඩ, වැඩ සහ තවත් වැඩ යන සංකල්පය මත පදනම්ව ඇති ඇමරිකානු සමාජය, මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔහු/ඇය කෙතරම් කාර්යබහුල අයෙකුද, දවස අවසානයේ ඔහු/ඇය අධික ලෙස වෙහෙස වී ඇත්ද යන සාධක උඩයි. ඉතින් අපි දරුවන්ට කාවද්දන්නේ ‘මහන්සි වී බිම ඇදෙන වැටෙන තුරු වැඩකරන්න.’ යන මානසිකත්වයයි. ඉතින් ළමයි මෙන්ම ඇමරිකානු ගුරුවරුන්ගෙන් බහුතරයක්ද වැඩ අධිකවීම නිසා විශාදයෙන් පෙළෙනවා. 2013 වසරේදී 9 -12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඇමරිකානු දරුවන් ගහනයෙන් 17%ක් පමණ සියදිවි නසාගැනීමට වරක් හෝ දෙවරක් උත්සාහ කර තිබෙනවා. 2014 වර්ෂයේදී වයස 10ත් 14ත් අතර පසුවූ දරුවන් 425ක් සියදිවි නසාගත්තා. භයානකම තත්ත්වය වන්නේ වාර්ෂිකව වයස 12ට අඩු ළමයින් 30ත් 35ත් අතර සංඛ්‍යාවක් ඇමරිකාව තුළදී සිය ජීවිතය විනාශ කරගැනීමයි. එහෙත් මේ සියලු ව්‍යසන හමුවේ මැරිමැරී වැඩකරන මානසිකත්වයෙන් මිදීමට අපි කවුරුත් පියවරක් ගෙන නැහැ.

ෆින්ලන්ත මොඩලය
ෆින්ලන්තයේ පාසල්වල ගණිත විෂය උගන්වන හැටි දුටු මට හැමවිටම සිතුණේ ඇමරිකානු මොඩලය වඩාත් කාර්යක්‍ෂම බවයි. කිසිදු හදිසියකින් සහ පීඩනය යෙදීමකින් තොරව ෆින්ලන්ත දරුවන්ට එරට ගුරුවරුන් සහනශීලීව උගන්වනු දුටු මට පුදුම හිතුණා. එහෙත් මෙහි විශේෂත්වය වුණේ, දඩිබිඩියකින් තොරව ඉගෙනගන්නා ෆින්ලන්ත සිසුන් සියල්ලම පාහේ ඔවුන්ගේ වාර විභාගවලදී ඇමරිකානු දරුවන්ට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් අත්පත්කර ගැනීමයි. ‘අල්පේච්ඡත්වය මහේශාක්‍යයි’ යන දැක්ම ෆින්ලන්තවාසීන්ගේ ශරීරයට හා මනසට කාවද්දා ඇත්තේ ඔවුන්ට සහනශීලී ලෙස ලබාදෙන අධ්‍යාපනය හරහායි. ඒ අයගේ නිවාස, ඇමරිකානු මධ්‍යම පංතිකයන්ගේ ඒවා මෙන් අතිදැවැන්ත ගෙවල් නොවෙයි. තමන්ට සුවපහසු ලෙස ජීවත්වීමට ප්‍රමාණවත් කුඩා එහෙත් අලංකාර නිවෙස් මෙහිදී දැකගත හැකියි. ෆින්ලන්ත සුපිරි වෙළෙඳසැල්වල ඇසුරුම් කරන ලද ධාන්‍ය ආහාර වර්ග තිබෙන්නේ 5ක් හෝ 10ක් පමණයි. එහෙත් ඇමරිකානු සුපිරි වෙළෙඳසැලක එවන් පැකට් වර්ග 300ක් විතර ඉතා ආකර්ෂණීය ලෙස රාක්කගත කොට තිබෙනවා. ඇමරිකානුවන්ගේ අධිපරිභෝජනය ගැන කීමට මේ උදාහරණය පමණක් වූව ප්‍රමාණවත් යැයි මා සිතනවා. ෆින්ලන්ත කාන්තාවන් නිවසේදී තමන්ම සිදුකරගන්නා සරල මේක්-අප් එකකින් සෑහීමට පත්වෙනවා. අධික මිලක් ගෙවා සතියකට කිහිපවතාවක් රූප ලාවණ්‍යාගාර වෙත දුවන ඇමරිකානු ළඳුන්ට වඩා මේ අය හාත්පසින්ම වෙනස් වග මට තදින්ම දැනුණා. කිලෝමීටරයක් ගමන් කිරීම සඳහා ගැලුම් ගණනින් ඉන්ධන බොන අතිදැවැන්ත ෆෝවීල් ට්‍රක් හා කැබ් ආඩම්බරකාර ලෙසින් පදවන ඇමරිකානු පුරුෂයන් හා සැසඳීමේදී බහුතරයක් ෆින්ලන්ත පිරිමින් කිසිදු පෞද්ගලික වාහනයක් පාවිච්චි නොකොට රටේ විශිෂ්ට පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් බිමන් යෑමට පුරුදුව සිටිනවා දැකීමත් මට නම් මහත් සතුටක්. සේල්වලට ගොස් එකතුකරගන්නා ලාබ ඇඳුම් 100කින් අල්මාරි පුරවාගන්නා අප වැනි ඇමරිකානුවන්ට වඩා ෆින්ලන්තවාසීන් ඉතා ඉදිරිගාමී ජන කොටසක් වග මට හැඟීගියේ ඔවුන් පාවිච්චි කරන ඉතා මිල අධික, එහෙත් බොහෝකල් පවතින ඇඟලුම් කට්ටල ස්වල්පය දුටු විටයි. සරල බව පසෙකලා ගොඩ බදාගැනීමේ ආකල්පය ඇමරිකානු අපේ ඇට මිදුළුවලටම කාවැදී තිබෙනවා. වැඩිපුර පංති, අමතර පැවරුම්, නොනවතින ඇගයීමේ හා රැස්වීම්, පාසලෙන් පසු ඉගැන්වීම්, අතොරක් නැති විභාග යන මෙකීනොකී දේවල්වලින් අධ්‍යාපනය පිරවීම නිසා ගුරුවරුන් මෙන්ම දරුවන්ද දැඩි ආතතියකට පත්ව තිබෙනවා. අධිපරිභෝජනවාදයට හා මී පොරයට වැඩි බරක් දෙන ඇමරිකානු අධ්‍යාපන ක්‍රමය අප අවුලෙන් අවුලට ඇදදමන බව මට වැටහුණේ ෆින්ලන්තයට ගිය පසුවයි.

සහනශීලී අධ්‍යාපනය
ෆින්ලන්තයේ පාසල්වලට දරුවන් මුලින්ම ඇතුළත් කරනු ලබන්නේ ඔවුන්ට වයස අවුරුදු 7 සම්පූර්ණ වූ විටයි. සෙල්ලම් කිරීමට හා අවට ලෝකය කුතුහලයෙන් යුතුව ගවේෂණය කිරීම සඳහා ළමුන්ට වැඩිපුර ඉඩප්‍රස්ථාවක් සැලසිය යුතුයැයි එරට අධ්‍යාපනඥයන් දැඩිව විශ්වාස කරනවා. 9 ශ්‍රේණිය දක්වා අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වුවත් 16වැනි වියේදී ෆින්ලන්ත දරුවන්ට තමන්ගේ අභිමතය පරිදි මාර්ග 3ක් තෝරාගත හැකියි. මෙහි පළමුවැන්න ඉහළ ද්වීතියික අධ්‍යාපනයයි. වසර 3ක් පුරා දිවෙන මේ පාඨමාලාව, සරසවියට සුදුසුකම් ලබන මැටි්‍රකියුලේෂන් විභාගය ඉලක්ක කොටගෙන පැවැත්වෙනවා. තමන් කැමති විෂයයන් තෝරාගැනීමට මෙහිදී ළමයාට ප්‍රශස්ත ලෙස ඉඩ පහසුකම් සලසා දී තිබුණත් වාර්ෂිකව සරසවි ප්‍රවේශය හා අදාළ මැටි්‍රකියුලේෂන් විභාගයට පෙනීසිටින්නේ සමස්ත ෆින්ලන්ත ශිෂ්‍ය ගණයෙන් 40%ක් පමණයි. බොහෝ සිසුන් තෝරාගන්නේ දෙවැනි විකල්ප මාර්ගය වන වෘත්තීය පුහුණුවයි. එරට පිහිටා තිබෙන දැවැන්ත කාර්මික විදුහල් හරහා අතිවිශිෂ්ට මේසන්වරුන්, වැද්දුම්කරුවන්, විදුලි කාර්මික ශිල්පීන්, මෝටර් කාර්මිකයන් හා වායුසමීකරණ, ශීතකරණ ශිල්පීන්, වඩුවන් වැනි මෙකී නොකී වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් රටට බිහිවෙන අතර ඔවුන් ඉතා ඉහළ ආදායම් ලබන ශ්‍රමිකයන් පිරිසක් බව මෙහි අවධාරණය කිරීම වටිනවා. ෆින්ලන්ත ශිෂ්‍ය ගහනයෙන් 55%ක්ම තෝරාගන්නේ වෘත්තීය අධ්‍යාපනය බව මා කී විට මගේ ඇමරිකානු ගුරුවරුන් එය විශ්වාස කිරීමට මැලිවුණා. තෙවන විකල්ප මාර්ගය වන්නේ වයස 16දී ළමයෙකු යම් වැඩ ක්ෂේත්‍රයට කැමති නම් පාසල මැදිහත්වී ඔහු/ඇය සුදුසු රැකියාවකට යොමුකිරීමයි. රැකියාවේ නියැලෙන අතරතුරදී ඔහුට /ඇයට අවශ්‍ය නම් උසස් අධ්‍යාපනය හැදැරීම උදෙසා පඩි සහිත නිවාඩු හා අනෙකුත් පහසුකම් හාම්පුතු විසින් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. එහෙත් මේ තෙවැනි මාර්ගය තෝරාගන්නේ ෆින්ලන්ත ශිෂ්‍ය ගහනයෙන් 5%ක් වැනි සුළුතරයක්. අතරමැද විවේක කාලයන් ගණනාවක් පිරිනැමෙන ෆින්ලන්ත පාසල්වල මිනිත්තු 75කින් සමන්විත ඉගැන්වීම් වාර 3ක් හෝ 4ක් තිබෙන අතර බොහෝ විට පාසල් වේලාව උදේ 9ත් හවස 2ත් යන කාලපරාසයට සීමාවෙනවා. ෆින්ලන්ත ගුරුවරයෙකුගේ වාර්ෂික ඉගැන්වීම් කාලය පැය 600ක් වන අතර ඇමරිකානු ගුරුභවතෙකුට එය පැය 1080ක්! ෆින්ලන්ත පංති කාමරයක සිටින ළමුන් සංඛ්‍යාව 15ක්වන අතර විෂයභාර ගුරුවරුන් ඔවුන් සමඟ අවම වශයෙන් වසර 6ක් ගතකළ යුතුයි. එරට ගුරු-ගෝල සබඳතා ඉතා ශක්තිමත් වී තිබෙන්නේ හැම දරුවා ගැනම සොයාබැලීමට ගුරුවරයාට විසල් ඉඩහසරක් සලසා දී ඇති නිසායි.

ඉහළ පිළිගැනීම
ෆින්ලන්තයේ වැඩිම පිළිගැනීමක් ඇත්තේ ගුරු වෘත්තියටයි. වාර්ෂිකව ගුරු වෘත්තිය සඳහා ලක්‍ෂ ගණනින් අයදුම්පත් ගලාඑන නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරාගන්නේ ඉන් විශිෂ්ටතම 10%යි. ෆින්ලන්ත ගුරුවරයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප ඇමරිකානු ඩොලර් 4167ක් (රුපියල් 633,000ක්) පමණ වෙනවා. මේ ගුරුවරුන් කෙතරම් විශිෂ්ටයන්ද කිවහොත් ෆින්ලන්ත දරුවන් ටියුෂන් හෝ වෙනත් අමතර ඉගැන්වීම්වලින් පීඩනයට පත් නොකොට, අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් නොමැරී මැරෙන ඇමරිකානු හා ආසියානු දරුවන් අබිබවා ඔවුන් සියලු ගෝලීය මට්ටමේ තරඟ විභාගවලින් පෙරට ගැනීමට සමත් වී තිබෙනවා. පාසල් කාලයේදී ඇතිවන ඒකාකාරීබව ෆින්ලන්ත ගුරුවරුන් හා ළමුන් බිඳ දමන්නේ සැබෑ ජීවිතයේදී අත්‍යවශ්‍ය වන මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, වෘත්තීය ලෙස ශූද්ධ පවිත්‍ර කිරීම්, ගෙදරදොරට අවශ්‍ය සුළුසුළු වඩුවැඩ, පයිප්ප වැඩ ඉගැන්වීම හරහා. ඉතින් ලොවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේ බැව් මා පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.!